Wednesday, 13 July 2011

Pierre Auguste Renoir -''චිත්‍රා '' ට ඉර ඇබින්දක්





කව්ද මේ පියරේ ..සහ චිත්‍රා . ඔන්න ආදර කතාවක් හෙම නෙමේ . මේ පියරේ කියන්නේ අඳුරු කාමර වල හිරවී සිටි චිත්‍ර කලාව එළිමහනට ගෙනියන්න පුරෝගාමී වෙච්ච ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් .

   
ඔන්න මට බනියිද කට්ටිය කවි අතහැර චිත්‍ර ගැන කතා කරනව කියල .
ඒත් මන් ආස කර්මාන්ත ගැන ලියන්න කැමතියි නොදන්නා දේවලට අත දාල සවුත්තු වෙනවට වඩා . මේක හදිසියේ ගත්තු තීරණයක් . මුණු පොතේ ''ඇඳපු චිත්‍ර පිටුවට ලියන්න හිටපු එකක් . ඒත් මගේ ටිකිරි මොලය කිව්වා ''දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගන්න'' විදිහ .

මන් දන්නවා හොඳ චිත්‍ර ශිල්පියෝ මේ පැත්තේ එනවා . අනික ''ඇවිදින පුස්තකාල'' වලත් මේ ගැන පොත් හෙම නැතැයි. ඒ දෙකම නැතත් පියරේගේ කතාව රසවත් .

විහාර මහා දේවී එක ළඟ චිත්‍ර අඳින තරුණයෙක් දැක්කම මොකද හිතෙන්නේ . ඇත්ත සමහරුන්ට නම් ඔහු පිස්සෙක් වගේ පේනවත් ඇති . මොකද අපේ සමහර ය තවම 19 වන සියවසටත් ඈතින් ජිවත් වෙන නිසා . ඒත් සාමානය ලෙස පරිනාමය වුන ඕනෑම කෙනෙක්ට අර තරුණයාව අගය කරයි . එක්කෝ දැක්කේ නැහැ වගේ ඉඳියි .

දන්නවද මේ පියරේ උපන් 1841 කාලේදී යුරෝපේ තත්වය . ''පිස්සු යකෙක් '' ''ඔල්මාදකාරයෙක් '' කියල මුනටම කියන සමාජයක් . මොකද චිත්‍ර කියන්නේ කලාගාර වල් ඇතුලේ කරන කලාවක් කියල සම්මත වෙලා තිබුන නිසා .

මේ පොඩ්ඩට අවුරුදු හතරේදී තමයි පවුල පැරිසියේ රජ මාලිගය ළඟ ගෙයක පදිංචියට ආවේ . ඒ කාලේ රැජින රජ ගෙදර මිදුලේ සෙල්ලම් කරන ළමුන්ගේ කරච්චලෙන් බේරුනේ රසකැවිලි විසි කරලලු .[ අදත් ඕක වෙනවනේ නැද්ද ]

ටේලර් කෙනෙක් වෙච්ච තාත්තගේ මැහුම් කඩේ බිත්ති ..පොලව හෙම පුංචි පියරේගේ රටහුණු චිත්‍ර වලින් අලංකාර වෙද්දී තාත්ත පියරේට සත්තමක් දැම්ම නම් අද මට මේ ලිපිය ලියන්න වෙන්නේ නැහැ.
අවුරුදු 15 ක්වෙන්නත් කලින් පිඟන් වල රටා අඳින රස්සාවක් ඔහුට ලැබුන . කවුද මැසිමක් හොයා ගත්ත ඒ රුප මුද්‍රණයට . පියරේ රැකියා විරහිත වුනා . ඒත් මගේ හොඳ  වෙලාවට . ඊට පස්සේ යොවුන් පියරේ චිත්‍ර පාසලක ට ඇතුළු වුනා .


පියරේ සහ මිත්‍රයන් කතා වුනා ඇයි හැමදාම කාමර ඇතුලේ අඳින්නේ ...එලියට ගිහින් ඇන්දොත් මොකද වෙන්නේ කියල . කතාවෙන් නතර නොවී එලියට ගියා මේ පිරිස .
අද අපිට ඒ අදහස පරණ වුනාට එදා එය විප්ලවයක් . ''පිස්සෝ '' මිනිස්සු හිනාවුනා . වරක් සෙන් ගඟ ලඟදි පියරේ ඔත්තු කාරයෙක් කියල ගඟට විසි කරන්න හදද්දී  දන්නා කියන කෙනෙක් ඇවිත් බේරා ගත්තලු .


