Friday, 26 August 2011

ප්‍රන්ශුවා ට ඉන්දු -චීනය අහිමි වුන . Dien Bien Phu සටන


 
 
 
ප්‍රංශ චාරිකාව ගැන තව ලියන්න දේවල් තිබ්බත් කලෙක සිට ලියන්න හිතන් හිටි දෙයක් මතක අලුත් වුනා . ප්‍රන්ශයත් වියට්නාමයත්  ඉතින් අපියි එංගලන්තෙයි වගේම තමයි. ඒ හින්ද මෙතනට මේ කතාව අමුත්තකුත් නැහැ .
මොකක්ද මේ Dien Bien Phu ටිකක් අමුතුයි නේද . ඒ උත්තර වියට්නාමයේ ලාඕස් මායිමට කිට්ටුව ඇති ප්‍රදේශයක් .කැමති විදියට උච්චාරණය කලාට වරදක් නැහැ . ''ඩින් බින් ෆු ''වගේ තමයි මෙයාලගේ උච්චාරණය . මම මෙහෙ සමහර වචන කියන විදියට වියට්නාම ටැක්සි රියදුරන් හෙම හොල්මන් . මහම දිව උලුක් වෙන භාෂාවක් මේක .
ඇයි ඉතින් මේ ඈත මායිමක ඇති ගමක් මෙච්චර වැදගත් වුනේ . ඔය නමින් සයිගොන් වලත් හැනොයි වලත් ප්‍රධාන පාරවල් දෙකක් නම් කරලාත්  තියෙනවා .
හේතුව තමයි 1954 දී මාර්තු මාසේ ඉඳන් මැයි මාසේ දක්වා ඇතිවුන මාරාන්තික සටන එහෙම නැත්නම් ප්‍රංශයේ ''ඉන්දු චීනය '' නමැති සිහින අධිරාජ්‍යය බිඳ වැටිලා පල්ලම් බැස්ස සටන . ඔය ගැන නම් සංඛ්‍යාලේඛන ඇතුවම දෙන්නම්කො .
 
සොල්දාදුවන් ගණන ...ප්‍රංශ =15,000
                    වියෙට් මින්   =  40 ,000
ප්‍රංශ සොල්දාදුවෝ 1600 ක් මිය ගියා ..4800 ක් තුවාල වුනා . 1600 ක් අතුරුදන් ..8,100 ක් සිරගත කරන්න ගෙනියද්දි භාගයක්ම මග මිය ගියා . අද කාලේ වෙන දේ වලට අනුව මේවා පොඩි ගණන් වගේ පෙනෙයි . ඒත් මේ 1954 ගැන අපි කතා කරන්නේ .
 
හෝ චි මින් අරඹපු වියට් මින් පෙරමුණේ සොල්දාදුවනුත් සෑහෙන්න බැට කෑවා මේ ජයග්‍රහණය ලබාගන්න . 7900 ක් පමණ මිය ගියා . 15,000 ක් පමණ තුවාල ලැබුවා . මේ විස්තර ගත්තේ http://en.wikipedia.org/wiki/Battle_of_Dien_Bien_Phu සහ http://www.history.com/this-day-in-history/french-fall-to-viet-minh-at-dien-bien-පහුවලින් .
 
 
මේ ඉතිහාසගත සටනේ ප්‍රතිපලය ලෙස එතෙක් ප්‍රංශ ආධිපත්‍යට යත් ව සිටි වියට්නාමයට එම වසරේ ජිනීවා සමුළුවේදී නිදහසත් ලැබුන . වියට්නාමය මුලික කරගෙන ගොඩ නගන්න හීන මැව්ව ''ඉන්දු චීනය''ත් ප්‍රංශයට සිහිනයක්ම  වුනා .
 
ඇමරිකන් වියට්නාම යුද්ධය ගැන අපි අහල තිබුනට ප්‍රන්ශයත් එක්ක ඇති වෙච්ච තත්වය මම එතරම් අහල තිබුනෙත් නැහැ . ආවට පස්සේ නේ දැක්කේ ප්‍රංශ ආභාෂය ලැබූ ගොඩනැගිලි ...භාෂාවට එකතු වුන වචන ..ඒ විතරක් නෙමේ කන්නෙත් ප්‍රංශ පාන් . මොකක්ද මේ ඉන්දු චීනය ? ඇයි ප්‍රංශ කාරය මෙහෙට ගොඩ බහින්න හේතුව ? ඔන්න ඔය පසුබිම පොඩ්ඩක් විස්තර නොකලොත් මේ සටහන් සම්පුර්ණ වෙන්නේ නැහැ. මේ ගැන බොහොම දේවල් දන්නා අය නෙලුම් විල දිහා එන බව දන්නවා . ඒ වගේම නිදන මිනිසෙකි මෙහි පොස්ට් එක ලිව්ව වෙලාවේ දැන ගත්තේ හෝ චි මින් ගැන අහල වත් නැති යාළුවො ගැන . එහෙම අයට මේ දේවල් පොඩ්ඩක් හඳුන්වා දිය යුතු නිසා පසුබිම ටිකක් කියන්න ඕන .
 
ඔන්න ඉතින් මෙව්වා ආවට ගියාට ලියන්න බැරි නිසා මම අන්තර්ජාලයේ සැරිසැරුවා . අපොයි මේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන සහ එහෙන් මෙහෙන් ලින්ක් යාවුන දැලක් වගේ මහා විස්තර ගොඩක් . සේරම කියවන්න වත් ලියන්නවත් මට හිතන්නවත් බැහැ. රසවත්ම ටික සාරාංශ ගත කරන්නයි බලාපොරොත්තුව .
මෙගා එකක් ලියන්න වටිනවා . ඒත් මන් කම්මැලියිනෙ . ටිකක් ලියමු ඉතුරු ටික කමෙන්ට් වැටෙන විදිහට ඇදගෙන යමු.
 
