Sunday, 26 June 2011

මකර මවක් වැතිර නිදන... තම දරුවන් සමග සොඳින

හැමදාම වියට්නාමය ගැනම ලියනවා යයි මගේ සිතම මට චෝදනා කරද්දීත් නොලියා බැරි දෙයක් තියෙනවා..මා දුටු සොබා සොඳුරු දසුන් ගැන කෙසේ නොලියා ඉන්නද. එයිනුත් මා වශී කල ...මා පමණක් නොවේ ලොවම වසඟ කල හැකි ''සුන්දර තැනක් '' ගැනයි අද මේ සටහන .
එකමත් එක කතා පිරුන මේ රටෙහි තවත් ලස්සන කතාවකි මෙයත්.
එක් යුධ සමයක මෙහි වැසියන්ගේ උදව්වට දෙවියන් දෙවියන් විසින් මකර පවුලක් එවනු ලැබුවා.  අද වගේ ම ඒ කාලෙත් යුද්ධ වලට විදේශ ආධාර ලැබී ඇති හැඩයි. අද නම් මකරුන්  වෙනුවට  ඒරොප්පෙන් එවන්නේ  මිසයිල , ප්ලේන් වගේ එව්වනේ. ඉතින් මේ මකරුන් යුධ ආධාර වශයෙන් වටිනා ජේඩ්  සහ මැණික් වමාරලා .   දැන් ඉතින් හිතන්න එපා යුද්ධෙකදී මැණික් මොකටෙයි කියල . මෙන්න මේ මැණික් සහ ජේඩ්   විශාල පර්වත ..දුපත් වෙලා අනගි බලකොටුවක් නිර්මාණය වුනාලු. ඔය බලකොටුවේ උදව්වෙන් රට බේරුනාලු.
යුද්ධේ ඉවර වුනත් මකර පවුලට මේ ලස්සන ප්‍රදේශය දාල යන්න බැහැ කියල හිතිලා . අද වගේම තමයි ඔය මකරුන්ගෙන් උදව් ගත්තම එලව ගන්න බැහැ. හැබැයි මේ නතර වෙච්ච මකරුන් නම් හොඳ අයලු.
මන් අද ඔයාලව අරන් යන්න හදන්නේ මේ මකරුන් නැවතුන ලස්සන ''හාලොන්ග් බේ ''[Halong Bay ] පෙන්වන්න
හැනොයි සිට පැය හතරක් පමණ ගිය විට හමුවන මෙහි ලස්සනින් මා නම් චමත්කාරයට පත් වුනා.
විශාල තැන්නක ඇති යෝධ ශේෂ කඳු සිහිගන්නවන දහස් ගණනක් දුපත් [වැඩිපුරම ලයිම් ස්ටෝන් ] සමුහයක් ජලයෙන් මතුවී තිබෙන අයුරු තමයි දිය හැකි සරලම මනෝ චිත්‍රය. දැන් මෙන්න පුල පුලා සිටි පින්තුර .



















පාවෙන ධිවර ගම්මාන . මේවයින් මාළු අරගෙන බෝට්ටුවේ මුළුතැන්ගෙට දුන්නම උයලත් දෙනවා . අපිට කරන්න බැරි වැඩ ඕව. අපේ බෝට්ටුවේ හිටපු ජපන්නු ටිකක් ලොකු කකුළුවෙක් වගේ එකෙක් අරගෙන එවෙලේම  අමුවෙන්  කැවා.










වියට්නාමයට එන ඕනෑම සන්චාරකයෙක්ගේ ප්‍රධාන ඉලක්කයක් තමයි Halong Bay . එහිදී ලි බෝට්ටුවකට [Junk ] ගොඩවි නිසලදියේ පාවෙමින් මේ සොඳුරු අඩවියේ සරන්නට හැකි. කැමති නම් රැයක් පුරා ඒ ආශ්චර්යය විඳිය හැකියි. ඒ සඳහා සාමාන්‍ය බෝට්ටු වගේම අතිසුඛෝපභෝගී විසල් බෝට්ටුද [කෘස්] මුදල් හදල ඇති විදියට සපයා ගන්න පුළුවන්.
අපි නම් ගියේ පැය හතරේ ගමනක් . පොඩි උන් එක්ක රැයක් වතුරේ ගත කරන්න පොඩි අකමැත්තක් තිබු නිසා. බෝට්ටු වලට ගොඩ වෙන්නේ මෙන්න මේ තොටුපලින්.




















චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime caves ]

චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime cave]

මේ ගුහා ගැනත් අපුරු කතන්දර තියෙනවා . එකක් තමයි Virgin Cave ..රූමත් යුවතියක් වයසක mandarin [චීන] ධනවතෙක් විසින් බලෙන් විවාහ කරගනු ලදුව ය පැනගොස් දිවි නසා ගත් බව කියවෙන ගුහාව. ඇය එහිදී ගල් පිළිමයක් බවට පත් වූ බව එක කතාවක්. තවත් එකක් නම් අයගේ සිරුර මිහිදන් කර සොහොන් කොතක් තැනුණු බව.
මෙවැනි කතා බිහිවීම සොභාවික යයි සිතෙන්නේ මේ ගුහා තුල ඇති මනරම් හැඩතල දුටු විටයි . ලංකාවේ මෙවැනි ගුහා ඇති බව අසා තිබුනද මට කවදාවත් ඒවා බලන්නට නොහැකි වුණා.
නුතනයේ වර්ණවත් විදුලි ආලෝකයෙන් හැඩවූ මේ ගුහාවන් [සියල්ල නොවේ..ප්‍රධාන ආකර්ෂණයන් පමණයි.බොහෝ ඒවාට ලඟා වීම දුෂ්කරයි ] ඇතුලෙදි දැනෙන්නේ අපුරු සුරංගනා ලොවක තනි වූවා සේය.

මෙම halong bay යුනෙස්කෝ ලෝක උරුමයක්ද වෙන බව කියන්න ඕන

ලෝකයේ අලුත් පුදුම හත තෝරාගන්න පැවැත්වෙන චන්ද විමසුම ගැන දන්නවද . halong bay ඒ අතර වැදගත් තැනක් ගන්නවා . කැමති නම් චන්දයක් දෙන්න හැකි මෙතනින්
මේ තොරතුරු නම් මන් ගිය ගමනේදී දැනගත් තොරතුරු . අන්තර්ජාලයෙත් මේ ගැන අටෝරාසියක් විස්තර තියෙනවා .
සිතියම් දෙකනම් ගත්තේ අන්තර්ජාලයෙන් . ඒ ඇරුනම අනිත් සේරම පින්තුර අපේ විදෙස් මිතුරෙක් ගේ ඉතා හොඳ කැමරාවකින් ගත්තු ඒවා. අපේ සාමාන්‍ය කැමරාවලින් අර ගුහා ඇතුලේ මෙච්චර පැහැදිලි චායාරුප ගන්න බැහැ.
වැඩි විස්තර පිපාසයෙන් පෙලෙන අයට මෙන්න ලින්ක් ටිකක්

Thursday, 23 June 2011

උමන් වලින් එලියට විත් 3D කුන්ග් ෆු පැන්ඩා බැලුවෙමි.

