Wednesday, 15 June 2011

වියට්නාමයේ Cu Chi උමං

වැඩි වැල්වටාරම් නැතුව කෙලින්ම මාතෘකාව දැම්ම ඔන්න . නලිනිගෙයි රවිගෙයි ඉල්ලීමකුත් තිබුන මේ ගැන ලියන්න කියලා . ඊටත් වඩා සති කීපෙකට කලින් තුන් වෙනි පාරටත් ඒ පැත්තේ ගිහින් ඇවිත් ගෙදරිනුත් කරදරේ බැහැ .
ගොඩ දෙනෙක් අහලත් ඇති . ඒත් නොදන්නා අයටත් දන්නා අයගේ මතකය අලුත් කරන්නත් හිතලා මෙන්න මම දෙපාරක්ම ඇහින් දුටු cu  Chi Tunnels ගැන සංක්ෂිප්ත සටහනක් .
වියට්නාමය කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම යුද්ධ වලට මුහුණ දීපු රටක් . චිනෙත් කාලයක් උත්සාහ කරලා තියනවා මේ රට අල්ලගන්න . අර ඉබි රජතුමාගෙන් කඩුවක් ලැබිලා රට එක්සේසත් කල කතාව  කියවල බලන්නකෝ .
අපි සුද්දගේ කොලනියක් වෙලා හිටියා වගේ ප්‍රංශය තමයි මේක එයාලගේ බුදලයක් කර ගෙන හිටියේ. ඒ ගැන වෙනම ලියන්න හිතන් ඉන්න නිසා මෙතන ඉඩ එකට නාස්ති කරන්නේ නැහැ .
මේ අපි කියන උමං හාරන්න පටන් ගත්තේ මේ ප්‍රංශ පාලනයට විරුද්ධව සටන් තිබුන කාලයේ වුනත් වැඩි දියුණු කරලා ලොකුම ප්‍රයෝජනයක් ගත්තේ ඇමරිකන් කාරයත් එක්ක යුද්ධ කරද්දී තමයි .
පොලව මත බොහෝ දේවල් විනාශ කරන්න ඇමරිකන් බෝම්බ සමත් වුනත් මේ උමං පද්ධතිය විනාශ කරන්න ඔවුන් අසමත් වුනා . කොටින්ම ඔවුන්ගේ පරාජයට ලොකුම හේතුවත් මෙය බවයි තතු දත් අය පවසන්නේ.
මම මුලින් හිතන් හිටියේ නිකම් ගුල් ටිකක් හාරාගෙන හැංගිලා හිටි බංකරයක් වගේ දෙයක් කියල වුනත් දැහින්දුටු පසුව..මා මවිත වුනා . උමං යට රෝහල් ...මුළුතැන්ගෙවල් විතරක් නොවේ පාසල් කොටින්ම සම්පුර්ණ ජන සමාජයක තිබෙන බොහෝ අංග වලින් සම්පුර්ණ වෙච්ච තැනක්. පොඩි කාලයක් නෙමේ අවුරුදු 25 ක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බවයි කියවෙන්නේ .
ඇයි මෙහෙම උමං පද්ධතියක් අවශ්‍ය වුනේ ?
ඇත්තටම කුචි හුදකලා ස්ථානයක් නොවේ . ඊට වඩා විශාල උමං පද්ධතියක කොටසක් පමණයි. වියට්නාමයේ තවත් ප්‍රදේශවල මෙවැනි පද්ධති තිබුනා . ඒත් මෙය තමයි ඉතා වැඩිපුර කතා බහට ලක් වන්නේ .
එවකට සයිගොන් හි පැවතියේ  ඇමරිකන් ගැති ආණ්ඩුවක් . උතුරේ තිබුනේ කොමියුනිස්ට් රජයක්. කුචි පිහිටා තියෙන්නේ දකුණේ සයිගොන් .[නුතන හෝ චි මින් නගරය ] තුල කම්බෝජියන් මායිමට කිට්ටුවෙන් . දේශ සීමාව හරහා අවි ලබා ගැනීමට ගරිල්ලන්ට කුචි ආරක්ෂා කරගත යුතු වුනා   . කුචි වල ඇතිවුන සටන් වලදී ඇමරිකන් හමුදා වලින් ඒ ප්‍රදේශය විනාශ වෙද්දී කලින් පටන් ගෙන තිබු මේ උමං පද්ධතිය තවත් හාරා ගෙන ඈතට ව්‍යාප්ත කිරීම හැර ගරිල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ . ඇමරිකන් බෝම්බ වැඩිපුර කුචි වලට වැටීමට තව හේතුවක් තිබුනා . ඇමරිකන් හමුදා තම ප්‍රහාරක යානා ගුවන් ගත කලේ සයිගොන් හි පිහිටි ගුවන් තොටින් . [අද ඉතා අලංකාර Tan Son Nhat ජාත්‍යන්තර ගුවන් තොටුපල ]  . ප්‍රහාරයක් නිමවී එද්දී ඉතිරිවුණ බෝම්බ අතහැර දැමීමට අවශ්‍යයි . නැත්නම් ගොඩ බැමේදී පුපුරා යාහැකි නිසා . ඉතින් මේ අහක යන බෝම්බ එයට ඉතා කිට්ටු කුචි වලට වැටි විශාල ගණනක් ජිවිත  ..භවබෝග  වගේම ලස්සන වන වගාවන්ද  විනාශ කලා.

ඔවුන් කොහොමද මේ උමං වල සිට සටන් කලේ

වියට්නාම ජාතිකයින් ස්වභාවයෙන්ම පුංචි සිරුරු ඇති අය . උමං කට වල් ඉතාම කුඩායි . වියලි කොළ අතර සැඟවුණු මේ දොරවල් වෙන අයට රහසක් වුනා .

මේ වංකගිරි වැනි උමං ඇතුල තට්ටු තුනයි . ගන්ගාශ්‍රිත මැටි පස තනිකර පුංචි ආයුධ වලින් හාරමින් තැනු මෙයට මැටි පස නිසාම අවාසිත් වුනා . කඩා නොවැටීමට ලි කොට වල ආධාරද අවශ්‍ය වූ බව පේනවා.
මේ උමං ගඟට විවරව තිබුනා ඕනෑම විටක ගඟින් පිනා යාමටත් ඉඩ ලැබුනා
මුළුතැන් ගෙයි දුම් බට ඉතා ඈතට විහිදී මුදා හැරියේ සතුරාට නොපෙනෙන්න මහා පාන්දර . වැඩිපුරම කන්නට ඇත්තේ මය්යෝක්ක . අදත් රටකජු හා සිනි මිශ්‍ර කුඩක් එක්ක අපිටත් දෙනවා කුචි ගියහම .
ශල්‍යාගාර බංකරය තුල ශල්‍ය කර්ම පවා සිදු වුනා.


ඊට අමතරව ආයුධ කම්මල් විශේෂයි .

ආයුධ තනන අයුරු නිරුපනය කරන ජීවමාන ප්‍රමාණයේ මිනිස් ආකෘති

ආයුධ කිවම මට මතක් වෙන්නේ ''ඌරගෙ  මාළු ඌරගෙ ඇඟේ තියලා කපනවා '' කියන කියමන . මේ වැඩිහරියක් ආයුධ ඇමරිකන් බෝම්බ කවර වලින් එහෙම නැත්නම් පුපුරා නොගිය බෝම්බ වලින් වැඩි දියුණු කරන ලද ඒවා . ඒ බෝම්බ කපන්නත් සැහෙන උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මුලදී රත්වීම නිසා පුපුරා ගිහින් ඔවුන් මිය ගියත් පසුව ක්‍රමයෙන් වතුර වත් කරමින් ඒවා කපා ගැනීමට ක්‍රම සොයා ගත්ත .
මොවුන්ගේ යුද්ධ උපක්‍රම නම් හරි පුදුමයි.









පින්තුර දෙක තුනක් විතරයි විකියෙන් ගත්තේ . ඉතුරු සේරමයි ලියපු දේවලයි පුර්ණ වගකීම  අපේ . අඩු පාඩු කමෙන්ට් වලදී පුරවන්නම් .
පැළඳි රබර් කට්ට සෙරෙප්පුව වුනත් නිකම් හැදුවේ නැහැ . යට පැත්තේ අනික් අතට කට්ට කැපුවා. මොකද අඩි පාරවල් අනික් අතට පිහිටන්න . සතුරා මුලා කරන්න .

සතුරන් මැරුවේ කොහොමද

උණ බම්බු උගුල් ..දැක්කම නම් ඇඟ හිරි වැටෙනවා.