 
මේ රටත් ඈත අතීතයේදී  ඉඳන්ම විදෙස් ආක්‍රමණ අභ්‍යන්තර කැරලි කෝලාහල වලින් බොහොම සංකීර්ණ ඉතිහාසයක් ඇති තැනක් .මේ ඉතිහාසයට ප්‍රංශය සම්බන්ධ වුන තැන සොයාගෙන යද්දී තමයි අපට Gia Long  අධිරාජයා [Nguyễn Phúc Ánh තමයි මුල් නම ]    එහෙම නැත්නම් නුතන සිතියමේ විදියටම වියට්නාමය එක්සේසත් කරලා Nguyen යුගය ඇරඹු පුද්ගලයා හමු වෙන්නේ . එවකට දකුණු වියට්නාමය වෙනම පාලනය වුනේ . මේ කාලේදී ඇතිවුන කැරැල්ලකින් පාලක පෙළපතේ බොහෝ දෙනෙක් මිය ගියා . අවුරුදු 15 දී පලා ගොහින් ඉඳිද්දී මොහුට හමු වෙනවා මිෂනාරි වැඩේට ආපු ප්‍රංශ පුජකයෙක්. නම Pigneau de Behaine .ඔහු පොරොන්දු වුනා ආපහු බලය ගන්න උදව් වෙන්න . මෙයාලත් අර පයිරේට් ගනයේම තමයි. මිෂනාරි වැඩේට ආවට ඉන්දු චීන ප්‍රදේශයේ වෙළඳ කටයුතු වලට හොට දාන්න පොටක් පාදගන්න ප්‍රංශයට ඕනෑකම තිබ්බ . ඔන්න බලන්න ඇතුලේ ගිනි ගන්න කොට එළියෙන් වතුර කියල භූමිතෙල් ගහන අය එදත් හිටිය . ඉතින් මේ සත් ගුණවත් මිෂනාරි තුමා ප්‍රංශ රජයේ සහය අරගෙන Nguyễn කුමාරයට බලයට එන්න උදව් කරනවා .Gia Long   ලෙස අභිෂේක ලබන කුමරා ඉතා සංකීර්ණ සටන් පෙළකට පස්සේ මුළු වියට්නාමයම එක්සේසත් කළා .
 
Pigneau  de bahaine




Emperor Gia Long
 
 
1802 දී ඔහුගෙන් ඇරඹුන Nguyen යුගය ඔහුගෙන් පුතාට[ Minh Mang ] හිමි වෙලා තවත් අධිරාජයන් දෙන්නෙක්ගෙන් පස්සේ 1945 දී නැත්තටම නැති වෙනවා . උදව්වට ආපු මිෂනාරීන්ගේ යටි අරමුණු Gia Long   ට අවබෝද වුණා. ඒ වගේම ඔහුත් ඊට පස්සේ පුතත් සෑහෙන ප්‍රතිරෝධයක් දක්වලත් තියෙනවා රට ඒ බලපෑම් වලින් නිදහස් කරගන්න . ඒත් අවසාන රජු වුණා Tu Duc ගේ කාලේ වෙද්දී දකුණ විතරයි ඔහුට හිමි වුනේ . රට ප්‍රායෝගිකව කොටස් 3 කට කැඩිලා  සහ මධ්‍යම වියට්නාමය ප්‍රංශ ආධිපත්‍ය ටත් නතුවෙලා ඉවරයි ඒ වෙද්දී.
 
ඉන්දු චීනයක් දිනා ගන්න ප්‍රංශය ගෙන ගිය සටන උච්ච වෙලාතිබුනේ . ඔය අස්සේ කම්බෝදියාවේ නොරදොක් රජතුමා කැමැත්තෙන්ම ප්‍රංශය යටතේ නාමික රජෙක් වුනා තායිලන්ත [ සියම ] යේ කරදර වලින් ආරක්ෂාවෙන්න. මේ ගැන කියවද්දී නිකන් කැඳ හැලියක් වගේ . ඔය කාලෙනේ දෙවන ලෝක යුද්ධය ත් තිබුනේ . යුරෝපේදී ලෝක යුද්ධය හරහා අපේ වීරයෝ ගොඩට වැටෙන ප්‍රංශය මෙහෙදී වෙනත් මුහුණක් . අනේ ඇත්තට මෙව්වා කියවද්දී ඉතිහාසයේ මොනතරම් පරස්පර විරෝදී කම් පාවා දීම ..සිද්ධ වෙලා තියෙනවද කියල අපි වගේ සාමාන්‍ය මනුස්සයන්ට නම් හිතා ගන්න වත් බැහැ .
 
Nguyen යුගය අන්තිම කාලයේ බලය අරගල ඇති වුනා . ඔය අස්සේ ප්‍රංශ මිෂනාරි වරු හැදුවා කතෝලික උරුමක්කාරයෙක් ට කිරුල හිමිකර දෙන්න . මට නිකන් අපේ කෝට්ටේ යුගය හෙම හීනෙන් පෙනී නොපෙනී යනවා මේවා කියවන කොට .
 
ඔය අස්සේ ජපනත් මේ පැත්තේ ලොක්ක වුනානේ . තායිලන්තේ එක්කත් ප්‍රන්ශේ සටනක් ඇති වුනා ඒ කම්බෝජියාවේ මායිම් ගැන . ලාඕසය නම් පුංචි අසරණයෙක් නේ. නිකන්ම ඉන්දු චයිනා සිතියමට ඇතුළු වෙලා ඉවරයි .
 