පසු ගිය සතියේ කුචි උමන් අතර හිරවී සිටි මා එලියට එන්නට තීරණය කළා . ඒ උමන් ප්‍රදර්ශනයට   ..කොටින්ම මුදල් සොයන ආකර්ෂණයක් විදියට තියා වියට් කොන් වරුන් ලෑන්ඩ් මාර්ක් ගොඩනැගිලි හදද්දී මන් විතරක් ඕව අස්සේ හිර වෙලා ඉන්නේ මොකටද. බුරාලගේ උපදෙස් අනුව දැන්  යමක් ලිව්වම ටික දවසක් තියන්න තීරණය කල නිසාත් මටත් ඉතින් මේ දවස් වල නොයෙකුත් වැඩ තියෙන නිසාත් තමයි ඉවසන් හිටියේ යමක් නොලියා.
 
නොයෙකුත් ත්‍රිමාන චිත්‍රපට ආවත් පවුලේ සැමට බලන්න වුනේ නම් මෙතෙක් ආපු කාටුන් තමයි. සැම කිව්වට බනිලගේ තාත්ත නම් ඔය දඬුවම වින්දේ දෙතුන් පාරයි . දැන් ඉල්ලන ඕන ගානක් දෙනවා අපි තුන් දෙනා විතරක් යවන්න. මම නම් ඉතින් ආසයි සුන්දර ත්‍රිමාන ලෝකයේ ටික වෙලාවක් සැරිසරන්න. Alice in  wonderland හැර අනික් ඒවා සේරමටම මම කැමතියි.
ඊයේ අපි කුන්ග් ෆු පැන්ඩා 2 බැලුවා. අර වෙසක් දවසේ බණ අහපු ටයිකොන්ඩෝ පැංචා ත් ආවා අපිත් එක්ක.
 
මට පුදුමයි.සති අන්තෙක නම් කමක් නැහැ. ත්‍රිමාන ශාලා කීපයකින් සහ සාමාන්‍ය  සිනමා හල් කිපෙකින්ද යුතු දැවැන්ත සිනමා සංකීර්ණයක් . සති අන්ත දර්ශනයකට ප්‍රවේශ පත් මිලදී ගැනීමත් අසීරුයි. එක අයෙකුට 3 D ටිකට් පතක් ඩොන් 90 ,000 ක් [ඩොලර් 4 1/2 ක් ] ඒ සතියේ දිනවල . සති අන්තයේ ඊටත් වැඩියි. පවුලක හතර දෙනෙක් බැලුවොත් පොප් කොන් ..බිම ජාති [ හැමෝම අතේ පොප් කොන් එකක් වරදින්නේ නැහැ .] ඩොලර් 40 ක් 50 ක් වත් යනවා. මේ සිනමා සංකීර්ණය තියෙන්නේ දැවැන්ත සුපිරි වෙළඳ සංකීර්ණයක . ලෝක ප්‍රකට වෙළඳ නාමික භාණ්ඩ තමයි  වැඩිපුර විකිණෙන්නේ . ඒවා ගන්නත් සෙනග ඕන තරම් . මන් මුලදී හිතුවේ මේවා මිලදී ගන්නේ යුරෝපිකයින් වැනි විදේශිකයින් කියලයි . නැහැ වැඩිපුරම වියට්නාම ජාතිකයින්. මොකද යුරෝපියන් කියන දෙයක් තමයි ඒ රටවලට වඩා මෙහෙ එවැනි දේ මිල වැඩි බව.
 

ද්විත්ව කුලුනැති සිනමා සංකීර්ණය . මේක ගත්තේ ගුගල් වලින්. කොහෙද කොච්චර හැදුවත් මුළු ගොඩනැගිල්ල වදින එකක් ගන්න මට බැරි වුනානේ.
 
මන් මෙච්චර මේවා කියන්නේ ඇයි. 1975 දී කුචි උමන් වලින් එලියට ඇවිත් ඒ කිව්වේ යුද්ධෙත් ඉවර වෙලා උතුර දකුණත් එක්‌ වුනාට පස්සේ මෙයාල අද ඇවිත් ඉන්න ගමන ගැන පොඩ්ඩක් හඳුන්වල දෙන්න.
මෙහෙ ආර්ථික ප්‍රතිපත්ති ඇති හැකි පරතරය වගේ හර බර පැත්ත ගැන නම් මන් දන්නෙත් නැත ,දැන ගත්තත් ලියන්නෙත් නැත . පොල් ගන්න විත් ඉඩමේ දිග පළල මනින්න ගොහින් අයිතිකාරයින් නෙලුම් විලත් ගොඩ කර අපි පවුලම නැව් නග්ගන්නටත් බැරි නැත. මා දකින භෞතික දියුණුව ගැන [ එය දියුණුවක් ලෙස අප සිතනවා නම්] පමණි   මා ලියනුයේ. දැන් බකට් ලිස්ට් එකට මේ රට දමාගෙන සිටින නලිනි ...දුකා ..ටි ජි ...ලකී ..සපතේරු උන්නැහේ වගේ අයට මේ විස්තර උදව් වෙයි කියල හිතෙනවා.

නෙලුම් පොහොට්ටුවක් හැඩති Bitexco  ගොඩනැගිල්ල .


ඉතින් සුපිරි වෙළඳ හල ගැනනේ කියා කියා උන්නේ. හැනොයි නගරයේ විතරක් මෙවැනි වෙළඳ සල් බර ගානක් සහ මෙවැනි සිනමා සංකීර්ණ ත් කීපයක්ම තියෙනවා . වාණිජ අගනගරය ලෙස ගණන් ගන්න හැකි හෝ චි මින් වල තත්වය මීටත් වැඩියි. අලුතින්ම ඉදිවුන Bitexco ගොඩනැගිල්ල ඉතාම අලංකාරයි.ඒක තමයි මෙයාල ලෑන්ඩ් මාර්ක් එක ලෙස සලකන්නේ                                                                                    








 
වෙන වෙනම විස්තර නොදා ගොඩනැගිලි කිපෙක පින්තුර ටිකක් ඔන්න
 
අපි යන්නේ කොයි පාරේ ...ලොකු අය්යා ගිය පාරේ ..මන් නෙමේ එහෙම කියන්නේ වියට් නාමය . ලොකු අය්ය තමයි චීනය . තව ටික කලකින් මෙය චිනේ වගේම වෙන බව නම් විශ්වාසයි.
ලිපිය හුඟක් දිග වෙනකොට මටත් කම්මැලි එකේ කියවන අයට හොඳටම එපාවෙයි. අනික මන් වැඩිය කැමති ආගිය තැන වල හිත ගත්තු  දේ ගැන ලියන්න . මේ වගේ පුළුල් පරාසෙක ලිපි වලට මන් ටිකක් හොරයි. පොඩි කාලේ හිතුව පත්තර කාරියෙක් වෙන්න . එහෙම වුනා නම්  දිග ලිපි ලියල මට එපා වෙයි. [  විභාග පරීක්ෂක වරු මගේ ෂෝර්ට් උත්තර වලට ආස වෙලා මට වැඩිපුර ලකුණු දෙන්න ඇති කියල මගේ ක්ෂුද්‍ර ජීවි ගුරුතුමා කිව්වා. එකත් හරි රස කතාවක් දවසක ලියන්න ඕන]
කතාව වෙන පාරවල යන්න නොදී අල්ලගන්න හරි අමාරුයි මට. වියට්නාමයේ සංචාරය කරන අයෙක්ට දැන ගන්න ඕන දේවල් ටිකක් මන් කියන්නම් . හැබැයි සේරම දේවල් බ්ලොග් පොස්ට් එකකින් කියන්න අමාරුයි. පුද්ගලිකව කවුරුහරි ඇත්තටම එනවා නම් ඒ වෙලාවට අවශ්‍ය දෙයක් සොයල දෙන්න නම් පැකිලෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙදී උදව්වක් ඕන වුනොත් කරලා දෙන්නත් මගේ ශක්ති පමණින් ඉදිරිපත් වෙන්නම්.
 