මේවයේ අසු වී කෑගසන විට  බෙර ගැනීමට එන අනික් සෙබළුන් ටත් වෙන්නේ වෙඩි කන්න .

බිම් බෝම්බ තබා යුද්ධ ටැංකි නවතා සැඟවී සිට වෙඩි තැබීම . බෝම්බ වලට අනුග්‍රහයත් ඇමරිකාවෙන් තමයි.
මේවා කරනකම් ඇමරිකන් හමුදාව   මොකද කලේ ?
අහුවෙන අහුවෙන තැනට ඉවක් බවක් නැතුව බෝම්බ දාන එක. උමං හැර අනික් සියලු මතුපිට දේවල් විනාශ කරන එක . සමහර විට දවස් ගණන් ගරිල්ලන්ට ගුල් ඇතුලේ හැංගිලා ඉන්න වුනා . මැලේරියාවෙන් සහ නොයෙකුත් රෝග පිඩා වලින් ඔවුනුත් හෙම්බත් වුනා . ඇමරිකාව මේ උමං ගැන දැනන් හිටියා . ඒත් ඇතුලට ගිහින් විනාශකරන එක ලේසි වුනේ නැහැ. බල්ලෝ යැවුවා . ඒත් මැරිච්ච සොල්දාදුවන්ගේ ඇමරිකන් සබන් උමං කට වල උළල තිබ්බ නිසා උන්ට අඳුර ගන්න බැරි වුනා . වැදුණු ඇමරිකන් කාරයින්ට මේ ගුල් වල රිංගන්න කොහොමත් බැහැ .  පසු කාලේදී තරමක හානි  කරන්න සමත් වුනත් සම්පුර්ණයෙන් විනාශ කරන්න නම් බැරි වුනා .
ඇයි ඇමරිකාව මේ ඇත රටක් එක්ක යුද්ධෙට පැටලුනේ. ඉන්දු චීන අධිරාජ්යක් ගැන ප්‍රන්ශේ ට තිබ්බ හීනෙත් බිඳ වැටිලා නැගෙනහිර ආසියාවේ සමාජවාදය පැතිරෙන එක වලක්වන්න ප්‍රන්ශේට හැකියාවක් නැති බවත් දැනෙන කොට ඇමරිකන් ලොක්ක ඒ කාරිය බාර  ගත්තා.
ඉතින් රුසියාවයි චීනෙයි [වැඩිපුරම රුසියාවේ ] උදවු වියට් කොන් වරුන්ට හිමි වුනා .
තාමත් ප්‍රදර්ශනය කෙරෙන මිග් යානා  

මීටර 10,000 උඩට විදිය හැකි රුසියන් මිසයිල මොවුන් විසින් 16,000 කට දියුණු කර ඇමෙරිකන් B 9 ප්‍රහාරක යානා බිම දැමුනා .

ඇමරිකන් ගැති සයිගොන් හමුදාවේ සිටි හිතවතුන්  මගින් ගරිල්ලන්ට ඔත්තු සැපයුනා . තව ලියන්නට බොහෝ ඇතත් කාලය මදි,.


මේ උමං වල අද තත්වය ..
වියට්නාමය සංචාරක කර්මාන්තය අතින් ඉතා දියුණුයි . මේ උමං සංචාරකයින්ට ලොකු ආකර්ෂණයක්  [විශේෂයෙන් ඇමරිකන් උදවියට ] . මුලදී කි. මි. 121 පමණ දික් වුවත් සංචාරකයින්ට විවර වී ඇත්තේ සහ සංරක්ෂණය වී ඇත්තේ 20 කි.මි. පමණ කුඩා ප්‍රමාණයක් .

දේශීය සංචාරකයින්ට නොමිලෙත් අපිට  මුදල් ගෙවාත් මෙය බැලිය හැකියි. හෝ චි මින් සිට පැයක පමණ ගමනක්.
අපේ ජනාධිපතිතුමාත් පහුගිය කාලයේ ගිහින් තිබුනා .

මග කියන අයෙකුත් ලබාදෙනවා. වීඩියෝ දර්ශනයක් ...බැලීමට  ,උමං තුල තරමක් දුර යාමට [ ශරීරය වැඩි බරපතල අයට ටිකක් අමාරුයි.] මය්යෝක්ක කෑමට අවස්ථාව ලැබෙනවා. වනය තුල හරිම සිසිල් සුවදායක බවක් තිබෙන බව අකියන්නම ඕන . අපේ වියලි කලාපයේ ...[නැත්නම් මට මතක් වුනේම කුරුණෑගල පාරේ තියෙන බඩගමුව රක්ෂිතය] කැලයක ලක්ෂණ තමයි තිබුනේ  .
තැන තැන වල පොකුරු බෝම්බ පොකුරු පොකුරු ගොඩ ගහල .
 අණ දෙන නිලධාරී කාමරය


ඔය ලස්සන කෙල්ලන්ට ඒ කාලේ අහු වුන ඇමරිකන් කාරයින්ට නම් ගැලවුමක් නැහැ ...දැන් ඔය අපේ අය එක්ක ෆොටෝ වලට හිටියට
උමං වල සැලසුම

ඩොන් 20,000 ක් දීල වෙඩි තියන්නත් පුළුවන්

මෙන්න මෙහෙමයි රිංගන්නේ


මේක කාගේ එකක්ද කියල පේනවනේ

කුචි උමං අසල ඉදිවුන යුධ විරු සමරු පන්සල . සහ ස්මාරකය


විශේෂ ස්තුතිය ....ගොඩක් කරුණු සොයා දීල මතක් කරලා ලියන්න උනන්දු කළ බනිලගේ තාත්තට .
වැඩි විස්තර ඇති මේ සයිට් එක සොයා දුන්නෙත් එයා






Bunny with Tu when she was 1 1/2 yrs old in CuChi

Friday, 10 June 2011

බැන් කී මුන්ට එරෙහි මගේ පෙත්සම

බෑන් කී  මුන් ට මාත් සමග අරියාදුවක් තිබෙන බව පෙනේ . මම ආසාවෙන් හිටවූ නෙලුම් විල බොර කිරීමට රහස් ඒජන්ත වරුන් දෙදෙනෙක් එවීමට කටයුතු කරනා බව දැන් ඉතා පැහැදිලිය . පුරා මාස දෙකක ගිවිසුමක් යටතේ ඔවුන් සේවයට බඳවා ගෙන ඇති අතර එම කාලය තුල නෙලුම් විලට නොව වෙනත් වතුර වලවල් වල මා පැය ගණන් ගිල්වා තැබීමටත් ...සිතු සිතු පරිදි මා ලවා රස කැවිලි සාදවා ගැනීමටත් පමණක් නොව යසට තිබුණු මගේ මුළුතැන් ගෙය ආක්‍රමණය කිරීමටත් ඔවුන් පුරුදු පුහුණු කර ඇති බව සැලයි. එපමනක් නම් ඉවසිය හැක. හැනොයි නගරය පුරා ඇති ප්‍රසිද්ධ ස්ථාන මෙන්ම තදාසන්න ප්‍රදේශ වලද සැරිසරන්නටත් සිදුවෙනු ඇත. ඔවුන්ගේ සහායක ඔත්තුකරුවන්ද විටින් විට පැමිණීමට බොහෝ ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැන ගතිමි. මේ ඔත්තුකරුවන් අතර එකිනෙකා අතර ඇති වෙන දරුණු සටන් සමනයද මගෙන් බලාපොරොත්තු වනු ඇති .
 