ඔය කාලයේ තමයි අපේ හෝ චි මින් හෙවත්'' හෝ මාමා ''කරලියට එන්නේ . ඔහුගේ මුලිකත්වයෙන්  උතුරු වියට්නාමයේ වියට් මින් සංවිධානය බිහිවෙනවා . කලිනුත් පොස්ට් එකක් දමපු නිසා මේ නිදන මිනිසා ගැන ආයේ ලියන්නේ නැහැ .විවිධාකාර සටන් වලින් පස්සේ ජනරාල් Vo Nguyen Giap ගේ නායකත්වයෙන් අපේ ප්‍රධාන මාතෘකාව වෙච්ච Dien Bien Phu සටන
ඇති වුණා . එයින් පැරදුනාට පස්සේ ප්‍රංශ ය ඉන්දු චයිනා සැලසුම අකුලගත්ත . තව දෙයක් යටින් මේකට උඩ ගෙඩි දෙමින් හිටි  ඇමරිකාව දැනගත්ත මේ වැඩේ ප්‍රන්ශුවාට කරන්න බැරි බව . ඔන්න බලන්න මිතුරන්ගේ හැටි .ජනාධිපති අයිසන්හවර් තීරණය කළා ප්‍රන්ශේ ට උදව් නොකර ඉන්න . පෙනේද මේකා.
ඔය වෙනකොට ලෝකයේ හිස ඔසවමින් හිටි කොමියුනිස්ට් වාදය පැසිෆික් කලාපයේ ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාවත් යුරෝපිය බලවතුනුත් හැඟී හොරා ඉන්දු චීන වැඩ පිළිවෙලට ප්‍රන්ශේ ට ආශිර්වාද කරමින් හිටියේ . හැබැයි මෙයාට මේකා කරන්න බැරි බව දැනගෙන ඇමරිකන් කාරය හිමින් මෙහෙ වැඩ අරඹල තිබ්බේ . The Quiet American (1958 film) [ ග්‍රැහැම් ග්‍රීන් ගේ පොතක් ඇසුරුකොට ගත්] වල ඕක අපුරුවට පෙන්වනවා . ඇමරිකාවට වෙච්ච අලකලංචිය ඉතින් ආයි ලියන්න ඕන නැහැනේ . Cu Chi Tunnels ගැන කියවන්නකෝ අතපසු වුනා නම් . ඒකෙ තියෙනව ඒ ගැන විස්තර .
 
 
 
 

ඉතින් ඔහොම  Dien Bien Phu සටනින් දිනලා නිදහසත් ලබාගෙන ..ආයේ ඇමරිකන් යුද්ධෙටත් මුහුණ  දීලා වියට්නාමය අද යන්තම් ඉහ ගහල ඉන්නවා. මට මෙහෙම වියට්නාමයේ සිටම මේ ගැන ලියන්න ඉඩ ලැබුනේ ත් එදා දිවිපිදු නිර්භීත කුඩා මිනිසුන් නිසයි. ඔවුන්ට මගෙත් අසීමිත ස්තුතිය මෙයින් පිරිනැමෙනවා .
ප.ලි.
ගොඩක් කියවා බොහොම පරිස්සමින් සාරාංශ ගත කලත් වැරද්දක් දැක්කොත් පෙන්වන්න . ඉතිහාසය වෙනස් කරනවට මමත් බොහොම අකමැතියි.
 
විශේෂ ස්තුතිය ...බෑන් කී මුන් මහතාට ඉස්කෝලේ පටන් ගන්න තීරණය කලාට .
[බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් . ඒ ඒ ස්ථාන වලම ලින්ක් දමා ඇත ]
[පින්තුරත් Google Images තමයි . තවම යන්න බැරි වුනා . ලඟදි ගුවන් ගමනක් අරඹා ඇති නිසා එක්කගෙන යාමට පොරොන්දු වී ඇත .]
අමතර පින්තුර මෙයින් බලා ගත හැක

Wednesday, 3 August 2011

''මයිකල් ජැක්සන්ව'' බොන මැලේසියානුවෝ

පසෙකින් රෙදි ගොඩකි - පොත් පත් හැම තැනය
ඔක්කොම දමා ''බින්දී'' මම විල                 ළඟය
වැඩ ගොඩ වෙලා අය්යෝ මන්          අසරණය
එහෙමයි කියා නොලියා ඉන්නත්            බැරිය

නෑවිත් මේ පළාතේ මන් හිටි              ටිකට
ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට
නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට
ඒකයි පමාවී බැස්සේ මගෙ                  විලට

අතහැර දමා ගිය බව මන් නෙලුම් විල
තැන තැන දුටිමි ලියවී කට කතාවල
පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල
කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල

රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද
දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ
එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද
විසිකළ යුතු යි සැල්වීනිය හා   මඩද

සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා.

වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් .  ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න .

ඒ ලොකු කෙල්ල තමයි  කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න   කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය .
 
තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල .

දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන .
රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala  Lampur නගරය නම් සෑහෙන දුරට  සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ .
පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින්  ඉතා සැලසුම් කොට  නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා''  . පුත්‍ර = කුමරා ..ජයා = ජය .
මට යන්න නම් බැරි වුනා ඒ පලාතට .
නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්.


''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි .
At Petrosains Science centre

නගරයේ නම් ප්‍රධාන ආකර්ෂණය ''Petronas twin Towers '' තමයි . උදේ පාන්දර ගිහින් ටිකට් අරගන්න ඕනේ උඩට නගින්න . අපි වගේ කම්මැලියන්ට ඔය වැඩ බැහැනේ .

එයට යාබද ''Petrosains  Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා .

කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි  මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත .
. දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි.

මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න .
මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා .
මේ බීම එකේ නම ''මයිකල් ජැක්සන්''  හිතන්නකෝ ඇයි කියල

අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ .
බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ .

මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි.
 අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ  නැහැනේ . ඊ ළඟ පාර බලමු.

ස්තුතිය ...මම රස  ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට

Wednesday, 13 July 2011

Pierre Auguste Renoir -''චිත්‍රා '' ට ඉර ඇබින්දක්





කව්ද මේ පියරේ ..සහ චිත්‍රා . ඔන්න ආදර කතාවක් හෙම නෙමේ . මේ පියරේ කියන්නේ අඳුරු කාමර වල හිරවී සිටි චිත්‍ර කලාව එළිමහනට ගෙනියන්න පුරෝගාමී වෙච්ච ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් .

   
ඔන්න මට බනියිද කට්ටිය කවි අතහැර චිත්‍ර ගැන කතා කරනව කියල .
ඒත් මන් ආස කර්මාන්ත ගැන ලියන්න කැමතියි නොදන්නා දේවලට අත දාල සවුත්තු වෙනවට වඩා . මේක හදිසියේ ගත්තු තීරණයක් . මුණු පොතේ ''ඇඳපු චිත්‍ර පිටුවට ලියන්න හිටපු එකක් . ඒත් මගේ ටිකිරි මොලය කිව්වා ''දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගන්න'' විදිහ .

මන් දන්නවා හොඳ චිත්‍ර ශිල්පියෝ මේ පැත්තේ එනවා . අනික ''ඇවිදින පුස්තකාල'' වලත් මේ ගැන පොත් හෙම නැතැයි. ඒ දෙකම නැතත් පියරේගේ කතාව රසවත් .