අපි ගමනක් යන්න කලින් ඉස්සර වෙලාම ගන්න පොතක් තියෙනවා. Lonely Planet සිරිස් එකේ හැම රටක් ගැනම වගේ පොත් තියනවා. බොහෝ දුරට විශ්වාස දායකයි. යන තැනක අත් පොතක් ලෙස ගෙනියන්න හැකි.http://www.lonelyplanet.com/
එයාලගේ සයිට් එක
 
ලංකාවේ ඉඳන් එන ක්‍රම කීපයක්  තියෙනවා . සිංගප්පුරුව හරහා ,තායිලන්තය හරහා හෝ මැලේසියාව හරහා.
සිංගප්පුරු ගුවන් සේවය තමයි මිල අධිකම . දෙක තායිලන්තය . ලාබම මැලේසියාව හරහා එන එකලු .ඕව ඉතින් දැන් අන්තර්ජාලයෙන් සහ ටිකට් ඒජන්ත වරුන්ගෙන් පහසුවෙන් දැන ගන්න හැකිනේ.
විසා ගන්න එක ඉස්සර ටිකක් අමාරුයි. එත් දැන් ලංකාවේ වියට්නාම එම්බසියක් තියෙන බවයි ආරංචි. ලිපිනය හොයා ගන්න මට බැරි වුනා . අන්තර්ජාලයෙත් නැහැ. ලැබුණු විට කියන්නම් . නැත්නම් සංචාරක නියෝජිතයින් හරහා තමයි. ඒවායේ  නම් මම මේකේ දාන එක හරි නැහැනේ . අවශ්‍ය කෙනෙක්ට පුද්ගලිකව කියන්නම්.
රට ඇතුලේ සංචාරය කරන කොට විස්තර තියෙන සයිට් නම් ඕන තරම් . මේ එකක්
ප්‍රවාහනය ..
ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටවල් 3 ක් තියෙනවා
හෝ චි මින් -Tan Son Nhat International Airport, Ho Chi Minh City, Vietnam හැනොයි - Noi Bai International Airport, Hanoi, Vietnam
Da Nang - Da Nang International Airport, Da Nang, Vietnam (DAD)
 
 
 
නම් ගම් හරියටම කිව්වේ හුඟ දෙනෙක්ට ඕක පැටලෙන නිසා.
රට ඇතුලේ සමහර තැන වලට යන්න ඕන ගුවනින්. හෝ චි මින් සිට හැනොයි වලට පැය දෙකක විතර ගුවන් ගමනක්. රජයට අයිති ඒ වගේම ප්‍රධානම ගුවන් සමාගම Vietnam airlines . ජාත්‍යන්තරව වගේම අභ්‍යන්තරවත් මෙය බලවත් . මිලත් වැඩියි. ඊට අමතරව බජට් වර්ගයේ සමාගම් කීපයක්ම තියෙනවා. පොඩි පොඩි ගමන් නිසා අවුලකුත් නැහැ. කෙටි ගමන් වලට ඒ කියන්නේ පැය 3 ,4 , 5 වගේ බස් වුනත් හොඳයි . සංචාරක නියෝජිතයින් එක්‌ එක්‌ වර්ගයේ ගමන් ලෑස්ති කරලා දෙනවා . ටිකක් සැප පහසුවට ..වගේම ලොකු පිරිසක් එක්ක ලොකු බස් වල වුනත් යන්න හැකි. දුම්රිය ඒ තරම්ම ජනප්‍රිය නැතත් සමහර විට පාවිච්චි කරන්න හැකි. සුද්දා තරම් ප්‍රන්ශුවා දුම්රිය ගැන උනන්දුවක් දක්වල නැහැ වගේ.
පුංචි ගමන් වලට ටැක්සි සේවය ගොඩක් හොඳයි. හොඳටම බජට් නම් Xe Om පාරක් දාන්නත් පුළුවන් නිර්භීත කෙනෙක්ට . [ අපේ ත්‍රි විල් වගේ මෙහෙ මෝටර් බයික් වල පිටිපස්සේ යාම තමා ලාබම ප්‍රවාහන ක්‍රමය .අමතර හෙල්මට්  එකක් තියෙනවා. ] අපි බය වුනාට සුද්දියොත් යනවා කිසි බයක් නැතුව. ඊටත් වඩා නිර්භීත අයට කුලියට බයික් එකක් අරන් රට වටේ යන්නත් හැකි. පවුල් බරින් තොර අය මේක ට්‍රයි කලාට වරදක් නැහැ.
 
පොස්ට් එක දිග වෙනවද මන්ද . මෙගා එකක් කරන්න මට හිතක් නැහැ. එතකොට මට වෙන දෙයක් ලියන්න බැරි වෙන නිසා . උනන්දුවක් ඇති අය කියවයි නේ දිග වුනාට.
රට ප්‍රධාන කොටස් තුනයි . ඒ තුන සංස්කෘතිය  ..ඉතිහාසය ...කෑම බිම ..සිරිත් විරිත්...දේශගුණය ..භූගෝලය වගේ දේවල් වලින් ටික ටික විචල්‍ය වෙන බව කියන්න ඕන. උදාහරනෙකට රටටම පොදු නුඩ්ල්ස් සුප් එක වුනත් මේ පළාත් වලදී පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.
     දකුණ - හෝ චි මින් නගරය ප්‍රධානයි . මෙහි සිට මිකොන් ඩෙල්ටාව, Dalat [ නුවර එලිය වගේ ],කුචි සහ   
                     ලස්සන මුහුදු වෙරල ටිකක් බලාගන්න හැකි.   
 