දැන් දැන් මෙය කියවා උඩක් බිමක් නොතේරුණු නිසා මෙන්න තේරෙන සිංහලෙන් . ''එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පාසල '' මාස දෙකකට ඉබි යතුරු දමා වසා එහි සිටින ඔත්තුකරුවන් හෙවත් අපේ ළමයින් පුර්ණ කාලින ව ගෙවල් වලට යැවීමට බෑන් කින් මුන් මහතා තීරණය කර ඇත .
    එයින් නෙලුම් විලටත් මටත් වෙන අකරතැබ්බය තමයි උඩ විස්තර කර ඇත්තේ. සුද්දන් නම් මෙයට ඉතා කැමතිය . උන්ගේ රටවලට අව්ව පොදක් වැටෙන්නේ දැන් නිසාත් දැන් වසන්තය ගෙවී හැනොයි රත් වීගෙන රත් වීගෙන යන නිසාත් ඉබ්බා දියට දැම්මා සේය. අපිට නම් දෙය්යන්ගේ පිහිටෙන් අව්ව ට රත් වෙන්න පුරුදු නිසා අකුලාගෙන දුවන්නට ඕනෑකමක් නැත .
කොහොමත් මේ අමුතු අධ්‍යාපනය ගැන    ආසියාතික   අම්මලා නහයෙන් අඬන මුත් සුද්දෝ ඒගැන ප්‍රීතියෙන් පිනා යයි. හවසට පොත් පිරෙන්නට සටහන් නැත. ගෙදර වැඩ කියා පොඩි පොඩි සෙල්ලම් වැඩ දෙති . ඉගෙන ගන්නවා මදියි අම්මලා හිතුවත් ළමයි නම් මේ පාසලට පුදුම කැමතිය. ටෝට්ටෝ  චන් ගේ ''හරි පුදුම ඉස්කෝලය '' හා මෙහි ඇති වෙනස පිනන විට ඇඳුම් ඇඳීම පමනක්දොයි මට සිතේ.
තවම එක වසරටවත් නොගිය අපේ පුංචි බනියා හා මා අතර දිනක් ඇතිවූ කතා බහක් .
බනි ; අපි තව කොච්චර කල් මෙහෙ ඉන්නවද
මම ; තාත්ති මෙහෙ වැඩ කරනකල් සමහර විට අවුරුද්දක් දෙකක් ..
බනි ;මම හතරට යනකම් ඉන්න බැරිද
මම ; කියන්න බැහැ .
බනි ; ඒ මොකද . තාත්ති වැඩ නොකලට ට්‍රෙලර් මැෂිමෙන් සල්ලි ගන්න පුළුවන්නේ.
මම ; මොකටද ඔයාට මේ ඉස්කෝලෙම ඉන්න ඕන ?
බනි ; හතරේදී දෙන ලැප් ටොප් එක ගන්න .
 
        ලොකු ළමයි අත තියාගෙන එහා මෙහා ගෙනියන පරිඝනකයට ඇයට ඇත්තේ පුදුම ආසාවකි . ''දුන්නොත් හොඳයි නැතත් මොකෝ ''යයි සිතන  අක්කගේ චරිතයේ අනික් පැත්ත ඇයට ඇත්තේ .
විහිලුවට වත් පිට්ටනියට බැස්සේ නැති මගෙත් ක්‍රීඩාවට හිත ඇතත් අධ්‍යාපනයට මුල් තැන දුන් තාත්තගෙත් ළමයින් වන මොවුන් ක්‍රීඩාවට කැමති මේ පාසල නිසාය,. අපට ක්‍රීඩාවකට ආසා වුනත් එකල එය කොතරම් දුෂ්කරද . පාසලින් පසු පුහුණු වී බස් වල හිරවී රෑ බෝ වී හෙම්බත් වී ගෙදර යනවාට වඩා පාසල් බස් රථයේ වේලාසන ගෙදර ගොස් පොතක් පතක් බලා ගැනීම වඩා හිතකර බව මම ඇදහු අතර ක්‍රීඩාවට ලොකු ඇම්මක් තිබු කෙල්ලන් නම් ඒ දුක වුවත් විඳ ගත බව දනිමි . නොගියොත් ඉහල උසාවියේ නඩු දමන නිසා වාර්ෂික ක්‍රීඩා උත්සවයට පමණක් ගිය අතර  එය නම් හරිම විනෝද බව කිව යුතුය . අපිට ලොකු පිට්ටනියක් නැති නිසා ''සයිබර් සිහින උළෙල ''තිබු පිට්ටනියේ හෝ ළඟ පාත පිරිමි පාසලක එය පැවැත්විණි. ''අය්යලා එක්ක එම තහනම් '' කල මෝඩ විදුහල් පතිනියන්ද එකල සිටි බව කිව මනාය . එහෙත් හවස් වන විට සියලු අය්යලා තාප්ප වලින් පැන විත් හෝ නංගිලාගේ දස්කම් නැරඹු බව මතකය .
  ඒවා අතුරු කතාය ..
          කියමින් උන්නේ UNIS නම් ඇති ළමයින්ගේ පාසල ගැන නිසා ත් අද වේලාසනින්ම එය වසා රහස් ඒජන්ත වරු කැඳවා යාමට නියෝග දී  ඇති නිසාත් වැඩිදුර ලිවිය නොහැක . පින්තුර ටිකක් දමා දැනට නවතිමි .
 
පහුගිය කාලයේ මුන් මහතා ඇවිත් ගියේය
 






සුවිසල් ක්‍රීඩා පිටිය

 


Friday, 3 June 2011

මගේ ආදර වන්තයෝ ....

.
මම ආදරේ කරන්න ගත්තේ අවුරුදු 12- 13 කාලේ . චික් කියලා ආපහු හැරිලා යයිද කට්ටිය. රුසියන් ළමා කතා කියව කියව ඉඳල ආදරේ පැත්තට ගියේ ඇයි මම. ළමා කතා කියවන්න බැරිවුනානම් ගිහින් එන්නකෝ.http://nelumwila.blogspot.com/2011/05/blog-post_31.html
. මතක ඇතිව කොමෙන්ට් ටික කියවන්න
ආදරවන්තයන් ගැන කියන්න කලින් මෙන්න මේ ටික කියන්න වෙනවා.
....කලින් පොඩි වර්ගීකරණයක් කරලා තිබිච්ච නිසා
 පොඩි වර්ගීකරණයක් කලේ අදහස් ප්‍රකාශ කරන්න ලේසි නිසයි .නැතුව අපි මේවා වර්ග කරගෙන කියෙව්වේ නම් නැහැ,. අතට අහුවෙන දේ කියෙව්වා මිස. විප්ලවයට පෙර රුසියන් සාහිත්‍ය හුඟක් ඈතට විහිදුනත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ..ගොගොල් ..පියදෝර් දොස්තවොස්කි ...ලියෝ ටෝලොස්ටෝයි ...ලේමන්තෙව් ..චෙකොව් ..තමයි කැපිලා පෙන්නේ මේ ලේඛකයෝ ගැන නම් අන්තර්ජාලයේ විස්තර තියෙනවා. නමුත් සිංහල පරිවර්තන වල තිබ්බ මට සිලිටු නම් එක්ක නෙමේ. අනික අපේ අරමුණ අපිට මතක සදා අමරණිය පොත් ගැන නිසා ඔය යාන් හෑලි කියවන්න කම්මැලියි .
පුෂ්කින්ගේ කපිතන්ගේ දියණියෝ මගේ ආසම පොතක් .මට විශ්වාසයි හුඟක් අය ඒක කියවා ඇති.. දුබරෝව්ස්කි ත් ඒ වගේ . ඊට අමතරව පුෂ්කින්ගේ කෙටිකතාත් ලස්සනයි. මතකය හොඳ නම් ''තානායම්පල්ලගේ දියණිය '' පුෂ්කින්ගේ. ගිය පාර වගේ නලිනි හරි බුරා හරි වෙන අයෙක් හරි මට වැරදෙන තැන හරි ගස්සයිනේ.
ගොගොල් ගේත් මම හිතන්නේ කෙටිකතා තමයි ජනප්‍රිය. ''හිමකබාය'' සහ කන්තෝරු කාරයෙක් ගැන කියවෙන මට නම මතක නැති කතාව එයාගේ .
දොස්තවොස්කි නේ අපරාධය හා දඬුවම ලිව්වේ . ඒ කතාව නම් හරි හැටි මතක නැහැ. එකත් ටෝලොස්ටෝය්ගේ යුද්ධය හා සාමය වගේ [පරිවර්තනය කලේ සිරිල්.සි .පෙරේරා ] ඒ කාලෙත් ටිකක් කම්මැලි හිතුන පොතක් . ඔය දෙකම කියවන්න තරම් පිස්සුවක් නම් තිබුනා. ඇනා කැරනිනා නම් ලස්සන කතාව. චිත්‍ර පටියත් බැලුවා.
ලේමන්තෙව්ගේ ''අපේ කාලයේ වීරයෙක් '' පොතත් ලස්සනයි.
චෙකොව් ගේ චෙරි උයන [ සිංහල නාට්‍යකුත් හදුනා නේද ] ''බල්ලා සමග යන කාන්තාව....ලස්සනයි . නවකතා වලට අමතරව කෙටිකතා මහා බර ගානක් කියෙව්වා.
ඉස්කෝප්ප රැජින ..තව මතක ඇති කෙටි කතාවක්.
ඔන්න දැන් මම ටිකක් නිදහස් ..මගේ ආදරවන්තයින් ගැන හිතන්න.  3 පන්තියේදී වගේ ගැහැණු ළමයි ඇතුළු කරුණාසේන ජයලත්ගේ සේරම පොතුයි ..එඩ්වඩ් මල්ලවාරච්චිගේ ''සුභා'' සුභ ප්‍රර්ථනා '' හෙමත් කියවලා හිටියට ඒවායේ හිටි කොල්ලන්ට මගේ කිසිම ආදරයක් ඇතිවුනේ නැහැ ..ඒ කාලේ පොඩි වැඩියිත්..අනික ''නිමල්'' වගේ කොන්ද පන නැති පිරිමියෙක්වත් ''සුගත්'' වගේ එක කෙල්ලෙක් නැති වුනාම බේබද්දෙක් වෙන කෙනෙක් වත් මට කොහොමත් එපා.
..මගේ ආදර පාවෙල්  ..එයාට ආදරේට ''අම්ම'' කිව්වේ පව්ලුෂා ..එයා එක්ක සයිබීරියාවට යන්න වුනත් මම ලැස්ති වෙලා හිටියේ.
.ගෝර්කිගේ ළමා විය , මිනිසුන් අතර සහ මගේ සරසවි ...පොතුත් ජිවන සරසවියේ ආචාර්යවරු තමයි මට. මවකගේ හදවත වැනි කෙටි කතාත් ලස්සනයි .
සමාජවාදය ..විප්ලවය පැත්තකට තියල  බලන්න ජිවිතේට මොන තරම් ගන්න දේවල් තියෙනවද ඒ උත්සාහවන්ත චරිත තුල.
මට මතක ඇති තව පොත් තමයි ''කෙටිකතා '' වෙළුම් 1 සහ 2