විහාර මහා දේවී එක ළඟ චිත්‍ර අඳින තරුණයෙක් දැක්කම මොකද හිතෙන්නේ . ඇත්ත සමහරුන්ට නම් ඔහු පිස්සෙක් වගේ පේනවත් ඇති . මොකද අපේ සමහර ය තවම 19 වන සියවසටත් ඈතින් ජිවත් වෙන නිසා . ඒත් සාමානය ලෙස පරිනාමය වුන ඕනෑම කෙනෙක්ට අර තරුණයාව අගය කරයි . එක්කෝ දැක්කේ නැහැ වගේ ඉඳියි .

දන්නවද මේ පියරේ උපන් 1841 කාලේදී යුරෝපේ තත්වය . ''පිස්සු යකෙක් '' ''ඔල්මාදකාරයෙක් '' කියල මුනටම කියන සමාජයක් . මොකද චිත්‍ර කියන්නේ කලාගාර වල් ඇතුලේ කරන කලාවක් කියල සම්මත වෙලා තිබුන නිසා .

මේ පොඩ්ඩට අවුරුදු හතරේදී තමයි පවුල පැරිසියේ රජ මාලිගය ළඟ ගෙයක පදිංචියට ආවේ . ඒ කාලේ රැජින රජ ගෙදර මිදුලේ සෙල්ලම් කරන ළමුන්ගේ කරච්චලෙන් බේරුනේ රසකැවිලි විසි කරලලු .[ අදත් ඕක වෙනවනේ නැද්ද ]

ටේලර් කෙනෙක් වෙච්ච තාත්තගේ මැහුම් කඩේ බිත්ති ..පොලව හෙම පුංචි පියරේගේ රටහුණු චිත්‍ර වලින් අලංකාර වෙද්දී තාත්ත පියරේට සත්තමක් දැම්ම නම් අද මට මේ ලිපිය ලියන්න වෙන්නේ නැහැ.
අවුරුදු 15 ක්වෙන්නත් කලින් පිඟන් වල රටා අඳින රස්සාවක් ඔහුට ලැබුන . කවුද මැසිමක් හොයා ගත්ත ඒ රුප මුද්‍රණයට . පියරේ රැකියා විරහිත වුනා . ඒත් මගේ හොඳ  වෙලාවට . ඊට පස්සේ යොවුන් පියරේ චිත්‍ර පාසලක ට ඇතුළු වුනා .


පියරේ සහ මිත්‍රයන් කතා වුනා ඇයි හැමදාම කාමර ඇතුලේ අඳින්නේ ...එලියට ගිහින් ඇන්දොත් මොකද වෙන්නේ කියල . කතාවෙන් නතර නොවී එලියට ගියා මේ පිරිස .
අද අපිට ඒ අදහස පරණ වුනාට එදා එය විප්ලවයක් . ''පිස්සෝ '' මිනිස්සු හිනාවුනා . වරක් සෙන් ගඟ ලඟදි පියරේ ඔත්තු කාරයෙක් කියල ගඟට විසි කරන්න හදද්දී  දන්නා කියන කෙනෙක් ඇවිත් බේරා ගත්තලු .


ඔන්න ඔහොමයි චිත්‍රා පියරේ එක්ක ලඳු කැලෑවල...ගං ඉවුරුවල විතරක් නෙමේ මගතොට මිනිස්සු එක්ක ඇවිදින්නත් පුරුදු වුනේ .  ඒ කාලේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෝ චිත්‍රාගේ මේ රස්තියාදු ගැහිල්ලට කැමති වුනේ නැහැ . මිනිස්සුත් එයාට හිනාවෙන්න ගත්ත .



ඒත් පියරේ චිත්‍රට ආදරේ කලේ මුළු හදින්ම .චිත්‍රත් එහෙමයි . කලාගාර වලට මේ දෙන්නව වැද්ද ගත්තේ නැහැ . ගත්තත් හිමි වුනේ අඳුරු අහු මුළු.  ඒත් මේ යුවල අවංකව ආදරේ කළා . අන්තෙටම දුප්පත් වුනත් චිත්‍රා පියරේගේ ලඟින්ම හිටියා .





පියරේගේ එක ලක්ෂණයක් තමයි එළිමහනේ ඇන්දත් වැඩිපුර ඇන්දේ මිනිස්සුන්ව . භුමි දර්ශන ඇන්දේ ටිකයි . මිනිස්සු ඔහුගේ පින්සලත් එක්ක කැන්වස් මත රඟන්න වුනා . හරිම ජීවමය බවක් තියෙනවා ඒ මුහුණු වල . මෙන්න මේ ගතියට හිත ගිහින් ධනවතුන් තමන්ගේ රුප අඳින්න මොහුට බාර  දුන්න . දැන් නම් ඔහුගේ කල හොඳයි . චිත්‍රගෙයි එයාගෙයි ජිවිත වලට හොඳ කලක් ලැබුවා . මිනිස්සු මේ දෙන්නට ටික ටික ලං වුනා . ඔහොම ඉදිද්දී ''ඇලින් ''ඔහුට ලං වුනා . චිත්‍රට තිබ්බේ උතුම් හදවතක් . එයා පියරේගේ මේ ආදරේට උදව් කළා.

පියරේ ඇලින්ව විවාහ කර ගත්ත . චිත්‍රත් සතුටෙන් ඔහු ළඟ හිටියා . විවාහෙට කලින් වගේම පසුවත් ඇලින් ඔහුගේ සිතුවම් වලට ඇතුල් වුනා . ''ජිවන කැන්වසය මත ..... ඔබයි  සදා ඇඳි රුව '' පියරේ එහෙම කියන්න ඇති .

පලවෙනි පුතා පියරේ ..දෙවෙනියා ජින් ...තුන් වැනිය දුව ක්ලොඩි..ලස්සන පවුල .
තව දෙයක් මේ පියරේ ට අර ලේඛකයින්ට හැදෙන ''රයිටර්ස් බ්ලොක් '' වගේ හැදිලා [ ආටිස්ට් බ්ලොක් වෙන්න ඇති] ඉබාගාතේ ගිහිනුත් තියෙනවා සමහර වෙලාවට .