 
 
 
 
     මධ්‍යම - කඳුත් සමග අලංකාර මුහුදු වෙරළවල් හිමි ලස්සන පලාතක්. චාම් [Cham ] ශිෂ්ටාචාරයේ
              නෂ්ටාවශේෂ [ වෙනම ලිපියක් ලියන්නට ඉන්න මාතෘකාවක්] සහ පැරණි රාජධානියක නටඹුන් . මටත්
                     තවම යන්නට බැරිවන බව කිව යුතුයි. ලඟදි යන්නට සිතා ඉන්න නිසා ඊට පසු ඒ ගැන ලියන්නම්.
    උතුර - මන් තුමී දැන් ඉන්නේ මෙහෙ . හැනොයි වන අගනගරය තුල ඉඳන් අවට බලා ගත  හැකියි.
            Ha Long bay [ මගේ ඊළඟ පොස්ට් එක]..කඳුකර සපා ප්‍රදේශය සහ තවම සම්ප්‍රධායික සුන්දර ලක්ෂණ ගොඩක් ඉතිරි වෙලා තියෙන හැනොයි නගරයම තුලත් බලන්න දේ ගොඩයි .
  රට තොට සේරම බලන්න නම් මාසයක් වත් ඕන . සති දෙකක් තුල අත්‍යවශ්‍ය දේවල් ටිකක්  බලන්න යන්තම් හැකියි .
 දුකාල අහල තිබුනනේ කියක් යයිද කියල .ඇත්තටම මට ඒ ගැන නම් හරියට තියා තක්සේරුවක් වත් කරන්න අමාරුයි. ඔය මුදල් වැඩ වලට මම එච්චර දක්ෂ නැහැ .එනවමනම් විතරක් සංචාරක ආයතනයකින් අහල දල ගානක් කියන්නම් .
පොදුවේ කියන්න තියෙන්නේ යුරෝපිය රටකට යනවට වඩා ලාබයි. කෑම ..විශේෂයෙන් බත් නුඩ්ල්ස් සුප් ..පලතුරු මාළු වගේ අපේ රටේ තියෙන දේවල් ඊටත් වඩා හොඳට තියෙනවා. සිංහල රෙස්ටුරන්ට් නම් නැහැ.ඉන්දියන් ඒවා ඕන තරම්.
 
Medical Insurance එකක් අනිවාර්යයි. වැදගත්ම දේ මේක අපි හිතන් හිටි සහ තවම බොහෝ අය හිතන් ඉන්න දුෂ්කර රටක් නෙමේ . ක්‍රීඩාවට ලැදි. මිත්‍රශීලි මිනිසුන් ඉන්න ලස්සන වගේම නුතන දියුණුවත් දැකිය හැකි රටක්. ආරක්ෂාවත් සාපේක්ෂව හොඳයි. ප්‍රධානම දේ බෝම්බ.පිපිරීම් නැහැ, දේශපාලන අස්ථාවර බවක් නැහැ. කල්පනා කරද්දී ගොඩක් රටවලට වඩා බය නැතිව ඇවිත් යාහැකි රටක්.
ඔන්න පර්ස් එක හෙම නැති වුනොත් මට බනින්න එපා . කොයි රටේත්  වගේ ජනාකීර්ණ තැන්වල ඒවා සිද්ධ වෙන්න හැකි. හැබැයි බැංකොක් වලට ..ඉන්දියාවට සාපේක්ෂව ඒවා ටිකක් අඩුයි.
දැන් ඇති කියල හිතෙනවා . මගේ ගෙදර මේ අවස්ථාවේ නානාප්‍රකාර නාට්‍ය රංග දක්වෙමින් පවතිනවා. සාලයේ මැද විටින් විට දර්ශන තල මාරු වෙන බව පේනවා. ඒ ගැන සොයන්නත් ඇති නිසා අදට ඇති.
 
ස්තුතිය ...මේ ගැන ලියන්න කියල හැමදාම මතක් කල ..අම්මට කරදර නොකර ලියන්න දෙන්න කියල පොඩ්ඩන් ගෙන්  ඉල්ලීමක් [ නැතිව තර්ජනය කරන්න නම් බැහැ.. ලෝකේ කාටවත් බය නැති වුනත් මේ දෙන්නට හරි බයයි...] කරපු බනිලගේ තාත්තට ...සහ විශේෂ ස්තුතිය එක්සත් ජාතීන්ට මැදිහත් වෙන තරමේ රණ්ඩුවක් නැතිව ගේ අනික් පැත්ත පෙරලපු ලොක්කිටයි  ..බනීටයි .

Wednesday, 15 June 2011

වියට්නාමයේ Cu Chi උමං

වැඩි වැල්වටාරම් නැතුව කෙලින්ම මාතෘකාව දැම්ම ඔන්න . නලිනිගෙයි රවිගෙයි ඉල්ලීමකුත් තිබුන මේ ගැන ලියන්න කියලා . ඊටත් වඩා සති කීපෙකට කලින් තුන් වෙනි පාරටත් ඒ පැත්තේ ගිහින් ඇවිත් ගෙදරිනුත් කරදරේ බැහැ .
ගොඩ දෙනෙක් අහලත් ඇති . ඒත් නොදන්නා අයටත් දන්නා අයගේ මතකය අලුත් කරන්නත් හිතලා මෙන්න මම දෙපාරක්ම ඇහින් දුටු cu  Chi Tunnels ගැන සංක්ෂිප්ත සටහනක් .
වියට්නාමය කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම යුද්ධ වලට මුහුණ දීපු රටක් . චිනෙත් කාලයක් උත්සාහ කරලා තියනවා මේ රට අල්ලගන්න . අර ඉබි රජතුමාගෙන් කඩුවක් ලැබිලා රට එක්සේසත් කල කතාව  කියවල බලන්නකෝ .
අපි සුද්දගේ කොලනියක් වෙලා හිටියා වගේ ප්‍රංශය තමයි මේක එයාලගේ බුදලයක් කර ගෙන හිටියේ. ඒ ගැන වෙනම ලියන්න හිතන් ඉන්න නිසා මෙතන ඉඩ එකට නාස්ති කරන්නේ නැහැ .
මේ අපි කියන උමං හාරන්න පටන් ගත්තේ මේ ප්‍රංශ පාලනයට විරුද්ධව සටන් තිබුන කාලයේ වුනත් වැඩි දියුණු කරලා ලොකුම ප්‍රයෝජනයක් ගත්තේ ඇමරිකන් කාරයත් එක්ක යුද්ධ කරද්දී තමයි .
පොලව මත බොහෝ දේවල් විනාශ කරන්න ඇමරිකන් බෝම්බ සමත් වුනත් මේ උමං පද්ධතිය විනාශ කරන්න ඔවුන් අසමත් වුනා . කොටින්ම ඔවුන්ගේ පරාජයට ලොකුම හේතුවත් මෙය බවයි තතු දත් අය පවසන්නේ.
මම මුලින් හිතන් හිටියේ නිකම් ගුල් ටිකක් හාරාගෙන හැංගිලා හිටි බංකරයක් වගේ දෙයක් කියල වුනත් දැහින්දුටු පසුව..මා මවිත වුනා . උමං යට රෝහල් ...මුළුතැන්ගෙවල් විතරක් නොවේ පාසල් කොටින්ම සම්පුර්ණ ජන සමාජයක තිබෙන බොහෝ අංග වලින් සම්පුර්ණ වෙච්ච තැනක්. පොඩි කාලයක් නෙමේ අවුරුදු 25 ක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බවයි කියවෙන්නේ .
ඇයි මෙහෙම උමං පද්ධතියක් අවශ්‍ය වුනේ ?
ඇත්තටම කුචි හුදකලා ස්ථානයක් නොවේ . ඊට වඩා විශාල උමං පද්ධතියක කොටසක් පමණයි. වියට්නාමයේ තවත් ප්‍රදේශවල මෙවැනි පද්ධති තිබුනා . ඒත් මෙය තමයි ඉතා වැඩිපුර කතා බහට ලක් වන්නේ .
එවකට සයිගොන් හි පැවතියේ  ඇමරිකන් ගැති ආණ්ඩුවක් . උතුරේ තිබුනේ කොමියුනිස්ට් රජයක්. කුචි පිහිටා තියෙන්නේ දකුණේ සයිගොන් .[නුතන හෝ චි මින් නගරය ] තුල කම්බෝජියන් මායිමට කිට්ටුවෙන් . දේශ සීමාව හරහා අවි ලබා ගැනීමට ගරිල්ලන්ට කුචි ආරක්ෂා කරගත යුතු වුනා   . කුචි වල ඇතිවුන සටන් වලදී ඇමරිකන් හමුදා වලින් ඒ ප්‍රදේශය විනාශ වෙද්දී කලින් පටන් ගෙන තිබු මේ උමං පද්ධතිය තවත් හාරා ගෙන ඈතට ව්‍යාප්ත කිරීම හැර ගරිල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ . ඇමරිකන් බෝම්බ වැඩිපුර කුචි වලට වැටීමට තව හේතුවක් තිබුනා . ඇමරිකන් හමුදා තම ප්‍රහාරක යානා ගුවන් ගත කලේ සයිගොන් හි පිහිටි ගුවන් තොටින් . [අද ඉතා අලංකාර Tan Son Nhat ජාත්‍යන්තර ගුවන් තොටුපල ]  . ප්‍රහාරයක් නිමවී එද්දී ඉතිරිවුණ බෝම්බ අතහැර දැමීමට අවශ්‍යයි . නැත්නම් ගොඩ බැමේදී පුපුරා යාහැකි නිසා . ඉතින් මේ අහක යන බෝම්බ එයට ඉතා කිට්ටු කුචි වලට වැටි විශාල ගණනක් ජිවිත  ..භවබෝග  වගේම ලස්සන වන වගාවන්ද  විනාශ කලා.