කැකිරි දුපතේ දරු උපත , හිට්ලර්ගෙන් බේරිලා ආපු රියදුරු සෙබලාගේ කතාව [ මතක හැටියට ''හතලිස් එක් වැනියා''] ඒ පොත් දෙකේ මට විශේෂයෙන් මතක කතා. හුඟක් ඒවායේ මාතෘකා මතක නැහැ.
 ''ජමිලා '' ,''දොන් පෙදෙසේ කතා'' පෙරළු නැවුම් පස '' '' වේලාසන කොක්කු ඇවිත්'' ''උණු හිම ''තව මම ආස පොත් . තව ගොන්නක් කියවා ඇතත් මේ මොහොතේ මතක් කර කර ඉන්නට නොවෙහෙසෙමි.

ඒ සියලු පොත් පතින් රුසියාව මගේ දෙවෙනි මව් බිම වන තරමට සමීප වූ බ නොකියාම බැහැ. අදට වුනත් වොල්ගා ගඟ ළඟ වැතිරිලා  ඇලෙක්සෙයි එක්ක අහස දිහා බලන් ඉන්නත් ..පුංචි නිකිතත් එක්ක හිම බෝල සෙල්ලම් කරලා වසන්තේදී ගෙම්බෝ ඉන්න පොකුණේ පිනන්නත්...සමුහ ගොවි බිම් වල ..මිදී ඇපල් වතු වල ඇවිදින්නත් මට තත්පරයක් වත් යන්නේ නැහැ.
ඔන්න මම කස පිපිරෙව්වා ..පෙරහැර මග එන නිසා වැඩිදුර නොලියමි. තනිකරම මේ මගේ මතකය වන අතර ගෙනා පොත්කිපය වත් පෙරලන්නට සාලයේ ඇති පොත් රාක්කයටවත් නොගිය බවත් ප්‍රකාශ කරන අතර යමක් වැරදි නම් නිවැරදි කරන්නත් අමතක වූ දේවල් වලින් මෙය සම්පුර්ණ කරන්න විශේසයෙන්  නලිනි ..බුරා සහ අනික් කියවන සැමටත් ආරාධනා
මෙන්න පහුගිය දින කීපයේ ලැබුණු ලින්ක් ටික . එක තැනක තිබ්බම පහසු බව සිතුනි
තව ලින්ක් ඇත්නම් බෙදා ගමු නේද
picture from google images. Some words are missing but too lasy to find out why. sorry for that
..

ඒ කාලේ මම හරිම චපල කෙල්ලෙක් . පාවෙල්ට හොරෙන් තව කි දෙනෙක්ට පෙම් කලාද ..''ඇලෙක්සෙයි '' ඔයා අර හිම ගොඩේ බඩ ගාද්දී ..ඉස්සෙල්ලම ලි කකුල් දාල ඇවිදින්න බැරුව දුක්වෙද්දී මම කොච්චර දුක් වුනාද. අන්තිමට ආයිමත් ගුවන් යානයක් පදවද්දී මම කොච්චර සතුටු වුනාද. කොහෙද එතනත් ඔල්ගා හරහට හිටියනේ ඔයත් ඉතින් පොඩි කාලේ ඉඳන්ම එයාටමනේ හිත.
වානේ වගේ ශක්තිමත් හිතක් තිබ්බ ''පාවෙල් කොර්චාගින් ''ටත් ඔය අස්සේ මගේ හිත ගියා.
ඇයි අප්පේ ''දුයිෂෙන් ''
'' නාකි අසෙකු දක්කාගෙන ඔහු තාමත් ලියුම් බෙදයි ..
පොප්ලර් ගස් දිහා බලන් අල්තිනයි සුසුම් හෙලයි''
''ගුරු ගීතය ''කියවල මම ලිව්ව කවිය කියෝලා සිංහල මිස් [සුසිලා ලියනගේ...මා ඇයට තාම ආදරෙයි . මම ලියපු කවි කතා ඇය රස විදි නිසා.] ඇහුවා මොකක්ද ළමයෝ මේ ''සත්‍යය'' කියල ලියලා තියෙන්නේ .අවුරුදු තිස් ගණන් වල හිටි එයා දන්නවය ඕව. අවුරුදු 14 දි  අපිනේ දැනන් හිටියේ ඔය සේරම . අනික ලොකු අය්යල හෙට විප්ලවේ කරයි අපි පොඩි  නංගිලා ට තිබ්බේ බලන් ඉන්න විතරයිනේ කියලනේ අපි හිතන් හිටියේ.
ඔය ආදර වන්තයින් මට මුණ ගස්සපු කපුවෝ ගැන නොකියා හොඳ නැහැ.
''අම්ම ''- මැක්සිම් ගෝර්කි
''සැබෑ මිනිසෙකුගේ කතාව ''- බොරිස් ප්ලයෙව්
''ගුරු ගීතය '' - චින්ගීස් අයිත්මාතව්
''වානේ පන්නරය ලැබූ හැටි ''- නිකොලායි ඔස්ත්රවොස්කි
දේශීය කපුකම කළේ දැදිගම මාම තමයි
.....ඒ කාලේ ආදරේ කර කරම  හිටියයි හිතයි කියලා හිතන්න  එපා
ලැයිස්තුව දික් වේගන යනවා. ආදරවන්තයෝ ගැන මතක් කළා මදැයි . අද වුනත් ඒ ආදරේ වෙනස් වෙලා නැහැ. ඉඳලා හිටලා එයාල මතක් වෙලා ''ආදර පොලේ '' ගිහින් හමු වෙලා එනවා 

Tuesday, 31 May 2011

බුරතීනෝ හෙවත් ලී බෝනික්කා

 
 
