සිරාගේ කජු මුලේ කතාව කියවල මට කජු කතා මතක් වුනා . මන් කජු කන්න ආසයි . මෙහෙ කජු හරිම පිලිවෙලට පැකට් කරලා විකුණනවා . හැබැයි සේරම යන්තමට හරි බැදලා .ඒවා උයන්න හරි නැහැ.
හො චි මින් වල ඉන්න කාලෙ බෙන් තාන් මාක්ට් එකේ තමයි අමු කජු තිබුනෙ . බනිලගෙ තාත්ත දැනුත් එහෙ යන එන නිසා කජු ටිකක් නම් වරදින්නෙ නැහැ අපෙ දිහා .
දැන් මෙහෙම රත්තරන් වගෙ වුනාට අපි කිරි කජු කෙල්ලො කාලෙ අපිට කජු වලින් අඩුවක් තිබුනෙ නැහැ..
අපේ පැත්තෙ බොහොම කජු ගස් තිබුණා. අපි පොඩිම කාලේ හිටිය අපෙ නොවුනට අපේ වගෙ පලතුරු කාපු ලොකු වත්තෙ කජු ගස් තිබුණා. අපි අහුලන් ආවම අම්මා ඉඩක් ඇති විටක කපල දුන්නා.
අමු කජු ටිකක් කඩලා ඉව්ව වෙලාවලුත් තිබුණා.
ගවුම් වල කජු කිරි ගෑවුනොත් ඉවරයි. යවන්න ක්‍රමයක් තිබුණෙම නැහැ.
කජු කපන එක නම් මහම එපාකරපු වැඩක් . මන් නම් කවදාවත් කරලා නැති වැඩක්..කජු කිරි ගෑවුනහම හම පිච්චුනා වගෙ කහට බැඳෙන්නෙ.
කජු පුහුලන් කපලා ලුනු දාල කනවා. සමහර ගස් වල පුහුලන් රස වැඩියි. වවුලන් තමයි ඉතින් ඔය රස වැඩිය දන්නෙ . පුහුලම කාල හපයත් එක්ක කජු ගෙඩිය බිම දාල යනවා .
සමහර විට අපිට හම්බ වුනා යන්තම් පැලවිගෙන එන කජු. ලා කොල පාටට කජු මදය පැලයක් වෙන්න ඔන්න මෙන්න. අමුතු රසයක් තියෙනවා . සමහරු කාලා ඇති .කජු ගහේ මැලියම් සරුන්ගල් අලවන්නත් අපට උදව් වුණා .
[මගෙ ඊශ්‍රායල් මිතුරිය හරියට පුදුම වුනා කජු පොකුරක පින්තුරයක් දැකලා.]
තව අපේ ගමේ ලොකු කජු වත්තක් තිබුණා. එයට කිව්වෙ කජු හේන කියලා. ඒ ඉඩම අයිති ගෙදර අක්කලා අපිත් එක්ක යාලුයි . අපිත් යනවා කජු කඩනවා බලන්න. හරිම විනෝද ගමන.
ඒ වත්තෙ කජු ගස් රාශියයි..වැඩට ඉන්න කට්ටිය කජු කඩලා ගෝනි පිටින් අරන් එන්නේ.
''චුටි බත් කෑවද'' අහන ගිරවෙකුත් හිටියා ඒ ගෙදර.
කජුයි මෙ ගිරවයි එක්කම මට ඒ කාලේ ටක් ගාලා ඔලුවට එන්නෙ ''කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා'' කියන රබන් පදේ.
.එක එක ගස් වලට නම් පවා තිබුණා. එක නමක් මට මතකයි ;;ආප්ප කජු ගහ'' . නම් වගෙම කජුත් වෙනස් . ලොකු පොඩි රතු පුහුලන් කහ පුහුලන් වගෙ වෙනස්කම් තිබුණා.
අර කිව්ව කජු හේන පසු කලෙක කුට්ටි කරලා විකුණුවා. ගමෙන් භාගයකට වඩා ඉඩම් තිබුණ එ පවුලට වුණ දේවල් නවකතාවක් ලියන්න තරමයි. කවදහරි දවස්ක කොහේ හෝ ලියා තබන්න ඕන.
කුලී ගෙවල් වල උන්න අපිත් ඒ ඉඩමින් තමයි කෑල්ලක් ගත්තේ.
.කජු ගස් කැපිලා ගෙවල් හැදුණ. එක් ලොකු කොටසක් ගත්තු කෙනා විතරක් එහෙම්ම තිබ්බ නිසා ගහක් දෙකක් ඉතුරු වුණා.
එතරම් සරුසාර ගස් නෙමේ. කොලු කුරුට්ටන්ගෙ පොලු පහර වල් නිසා ඒ ගසුත් නැති නාස්ති වුණා.