ඔවුන් කොහොමද මේ උමං වල සිට සටන් කලේ

වියට්නාම ජාතිකයින් ස්වභාවයෙන්ම පුංචි සිරුරු ඇති අය . උමං කට වල් ඉතාම කුඩායි . වියලි කොළ අතර සැඟවුණු මේ දොරවල් වෙන අයට රහසක් වුනා .

මේ වංකගිරි වැනි උමං ඇතුල තට්ටු තුනයි . ගන්ගාශ්‍රිත මැටි පස තනිකර පුංචි ආයුධ වලින් හාරමින් තැනු මෙයට මැටි පස නිසාම අවාසිත් වුනා . කඩා නොවැටීමට ලි කොට වල ආධාරද අවශ්‍ය වූ බව පේනවා.
මේ උමං ගඟට විවරව තිබුනා ඕනෑම විටක ගඟින් පිනා යාමටත් ඉඩ ලැබුනා
මුළුතැන් ගෙයි දුම් බට ඉතා ඈතට විහිදී මුදා හැරියේ සතුරාට නොපෙනෙන්න මහා පාන්දර . වැඩිපුරම කන්නට ඇත්තේ මය්යෝක්ක . අදත් රටකජු හා සිනි මිශ්‍ර කුඩක් එක්ක අපිටත් දෙනවා කුචි ගියහම .
ශල්‍යාගාර බංකරය තුල ශල්‍ය කර්ම පවා සිදු වුනා.


ඊට අමතරව ආයුධ කම්මල් විශේෂයි .

ආයුධ තනන අයුරු නිරුපනය කරන ජීවමාන ප්‍රමාණයේ මිනිස් ආකෘති

ආයුධ කිවම මට මතක් වෙන්නේ ''ඌරගෙ  මාළු ඌරගෙ ඇඟේ තියලා කපනවා '' කියන කියමන . මේ වැඩිහරියක් ආයුධ ඇමරිකන් බෝම්බ කවර වලින් එහෙම නැත්නම් පුපුරා නොගිය බෝම්බ වලින් වැඩි දියුණු කරන ලද ඒවා . ඒ බෝම්බ කපන්නත් සැහෙන උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මුලදී රත්වීම නිසා පුපුරා ගිහින් ඔවුන් මිය ගියත් පසුව ක්‍රමයෙන් වතුර වත් කරමින් ඒවා කපා ගැනීමට ක්‍රම සොයා ගත්ත .
මොවුන්ගේ යුද්ධ උපක්‍රම නම් හරි පුදුමයි.









පින්තුර දෙක තුනක් විතරයි විකියෙන් ගත්තේ . ඉතුරු සේරමයි ලියපු දේවලයි පුර්ණ වගකීම  අපේ . අඩු පාඩු කමෙන්ට් වලදී පුරවන්නම් .
පැළඳි රබර් කට්ට සෙරෙප්පුව වුනත් නිකම් හැදුවේ නැහැ . යට පැත්තේ අනික් අතට කට්ට කැපුවා. මොකද අඩි පාරවල් අනික් අතට පිහිටන්න . සතුරා මුලා කරන්න .

සතුරන් මැරුවේ කොහොමද

උණ බම්බු උගුල් ..දැක්කම නම් ඇඟ හිරි වැටෙනවා.

මේවයේ අසු වී කෑගසන විට  බෙර ගැනීමට එන අනික් සෙබළුන් ටත් වෙන්නේ වෙඩි කන්න .

බිම් බෝම්බ තබා යුද්ධ ටැංකි නවතා සැඟවී සිට වෙඩි තැබීම . බෝම්බ වලට අනුග්‍රහයත් ඇමරිකාවෙන් තමයි.
මේවා කරනකම් ඇමරිකන් හමුදාව   මොකද කලේ ?
අහුවෙන අහුවෙන තැනට ඉවක් බවක් නැතුව බෝම්බ දාන එක. උමං හැර අනික් සියලු මතුපිට දේවල් විනාශ කරන එක . සමහර විට දවස් ගණන් ගරිල්ලන්ට ගුල් ඇතුලේ හැංගිලා ඉන්න වුනා . මැලේරියාවෙන් සහ නොයෙකුත් රෝග පිඩා වලින් ඔවුනුත් හෙම්බත් වුනා . ඇමරිකාව මේ උමං ගැන දැනන් හිටියා . ඒත් ඇතුලට ගිහින් විනාශකරන එක ලේසි වුනේ නැහැ. බල්ලෝ යැවුවා . ඒත් මැරිච්ච සොල්දාදුවන්ගේ ඇමරිකන් සබන් උමං කට වල උළල තිබ්බ නිසා උන්ට අඳුර ගන්න බැරි වුනා . වැදුණු ඇමරිකන් කාරයින්ට මේ ගුල් වල රිංගන්න කොහොමත් බැහැ .  පසු කාලේදී තරමක හානි  කරන්න සමත් වුනත් සම්පුර්ණයෙන් විනාශ කරන්න නම් බැරි වුනා .
ඇයි ඇමරිකාව මේ ඇත රටක් එක්ක යුද්ධෙට පැටලුනේ. ඉන්දු චීන අධිරාජ්යක් ගැන ප්‍රන්ශේ ට තිබ්බ හීනෙත් බිඳ වැටිලා නැගෙනහිර ආසියාවේ සමාජවාදය පැතිරෙන එක වලක්වන්න ප්‍රන්ශේට හැකියාවක් නැති බවත් දැනෙන කොට ඇමරිකන් ලොක්ක ඒ කාරිය බාර  ගත්තා.
ඉතින් රුසියාවයි චීනෙයි [වැඩිපුරම රුසියාවේ ] උදවු වියට් කොන් වරුන්ට හිමි වුනා .
තාමත් ප්‍රදර්ශනය කෙරෙන මිග් යානා  

මීටර 10,000 උඩට විදිය හැකි රුසියන් මිසයිල මොවුන් විසින් 16,000 කට දියුණු කර ඇමෙරිකන් B 9 ප්‍රහාරක යානා බිම දැමුනා .