සුමානෙකට ආයිත් ලියන්නේ නැහැ කියල හිටියේ. ඒත් රුසියන් පොත් ගැන ලියන්න කියලා කට්ටියගෙයි මගෙයි කරදරේ බැහැ. ඔය ගැන අවුස්සපු නලිනි ..TG සහ බුරතීනෝ දත කට මැදන් ඉන්නේ මේකට ඌන පුරන සපයන්න. TG නම් පරණ පෙට්ටගම් අවුස්සනවලු  පොත් හොයන්න . මේ ගැන විශේෂම උනන්දුවක් ඇති බුරතීනෝ ට උපහාර පිණිස ඔන්න ඔය මාතෘකාවත් දැම්මේ. එකක් කට්ටිය මේකට බුරාගේ සම්බන්ධය මොකක්ද කියල කියවන්න එනවා. අනික මිට පස්සේ ඔය නම හැදිච්ච හැටි හැමෝටම කියල දෙන කරදරෙන් බුරතීනෝ බේරෙනවා. අපි දෙන්නම ගොඩ.
කොහෙන් පටන් ගන්නද මන්දා. මම මුලින්ම බලපු රුසියන් පොත ''වීර කුහුඹියා'', . අක්කත් එක්ක ළමා රෝහලට ගිහින් එන ගමන් ඒ ඉස්සරහ පොත් වෙළෙන්දෙක්ගෙන් වෙනද ඒ වගේ ගමන් වලදී ගේන රටකජු ගොට්ට වෙනුවට අම්ම ගෙනත් දුන්නේ. රටකජු ගෙනාව නම් කෑවා ඉවරයි . ඒත් ඒ පොත ගෙනාව වගේ අපේ අම්ම කල නුවණක්කාර වැඩ නිසා තමයි අද මේ ලිපිය ලියන්නේ. මහා ලොකු විභාග පාස් නොකළත් අපේ අම්ම හරි බුද්ධිමත් බව තේරෙන්නේ දැන් . සේරටම කලින් සිතින් ඒ දෙපා වැඳලා හිටියට කමක් නැහැ කියල හිතෙනවා.
තව එකක් මේ ලියන්නේ සමාජ වාදය ගැන නොවේ. වරදවා තේරුම් නොගනිත්වා.තනිකරම සාහිත්‍ය ගැන මගේ මතකය විතරයි .මෙයට අන්තර්ජාලයෙන් වත් වැඩි දෙයක් නොගත්තේ ඉංග්‍රීසි කාරය දැදිගම මාම තරම් ලස්සනට රුසියන් පොත් පරිවර්තනය කරන්න දැන නොසිටීම නිසාය.අනික මම මොන බොරුවක් කිව්වත් නිවැරදි කරන්නත් අර උඩ කිව්ව කට්ටිය ඉන්න නිසයි.
   මගේ අත්දැකීමේ හැටියට රුසියන් සාහිත්‍ය කොටස් කීපයකට බෙදන්නම් පහසුව තකා.
1. ළමා කතා - ..
2. විප්ලවයට පෙර
3.විප්ලව සමයේ
4.විප්ලවයට පසු  සහ යුද්ධ කාලයේ.
.6. ප්‍රතිසංස්කරණ වලට පසු [ මේවා නම් මම කියවල  නැහැ . ඒත් අන්තර්ජාලය හාරද්දී දැක්ක අපිට කියවන්න නොලැබුනාට තාම එයාල පොත් ලියන වග. ගොර්බචෝව් ගෙනාපු ප්‍රතිසංස්කරණ වලට පස්සේ දැදිගම රොද්‍රිගු මාම වගේ අයට පඩි ගෙවල අපි වගේ තුන්වෙනි ලෝකේ රටවලට නිකන්ම වගේ පොත් එවන්න තිබ්බ ඇඟේ අමාරුව හොඳ වුනාද ....තව දුරටත් බෙදා දෙන්න තරම් ඒ සාහිත්‍ය රස නැතිද...අපිටත් වඩා දුප්පත්ද ...ඔය මම කිව්ව හේතු හරි වෙන හේතු හරි තම තම දේශපාලන දැනුමින් හා නැණ පමණින් කියවන අය තේරුම් ගනිත්වා. මම  දේශපාලනය ලියන්නේ නැත .ලියන්නට බය ඔය තර්ක වලට පැටලී තරහ මරහ වෙන්න අකමැති නිසාය.]
 
 
ළමා කතා
     වීර කුහුඹියා - නුවණැති සිමියොන් කුඹියා වැඩට ගිය අතර වේල්ලක් හදන ආරංචියක් ලැබිලා අනික් අය මදුරුවා අතේ ලියුමක් එවල වෙන දිහාකට යනවා. ඒත් දුෂ්ට මදුරුවා ලියුම දෙන්නේ නැහැ. වතුරට අහුවුණ සිමියොන් පාවෙලා එන ටින් එකකින් නැවක් හදාගෙන දරු පවුල බේරගන්න උත්සාහවන්ත කතාව.[ කොහෙවත් ඒ පොත දැක්කේ නැහැ පහු කාලෙක . එකයි පොඩ්ඩක් ඒ ගැන ලිව්වේ]
  ලස්සන වසිලිසා..- ප්‍රධාන  කතාව වුන ලස්සන වසිලිස්ස ට අමතරව තව කතා ගොඩක් තිබ්බ පොතක් තමයි මම කියෙව්වේ . ''සොඳුරු සිත '' ඒ ගැන කවි කතාවක් ලියා තිබුන නිසා වැඩි විස්තර අනවශ්‍යයි. ඒ පොත වැටෙන්නේ සුරංගනා කතා ගණයට.
 
 
 
ඔය ඉන්නේ කොස්සක් උඩ බබායිගා යකින්න



බුරතීනෝ හෙවත් ලී බෝනික්කාගේ කතාව.- ඔය කතාව නම් මට හරියට මතක නැහැ. පිනොකියෝ ගේ රුසියන් පරිවර්තනය කියල බුරතිනොගේ මුනුපුරෙක් අද උදේ කිව්ව.
අපුරු කතා -  පින්තුර ගොඩයි කවියි එක්ක හරිම ලස්සන පොතක් . දෙමල පොත තමයි පහු කාලෙක ලැබුනේ . පොටෝ කොපි පොතක් බලල සිංහලෙන් ලියා ගත්තත් මුල පිටුව පරිවර්තනය කරලා නැහැ. මතක විදිය තමයි අපුරු කතා. ලස්සන හුරතල් පින්තුර. මේක ස්කෑන් කරලා දාන තිබ්බ නම් ....[සෑහෙන ගානක් යන වැඩක්නේ ]
 මෙන්න කවි කීපයක්
           ''මල්ලිත් මාත් පොඩි ගමනක් යන කලට
           පණුවෙක් සෙමින් ඇදුනා බිලයෙන් පිටට
          දුවගොස් කොටා ඇන ඇන හෝටන් අවට
          අද්දෙමු  ටිකෙන් ටික ඌ එන තෙක් ලඟට.
 
          හැකි වෙර යොදා දෙදෙනාම සිට මේ පැත්තේ
        බිය ගෙන  දෙන සතෙකි අපි මේ ඇද ගත්තේ
         මගේ කන් බිහිරි විය මල්ලිගේ ඇස් නොපෙනෙයි.
        මොන විපතක් වුනෙද අය්යෝ මට නොදැනෙයි.
   
 කුකුල් පැටියන් දෙන්නෙක් පණුවෙක් කියල හිතා තඩි මියෙක් නේ ඇදල තියෙන්නේ.
 
ආච්චි ගොතමින් හිටි නුල් බොලේ එක්ක සෙල්ලම් කල පුසා..
                                කුඩා බෝලෙ පෙරලුනා
                                තව දිගටම පෙරලුනා 
                                 නොපෙනෙන තෙක් පෙරලුනා
                                  පුසා මගදී රැවටුනා.
 
අපොයි ඔක්කොම ලියන්න බැරියෝ.
 
සීයාගේ ඇස්  කණ්නාඩිය ..- කාච ගැන කතන්දරයෙන් කියාදෙන අපුරු පොතක් . වැඩ බැරි දාස පොත් සෙට් එකත් හරි ලස්සනයි . කතානම් ලියන්න තරම් මතක නැහැ. වායු බැලුමක් උඩ ඇරිය කතාව විතරයි හරියට       
                                        මතක.
වයිරම් පුස් පැටියා -; පුංචි කෙල්ලෙකුයි එයාගේ පුස් පැටියයි ගැන කවි කතාවක්.
හත් පෙති මල , පුංචි රවුම් බනිස් ගෙඩිය [ ජින්ජ බ්‍රෙඩ් මෑන් ගේ රුසියන් කතාව වෙන්න ඕන. ] ලපයා හපනා , මාෂා සහ වලහා ,  මට මතක ඇති පොත් කීපයක් .
ඇයි ගණිත විනෝදය .   කතාටික කියෝලා නිකන් හිටිය මිසක් ඔය ගැටළු විසදන්න ගියේ නැහැ. පස්සේ කාලෙක ''ගණන් කාරයාගේ''කබඩ් එකේ තිබිල හම්බ වෙච්ච පොත මෙහෙත්  ආව. එයා නම් ඔය ගණිත ගැටළු සේරම විසදන්න ඇති. එක වගේම පොත් පිස්සෝ දෙන්නෙක් එකට ගෙදරකට වුනහම එකතු වෙච්ච පොත් කන්දරාව මෙහෙ ගේන්න ගියානම් දැන් එකතු වෙන ළමයින්ගේ පොතුත් එක්ක ගෙදර වෙන බඩු මුකුත් නැතුව පොත්රාක්ක විතරක් තියෙයි. [ ෂර්ලොක් හෝම්ස්  වගේ අත්‍යවශ්‍ය පොත් වලට විතරයි නැවට නගින්න වාසනාව තිබුනේ]
 