අපෙ ඉඩමෙත් පුන්චි ගහක් තිබුණා. පසු කලෙක කපා දැම්මා.
මෙ සියල්ලටම වඩා අපුරු කතාවක් තියෙන්වා. එකම එක ලොකු කජු ගහක් අපෙ ඉඩමට කිට්ටුවම අර ලොකු කොටසෙ තනියම විශාලෙට අතු පතර විදාගෙන හැදි වඩුණා. පලාතටම සෙවණයි. හරියට නුග ගසක් වගේ. කජු වාරෙට ගමේම කොල්ලො එතන. ගෙඩියක් පැහෙන්න දුන්නෙම නැහැ. ගිරවුන් නිතරම දකින්න ලැබුණා. අනික් නොයෙක් කුරුල්ලොත් ලේන්නු හෙමත් හිඟයක් තිබුණෙ නැහැ. කොහොමත් ඉඩමට පහල පුරන් වු වෙල් යායක්...
එන්න එන්නම ජනාකිර්ණ වුණත් කාර්මික ජනපදයක් පෙනෙන මායිමෙ වුණත් පොඩියක් හුස්ම ගන්න පුලුවන් කම තිබුණා අපේ පලාතෙ මිට ටික කලකට පෙර වෙනකම්ම.
මේවා වෙනම ලියන්න ඕන කාරණා.
මට අද හිතෙන විදිහට කජු ගස වටා උප සන්ස්කෘතියක් තිබුණා වගේ දැනෙනවා.
අයිතිකාරයින්ගෙ සොයා බැලිල්ලක්, වැටක් මායිමක් මුකුත් නැතුව ඔහෙ තිබ්බ මේ මහ ගස මට නම් සිහි කලේ අසරණ මනුස්සයෙක්. අහල පහල මිනිස්සු කුණු ගෙනත් දාන්නත් පුරුදු වුණා. ඩෙන්ගු බෝවෙයි කියල නිතරම ඔය කුණුගොඩ පුච්චන්නත් ආයෙ නොදමන්නත් කට්ටිය විටින් විට කතා වුණා. මහජන සෞඛ්ය පරික්ශක ගෙනත් පරික්ෂණයකුත් තිබ්බා.
හැබැයි ඔය එකක්වත් වුණෙ නැහැ. ඉඳල හිටල අපේ අම්ම හරි පහල ගෙදර අය හරි අතුගාලා පුච්චල දැම්ම විතරයි.
මොන කරදරක්ද මෙ කජු ගහ කියල අපට නිතරම තරහත් ගියා. හබැයි ඒ කරදර වලට වන්දි ගෙවන්න වගෙ හැන්දෑවට අපෙ මිදුලට තද ඉර එලිය එන්න නොදි හොඳින් බලා ගත්තෙ මෙ කජු ගහ තමයි.
මන් වෙන පලාතකට යන කොටත් ඔය කජු ගහ හොඳට තිබුණා.
අවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන වැටුණා කියල .
එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ...
...
බොහොම සුන්දර අතීතයක්... සිරා කොල්ලා හිච්චි එකා සන්දියෙ අම්මත් එක්ක අපේ නැන්ද කෙනෙකුගේ ගෙදර යනවා රද්දොළුව පැත්තෙ... ඒ අයගෙ නිවස වටේම තිබ්බෙ ගමේ අයෙකුගේ විශාල කජු වත්තක්, රතුපාට,කහපාට කජු පුහුලම් දකින කොට එකක,දෙකක රහ බලන්න වගේම ඒ දිහා බලාගෙන ඉන්න එකත් පුංචි මගේ ආසාවක්... පුංචි කාලෙ මේ ආසාව නැති කිසිම ළමයෙක් නෑ කියලයි මට හිතෙන්නෙ. නැන්දා ඉතිං ගමේ කෙනෙක්ට කථා කරලා කජු පුහුලම් මල්ලක්ම කඩලා දෙනවා... ඒ උනාට අපේ අම්මා අවසර දුන්නෙ කජු පුහුලම් දෙකක්,තුනක් කන්න විතරයි... දැන් නම් කජු පුහුලම් තියෙන ගහක් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්... ලුණු දාලා කජු පුහුලම පලලා කනකොට තමා රස නහර පිනා යන්නෙ...
ReplyDeleteඅයියෝ කමෙන්ට් එකක් කොටල සේව් කරා විතරයි පෝස්ට් එක මාරු කරලා.දැං ඉතිං කොටපංකො ආයිමත් මුල ඉඳල...
ReplyDeleteඒත් කමක් නැ...සිරා කොලුවගේ කජු මුල් කතාව නිසා බින්දි බොහොම සතුටින් ගමට ගියානේ...
ඒත් බින්දිට අමතක වුණානේද කජු ලෙලි පුච්චන එක. අදටත් අපේ ගමේ මදුරුවන්ට කජු ලෙලි පුච්චනවා. කොයිල් වලට වඩා ඒක තාමත් හරි සාර්ථකයි.