ඔහුගේ චිත්‍ර වගේම ජීවිතයත් මට නම් රසවත් . කොහොම වුනත් පුත්තු දෙන්නත් යුද්ධෙන් තුවාල වෙලා බිරිඳත් මිය ගිහින් කණගාටුවෙන්    හිටි මේ අසහාය ශිල්පියා අවුරුදු 78 දී මිය යද්දිත් චිත්‍රට බැඳී පෙම එහෙමම තිබුන . මිය යන දවසෙත් මලක සිතුවමක් ඇඳලා චිත්‍රට දීල ගියා ..

  සියල්ල අහිමි වද්දීත්
පුංචිම හරි සතුටක්
ඉතිරි වෙයි ...අරන් යන්නට
නික්ම යනදා ..
ලෝකය පුරා කලාගාර වල ඔහුගේ සිතුවම් මෙතනින් බලාගන්න . විස්තර ගත්තේ විකිගෙන් .
සහ මෙතනින්

කියවන්න වෙලාවක් නැතත් තව ගොඩක් සයිට් තිබුන


සෙනසුරාදා දිහාට සති දෙක ක් පමණ අනාගත ඇමරිකන් ජනාධිපති කෙනෙක් බැහැ දකින්න ආරාධනාවක් තියෙනවා .එහෙ ගිහින් නෙලුම් විලේ පීනන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා . බැරි වුනොත් අමනාප වෙන්න එපා

Friday, 8 July 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද


ගොඩ මඩ දෙකම එකවාගේ පලබරද
ගම මැද ගැලුව ගඟ තාමත් ගලනවද
කඩමණ්ඩිය වසා ලොකු කඩ හැදෙනවද
කටුරොද ගැන කවුරු අද කවි ලියනවද

මල් පෙති පාට තව හඳුනා නැද්ද
කොල්ලන් තාම අඳ ළමයා මඩිනවද
අම්මා අඬන බව තාමත් දැනෙනවද
මැණිකෙගේ නෙතින් තව කඳුලැලි වැටෙනවද

තම සැප නොවේ මැණිකෙගේ සැපතම පතන
අදිරිගේ පෙමට උපමාවක් දෙනු නොහෙන
ඔහු නින්දට ගියා පස් යට සුව යහන
මැණිකේ ,ටිකිරි,සහ පුතු දල්වයි පහන

දැනුමෙන් වැඩියි දියුණුව ඇත හිනිපෙත්තේ
එනමුදු ගමේ ලස්සන එය ගිලගත්තේ
ටිකිරි,මැණිකේ හා අදිරිගේ තිබු චිත්තේ
පිරිසිදු ආදරේ අද කොහිදෝ ඇත්තේ

පොඩි අමනාපෙටත් වස ටික එයි ලඟට
නැත්නම් පනී මුහුදට වැවකට ගඟට
ජිවිතයේ සැබෑ තතු කියවෙන යසට
''සුදෝ සුදු'' කියා ඇත පාඩම් අපට