ඇමරිකන් ගැති සයිගොන් හමුදාවේ සිටි හිතවතුන්  මගින් ගරිල්ලන්ට ඔත්තු සැපයුනා . තව ලියන්නට බොහෝ ඇතත් කාලය මදි,.


මේ උමං වල අද තත්වය ..
වියට්නාමය සංචාරක කර්මාන්තය අතින් ඉතා දියුණුයි . මේ උමං සංචාරකයින්ට ලොකු ආකර්ෂණයක්  [විශේෂයෙන් ඇමරිකන් උදවියට ] . මුලදී කි. මි. 121 පමණ දික් වුවත් සංචාරකයින්ට විවර වී ඇත්තේ සහ සංරක්ෂණය වී ඇත්තේ 20 කි.මි. පමණ කුඩා ප්‍රමාණයක් .

දේශීය සංචාරකයින්ට නොමිලෙත් අපිට  මුදල් ගෙවාත් මෙය බැලිය හැකියි. හෝ චි මින් සිට පැයක පමණ ගමනක්.
අපේ ජනාධිපතිතුමාත් පහුගිය කාලයේ ගිහින් තිබුනා .

මග කියන අයෙකුත් ලබාදෙනවා. වීඩියෝ දර්ශනයක් ...බැලීමට  ,උමං තුල තරමක් දුර යාමට [ ශරීරය වැඩි බරපතල අයට ටිකක් අමාරුයි.] මය්යෝක්ක කෑමට අවස්ථාව ලැබෙනවා. වනය තුල හරිම සිසිල් සුවදායක බවක් තිබෙන බව අකියන්නම ඕන . අපේ වියලි කලාපයේ ...[නැත්නම් මට මතක් වුනේම කුරුණෑගල පාරේ තියෙන බඩගමුව රක්ෂිතය] කැලයක ලක්ෂණ තමයි තිබුනේ  .
තැන තැන වල පොකුරු බෝම්බ පොකුරු පොකුරු ගොඩ ගහල .
 අණ දෙන නිලධාරී කාමරය


ඔය ලස්සන කෙල්ලන්ට ඒ කාලේ අහු වුන ඇමරිකන් කාරයින්ට නම් ගැලවුමක් නැහැ ...දැන් ඔය අපේ අය එක්ක ෆොටෝ වලට හිටියට
උමං වල සැලසුම

ඩොන් 20,000 ක් දීල වෙඩි තියන්නත් පුළුවන්

මෙන්න මෙහෙමයි රිංගන්නේ


මේක කාගේ එකක්ද කියල පේනවනේ

කුචි උමං අසල ඉදිවුන යුධ විරු සමරු පන්සල . සහ ස්මාරකය


විශේෂ ස්තුතිය ....ගොඩක් කරුණු සොයා දීල මතක් කරලා ලියන්න උනන්දු කළ බනිලගේ තාත්තට .
වැඩි විස්තර ඇති මේ සයිට් එක සොයා දුන්නෙත් එයා






Bunny with Tu when she was 1 1/2 yrs old in CuChi

Friday, 10 June 2011

බැන් කී මුන්ට එරෙහි මගේ පෙත්සම

බෑන් කී  මුන් ට මාත් සමග අරියාදුවක් තිබෙන බව පෙනේ . මම ආසාවෙන් හිටවූ නෙලුම් විල බොර කිරීමට රහස් ඒජන්ත වරුන් දෙදෙනෙක් එවීමට කටයුතු කරනා බව දැන් ඉතා පැහැදිලිය . පුරා මාස දෙකක ගිවිසුමක් යටතේ ඔවුන් සේවයට බඳවා ගෙන ඇති අතර එම කාලය තුල නෙලුම් විලට නොව වෙනත් වතුර වලවල් වල මා පැය ගණන් ගිල්වා තැබීමටත් ...සිතු සිතු පරිදි මා ලවා රස කැවිලි සාදවා ගැනීමටත් පමණක් නොව යසට තිබුණු මගේ මුළුතැන් ගෙය ආක්‍රමණය කිරීමටත් ඔවුන් පුරුදු පුහුණු කර ඇති බව සැලයි. එපමනක් නම් ඉවසිය හැක. හැනොයි නගරය පුරා ඇති ප්‍රසිද්ධ ස්ථාන මෙන්ම තදාසන්න ප්‍රදේශ වලද සැරිසරන්නටත් සිදුවෙනු ඇත. ඔවුන්ගේ සහායක ඔත්තුකරුවන්ද විටින් විට පැමිණීමට බොහෝ ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැන ගතිමි. මේ ඔත්තුකරුවන් අතර එකිනෙකා අතර ඇති වෙන දරුණු සටන් සමනයද මගෙන් බලාපොරොත්තු වනු ඇති .
 
දැන් දැන් මෙය කියවා උඩක් බිමක් නොතේරුණු නිසා මෙන්න තේරෙන සිංහලෙන් . ''එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පාසල '' මාස දෙකකට ඉබි යතුරු දමා වසා එහි සිටින ඔත්තුකරුවන් හෙවත් අපේ ළමයින් පුර්ණ කාලින ව ගෙවල් වලට යැවීමට බෑන් කින් මුන් මහතා තීරණය කර ඇත .
    එයින් නෙලුම් විලටත් මටත් වෙන අකරතැබ්බය තමයි උඩ විස්තර කර ඇත්තේ. සුද්දන් නම් මෙයට ඉතා කැමතිය . උන්ගේ රටවලට අව්ව පොදක් වැටෙන්නේ දැන් නිසාත් දැන් වසන්තය ගෙවී හැනොයි රත් වීගෙන රත් වීගෙන යන නිසාත් ඉබ්බා දියට දැම්මා සේය. අපිට නම් දෙය්යන්ගේ පිහිටෙන් අව්ව ට රත් වෙන්න පුරුදු නිසා අකුලාගෙන දුවන්නට ඕනෑකමක් නැත .
කොහොමත් මේ අමුතු අධ්‍යාපනය ගැන    ආසියාතික   අම්මලා නහයෙන් අඬන මුත් සුද්දෝ ඒගැන ප්‍රීතියෙන් පිනා යයි. හවසට පොත් පිරෙන්නට සටහන් නැත. ගෙදර වැඩ කියා පොඩි පොඩි සෙල්ලම් වැඩ දෙති . ඉගෙන ගන්නවා මදියි අම්මලා හිතුවත් ළමයි නම් මේ පාසලට පුදුම කැමතිය. ටෝට්ටෝ  චන් ගේ ''හරි පුදුම ඉස්කෝලය '' හා මෙහි ඇති වෙනස පිනන විට ඇඳුම් ඇඳීම පමනක්දොයි මට සිතේ.
තවම එක වසරටවත් නොගිය අපේ පුංචි බනියා හා මා අතර දිනක් ඇතිවූ කතා බහක් .
බනි ; අපි තව කොච්චර කල් මෙහෙ ඉන්නවද
මම ; තාත්ති මෙහෙ වැඩ කරනකල් සමහර විට අවුරුද්දක් දෙකක් ..
බනි ;මම හතරට යනකම් ඉන්න බැරිද
මම ; කියන්න බැහැ .
බනි ; ඒ මොකද . තාත්ති වැඩ නොකලට ට්‍රෙලර් මැෂිමෙන් සල්ලි ගන්න පුළුවන්නේ.
මම ; මොකටද ඔයාට මේ ඉස්කෝලෙම ඉන්න ඕන ?
බනි ; හතරේදී දෙන ලැප් ටොප් එක ගන්න .
 