තාම ගමේ ඉන්න නිසා මට මේ සතුට හැමදාම වගේ ලබන්න හැකියි බින්දි..
හ්ම්. කතාව අවසානෙදි බින්දි ඒ ගසට මනුස්සයෙකුගෙ වටිනාකම දෙන විදිහ හුඟක් හිතට කා වැදුණා. එතනින් එහාට වෙනමම කතාවක්..
ReplyDeleteඅනේ මන්දා....බින්දි.., ඔයා ලියන මේ ලිපි...මටත් සමීපයි..!
ReplyDeleteඅපේ ඉඩමත් අක්කරයක් විතර ඇති.කන්දක් උඩ එක් මායිමක ලොකු කජු ගහක් තිබුන. එහා ඉඩමෙ මුල තිබුනට ගහ අපේ ඉඩමේ.කජුගස් වල අතු..හරි නම්‍යශීලියි.කැඩෙන්නෑ..වැලක් වගේ සමහර අතු බිමටම ගෑවිලා. බින්දි ලියල තිබුන වගේ..පොඩිකාලෙ අපි ඕය ගස් වලම තමා...පෝස්ට් එකක්ම ලියන්න..උල්පත් පෑදුනා.
අම්මෝ කජු කිරිනම් මතක්කරන්න එපා..අපේ අත් ගන්න දෙයක් නෑ ඒ දවස්වල..කජුකිරිවලට වණවෙනව.
පුහුලන් කන්නදෙන්නෑ අම්ම..කැස්ස හැදෙනව කියල. අපි ඉතින් ගහයට තියාගෙන හොරෙන්ම කනව් හෝදන්නෙත් නැතිව.මොන ලෙඩක් වත්නෑ හැබැයි කැස්සනම් හැදෙන එක ඇත්ත. දැන් ලම්යින්ට නිකන්ම කැස්ස අවුරුද්ද පුරාම.
ලා කජු පුදුම කිරි රහක් තියෙන්නෙ.
කජු මැලියම් කාලයක් ඉස්කෝලෙත් ගිනිච්චා මතකයි අලවන ඒවට..!
අපේ ගෙට උඩින් ගේ අද්දරම ඉබේ පැලවෙච්ච කජු ගහක් හැදෙනව ගියසැරේ පීදුනත් එක්ක..තව කාලෙකින් ගෙට හානිදායක උනත් මම හරි සංතෝසෙන් රැකබලාගන්නෙ ලමයින්ටවත් අනාගතේ දකින්න ඉතුරු කරගන්න ඕනිනේ.
Deleteකජු කිව්වොත් ඉතින් මටනම් වෙන මුකුත් ඕන නෑ..හැබයි මේ දවස්වල හරි ගණන් නේද කජු? ලංකාවේ මිලයි ඇමරිකාවේ මිලයි ටිකක් එක සමානයි වගේ. ඒ කියන්නේ සාපේක්ෂව ලංකාවේ මිල වැඩි වෙන්න ඕනේ.
ReplyDeleteබින්දී අක්කට වගේම අපිටත් තිබුනා ගෙවල් 4 ක් විතර ශෙයා කරපු කජු ගහක්. ඒකෙ පුහුලන් කහ පාටයි. කජු පුච්චන වැඩේ නම් මල්ලිලා තමයි කරේ. එයාලා සුද්ද කරාට පස්සේ තමයි මම කඩා පාත් වෙන්නෙ...කන්න.
මාත් මාර ආසයි කජු වලට.... ඉස්සර අපේ වත්ත පල්ලෙහාත් තිබ්බා කජු ගහක්. අපි වැඩිපුර කරන්නේ කජු පුච්චන් කන එක..... අම්මෝ..... මතක් වෙනකොටත් කටට කෙල උනනවා.....
ReplyDeleteකිරිකජු කාපු , කජු පුහුලම් වලට පොලුගහපු , ඉස්කෝලෙ වැඩවලට කජු මැලියම් හොයපු කාලෙ .... මේ එකක්වත් අපේ දරුවන්ට නෑ.....
ReplyDeleteදරුවන්ට තියා ඒ සුන්දර පරිසරය දැන් අපටවත් නෑ...ඒ ගොල්ලන්ගෙ පරිසර දැනුම පරිසරය පොතට විතරයි., මම මේ දවස් වල කෘතිම ගොවිපලක් හොයනවා මේ ගස්වල ගෙඩි හැදෙන හැටි, කුඹුරක වැඩ කරන හැටි පොඩ්ඩට පෙන්නන්න..,
හපොයි බින්දිලගෙ පැත්තෙ ඩෙංගු සහ ගස් ගැන කියන කොට මට මතක් වෙන්නෙ වෙන කෙනෙක්ව..:D
මට මතක් වුනෙත් නැහැ එයාව
Deleteපෝස්ට් එක ටිකක් රොමෑන්ටික් වගේ.....බින්දලයි අපියි සපර්ශ කළ ජීවිතය එකමනෙ ඉතින්...