ඊයේ පෙරේදා මැකී ගිහින් තිබ්බ ''සුදෝ සුදු '' මතකයන් අලුත් වූ නිසා මට මේ අදහස පහල වුනා . කොළ කෑල්ලක මහා රෑක කුරුටු ගෑවුන කවිටික මුණු පොතට දැම්මත් මෙතන ලියා තියන එක හොඳයි කියල හිතුන. පොඩි කාලේ ලිව්ව දේවලුත්  එකතැනක එකතු කළා නම් අද කොච්චර හොඳද .  කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ ''කේයස් '' හෙවත් සාගර පලන්සුරිය ලියු කවි අතර අපට විශේෂයෙන් මතක ඇත්තේ ''සුදෝ සුදු '' කාව්‍ය සංග්‍රහයයි. ''සුදෝ සුදු රස විඳිමු '' කියා මුණු පොතේ ඇති බව දැක මා තරමක් පුදුම වුනා ...එවැනි දේ තවමත් රස විඳිය හැකි පරපුරක් ඉන්න බව දැකීමත් සතුටට කාරණයක් . '' සුදෝ සුදු රස විඳිමු ''ට ගොහින් එම පිටුව බලාගන්න හැකියි.
යන්තම් අකුරු කියවපු කාලෙම කියෙව්ව පොතක් මේක . අද අපි නිදහසේ නිසදැස් තමා වැඩිපුර ලියන්නේ . එළිසමය එතරම් සලකන්නත් අවශ්‍ය නැති නිසා මමත් වැඩිය ඇදී ගියේ ඒ පැත්තට .  මන් අහල තියෙනවා නිසදැස් සහ සඳැස් අතර බේදයක් ඇතිවුනා කියල මුල් කාලේ . අපේ විද්වත් මණ්ඩලය මේ අවස්ථාවේ මේ ගැන අදහස් දක්වයි මතක පෙට්ටගම් පෙරලලා . මට තියෙන්නේ පොඩි ආරම්භයක් දෙන්න විතරයි . මන් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි . මමත් කෑදර කමේ ඉන්නේ කමෙන්ට් ටික වැටෙනකම් .
 ඉතින් සඳැස් අය්ය නිසදැස් නංගිට අරියාදු කලත් අපි දැන් එයාල සමගි කරලා තියෙන්නේ . දෙන්න දෙමාල්ලෝ සතුටින් පවුල් කන බවයි මට පෙන්නේ. ඕනෑම නම් ගින්නක් අවුලමු ..''.සඳැස් ද නිසදැස්ද වඩා හොඳ ''කියල . විහිළුවට කිව්වේ. ඔය යන විදිහ හොඳයි .
..කොළඹ යුගයේ කවීන් ඒ කිව්වේ විමලරත්න කුමාරගම ...කේයස් ..පි.බි අල්විස් පෙරේරා . වගේ කවීන්ගේ කවි වල සරල සුගම බවට මන් ආසයි . ලාංකීය සිනමාව සහ ගීතය පිටුවෙන්  ගොඩක් දෙනෙක් මේ ගැනත් කතා කරනවා. විශේෂයෙන් දීපාල් ජයමාන්න සොයුරා විමලරත්න කුමාරගමගේ කවි පන්ති කීපයක්ම යොමු කරලා තිබුන
. පි. බි මැතිදුන්ගේ ''මගේ රට '' කාටත් මතක ඇති . ඇත්තටම මේ අය ගැන වෙන වෙනම පෝස්ට් වලින් කතාකලත් පාඩු නැහැ . ඒත් මන් ඉතින් කම්මැලියනේ මෙගා ලියන්න  ඔන්න ඔහේ මේකටම ලියල දානවා... මට වඩා ඉවසීමක් ඇති කෙනෙක් ඒ වැඩය කරනු ඇති විශ්වාසෙන් .
 අපි කොළඹ යුගයේ කවිය ගොඩක් අඳුර ගත්තේ සිංහල පෙළ පොත් වලින්. ඇත්තටම ඒවා බොහොමයක් අපේ පරම්පරාවට කට පාඩම් . අඩු ගානේ කවි වල කෑලි හරි . සමහරු හිතන විදියට අවාසනාවට මගේ පුද්ගලික අත්දැකීම අනුව මට නම් වාසනාවට මන් අර ''වැඩ හයේ '' සාමාන්‍ය පෙළ කට්ටියේ කෙනෙක් . මන් වාසනාවට  කිව්වේ වැඩ අටක් වෙනුවට හයට අඩු වෙච්ච එකටයි පැවරුම් වලට කරුණු හොයන්න රට වටේ රස්තියාදු වෙන්න ලැබිච්ච එකටයි . ඒවායින් පුදුම අත්දැකීම් ගොඩක් ලැබුන . ඒ ගැන වෙනම ලියන්න ඕන . ඒ ක්‍රමය හොඳයි කියන්න කවුරුත් කට ඇරියේවත් නැහැ ඒ කාලේ . කොළඹට කිරි ගමට කැකිරි කියල විශාල ආන්දෝලනයකට ලක් වෙලා පටන් ගත් තැනම ලොප් වුනා මිස. කොටින්ම අපේ පන්තිවල කෙල්ලොත් ඕකට කැමති නැහැ . මොන එහෙකටද මන්දා මට නම් අදත් දොසක් පෙන්නේ නැහැ . ගමේ ළමුන්ට ත් ඒකට බද්ධ වෙන්න හැකි ලෙස දියුණු කරලා ගත්ත නම් ඒ ක්‍රමය අද මගේ පොඩ්ඩෝ ඉගෙන ගන්න ක්‍රමයට ටිකක් ගෑවිලා යන බවයි මගේ අදහස. 9/9 ම මට හැම පැවැරුමටම ලැබුනා .
 ඒ කාලේ හැමදේම ටික ටික හරි කරන්න ඕන . ලියන්න අඳින්න හැකිකම නිසා සේරමටම ලකුණු ගත්තත් එක දේකට නම් 8/9 වුනා . ඒ තමයි කවි ගායනය . දෙය්යන්ගේ පිහිටයි .මට නැතිම හැකියාවක්නෙ ඕක. සැහෙන්න දුකයි ඉතින්. මක් කරන්නද . ගයන්න බැරි නිසාම කවි ලියන්නයි රස විඳින්නයි වැඩිපුරම පෙළඹුනා . අපේ පන්තියේ සිටි ගීත කෝකිලාවන් එක්ක මට ඉතින් හැරෙන්නත් බැහැ. අනේ මන්දා ඒත් එක ගායිකාවක් වත් දැන් සින්දු කියන පාටක් නැහැ. අපරාදේ ඒ හැකියාවන් වලට යටවෙලා යන්න දුන්නේ.
 සාමාන්‍යයෙන් අපි ඉඳහිට කවියක් ලිව්වත් කවි පොත් සල්ලි දීල ගන්නවා අඩුයි . ඒ නිසා කවි පොත් ලියවෙනවත් අඩුයි . ඒත් කොළඹ යුගයේ කවියන්ගේ කවි ඇති පොතක් නම් මන් ගන්න පසුබට වෙන්නේ නැහැ . සුදෝසුදු ත් පරණ පොත අපේ ගෙදරින් අතුරුදන් වුනත් අලුත් මුද්‍රණයේ පොතක් මන් ලඟදි ගත්ත . නිසදැස කොච්චර ජනප්‍රිය වුනත් ඇයි මිනිස්සු නොගන්නේ . ඒක ප්‍රශ්නයක් නේද . අපි ලියනවා . කොහේ හරි දැක්කොත් කියවනවත්  එක්ක . ඒත් වැඩි දෙනෙක් නොගන්න හේතුව මොකක්ද . ''පොත් කියවන අය ''කණ්ඩායමේ වත් කවි පොත් ගැන කියවෙන්නේ නැති  තරම් . මට හිතෙන්නේ කවියේ සරල සුගම බව නැතිකම . සංදේශ කවි වල ...ජනකවි වල ...කොළඹ යුගයේ කවි වල තිබ්බ රිද්මය  නිසදැසින් ගිලිහී යාම වෙන්න ඇති . මේ දැන් මගේ ඔළුවට ආපු අදහසක් ඒක. මන් හරිද මන්දා . දැනට ගොඩක් අය කියවන කවි පොත් ඇත්නම් මාව දැනුවත් කරන්න . මේ පාර පරිප්පු ගෙන අදහස ඇත ඇරලා පොත් වලට එක බැග් එකක් වෙන් කරන්න හිතන් ඉන්න නිසා. කඩේක පරිප්පු තියෙනවා දැක්ක .
    මට වැඩිපුර කියන්න  ඕන වුනේ සුදෝ සුදු ගැන . ඒත් කොළඹ යුගයේ අනිත්  කවි ගැනත් කතා කරමු . ඊට පස්සේ නිසදැස් ගැනත් කතා කරමු . තවත් හිතෙනවා නම් කවි මුතු වලට ගිහින් කවිත් ලියමු .
අදට ඇතියි සිතෙනවා . මේකට ස්තුති කරන්නේ කාටද ..මුණු පොතේ දීපාල් සොයුරාට ස්තුතියි යලිත් ''සුදෝ සුදු ''මතක් කලාට . බනියි ලොක්කියි තනියම පාටියක් . බනිගේ තාත්තට වැඩ වැඩියි . ග්‍රීෂ්ම කාලෙට මිනිස්සුන්ට වැඩිපුර තිබහ වෙන නිසා. මට ඕන එකක් ලියා ගන්න දීල එයාල තමන්ගේ වැඩක් බලාගන්න එකට ස්තුති කරන්න එපාය .
ඊට පස්සේ මොන විකාරයක්ද කියල බැන බැන හරි මේක කියවපු හැමෝටමත් ස්තුතියි.
 