ඔන්න ඔහොමයි චිත්‍රා පියරේ එක්ක ලඳු කැලෑවල...ගං ඉවුරුවල විතරක් නෙමේ මගතොට මිනිස්සු එක්ක ඇවිදින්නත් පුරුදු වුනේ .  ඒ කාලේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෝ චිත්‍රාගේ මේ රස්තියාදු ගැහිල්ලට කැමති වුනේ නැහැ . මිනිස්සුත් එයාට හිනාවෙන්න ගත්ත .



ඒත් පියරේ චිත්‍රට ආදරේ කලේ මුළු හදින්ම .චිත්‍රත් එහෙමයි . කලාගාර වලට මේ දෙන්නව වැද්ද ගත්තේ නැහැ . ගත්තත් හිමි වුනේ අඳුරු අහු මුළු.  ඒත් මේ යුවල අවංකව ආදරේ කළා . අන්තෙටම දුප්පත් වුනත් චිත්‍රා පියරේගේ ලඟින්ම හිටියා .





පියරේගේ එක ලක්ෂණයක් තමයි එළිමහනේ ඇන්දත් වැඩිපුර ඇන්දේ මිනිස්සුන්ව . භුමි දර්ශන ඇන්දේ ටිකයි . මිනිස්සු ඔහුගේ පින්සලත් එක්ක කැන්වස් මත රඟන්න වුනා . හරිම ජීවමය බවක් තියෙනවා ඒ මුහුණු වල . මෙන්න මේ ගතියට හිත ගිහින් ධනවතුන් තමන්ගේ රුප අඳින්න මොහුට බාර  දුන්න . දැන් නම් ඔහුගේ කල හොඳයි . චිත්‍රගෙයි එයාගෙයි ජිවිත වලට හොඳ කලක් ලැබුවා . මිනිස්සු මේ දෙන්නට ටික ටික ලං වුනා . ඔහොම ඉදිද්දී ''ඇලින් ''ඔහුට ලං වුනා . චිත්‍රට තිබ්බේ උතුම් හදවතක් . එයා පියරේගේ මේ ආදරේට උදව් කළා.

පියරේ ඇලින්ව විවාහ කර ගත්ත . චිත්‍රත් සතුටෙන් ඔහු ළඟ හිටියා . විවාහෙට කලින් වගේම පසුවත් ඇලින් ඔහුගේ සිතුවම් වලට ඇතුල් වුනා . ''ජිවන කැන්වසය මත ..... ඔබයි  සදා ඇඳි රුව '' පියරේ එහෙම කියන්න ඇති .

පලවෙනි පුතා පියරේ ..දෙවෙනියා ජින් ...තුන් වැනිය දුව ක්ලොඩි..ලස්සන පවුල .
තව දෙයක් මේ පියරේ ට අර ලේඛකයින්ට හැදෙන ''රයිටර්ස් බ්ලොක් '' වගේ හැදිලා [ ආටිස්ට් බ්ලොක් වෙන්න ඇති] ඉබාගාතේ ගිහිනුත් තියෙනවා සමහර වෙලාවට .





ඔහුගේ චිත්‍ර වගේම ජීවිතයත් මට නම් රසවත් . කොහොම වුනත් පුත්තු දෙන්නත් යුද්ධෙන් තුවාල වෙලා බිරිඳත් මිය ගිහින් කණගාටුවෙන්    හිටි මේ අසහාය ශිල්පියා අවුරුදු 78 දී මිය යද්දිත් චිත්‍රට බැඳී පෙම එහෙමම තිබුන . මිය යන දවසෙත් මලක සිතුවමක් ඇඳලා චිත්‍රට දීල ගියා ..

  සියල්ල අහිමි වද්දීත්
පුංචිම හරි සතුටක්
ඉතිරි වෙයි ...අරන් යන්නට
නික්ම යනදා ..
ලෝකය පුරා කලාගාර වල ඔහුගේ සිතුවම් මෙතනින් බලාගන්න . විස්තර ගත්තේ විකිගෙන් .
සහ මෙතනින්

කියවන්න වෙලාවක් නැතත් තව ගොඩක් සයිට් තිබුන


සෙනසුරාදා දිහාට සති දෙක ක් පමණ අනාගත ඇමරිකන් ජනාධිපති කෙනෙක් බැහැ දකින්න ආරාධනාවක් තියෙනවා .එහෙ ගිහින් නෙලුම් විලේ පීනන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා . බැරි වුනොත් අමනාප වෙන්න එපා