ReplyDeleteපැල කජු හරිම රසයි.ව්‍යාංජනයක් විදියට හදා ගත්තම වඩාත් හොදයි.හැබැයි ඉතින් එහෙම හදන්න නම් සෑහෙන කජු ප්‍රමාණයක් බිම වැටිලා පැලවෙන්න ඕන.ඒ තරමට කජු දැන් නෑ.
කොහොම වුනත් අලුත් අවුරුද්දට හදන හත්මාළුවටනම් කජු ටිකක් කොහොමහරි හම්බවෙනවා.
අන්න මට අමතක වුන දෙයක් . රත්නපුරේ කජු අඩුයි නේද . අපේ ආච්චි කොහෙන් හරි කජු පොඩ්ඩක් සොයලා ගේනවා හත් මාළුවට
Deleteඅපිටත් තිබුන ඔය වගේ අනුන්ගෙ කජු වත්තක්.. ඒක තමයි කුරුන්ද.. කජු වාරෙට කුරුන්දෙ තිබුන කජු ගස් ඔක්කොම අයිතිකාරය බදු දෙනවා.. එතකොට අපි, හොරෙන් පැනලා කජු අහුලලා එකතු කරනවා..වයසක ගෑනු කෙනෙකුත් හිටියා ඔය බදු ගන්න කට්ටිය අතරෙ. අපි කිව්වෙ කජු ආච්චි කියලා. ඒ කාලෙ අපියි කජු ගස් බදු ගන්න උනුයි අතරෙ මාර සටනක් ගියේ කජු එකතු කරන්න.. කොච්චර උනන්දුද කිව්වොත් උදෙන්ම නැගිටලා කුරුන්දට පනිනවා කජු අහුලන්න.. එක දවසක් කට්ටිය පොලු පාරක් නොකා බේරුනෙ කකුල් දෙකට පින් සිද්ද වෙන්න..
ReplyDeleteඅපේ වත්තෙත් කජු ගස් දෙක තුනක් තිබුනා ඒවා කාලයත් එක්කම විනාශ වෙලා ගියා.. කුරුන්දෙ කජු ගස් නම් තාම තියනවා. ඒත් ඒවයෙ ඉස්සර තරම් ඵල දරන්නෑ මගෙ හිතේ. ඵල දැරුවත් අපිට දැන් කජු එකතු කරන්න ආසාවක්වත්, වෙලාවක් වත් නෑ.. දැන් හැදෙන උන්ට ඒවයෙ වගක්ම නෑ.. මම හිතන්නෙ කජු ආච්චිලට දැන් කරදරයක් නැතුව ඇති.
නටඹුන්ව ගිය ලස්සන අතීතයක්.... මතකයක්ම පමණයි දැන් නම්...
Deleteහරියට කජු කනවා වගේ පෝස්ට් එක කීවේ. රහයි. කියවගෙන යන්ට ලේසියි.:)
ReplyDeleteනිහාල්ගේ පෝස්ටුවකුත් මතක් උනා. එයා ලියලා තියනවා බටු ගැන.
ඔය කියනවගේ කජු අතීතයක් මට නෑ. ගමේ ගියාම අත්තම්මා කජු උයලා දෙනවා. කජු කරිය උඩ කලුදුරු කියලා මොනවද දාලා තිබුනා වගේ මතකයි. අවුරුද්දට හත් මාලුව කියලා එකක් හදනවා කජුත් දාලා.
කිරිකජු ඇත්තටම කිරි රහයි නේද?
අතීත මතක සුවඳ හ්ම්!
ReplyDeleteපොඩි කාලේ අපේ ගෙදර ඉස්සරහා තියෙන මෙනේරිය වත්තේ කජු ගස් ගොඩක් තිබුණා .ඒක් අයිතිවෙලා තිබුනේ අපෙ නෑදෑ ලොකු තාත්තකෙනෙක්ට .අවුරුද්ද කිට්ටුවෙනකොට පවුල් වල ලමයි ඔක්කොම යනවා කජු අහුලන්න .අපේ ගෙදරින් මට යන්න දෙන්නේ නෑ ඉතින් මට කජු අහුලලා දෙන්නේ අපේ ඉලුක්පිටි සීයා .උදෙන්ම ජටාවකුත් ඔලුවෙ බැඳන් ඇවිත් මට කජු අහුර් දීලා යනවා .පරණ එස්. එ.ම් ඒ ටින් එකකට කජු එකතුකරලා දුමේ තියන්නේ අම්ම අවුරුදු කැවිලි හදනකොට ඒව ගන්නවා . හප්පා කජු කිරි හරි වසයි ගෑවුනාම වන වෙනවා .කජු කිරි කහට යවන්න බෑ ලේසියකට .කජු ලාටු ගන්න නම් කජු ගහේ කඳ ටිකක් තුවාල කරලා තිව්වම පස්සෙන්දා උදේට තියේ ලාටු වැක්කිරිලා .ඒවා සරු0ගෝල අලවන කාලෙට සෑහෙන්න ප්‍රයෝජනයි කියාලා මට මතකයි ඉස්සර කසින් අයියලා යනවා කජු කස් කැති ගාන්න අපේ ගෙදර කජු පුච්චන්නේ තාත්තා ලිබ්බොක්කේ දාලා කජු පුච්චනකොට පලාතම සුවඳයි .