පින්තුරය ගුගල් පින්තුර  අඩවියෙන්
 
ප . ලි. මගේ ළමා කල යහළුවෙක් සහ යෙහෙලියක් අලුතින් බ්ලොග් ලෝකෙට ඇවිත්. මට පරණ අය අත දුන්න වගේ මගෙනුත් එයාලට උදව්වක් දෙන්න ඕන. කියෙව්වට පාඩුවකුත් නොවෙන නිසා .
පොත් ගුල්ලගේ
සහ
කවි මුතු වල ලියන චන්දී [ චන්දී ල දෙන්නයි . අපේ චන්දී අක්කයි මේ චන්දියි ]

Tuesday, 5 July 2011

ගන්ධබ්බ මවක් ..පුතුට කිව් කවක්

කාටත් කියා ගමරට ලොකු හීන     මවන්
පහුකර වලා කැටි අල්ලන තරම     දුරින්
දාහක් විල් අතැර සයිගොන් ගඟට උඩින්
ආවේ පතන් යන්නයි  රන් ඉසුරු   අරන්

සුවහසකට වඩා වැඩියෙන් පෙරත්     බවේ
සෙනෙහස උපන් දා සමුදුර වැටක් නොවේ 
තිබුනා වගේ දැනුනිද ආදරේ             සුවේ
හඳුනා කෙසේ බලමුද සිත ඇඳුන        රුවේ

 ආලය තියා උගසට ඇඳි රන්      මුද්ද
කාලය ඉගිලුනා එය දුටුවේ        නැද්ද
තාලය ලිහී ගීයේ තනු           වැරදෙද්ද
බාලය මුදුව  රන් වුව මලකඩ   කද්ද

ආ මග වැරදිලා ආලය මග        වැටුනයි
කාහට වුනත් වෙන්නට ඇති දේ උරුමයි
වීදුරු බඳුන ජිවිතයේ බිම           වැටුනයි
පිහි තුඩ රිදෙව්වේ මට නොව රන් පුතුටයි

දෙතනේ කිරි පිරුණි දෙනු බැරි විය         ඔහුට
අප්පත් අද හෙටම යයි මහ උළු             ගෙයට
දුප්පත් පුතුට  වේවිද කවුරුන්                   පිහිට
යන්නෙත් කොහොම අතහැර මන් දෙව් ලොවට  

නිමිත්ත ....
.
  වියට්නාම් මවක් සිය කොරියන් සැමියාගේ පිහි පහරින් මිය යයි.
 වැඩි ප්‍රසිද්ධියක් නැතිව පත්තරේ පුංචි කොනක තිබුණු මේ පුවත මන් දැක්කේ සති ගානකට කලින්. අමතක කරන්න බැරිව විටින් විට මේ කතාව මගේ හිත සසල කළා . අපේ රටේ නෙමේනේ කියල සැනසුම් සුසුමක් හෙලන්න  බැහැ කොහොමටවත් . කොහේ වුනත් මනුස්සයෙක් ..අසරණ වෙච්ච කිරිසප්පයෙක් . කියන සිතිවිල්ල මට වගේම ඔබටත් ඇති වෙයි කියල මන් දන්නවා . දුක හිතෙන දේවල් ලියන්න මන් ටිකක් අකමැතියි. ඒත් මෙය නොලියා ඉන්න බැහැ.
දැන් අපේ සමහර අය කරන්න වගේ ''ඔය ගෑනි ගේ වරදක් තියෙන්න ඇති ..මිනිහට හදිසි කෝපයක් එන්න ඇති '' කියල හිතමුද . මට නම් එහෙම හිතන්න බැහැ . හදිසි කෝපෙට හරි මොන එහෙකට හරි දරුවා ඉපදිලා  දවස් දහනමයක් වෙච්ච අම්ම කෙනෙක්ට පිහි පාරක් අනිනවා කියන්නේ අමනුස්ස වැඩක් . තිරිසන් කියන්න මන් අකමැතියි. මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන උදාහරණයක් සත්ව ලෝකෙන් දෙන්න මන් දන් නැති නිසා.
මිශ්‍ර විවාහ අද ලෝකයේ ඕන තරම් වෙනවා. මේ වගේ දේවලුත් මිශ්‍ර අමිශ්‍ර ඕනෑම ජන සමාජයක  වෙන්න හැකි. මේ කාරණයට අදාළ නැතත් වියට්නාමයේ ඉතා බහුල නිසා ඒ ගැන යමක් කියන්න ඕන. බොහෝ විදේශිකයින් වියට්නාම කාන්තාවන් විවාහ කර ගන්නවා . ඔවුන්ගේ හුරු බුහුටි රුපසොබාව නිසා වෙන්න ඇති. හෙට මැරෙයිද කියල හිතෙන වයසක සීයල පුංචි කෙල්ලන්ගේ අතින් අල්ලන් යනවා . ඕවට හිනා වෙන්න ද අඬන්න ද . .කොතැනක කවුරු වුවත් ඒ ජිවිත වලට සතුට ලැබේවායි පතනවා හැර .