        ලොකු ළමයි අත තියාගෙන එහා මෙහා ගෙනියන පරිඝනකයට ඇයට ඇත්තේ පුදුම ආසාවකි . ''දුන්නොත් හොඳයි නැතත් මොකෝ ''යයි සිතන  අක්කගේ චරිතයේ අනික් පැත්ත ඇයට ඇත්තේ .
විහිලුවට වත් පිට්ටනියට බැස්සේ නැති මගෙත් ක්‍රීඩාවට හිත ඇතත් අධ්‍යාපනයට මුල් තැන දුන් තාත්තගෙත් ළමයින් වන මොවුන් ක්‍රීඩාවට කැමති මේ පාසල නිසාය,. අපට ක්‍රීඩාවකට ආසා වුනත් එකල එය කොතරම් දුෂ්කරද . පාසලින් පසු පුහුණු වී බස් වල හිරවී රෑ බෝ වී හෙම්බත් වී ගෙදර යනවාට වඩා පාසල් බස් රථයේ වේලාසන ගෙදර ගොස් පොතක් පතක් බලා ගැනීම වඩා හිතකර බව මම ඇදහු අතර ක්‍රීඩාවට ලොකු ඇම්මක් තිබු කෙල්ලන් නම් ඒ දුක වුවත් විඳ ගත බව දනිමි . නොගියොත් ඉහල උසාවියේ නඩු දමන නිසා වාර්ෂික ක්‍රීඩා උත්සවයට පමණක් ගිය අතර  එය නම් හරිම විනෝද බව කිව යුතුය . අපිට ලොකු පිට්ටනියක් නැති නිසා ''සයිබර් සිහින උළෙල ''තිබු පිට්ටනියේ හෝ ළඟ පාත පිරිමි පාසලක එය පැවැත්විණි. ''අය්යලා එක්ක එම තහනම් '' කල මෝඩ විදුහල් පතිනියන්ද එකල සිටි බව කිව මනාය . එහෙත් හවස් වන විට සියලු අය්යලා තාප්ප වලින් පැන විත් හෝ නංගිලාගේ දස්කම් නැරඹු බව මතකය .
  ඒවා අතුරු කතාය ..
          කියමින් උන්නේ UNIS නම් ඇති ළමයින්ගේ පාසල ගැන නිසා ත් අද වේලාසනින්ම එය වසා රහස් ඒජන්ත වරු කැඳවා යාමට නියෝග දී  ඇති නිසාත් වැඩිදුර ලිවිය නොහැක . පින්තුර ටිකක් දමා දැනට නවතිමි .
 
පහුගිය කාලයේ මුන් මහතා ඇවිත් ගියේය
 






සුවිසල් ක්‍රීඩා පිටිය

 


Friday, 3 June 2011

මගේ ආදර වන්තයෝ ....

.
මම ආදරේ කරන්න ගත්තේ අවුරුදු 12- 13 කාලේ . චික් කියලා ආපහු හැරිලා යයිද කට්ටිය. රුසියන් ළමා කතා කියව කියව ඉඳල ආදරේ පැත්තට ගියේ ඇයි මම. ළමා කතා කියවන්න බැරිවුනානම් ගිහින් එන්නකෝ.http://nelumwila.blogspot.com/2011/05/blog-post_31.html
. මතක ඇතිව කොමෙන්ට් ටික කියවන්න
ආදරවන්තයන් ගැන කියන්න කලින් මෙන්න මේ ටික කියන්න වෙනවා.
....කලින් පොඩි වර්ගීකරණයක් කරලා තිබිච්ච නිසා
 පොඩි වර්ගීකරණයක් කලේ අදහස් ප්‍රකාශ කරන්න ලේසි නිසයි .නැතුව අපි මේවා වර්ග කරගෙන කියෙව්වේ නම් නැහැ,. අතට අහුවෙන දේ කියෙව්වා මිස. විප්ලවයට පෙර රුසියන් සාහිත්‍ය හුඟක් ඈතට විහිදුනත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ..ගොගොල් ..පියදෝර් දොස්තවොස්කි ...ලියෝ ටෝලොස්ටෝයි ...ලේමන්තෙව් ..චෙකොව් ..තමයි කැපිලා පෙන්නේ මේ ලේඛකයෝ ගැන නම් අන්තර්ජාලයේ විස්තර තියෙනවා. නමුත් සිංහල පරිවර්තන වල තිබ්බ මට සිලිටු නම් එක්ක නෙමේ. අනික අපේ අරමුණ අපිට මතක සදා අමරණිය පොත් ගැන නිසා ඔය යාන් හෑලි කියවන්න කම්මැලියි .
පුෂ්කින්ගේ කපිතන්ගේ දියණියෝ මගේ ආසම පොතක් .මට විශ්වාසයි හුඟක් අය ඒක කියවා ඇති.. දුබරෝව්ස්කි ත් ඒ වගේ . ඊට අමතරව පුෂ්කින්ගේ කෙටිකතාත් ලස්සනයි. මතකය හොඳ නම් ''තානායම්පල්ලගේ දියණිය '' පුෂ්කින්ගේ. ගිය පාර වගේ නලිනි හරි බුරා හරි වෙන අයෙක් හරි මට වැරදෙන තැන හරි ගස්සයිනේ.
ගොගොල් ගේත් මම හිතන්නේ කෙටිකතා තමයි ජනප්‍රිය. ''හිමකබාය'' සහ කන්තෝරු කාරයෙක් ගැන කියවෙන මට නම මතක නැති කතාව එයාගේ .
දොස්තවොස්කි නේ අපරාධය හා දඬුවම ලිව්වේ . ඒ කතාව නම් හරි හැටි මතක නැහැ. එකත් ටෝලොස්ටෝය්ගේ යුද්ධය හා සාමය වගේ [පරිවර්තනය කලේ සිරිල්.සි .පෙරේරා ] ඒ කාලෙත් ටිකක් කම්මැලි හිතුන පොතක් . ඔය දෙකම කියවන්න තරම් පිස්සුවක් නම් තිබුනා. ඇනා කැරනිනා නම් ලස්සන කතාව. චිත්‍ර පටියත් බැලුවා.
ලේමන්තෙව්ගේ ''අපේ කාලයේ වීරයෙක් '' පොතත් ලස්සනයි.
චෙකොව් ගේ චෙරි උයන [ සිංහල නාට්‍යකුත් හදුනා නේද ] ''බල්ලා සමග යන කාන්තාව....ලස්සනයි . නවකතා වලට අමතරව කෙටිකතා මහා බර ගානක් කියෙව්වා.
ඉස්කෝප්ප රැජින ..තව මතක ඇති කෙටි කතාවක්.
ඔන්න දැන් මම ටිකක් නිදහස් ..මගේ ආදරවන්තයින් ගැන හිතන්න.  3 පන්තියේදී වගේ ගැහැණු ළමයි ඇතුළු කරුණාසේන ජයලත්ගේ සේරම පොතුයි ..එඩ්වඩ් මල්ලවාරච්චිගේ ''සුභා'' සුභ ප්‍රර්ථනා '' හෙමත් කියවලා හිටියට ඒවායේ හිටි කොල්ලන්ට මගේ කිසිම ආදරයක් ඇතිවුනේ නැහැ ..ඒ කාලේ පොඩි වැඩියිත්..අනික ''නිමල්'' වගේ කොන්ද පන නැති පිරිමියෙක්වත් ''සුගත්'' වගේ එක කෙල්ලෙක් නැති වුනාම බේබද්දෙක් වෙන කෙනෙක් වත් මට කොහොමත් එපා.
..මගේ ආදර පාවෙල්  ..එයාට ආදරේට ''අම්ම'' කිව්වේ පව්ලුෂා ..එයා එක්ක සයිබීරියාවට යන්න වුනත් මම ලැස්ති වෙලා හිටියේ.
.ගෝර්කිගේ ළමා විය , මිනිසුන් අතර සහ මගේ සරසවි ...පොතුත් ජිවන සරසවියේ ආචාර්යවරු තමයි මට. මවකගේ හදවත වැනි කෙටි කතාත් ලස්සනයි .
සමාජවාදය ..විප්ලවය පැත්තකට තියල  බලන්න ජිවිතේට මොන තරම් ගන්න දේවල් තියෙනවද ඒ උත්සාහවන්ත චරිත තුල.
මට මතක ඇති තව පොත් තමයි ''කෙටිකතා '' වෙළුම් 1 සහ 2