දැන් ඉතින් සුපර් මාර්කට් වල තියේ නොයෙක් කජු ජාති .බේක් කරපුවා , ලුණු මිරිස් දාලා සැරට , අමු කජු මද , පුච්ච්පු කජු ඒත් අර පොඩි කාලේ ගස් වලින් අහුලගෙන එස් එම් ඒ ටින් එකක එකතුකරන් ඉඳාලා කෑව වගේ "මිහිරක්" නෑ .ඒත් ලන්කාවෙන් කාටහරි දෙයක් තෑගි දෙන්න වුනොත් මම කජු ගෙනියනවා බයිට් එකට කජු කන යාලුවො ඉන්නවනේ :)
ගහක් දෙකක් ඇර දැන් මෙනේරියේ කජු ගසුත් නෑ . ඉස්සර වගේ කවුරුත් කජු අහුලන්නේත් නෑ .ඒ කලේ "කජ්ජු" ඇහින්ද නෑදෑ පවුල් වල කජු කිරි කොල්ලො කෙල්ලොත් දැන් ගමේ නෑ !
තාම අපේ ගම් පලාතේ කජු වලට කියන්නේ කජ්ජු කියලා :)ඔෆිස් යන්න ලෑස්තිවෙනගමන් මේ පෝස්ට් එක දැක්කේ .කමෙන්ට් එකක් නොදා බෑ වගේ හිතුනා දැක්ක හැටිය
අර මෙනේරිය වත්ත ඉස්සර අපේ "සේර්වුඩ් " වනන්තරෙ වගේ තමා !!!
Deleteමෙනේරි කියන්නේ ධාන්‍ය වර්ගයක් නේද? කහපාට?
Deleteපෝස්ට් එක කියෙව්වම කජු සුවඳ දැනෙනවා එච්චර රසවත්ව ලියල තියෙනවා .අපිටත් කජු ගස් යට කොට්ටම්බා ගස් යට ගත කල සුන්දර කාලයක් තිබුනා . මතක් වෙනකොටත් දුකයි .
ReplyDeleteලිපියේ අවසානය ගොඩක් දුක්බර විදියට නිමා කරල .
කජු මාළුවක් කන්නත් ආසාවක් ආවා.
ReplyDeleteකජු අවාරෙට මේ ගොල්ලෝ මොකට කජු ගැන පෝස්ට් දානවද මන්දා.
අපේ ගමෙත් හැම තැනකම වගේ කජු ගස් තියෙනවා බින්දි. ඔය කජු අත්දැකීම් හැම එකක්ම මම විඳල තියෙනවා. අවුරුදු කාලෙට කජු ගහේ තමයි අපි ඔන්චිල්ලා බඳින්නෙ. කජු ගහේ පාත් වුණු අතුවල සාරි පටලවල තමයි අපේ සෙල්ලම් ගෙවල් හැදුවෙ.. කජු කපල, කජු තලල කිරි ගාගෙන අත්වල දවස් ගණන් පැල්ලම් වල පොතු ගලව ගලව ඉඳලත් තියෙනවා....
ReplyDeleteපුච්චපු කජු මද පොලුයි, සීනියි කලවම් කරල කොටල ගුලි හදල කෑව මතකයි. කජු කාල බොන්න අපිට කෝපි තමයි හදල දුන්නේ.
කජු මතක ගැන ලියන්න බොහෝ දේ මතක් වුණා බින්දි ඔයාගෙ ලිපිය දැක්කම. අපූරුයි.
රස වෑහෙන පෝස්ට් එකක්. කජු පුහුලම් වගේ දේවල් ටැබූ තමයි. හැම තිස්සෙම අපිව බය කරන්නෙ වැඩිය කෑවොත් උගුර රිදෙයි, කැස්ස හැදෙයි, කතා කරගන්න බැරුව යයි කියලා. ඇත්තටම එහෙම වෙනවද කියලා මතක නෑ.
ReplyDeleteකජු කිරි ගෑවුනොත් කෑල්ල තියෙනකම් යන්නෙ නෑ කියලා තමයි අම්මා කිව්වෙ.