Friday, 8 July 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද


ගොඩ මඩ දෙකම එකවාගේ පලබරද
ගම මැද ගැලුව ගඟ තාමත් ගලනවද
කඩමණ්ඩිය වසා ලොකු කඩ හැදෙනවද
කටුරොද ගැන කවුරු අද කවි ලියනවද

මල් පෙති පාට තව හඳුනා නැද්ද
කොල්ලන් තාම අඳ ළමයා මඩිනවද
අම්මා අඬන බව තාමත් දැනෙනවද
මැණිකෙගේ නෙතින් තව කඳුලැලි වැටෙනවද

තම සැප නොවේ මැණිකෙගේ සැපතම පතන
අදිරිගේ පෙමට උපමාවක් දෙනු නොහෙන
ඔහු නින්දට ගියා පස් යට සුව යහන
මැණිකේ ,ටිකිරි,සහ පුතු දල්වයි පහන

දැනුමෙන් වැඩියි දියුණුව ඇත හිනිපෙත්තේ
එනමුදු ගමේ ලස්සන එය ගිලගත්තේ
ටිකිරි,මැණිකේ හා අදිරිගේ තිබු චිත්තේ
පිරිසිදු ආදරේ අද කොහිදෝ ඇත්තේ

පොඩි අමනාපෙටත් වස ටික එයි ලඟට
නැත්නම් පනී මුහුදට වැවකට ගඟට
ජිවිතයේ සැබෑ තතු කියවෙන යසට
''සුදෝ සුදු'' කියා ඇත පාඩම් අපට