නිකිතාගේ ළමා කාලය...නිකිත කියන  පොඩි කොල්ලයි එයාගේ ටිකක් අලුත් වැඩ කරලා අමාරුවේ වැටෙන තාත්තයි...හිම බෝල සෙල්ලම් ..පාස්කු බිත්තර ..සිසිර ය ..වසන්තය ..ග්‍රීෂ්මය..සරත් සමය හරි ලස්සනට ළමා ඇහින් දකින මම හරිම ආස පොතක්
  ලියාගෙන යනකොට මතක් වෙන දේවල් නිසා මේක එච්චර පිළිවෙලක් ඇති ලිපියක් නෙමේ. ඒ ගැන නම් සමා වෙන්න ඕන . තව ''කැලේ සතුන් කන්නාඩියක් අහුලලා '' ''මි හාමි දියට ගියා.'' සහ ඉංග්‍රීසි පොත්කිපයක් මම කියවා තියෙනවා. ''Baby Animals '' සහ'' little chick '' පොත් දෙකම හරි සරල යි . ලස්සනයි .[ බොහෝ ඉංග්‍රීසි පරිවර්තන  මට නීරස වුනත්..] තව ජනකතා එකතුවක් තිබුනා. වලහගෙයි හාවගෙයි වලිග කොට වුන හැටි. ටෝලොස්ටෝය් ගේ ළමා කතා එකතුවකුත් තිබුනා.
අදට ඇති නේද. නිදිත්මතයි . අනික මාගල වගේ දික්වෙද්දී කියවන්නත්  එපා වෙනවනේ.....තාම ළමා කතා විතරයි ලිව්වේ ..මතු සම්බන්ධයි . අනික් වර්ග වගේම මතක් වුනොත් තව ළමා කතාත් අරන් ආයි එනවා.
 
ස්තුතිය ...
සියලුම රුසියන් කතුවරුන්ට ..පරිවර්තකයන්ට ..විශේෂයෙන් දැදිගම මාමට ..පීපල්ස් පබ්ලිෂින් හවුස් එකට ...ලාබෙට පොත් දීපු සෝවියට් රුසියාවට ...විවාහ වෙලා යනකම්ම  අපේ ගෙදරට නෑවිත් මගේ කියවීමට කරදර නොකළ TV එකට....මහජන පුස්තකාලය ..ඇතුළු මම රිංගපු සේරම පුස්තකාල වලට...තවම මලකඩ නොකාපු මගේ සිතට.
 
 

Sunday, 29 May 2011

බුලත් සපන්නේ කොයි කොයි දේසේ...

අපේ ආච්චිලා සියල හතර දෙනාම සුරයෝ[ බුලත් කන්න] . දැන් ඒ හතර දෙනාම නැහැ. ඔයින් හොඳම සුරයෝ දෙන්න තාත්තගේ ''අපුච්චයි'' [අපි කිව්වේ ආතා]  අම්මගේ ''තාත්තයි.'' [අපේ සිය ]. ආතා කොට බිත්තිය උඩ ඉඳගෙන පුංචි වක් පිහියෙන් පුවක් ගෙඩිය සුද්ධ කරලා විටක් එද ගන්න හැටි බලන්න අපුරුයි. ගත්ත අනික් අඩු වැඩිය ගැන එච්චර මතක නැහැ. මොකද අපි ආතව    දකින්නේ අවුරුද්දකට වතාවක් නිසා. අනික අනිවාර්යයෙන්ම සොල්දරෙන් බාගත්තු පරණ රසවාහිනියක් ...ශ්‍රී සඟරාවක් බලන ගමන් යන්තමට අහුවෙච්ච දර්ශනනේ ඕව.
    නිතර හම්බ වෙච්ච නිසාත් විට කෙටීමේ භාරදුර රාජකාරියත් කරපු නිසා සිය  නම් බුලත් හපපු හැටි විතරක් නෙමේ ඒකේ රසත් දැනෙනවා වගේ තාම . බුලත් , පුවක් , හුණු පොඩ්ඩක්, සහ පුංචි දුන්කොල කෑල්ලක් චුටි වන්ගෙඩියකයි කෙටුවේ. ඕව දාන අනුපාතය වෙනස් වුනොත් රසේත් වෙනස් . දුන්කොල වැඩි වුනොත් හොඳටම මත්වෙනවා. අනික් ඒවා කෙසේ වෙතත් දුන්කොල කෑම පොඩි අයට තහනම් .ලිප්ස්ටික් හෙම දැකලවත් නැති කාලේ [ පුන්චිල ඒවා මහා අනර්ග වස්තු වගේ හන්ගගෙනනේ.]   ඔයින් පොඩ්ඩක් කාල කට රතු කර ගන්න හරි ආසයි. සියලගේ ගෙදර බුලත් කොරටුවකුත්  තිබුන.
සියල අච්චිලත් එක්කම බුලත් කොටුයි බුලත්කෑමේ පුරුදුයි අපේ ගෙවල් වලින් නැතිම වෙලා ගියා. දැන් සමාජයේ බුලත් විටක් කන්නේ එහෙමත් අයෙක්. රතු දෙතොල් එක්ක කහට බැඳිලා කැත දන්ත කල්‍යාණයක්   ලැබෙන නිසා දැන් පංච කල්යානියෝ නම් කියක් දුන්නත් බුලත් හපන එකක් නැහැ . ඔය පාට කුරු තියෙන්නේ ඕනෑතරම්.
අනික බිත්ති පුරා හුණු පාරවල් ඇයි අතට අරන් වැඩි ටික අතුල්ලලා ...මිදුල පුරා රතු කෙල පාරවල් එක්ක ජීවත්වෙන්න දැන් කවුද කැමති. [අපේ ආච්චිලා සියල නම් ගේ දොර කිළුටු කරගෙන බුලත් කෑවේ නැති බව ආදරයෙන් සිහි කරනවා].
 මෙච්චර වල වටාරම් කියන්න නෙමේ හිටියේ. පහල ළමයින්ගේ සෙල්ලම් කාමරේදී පුංචි පොතක් කියෙව්වා . ඒ කතාව දැක්ක ගමන් හිතුනා ඒ ගැන ලියන්න . ඒ බුලත් ගැන.  ලංකාවේ හුඟ දෙනෙක් වගේම මමත්හිතන් හිටියේ බුලත් කන්නේ ලංකාවේ සහ දකුණු ආසියාවේ රටවල විතරයි කියලයි. ලංකාවේ විතරයි කියල හිතන අයත් ඇති ඕනෑතරම් .
ඒත් මෙහෙත් බුලත් කනවා. නිකන් නෙමේ පුවක් හුණු එක්කම අපි වගේම .යම් යම් සංස්කෘතික අංග වලින් ලෝකේ කොයිතරම් සමාන කම් තියෙනවද. සමහර දේවල් හරිම පුදුම හිතෙනවා .