කජු මහ අසාධාරන පළතුරක්. පට්ට කට්ටක් කන්න ඕනෙ කජු ගෙඩිය කපලා කන්න. අනේ අපේ තාත්තා තමයි ඕකට අහුවෙන්නෙ. අච්චර අමාරුවෙන් කපලා ගන්න කජු මද අපි ලේසියට කනකොට එයා අඩුවෙන් තමයි කන්නෙ.
එතකොට මේ කජු මදේ මවපු හැටි ගැන කතාව දන්නෙ නැද්ද බින්දි?
එදා දෙවියෝ තමන් මවපු ගෙඩි වලට ඇට හයි කරන දවසලු. උදේ ඉඳන්ම ඇට හයි කර කර ගිහින් අන්තිමට කජු ඇටේ හයි කරන්න එනකොට රෑ බෝ වුනාලු. ඒ දවස්වල වයිෆ් නීතියක් දාලලු තියෙන්නෙ කොයි මගුලෙ ගියත් මෙන්න මේ වෙලාවට ගෙදර එන්න ඕනෙ කියලා. දෙවියෝ උනත් ඉතින් අපි වගෙ තමයිනෙ වයිෆ්ට තියෙන භීතිය. ඇයි Hell hath no fury than a woman scorned කියන්නෙ නිකංයැ. දෙවියො කලේ ඕනෙ මගුලක් කියලා කජු ඇටේ ගෙඩිය යටින් ඇනලා ගෙදර දිව්ව එකලු. අන්න ඒකලු හැම ගෙඩියෙම ඇටේ ඇතුලෙ තිබුනත් කජු ගෙඩියෙ විතරක් ඇටේ එලියෙන් එල්ලි එල්ලි තියෙන්නෙ.
(මම නොකිව්ව දේවල් හිහේ මවාගත්තට කරන්න දෙයක් නෑ.)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒකත් ලස්සන කථාව... ඩූඩ්ටත් බොහොම ස්තුතිය කියා දුන්නට !
Deleteකජු කන්න නම් ආසයි. කතාවත් ලස්සනයි.
ReplyDeleteමේ පොස්ට් එක කියෙව්වෙත් කජු කන ගමන්. කරුමෙකට වගේ අපේ වත්තෙ තිබ්බෙ නැති ගහක් තමා කජු. දෙතුන් පාරක් වවන්න හැදුවත් හරි ගියෙ නෑ. බැදපු කජු කන්න වගේම කජු මාළුව කන්නත් මම හරි පෙරේතයි! :D :D
ReplyDeleteකජු සාමාන්‍යයෙන් මට නිතරම පාහේ කැවෙන දෙයක්.. ඇයි බයිට් එකට කජු පැකට් එකක් ගන්න එක ලේසි වැඩේනෙ, ඒකයි.. :D
ReplyDeleteහැබැයි ඉතිං අර පොඩි කාලෙ පුච්චගෙන කාපු කජු තරං නම් රහ නෑ තමා..
උඹ හරි සල්ලි කාරයෙක් පාටයි.. :-)
Deleteඇයි බොල, කඩෙන් කජු පැකට් එකක් ගෙනල්ලා කන්ට මහ ලොකු සල්ලිකාරයෙක්ම වෙන්ට ඕනයෑ.!? :P
Deleteඑහෙනං රටකජු තමා...!පුහුලන් කජු...පුන්චන් පැකට් එක 50g එකකුත් රු.150ක් විතර වෙනව.
Deleteරු. 150ක්.?? ඒ කියන්නෙ පැන්ස 75ක් (75p) විතර.. අඩේ ලාබයිනෙ බං.. :)
Deleteමම කිව්වෙ මූ සල්ලි කාරයෙක් කියලා.. :-)
Deleteබින්දි පෝස්ට් එකක් ලිවුවම අපිටත් ඉතින් කොමන්ට් පෝස්ට් ලියන්න පුළුවන්නේ කොහොමත්.....!
ReplyDeleteපොඩි කාලේ අපේ වත්තේ කජු ගස් තුනක් හතරක් තිබුනා මතකයි. කජු පුහුලම් කන්න ආසාවෙන් හිටියත් කාපු පළවෙනි දවසේම මට ඇලජික් වුනා. මතක විදියට අපිත් එක්ක කජු කෑව තව ළමයෙක්ගේ හමේ ලෙඩකුත් ආවා. එදා ඉඳන් වත්තේ ඉදිල නෙමෙයි රන් වන් පාටට තිබ්බත් අපි නම් නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ.
මතක විදියට පොඩි කාලේ අම්මා අවුරුදු නැකතට කෑම හදද්දි එක කරි එකක් එළවළු හා කජුත් දාලා හැදුවා. ඉන් එහාට අපේ ගෙදර කජු කෑවේ නෑ.