Sunday, 26 June 2011

මකර මවක් වැතිර නිදන... තම දරුවන් සමග සොඳින

හැමදාම වියට්නාමය ගැනම ලියනවා යයි මගේ සිතම මට චෝදනා කරද්දීත් නොලියා බැරි දෙයක් තියෙනවා..මා දුටු සොබා සොඳුරු දසුන් ගැන කෙසේ නොලියා ඉන්නද. එයිනුත් මා වශී කල ...මා පමණක් නොවේ ලොවම වසඟ කල හැකි ''සුන්දර තැනක් '' ගැනයි අද මේ සටහන .
එකමත් එක කතා පිරුන මේ රටෙහි තවත් ලස්සන කතාවකි මෙයත්.
එක් යුධ සමයක මෙහි වැසියන්ගේ උදව්වට දෙවියන් දෙවියන් විසින් මකර පවුලක් එවනු ලැබුවා.  අද වගේ ම ඒ කාලෙත් යුද්ධ වලට විදේශ ආධාර ලැබී ඇති හැඩයි. අද නම් මකරුන්  වෙනුවට  ඒරොප්පෙන් එවන්නේ  මිසයිල , ප්ලේන් වගේ එව්වනේ. ඉතින් මේ මකරුන් යුධ ආධාර වශයෙන් වටිනා ජේඩ්  සහ මැණික් වමාරලා .   දැන් ඉතින් හිතන්න එපා යුද්ධෙකදී මැණික් මොකටෙයි කියල . මෙන්න මේ මැණික් සහ ජේඩ්   විශාල පර්වත ..දුපත් වෙලා අනගි බලකොටුවක් නිර්මාණය වුනාලු. ඔය බලකොටුවේ උදව්වෙන් රට බේරුනාලු.
යුද්ධේ ඉවර වුනත් මකර පවුලට මේ ලස්සන ප්‍රදේශය දාල යන්න බැහැ කියල හිතිලා . අද වගේම තමයි ඔය මකරුන්ගෙන් උදව් ගත්තම එලව ගන්න බැහැ. හැබැයි මේ නතර වෙච්ච මකරුන් නම් හොඳ අයලු.
මන් අද ඔයාලව අරන් යන්න හදන්නේ මේ මකරුන් නැවතුන ලස්සන ''හාලොන්ග් බේ ''[Halong Bay ] පෙන්වන්න
හැනොයි සිට පැය හතරක් පමණ ගිය විට හමුවන මෙහි ලස්සනින් මා නම් චමත්කාරයට පත් වුනා.
විශාල තැන්නක ඇති යෝධ ශේෂ කඳු සිහිගන්නවන දහස් ගණනක් දුපත් [වැඩිපුරම ලයිම් ස්ටෝන් ] සමුහයක් ජලයෙන් මතුවී තිබෙන අයුරු තමයි දිය හැකි සරලම මනෝ චිත්‍රය. දැන් මෙන්න පුල පුලා සිටි පින්තුර .



















පාවෙන ධිවර ගම්මාන . මේවයින් මාළු අරගෙන බෝට්ටුවේ මුළුතැන්ගෙට දුන්නම උයලත් දෙනවා . අපිට කරන්න බැරි වැඩ ඕව. අපේ බෝට්ටුවේ හිටපු ජපන්නු ටිකක් ලොකු කකුළුවෙක් වගේ එකෙක් අරගෙන එවෙලේම  අමුවෙන්  කැවා.










වියට්නාමයට එන ඕනෑම සන්චාරකයෙක්ගේ ප්‍රධාන ඉලක්කයක් තමයි Halong Bay . එහිදී ලි බෝට්ටුවකට [Junk ] ගොඩවි නිසලදියේ පාවෙමින් මේ සොඳුරු අඩවියේ සරන්නට හැකි. කැමති නම් රැයක් පුරා ඒ ආශ්චර්යය විඳිය හැකියි. ඒ සඳහා සාමාන්‍ය බෝට්ටු වගේම අතිසුඛෝපභෝගී විසල් බෝට්ටුද [කෘස්] මුදල් හදල ඇති විදියට සපයා ගන්න පුළුවන්.
අපි නම් ගියේ පැය හතරේ ගමනක් . පොඩි උන් එක්ක රැයක් වතුරේ ගත කරන්න පොඩි අකමැත්තක් තිබු නිසා. බෝට්ටු වලට ගොඩ වෙන්නේ මෙන්න මේ තොටුපලින්.




















චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime caves ]

චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime cave]

මේ ගුහා ගැනත් අපුරු කතන්දර තියෙනවා . එකක් තමයි Virgin Cave ..රූමත් යුවතියක් වයසක mandarin [චීන] ධනවතෙක් විසින් බලෙන් විවාහ කරගනු ලදුව ය පැනගොස් දිවි නසා ගත් බව කියවෙන ගුහාව. ඇය එහිදී ගල් පිළිමයක් බවට පත් වූ බව එක කතාවක්. තවත් එකක් නම් අයගේ සිරුර මිහිදන් කර සොහොන් කොතක් තැනුණු බව.
මෙවැනි කතා බිහිවීම සොභාවික යයි සිතෙන්නේ මේ ගුහා තුල ඇති මනරම් හැඩතල දුටු විටයි . ලංකාවේ මෙවැනි ගුහා ඇති බව අසා තිබුනද මට කවදාවත් ඒවා බලන්නට නොහැකි වුණා.
නුතනයේ වර්ණවත් විදුලි ආලෝකයෙන් හැඩවූ මේ ගුහාවන් [සියල්ල නොවේ..ප්‍රධාන ආකර්ෂණයන් පමණයි.බොහෝ ඒවාට ලඟා වීම දුෂ්කරයි ] ඇතුලෙදි දැනෙන්නේ අපුරු සුරංගනා ලොවක තනි වූවා සේය.

මෙම halong bay යුනෙස්කෝ ලෝක උරුමයක්ද වෙන බව කියන්න ඕන

ලෝකයේ අලුත් පුදුම හත තෝරාගන්න පැවැත්වෙන චන්ද විමසුම ගැන දන්නවද . halong bay ඒ අතර වැදගත් තැනක් ගන්නවා . කැමති නම් චන්දයක් දෙන්න හැකි මෙතනින්
මේ තොරතුරු නම් මන් ගිය ගමනේදී දැනගත් තොරතුරු . අන්තර්ජාලයෙත් මේ ගැන අටෝරාසියක් විස්තර තියෙනවා .
සිතියම් දෙකනම් ගත්තේ අන්තර්ජාලයෙන් . ඒ ඇරුනම අනිත් සේරම පින්තුර අපේ විදෙස් මිතුරෙක් ගේ ඉතා හොඳ කැමරාවකින් ගත්තු ඒවා. අපේ සාමාන්‍ය කැමරාවලින් අර ගුහා ඇතුලේ මෙච්චර පැහැදිලි චායාරුප ගන්න බැහැ.
වැඩි විස්තර පිපාසයෙන් පෙලෙන අයට මෙන්න ලින්ක් ටිකක්