 ඒත් වැඩේ කියන්නේ මෙහාට බුලත් ආවේ නාග ලෝකෙන් නෙමේ . අන්න ඒ කතාව කියන්න තමයි මේ අර ඇද්දේ. ටිකක් දිග කතාවක් කෙටියෙන් කියන්නම්.
එකමත් එක කාලෙක ''කාවෝ '' පවුලේ නිවුන් පුත්තු දෙන්නෙක් හිටිය. අය්යා ''tan  '' මල්ලි ''lang ''. දෙන්නම ගුරුතුමාගේ දුවට ආදරේ කරනවා. [සමකෝණී ආදරයක් ] . ඒත් කෙල්ල කැමති වුනේ අය්යට. දෙන්න විවාහ වෙලා සතුටින් හිටිය . මල්ලිත් හිටියේ මෙයාල එක්ක . හැබැයි විවාහෙන් පස්සේ අය්යා මල්ලි ගැන තිබ්බ අවධානය අඩු වුන එක ගැන මල්ලි ටිකක් දුකෙන් හිටියේ, ඊටත් වඩා මට හිතෙන්නේ තමන්ගේ පලවෙනි ආදරේ ඇහැට පෙනී පෙනී ගෙදරම ඉඳිද්දී ...දුක නැත්ද . ඔය අතරේ පොඩි හිත අමාරුවක් වෙලා මල්ලි ගෙදරින් යනවා. ආපහු ගෙදර යන්න හිතුවත් මග වැරදිලා  ලොකු ගඟක් ළඟ නවතින්න වෙනවා.
උදේ වෙද්දී එයා පාෂාණයක් වෙලා.
    මල්ලි ගිය එක ගැන දුක් වුන අය්යත් මල්ලි හොයන් ගිහින් අර ගල ළඟදීම මහන්සියට නවතිනවා. එයා ගහක් වෙනවා. දෙන්නම නැති දුකෙන් තරුණ බිරිඳ ඔහේ ඇවිදන් යද්දී අර ගහයි ගලයි දැකලා ගහ බදාගෙන වැලපෙනවා. ඊට පස්සේ වැලක් වෙනවා... දුකින් හැඬු හදවතේ හැඩයට කොලත් දරාගෙන . හිතා ගන්න පුළුවන්නේ ඒ තමා බුලත් . අය්යා පුවක්. මල්ලි හුණු .
   මේ කතාව දැනගත්තු ගම්වැසියෝ ඇවිත් එතන පන්සලක් හැදු බවයි කියන්නේ.
ඔන්න ඕකයි කතා පොඩ්ඩ. ඔය ආදර කතාව නිසා අදත් මගුල් ගෙවල් වල දෙපැත්තේ කට්ටිය කතා කරන්න පටන් ගන්නේ බුලත් විටක් හපල තමයි . මගුලකදී අනිවාර්ය අන්ගයක්ලු. බුලත් කොලය හරි ගානට දෙකට බෙදන්න හැකි නිසා ඒ වගේම සමාන දෙන්නෙක්ලු නේ කසාද බදින්න ඕන. කොහෙන් හොයන්නද  සමාන දෙන්නෙක් .
තව නව වසරට සහ තව පුද පුජා වලටත් බුලත් වලටත් වඩා පුවක් ගන්න බව පේනවා.
එදිනෙදා ජීවිතයේදී බුලත් කෑමට නම් ලංකාවේදී වෙච්ච සන්තැසියම  තමයි.  ගමක ආච්චියෙක් ඇරුනම මේ රූපේ රැක ගන්න ඕන දෙයක් කරන්න කැමති ලස්සන කෙල්ලෝ කයි බුලත් .

 
මෙතනින් පහලට තියෙන්නේ වැඩිදුර හොයපු   කරුණු. කම්මැලි නම් නොකියවා ඉන්න.
දකුණු ආසියාවේදී ..චීනය ,තායිලන්තය , මියන්මාරය , ලාඕසය , කැම්බෝඩියාව.,පිල්පිනය..ඉන්දුනීසියාව. හා ඕෂනියා රටවලදී බුලත්සහ පුවක් වලට සංස්කෘතික අගයක් ලැබෙනවා.ඕෂනිය දන්නැත්නම්   http://en.wikipedia.org/wiki/Oceania යන්න .

හුඟක් රටවල විවාහ සිරිතක් විදිහට මේක  තවම වැදගත්ලු. මාල දිවයිනේ වැඩිය කන්නේ පුවක්. අමුවෙන්මත් රොස්ට් කරලා කරන්දමුන්ගු , සිනි හෙම තවරලා ටිකක් පිළිවෙලටත් එයාල පුවක් කනවා . එක'' ලු'' නැතිව කිව්වේ මමත් කාල තියෙන නිසා. රැකියාවට පුහුණු වෙන කාලේ අපි එක්ක හිටපු මාල දිවයින් සෙට් එක කොච්චරවත් මොනවද හපනවා. අපි හිතුවේ චුයින්ගම් හරි නැත්නම් උම්බලකඩ කියල. අපි වගේ ප්‍රේතයෝ එක්ක උම්බලකඩ කැල්ලක් වත් හොරෙන් කන්නය. අපිටත් දුන්න . බැලින්නම් පුවක්නේ . හැබැයි අමුතුම  රසක් .



                                                                                                          බාලි   දුපතේ  ගිරයක්.
                                                                                                             නිකන් දැකල පුරුදුයි වගේ නේ
 
චීනයේ සමහර පැතිවලත් [විශේසයෙන්  දකුණු චීනයේ] තායිවානයේත් සැලකිය යුතු බුලත් කෑමක් තාමත් වෙනවලු. 
  ඉන්දියා පකිස්තාන් හෙමත් එහෙමයි. තායිලන්තේ දැන් අඩුයි.
බුලත් පුවක් එහි ඇති අවුෂධිය [ලියන්න  දන්නේ නැහැ.] ගුණයටත් ප්‍රසිද්දයි. බුලත් දත් දිරා යාම වලකනවලු, පුවක් පණු අමාරුවට හොදළු. ඒත් පිළිකා අවදානම මගින් ඒ හොඳ ගුණ නැතිවෙනවා. කටේ ,හා අහාර මාර්ගයේ අනික් කොටස් වල විතරක් නෙමේ prostrate , cervical  වගේ පිළිකා තත්ත්ව වලට පාර කපනවලු දිගු කාලින බුලත් හැපිල්ල. අනේ මන්ද බටහිර කල පර්යේෂනනේ. අපේ රටවල මේ වගේ දේවල් ගැන එච්චර පරීක්ෂණ කරලා තියෙනවද දන්නේ නැහැ. මොකටද ඉතින් අත්‍යවශ්‍ය දේකුත් නෙමේනේ. නොකා හිටියම හරි.

ඔය ටික කිව්වේ වැඩිදුර කියවන්න වෙලාව නැති අයට,. ආස නම් සහ වෙලාවත් ඇතිනම් මෙන්න පාර .විකි මහතාගේ ගෙදරින් තමයි විශ්වාසෙට යමක් ණයට ගන්න හැකි.

http://en.wikipedia.org/wiki/Areca_nut 


 
බුලත් කොළ වල පුවක් ගෙඩි වල පින්තුර දැම්මේ නම් නැහැ. දැකපු නැති කෙනෙක් නැතුව ඇතිනේ.
ඕව ඔක්කොටම වඩා බුලත් හැපීමෙන් මුඛ පිලිකා හැදීමේ අවදානම ගැන දැනුවත් වීම නිසා මේ පුරුද්ද නැතිවේගෙන යන්නේ. මුඛ පිලිකා සැදීමට ප්‍රධාන චුදිතය දුන්කොල හා හුණු කියල මම හිතන් හිටියට ''විකි'' මහත්තය කියන්නේ පුවක් තමයි නරකම අනික් දෙන්න කරන්නේ අත් උදව් දෙන එකයි කියලයි.

Thursday, 26 May 2011

 
 
 
මඩේ ඉපදී එහිම දුක් විඳ..
නෙලුම් ගස දුනි  මේ අලුත් මල ..
රැට අහසේ සුදු වලාකුළු ..
හොරෙන් ඇවිදින් ගියා පිනි ඉස..
 
හමන සුළඟින් පාර අහගෙන ..
සුදු දුවේ අද නෙලන මේ මල
කාට දෙන්නද මම නුඹට  මිස

Wednesday, 25 May 2011

මල් නුවර මල් සුවඳ විඳ...


 
සීතලෙන් හිරිවැටි සිටි මගේ පළමු සිසිරය නිමා වී වැඩි දිනක් නැත. මෙවර සිත සමය වෙනදාට වඩා දිගුය. හිම නැතත් අධික ශිතලයෙන් ගෙවී ගිය මාස පහක පමණ දිගු සිසිරය නිමා කොට එක්වරම තද අව්වක් වැටිණි. සිදු විය යුත්තේ මාර්තු වේදී  ක්‍රමයෙන් සිතල අඩුවී අප්‍රේල් මැයි  සෞම්‍ය වසන්තයද මැයි අග සිට ග්‍රීෂ්ම සමය ඇරඹීම වුව සොබාදම් මව දැන් සම්මතයන් නොහදුනයි. ඇයට කල අකටයුතුකම් වලට තරහා වී වගෙයි .
එහෙත් දින කීපයක සිට විටෙක අනෝරා වැසිද විටෙක සිරි සිරි පොද වැසිද වැටෙමින් සුනිදු වලා පෙලින් සැඩ හිරු රැස්  පෙරා දෙමින් අමුතු සුන්දර පරිසරයක් මවා දෙයි..
සැබවින්ම මෙය චමත්කාර වසන්තයයි මම සිතමි...
වසර කීපයක් අප සිටි හෝ චි මින් නගරය නිවර්තන දේශගුණයකින් යුතු නිසා කොළඹට වඩා වෙනසක් නොවිණි.  පසුගිය සරත් සමයේ මෙහි ආ බැවිනි මෙය මගේ පළමු වසන්ත සමය වනුයේ.....

[  Hoan Kiem විල ..අර ඉබ්බන් ඉන්නේ මේකේ තමයි]



මල් දියට වැටී......