එක දවසක් වෙන්නප්පුවේදි අමු කජු උයලා කෑවා අනූ ගණන් වල මුලම. අම්මෝ දිව්‍ය ලෝකේ රස. එදා ඉඳන් අද වෙනකම්වත් එහෙම රස කජු කරි එකක් කාලා නෑ. කොහොමත් කජු වල තේල් ගතියට මම කැමති නෑ. ඒත් මාත් එක්ක හිටපු අනිත් කෙනාට කජු කීවම වෙන කිසි දෙයක් මතක නෑ. එයාගේ ආසාව කොයි තරම්ද කියනවා නම් පස්සේ කාලෙක කජු ඉඩමකුත් ගන්න වුනා.
ඉතින් ඊ ගාව කජු පාට් එක එන්නේ ඒ ඉඩමේ. එක කජු ගහකින් කිලෝ දෙසීයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක කජු හැදුනට අපිට ආශාවට කන්න කජු නෑ.... අපි දෙන්න දුක් මහන්සි වෙලා කජු ඉඩමක් ගත්තට අපි දෙන්නම අදටත් හිනා වෙන්නේ ඔය ලංකාවට ආවම අපිට ශුද්ධ කරපු කජු කිලෝ එකක් දෙකක් ලැබුනට අද වෙනකම් කජු වලින් වෙන ආදයමක් අපිට ලැබිලා නෑ. මගේ පංගුව නම් මම ලංකාවෙදිම කාට හරි දීලා එනවා මම කජු නොකන නිසා. ඒ උනාට ඒ ඉඩමේ සියවස් ගණන් පරණ කජු ගස් තියෙන්නේ අක්කර විසිපහක් පුරාවටම. දැන් අපි කතා වෙන්නේ පස්සේ කාලෙක ලංකාවේ පරණම කජු ගස් පෙන්වන්න මියුසියම් එකක්වත් හදනවා කියලා.
කජු පුහුලන් මතක් උනාම කටට කෙලත් උනනවා. අපේ වත්තෙත් ගහක් තිබුනා. කන්න ගිහින් කට වන කරගෙන ඇති පොඩි දවස් වල. මට මතකයි අපිත් මැලියම් ගන්නවා යම් යම් දේවල් අලවන්න.
ReplyDelete
ReplyDeleteඅවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන වැටුණා කියල .
එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ..
කජු ගහ විතරක් නෙවෙයි.. මට නම් නිවාඩුවට ගියාම පෙනෙන්නෙ ගොඩක් යුග පුරුෂයො නිදන්ගත වෙලා කියලයි..රට කාන්තාරයක් වෙන දවස එච්චර ඈතක නැහැ..
පුංචි මාතෘකාවක් අරගෙන අක්ක ඒ ගැන මේ විදියට "වවලා" ලියන එකට මම හරි ආසයි.
ReplyDeleteකජු ගහ කියද්දි මට මතක් වෙන්නෙ කජු මැලියම්. අම්මල ඉස්සර මටයි, නැන්දගෙ පුතාටයි ගම් බෝතල් පිටින් ගෙනත් දෙනවා. ඒත් මොන ක්‍රමේකින් හරි අපි උත්සහ කරන්නෙ කජු මැලියම් හොයාගෙන ගම් හදාගන්න.
අපේ මේ වත්තෙ අපි පුංචි කාලෙ කජු ගස් 3ක් තිබුණ. ලොකු ගස්. දැන් ඉතුරු එකයි, අනිත් දෙකම මැරිල ගිහින් වයසටම......ඇත්තමයි අක්කෙ අපේ ළමා කාලයත් එක්ක ඒ කජු ගස් 3ම බද්ධ වෙලා තිබුන වගේ දැනෙන්නෙ දැන්
මාත් ඔන්න ආසම කෑමක්. ඒ නිසානෙ ඩෝනාගෙ මුළුතැන්ගේ කජු මාළුවට වෙන් වුනේ මේ පාර. අප්පේ අපිත් පොඩි කාලෙ ඇති වෙන්ට කජු කෑව. ඒ වගේමයි පුහුලන් , කොච්චර එපා කීවත් කනවා. අදටත් පුහුලමක් දැක්කොත් අත හරින්නෙ නම් නෑ. හරිම සංවේදි විදිහට මිනිසත් කමෙන්ම සටහන නිමාකලාට තුති!
ReplyDeleteබින්දිගෙ පෝස්ට් එක කියවද්දි හිතෙන් ළමා කාලෙට යැවුනෙ නොදැනුවත්වම.මටත් කජු ගැන රසවත් අතීත මතකයන් රැසක් තියෙනවා.ඒ මතකයන් අවදිවුන ලස්සන පොස්ටුවක්.
ReplyDeleteඅද මන් හිතුවා කමෙන්ට් වලට උත්තර නොදී ඉන්න .මොකද ඒවත් බ්ලොග් පොස්ට් වගේම නිසා . ඒ වෙනුවට හැමෝගෙම කජු කතා සැහෙන්න රස වින්දා .