කැකිරි දුපතේ දරු උපත , හිට්ලර්ගෙන් බේරිලා ආපු රියදුරු සෙබලාගේ කතාව [ මතක හැටියට ''හතලිස් එක් වැනියා''] ඒ පොත් දෙකේ මට විශේෂයෙන් මතක කතා. හුඟක් ඒවායේ මාතෘකා මතක නැහැ.
 ''ජමිලා '' ,''දොන් පෙදෙසේ කතා'' පෙරළු නැවුම් පස '' '' වේලාසන කොක්කු ඇවිත්'' ''උණු හිම ''තව මම ආස පොත් . තව ගොන්නක් කියවා ඇතත් මේ මොහොතේ මතක් කර කර ඉන්නට නොවෙහෙසෙමි.

ඒ සියලු පොත් පතින් රුසියාව මගේ දෙවෙනි මව් බිම වන තරමට සමීප වූ බ නොකියාම බැහැ. අදට වුනත් වොල්ගා ගඟ ළඟ වැතිරිලා  ඇලෙක්සෙයි එක්ක අහස දිහා බලන් ඉන්නත් ..පුංචි නිකිතත් එක්ක හිම බෝල සෙල්ලම් කරලා වසන්තේදී ගෙම්බෝ ඉන්න පොකුණේ පිනන්නත්...සමුහ ගොවි බිම් වල ..මිදී ඇපල් වතු වල ඇවිදින්නත් මට තත්පරයක් වත් යන්නේ නැහැ.
ඔන්න මම කස පිපිරෙව්වා ..පෙරහැර මග එන නිසා වැඩිදුර නොලියමි. තනිකරම මේ මගේ මතකය වන අතර ගෙනා පොත්කිපය වත් පෙරලන්නට සාලයේ ඇති පොත් රාක්කයටවත් නොගිය බවත් ප්‍රකාශ කරන අතර යමක් වැරදි නම් නිවැරදි කරන්නත් අමතක වූ දේවල් වලින් මෙය සම්පුර්ණ කරන්න විශේසයෙන්  නලිනි ..බුරා සහ අනික් කියවන සැමටත් ආරාධනා
මෙන්න පහුගිය දින කීපයේ ලැබුණු ලින්ක් ටික . එක තැනක තිබ්බම පහසු බව සිතුනි
තව ලින්ක් ඇත්නම් බෙදා ගමු නේද
picture from google images. Some words are missing but too lasy to find out why. sorry for that
..

ඒ කාලේ මම හරිම චපල කෙල්ලෙක් . පාවෙල්ට හොරෙන් තව කි දෙනෙක්ට පෙම් කලාද ..''ඇලෙක්සෙයි '' ඔයා අර හිම ගොඩේ බඩ ගාද්දී ..ඉස්සෙල්ලම ලි කකුල් දාල ඇවිදින්න බැරුව දුක්වෙද්දී මම කොච්චර දුක් වුනාද. අන්තිමට ආයිමත් ගුවන් යානයක් පදවද්දී මම කොච්චර සතුටු වුනාද. කොහෙද එතනත් ඔල්ගා හරහට හිටියනේ ඔයත් ඉතින් පොඩි කාලේ ඉඳන්ම එයාටමනේ හිත.
වානේ වගේ ශක්තිමත් හිතක් තිබ්බ ''පාවෙල් කොර්චාගින් ''ටත් ඔය අස්සේ මගේ හිත ගියා.
ඇයි අප්පේ ''දුයිෂෙන් ''
'' නාකි අසෙකු දක්කාගෙන ඔහු තාමත් ලියුම් බෙදයි ..
පොප්ලර් ගස් දිහා බලන් අල්තිනයි සුසුම් හෙලයි''
''ගුරු ගීතය ''කියවල මම ලිව්ව කවිය කියෝලා සිංහල මිස් [සුසිලා ලියනගේ...මා ඇයට තාම ආදරෙයි . මම ලියපු කවි කතා ඇය රස විදි නිසා.] ඇහුවා මොකක්ද ළමයෝ මේ ''සත්‍යය'' කියල ලියලා තියෙන්නේ .අවුරුදු තිස් ගණන් වල හිටි එයා දන්නවය ඕව. අවුරුදු 14 දි  අපිනේ දැනන් හිටියේ ඔය සේරම . අනික ලොකු අය්යල හෙට විප්ලවේ කරයි අපි පොඩි  නංගිලා ට තිබ්බේ බලන් ඉන්න විතරයිනේ කියලනේ අපි හිතන් හිටියේ.
ඔය ආදර වන්තයින් මට මුණ ගස්සපු කපුවෝ ගැන නොකියා හොඳ නැහැ.
''අම්ම ''- මැක්සිම් ගෝර්කි
''සැබෑ මිනිසෙකුගේ කතාව ''- බොරිස් ප්ලයෙව්
''ගුරු ගීතය '' - චින්ගීස් අයිත්මාතව්
''වානේ පන්නරය ලැබූ හැටි ''- නිකොලායි ඔස්ත්රවොස්කි
දේශීය කපුකම කළේ දැදිගම මාම තමයි
.....ඒ කාලේ ආදරේ කර කරම  හිටියයි හිතයි කියලා හිතන්න  එපා
ලැයිස්තුව දික් වේගන යනවා. ආදරවන්තයෝ ගැන මතක් කළා මදැයි . අද වුනත් ඒ ආදරේ වෙනස් වෙලා නැහැ. ඉඳලා හිටලා එයාල මතක් වෙලා ''ආදර පොලේ '' ගිහින් හමු වෙලා එනවා