''නෙලමි අවසන් මලත්..
පිපෙනු ඇත හෙට..
මල් අලුත්..''

''නුඹත් නෙළුමකි..මඩේ පිපුනත් කිලිටි මඩ නැති''




''වියපත්ය ජීවිතය  ..
එහෙත් මේ මල් තවම සුවඳය...''





''හිරුට විතරක් නොවේ..
හිනාවෙන් මටත්...''

''මල් සුවඳ ද ..සුවඳ නුඹ  දහදියද ..''




''ඔය සුමුදු මල් උරට ..බර වැඩිද...''




                                                           නොරිදවා පෙති ..
                                                   මලක සුව දුක් විමසන...

දියණියන්ගේ පාසලට යනෙන මග දෙපස නෙලුම් පොකුණු   නැවුම් නෙලුම් පතින්ද අලුත් පොහොට්ටු වලින්ද සැරසී හැම උදයකම මා හා සිනා සේ. ගේ ලගින් දිවෙන පාරේ මල් කුඩ රැඳී බයිසිකල් ඒක පෙලට යාමට පටන් ගත්තේ නම් සිසිර සමයේ සිටමය. ''මල් ගම්මානයත් ''  ''මල් පොලත්'' පෙනෙන මානයේ නිසා බැලූ  බැලූ  අත මල්ම පෙනීම අරුමයක් නොවේ.  සියලු දේ ඉතා මිල අධික මෙහි මල් නම් එතරම් මිල නොවේ.
රුපියල් වලින් නම් 300 කටත් අඩුවෙන් සුපිපුණු රතු රෝස මල් හතළිහක් හෝ හෙට්ටු කිරීමේ සමතෙක් නම් පනහක් වුවත් ගත හැක. අපිත් අන්ඩෝ [ An Do = ඉන්දියානුවන් ] යයි සිතන නිසා සුද්දන්ව තරම් අපිව අන්දන්නට බැරි බව මොවුනුත් දනී. එහි වාසි මෙන්ම අවාසිත් නැතුවා නොවේ. උදෑසනම කඩයක් ඇරිය විගස ඉන්දියානුවෙක් ගොඩ වුනොත් මොවුන් නොදැක්කා සේ හිඳී.  කොහොමටත් ඉන්දියන් නොව ශ්‍රී ලන්කන් බව කි විට ඉතා ප්‍රීතියට පත් වන වියට්නාම ජාතිකයන් මට හමු වී ඇත. මෙහි සිටින ලාංකිකයින් අතලොස්ස තවම රටේ නම රැකගෙන ඇති බව නම් ආබම්බරයට කරුණකි.

ඉතින්..සිසිරයේ මලානිකව තිබු තුරු හිස් ටික ටික මල් ඔටුනු පළඳියි. රතු පැහැති මැයි මාර ගස්ද  ..තවත් නම නොදත් නෙක වර්ණ මල් ගස්ද සෙමින් ඇහැරෙමින් සිටි..රොබරෝසියා මලට සමවූ දම් පැහැ මල් ගස් නම් මුළුමනින්ම මලින් වැසි  ගොස්ය. පාසලේ ඇති ගස් වල මිමැස්සන් නිසා  මලක් කඩන්නට ඉඩ නැතැයි ලොකු දෝනි ගෙන් පැමිනිල්ලෙකි.
නෙලන්නට නොදී
මේ මල් ..රකියි
 මිමැසි  සෙබළුන්...


මොවුන් මල් සැකසුම් වලටත් උපන් හපන්නුය . එමෙන්ම වැලන්ටයින් ගේ සිට එකී නොකී සියලු දිනයන්ට මල් හුවමාරු වේ. විවුර්ත කිරීම්..උපන්දින ..සංවත්සර ඔය කෝකටත් මල් නැතුව බැරිය. ලංකාවේ මෙන් එය සුපිරි  පන්තියේ ගනුදෙනුවක් නොවේ. ගෙදර සේවිකාව නෝනාගේ විවාහ සංවත්සරයට මල් පොකුරක් පිලිගන්වා සුබ පැතුවොත් එතරම් පුදුම වන්නට දෙයක් නැත.. .[ ගෘහ සේවිකාවන් ගැන වෙනම ලියන්නට සිතා සිටිමි . එය ඉතා රසවත් සහ අපට උගැන්මට බොහෝ දේ ඇති මාතෘකාවකි .]
කෙතරම් මලින් පිරි නෙක පැහැ වුවද මගේ සවනට යමක් අඩුය..ඒ ළමා කලද ඊට පසු කලද සවනට ගීතයක් වූ මලිති බටිති නාදයයි
      ......එය නම් මෙහි විරලය...අපේ ආදරබර කපුටුහාමිත් ඇත්තෙම නැත.
වනබද ගම්මාන වල කුරුල්ලන් ඇති අසා ඇතිද මේ නගරයේ නම් මා කුරුල්ලෙක් දකිනුයේ ඉතාමත් අහම්බෙනි. හේතුව පරිසර දුෂණය යයි කියුවද තවත් හේතුවක් ඇත...[එය වෙන දිනක ලියන්නෙමි. අද ලියන්නේ සුන්දර වසන්තය ගැන නිසාවෙනි .]
.......දකුණේ වැඩිපුර වැවෙන්නේ අපේ මෙන් නිවර්තන මල්ය. බෝගන්විලා..බුත්සරණ ,ඉද්ද සහ අන්තුරියම් වැනි මල්ද බිගෝනියා වැනි ලස්සන පැලද දැකිය හැක. අපි ගඳයි  කියා ගණන් නොගන්නා ගඳ පානද..අපේ සොහොන් බිම් වල ඉබේ වැවෙන සහ පොඩි කාලයේ නෙක පාට දැක  ආසා වී   මා උදුරා ගෙන ආ පැලයද අම්මා විසින් විසි කර දමන ලද ''මිනි මල් '' ද  පාර දෙපස හා වටරවුම් වල ලස්සනට වවා ඇති අයුරු කදිමය.
''ගඳ පාන මලකි මම ..සුවඳක් නැතැයි..ඔබ අහක විස කල..''




 අපේ නුවර එළියේම අනුරුවක් වැනි ''Da Lat '' නම් සුන්දර ප්‍රදේශය හෝ චි මින් නගරයට තරමක් ...තරමක් කීවාට පැය අටක පමණ දුරකින් පිහිටි නිසා රෝස ඇතුළු අනෙකුත් මල්ද හිග නැතිව   ප්‍රවාහනය වන අතර මිලෙන් නම් Da Lat   රෝසි හැනොයි රෝසිට වඩා උඩින් සිටි.
..........හැනොයි නම් සිසිර සමයක් ඇති හෙයින් රෝස ..ඩේලිය..වැනි සෞම්‍ය මල් වර්ගයි වැඩිපුරම පිපෙන්නේ...ගිම්හානයේදී නම් අරලිය ..වතුසුදු මෙන්ම නෙලුම් කුමාරිලද අඩුවක් නැත.
.......මා පමා වී මල් ගැන ලීවද මෙහෙ වසන්තයේ ඇරඹුම සේ සැලකෙන්නේ  Tet  [චීන අවුරුද්ද මෙහෙදී Tet ය ]  වලින් පසුවයි. පෙබරවාරියේ මැදට යෙදුනු අලුත් අවුරුදු උළෙල සමගම මල් සැණකෙළි වලින් රටම ඇලලී යයි..දකුණේ  කහ පැහැ Hoa mai [ Apricot] මල සුබ ලකුණ වී ගේ දොරද පාර තොටද කහ පැහැ මල් උයන් වද්දී ..උතුරේ රෝස පැහැති Hoa Dao[රෝස Apricot] මල 
සහ පීච් මල   සුබවෙයි.  මොන බෙහෙත් ගසා හෝ බලෙන් හෝ මේ මල් දෙවර්ගය නම් අනිවාර්යයෙන් පිපි තිබිය යුතුමය. බොන්සයි කල මල්බර ගස් වල මිල ඉතා අධිකය. අතේ මිටේ ඇති තරමට පුංචි අත්තක් හෝ හැම ගෙදරකටම අවශ්‍යය .
මෙවර අධික සිතල නිසා පීච් මල්ද  අඩු වුනු බව මට අසන්නට ලැබිණි.

Hoa Dao[ Pink Apricot flower]


Peach Flower




ලියන්නට ගියේ වසන්තයේ ලස්සන ගැන වුවත් වැඩිපුර හඳුන්වා දීම් වලින් ලිපිය දිග විය .. කියවන්නට වෙහෙසක් දැනුනි නම් කියවුවෝ කමත්වා.!!