ReplyDeleteසමහර විට ඒ කාලයෙන් අලුත් පොස්ට් කටුවක් කොටා ගන්න පුළුවන් වෙයි. අමනාපයක් නැති වෙයි කියල හිතෙනවා .
හා දැන් එහෙනම් දාන්ටකො බලාන්ට ඒ කොටාපු පෝස්ටුව..
Deleteපුළුවන් වෙයි කියල මිසක් කොටනවා කිව්වේ කවුද ..හික්. අද මගේ රෙදි නවන දවස
Deleteකජු වල උපත - බ්‍රසීලය
ReplyDeleteකජු කියන්නේ පෘතුගීසි වචනයක් . ඒගොල්ල වෙන්න ඇති අපට ගෙනාවේ .
සමහර රටවල කජු පුහුලන් වලින් මත්පැන් සදනවා .
නයිජීරියාව කජු අපනයනයෙන් එක . ඉන්දියාව දෙක . වියට්නාමය හතර . මෙව්වා ගැන වැඩිය ආස නම් http://en.wikipedia.org/wiki/Cashew කියවන්න .
කජු උයන හැටි චාන්දී අක්කාගෙන් ඉගෙන ගන්න .http://donaskitchen-chandi.blogspot.com/2012/11/cashew-curry.html
මන් මේ ටික ලිව්වේ කජු දමා මවිසින් සාදන ලද කිරි ටොපි කෑල්ලක් කන ගමන් . උයන මුඩ් එකක් ආවනේ ඉරිදා .
මෙන්න රෙසිපිය . විනාඩි 30 යි හැඳි ගාන්න ඕනේ . වතුර දාන්නේ ටික නිසා
.http://www.infolanka.com/recipes/mess4/258.html
අපේ ආච්චිලාගෙ ගෙදරත් කජු තිබුනා. අම්මෝ ඉස්කෝලෙ නිවාඩුවට අපි එහේ ගියාම බලන්න ඕන වැඩේ...
ReplyDeleteරජරට නම් ගෙදර වත්තේ කජුගස් කිපයක්සම තිබුනා. සිංහල අවුරුදු කාලෙට නිවාඩුව ඉවරවෙලා ආයෙ ඉස්කොලෙ යන්නෙ අතපය වන කරගෙන. ඒ කාලෙට සුදු ඇදුම් ටික කම්මුතුයි.
ReplyDeleteමේ මෑතකදී විදේශගතව සිටි ඥාතියෙක් ගෙනාවා හරි අපූරු කජු මැලියම් වලින් හැදූ පිලිමයක්. හැබෑම නිර්මාණයක් කියල දැක්කගමන් හිතුනා.
කජු පුහුලං විලින් ගහගෙන නෑ වගේ!
ReplyDelete//එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ...//
ReplyDeleteඅක්කා මේ පොස්ට් එක ලියන්න බලපාපු කරුණ මම හිතන්නේ මට ඔය වාක්‍යය කියෙව්වාම ආපු හැඟීමම වෙන්නැති...!
කජු ගැන නම් අපිටත් හොඳ මතක තියෙනවා... වවුල් හප ඇහිඳලා, කජු ගෙඩිය කඩාගෙන ගිණි ගොඩක් ගහලා පුච්චනවා... ලෙල්ල හොඳට කළු වෙලා කිරි ඔක්කොම පිච්චුනාම උණුවෙන්ම ගලකින් ගහලා මදේ කඩාගෙන කනවා... දවසට ගෙඩි 30 ක් විතර කාපු දවසුත් ඇති... ඒකට දැන්...!!!
ඒ දවස් වල අපි කජු කෑව හැටි මතක් කරලා දැන් කජු කිලෝවක මිල අමතක කලෑකි... හැබැයි ‘කජු කනවා වගේ...‘ කියන පිරුළ නම් අපේ ළමයිට ගැලපෙන එකක් නෙවේ...!
ජය !!!
කතාව අවසානේ ටිකක් දුකයි. අපේ ගෙදර කජු ගහක් තිබුනා ඉස්සර එත් මං තවම කජු පුහුලම් කාල නැහැ.ඒ කාලේ අම්ම අපිව බහ කරලා තිබුනා පුහුලම ඇතුලේ පනුවෝ ඉන්නවා කන්න එපා කියල. බිමට වැටුණු පුහුලම් විසිකරලා ඇටේ විතරක් කන්න පුරුදු උනා එකත් අම්මා නැති වෙලාවට. කිරි ගෑවුනොත් වන වෙන නිසා.
ReplyDeleteමාර මතකයක් ඇවිස්සුනා මේ පොස්ට් එකෙන්.
This comment has been removed by a blog administrator.
ReplyDelete