ඊයේ පෙරේදා මැකී ගිහින් තිබ්බ ''සුදෝ සුදු '' මතකයන් අලුත් වූ නිසා මට මේ අදහස පහල වුනා . කොළ කෑල්ලක මහා රෑක කුරුටු ගෑවුන කවිටික මුණු පොතට දැම්මත් මෙතන ලියා තියන එක හොඳයි කියල හිතුන. පොඩි කාලේ ලිව්ව දේවලුත්  එකතැනක එකතු කළා නම් අද කොච්චර හොඳද .  කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ ''කේයස් '' හෙවත් සාගර පලන්සුරිය ලියු කවි අතර අපට විශේෂයෙන් මතක ඇත්තේ ''සුදෝ සුදු '' කාව්‍ය සංග්‍රහයයි. ''සුදෝ සුදු රස විඳිමු '' කියා මුණු පොතේ ඇති බව දැක මා තරමක් පුදුම වුනා ...එවැනි දේ තවමත් රස විඳිය හැකි පරපුරක් ඉන්න බව දැකීමත් සතුටට කාරණයක් . '' සුදෝ සුදු රස විඳිමු ''ට ගොහින් එම පිටුව බලාගන්න හැකියි.
යන්තම් අකුරු කියවපු කාලෙම කියෙව්ව පොතක් මේක . අද අපි නිදහසේ නිසදැස් තමා වැඩිපුර ලියන්නේ . එළිසමය එතරම් සලකන්නත් අවශ්‍ය නැති නිසා මමත් වැඩිය ඇදී ගියේ ඒ පැත්තට .  මන් අහල තියෙනවා නිසදැස් සහ සඳැස් අතර බේදයක් ඇතිවුනා කියල මුල් කාලේ . අපේ විද්වත් මණ්ඩලය මේ අවස්ථාවේ මේ ගැන අදහස් දක්වයි මතක පෙට්ටගම් පෙරලලා . මට තියෙන්නේ පොඩි ආරම්භයක් දෙන්න විතරයි . මන් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි . මමත් කෑදර කමේ ඉන්නේ කමෙන්ට් ටික වැටෙනකම් .
 ඉතින් සඳැස් අය්ය නිසදැස් නංගිට අරියාදු කලත් අපි දැන් එයාල සමගි කරලා තියෙන්නේ . දෙන්න දෙමාල්ලෝ සතුටින් පවුල් කන බවයි මට පෙන්නේ. ඕනෑම නම් ගින්නක් අවුලමු ..''.සඳැස් ද නිසදැස්ද වඩා හොඳ ''කියල . විහිළුවට කිව්වේ. ඔය යන විදිහ හොඳයි .
..කොළඹ යුගයේ කවීන් ඒ කිව්වේ විමලරත්න කුමාරගම ...කේයස් ..පි.බි අල්විස් පෙරේරා . වගේ කවීන්ගේ කවි වල සරල සුගම බවට මන් ආසයි . ලාංකීය සිනමාව සහ ගීතය පිටුවෙන්  ගොඩක් දෙනෙක් මේ ගැනත් කතා කරනවා. විශේෂයෙන් දීපාල් ජයමාන්න සොයුරා විමලරත්න කුමාරගමගේ කවි පන්ති කීපයක්ම යොමු කරලා තිබුන
. පි. බි මැතිදුන්ගේ ''මගේ රට '' කාටත් මතක ඇති . ඇත්තටම මේ අය ගැන වෙන වෙනම පෝස්ට් වලින් කතාකලත් පාඩු නැහැ . ඒත් මන් ඉතින් කම්මැලියනේ මෙගා ලියන්න  ඔන්න ඔහේ මේකටම ලියල දානවා... මට වඩා ඉවසීමක් ඇති කෙනෙක් ඒ වැඩය කරනු ඇති විශ්වාසෙන් .
 අපි කොළඹ යුගයේ කවිය ගොඩක් අඳුර ගත්තේ සිංහල පෙළ පොත් වලින්. ඇත්තටම ඒවා බොහොමයක් අපේ පරම්පරාවට කට පාඩම් . අඩු ගානේ කවි වල කෑලි හරි . සමහරු හිතන විදියට අවාසනාවට මගේ පුද්ගලික අත්දැකීම අනුව මට නම් වාසනාවට මන් අර ''වැඩ හයේ '' සාමාන්‍ය පෙළ කට්ටියේ කෙනෙක් . මන් වාසනාවට  කිව්වේ වැඩ අටක් වෙනුවට හයට අඩු වෙච්ච එකටයි පැවරුම් වලට කරුණු හොයන්න රට වටේ රස්තියාදු වෙන්න ලැබිච්ච එකටයි . ඒවායින් පුදුම අත්දැකීම් ගොඩක් ලැබුන . ඒ ගැන වෙනම ලියන්න ඕන . ඒ ක්‍රමය හොඳයි කියන්න කවුරුත් කට ඇරියේවත් නැහැ ඒ කාලේ . කොළඹට කිරි ගමට කැකිරි කියල විශාල ආන්දෝලනයකට ලක් වෙලා පටන් ගත් තැනම ලොප් වුනා මිස. කොටින්ම අපේ පන්තිවල කෙල්ලොත් ඕකට කැමති නැහැ . මොන එහෙකටද මන්දා මට නම් අදත් දොසක් පෙන්නේ නැහැ . ගමේ ළමුන්ට ත් ඒකට බද්ධ වෙන්න හැකි ලෙස දියුණු කරලා ගත්ත නම් ඒ ක්‍රමය අද මගේ පොඩ්ඩෝ ඉගෙන ගන්න ක්‍රමයට ටිකක් ගෑවිලා යන බවයි මගේ අදහස. 9/9 ම මට හැම පැවැරුමටම ලැබුනා .
 ඒ කාලේ හැමදේම ටික ටික හරි කරන්න ඕන . ලියන්න අඳින්න හැකිකම නිසා සේරමටම ලකුණු ගත්තත් එක දේකට නම් 8/9 වුනා . ඒ තමයි කවි ගායනය . දෙය්යන්ගේ පිහිටයි .මට නැතිම හැකියාවක්නෙ ඕක. සැහෙන්න දුකයි ඉතින්. මක් කරන්නද . ගයන්න බැරි නිසාම කවි ලියන්නයි රස විඳින්නයි වැඩිපුරම පෙළඹුනා . අපේ පන්තියේ සිටි ගීත කෝකිලාවන් එක්ක මට ඉතින් හැරෙන්නත් බැහැ. අනේ මන්දා ඒත් එක ගායිකාවක් වත් දැන් සින්දු කියන පාටක් නැහැ. අපරාදේ ඒ හැකියාවන් වලට යටවෙලා යන්න දුන්නේ.
 සාමාන්‍යයෙන් අපි ඉඳහිට කවියක් ලිව්වත් කවි පොත් සල්ලි දීල ගන්නවා අඩුයි . ඒ නිසා කවි පොත් ලියවෙනවත් අඩුයි . ඒත් කොළඹ යුගයේ කවියන්ගේ කවි ඇති පොතක් නම් මන් ගන්න පසුබට වෙන්නේ නැහැ . සුදෝසුදු ත් පරණ පොත අපේ ගෙදරින් අතුරුදන් වුනත් අලුත් මුද්‍රණයේ පොතක් මන් ලඟදි ගත්ත . නිසදැස කොච්චර ජනප්‍රිය වුනත් ඇයි මිනිස්සු නොගන්නේ . ඒක ප්‍රශ්නයක් නේද . අපි ලියනවා . කොහේ හරි දැක්කොත් කියවනවත්  එක්ක . ඒත් වැඩි දෙනෙක් නොගන්න හේතුව මොකක්ද . ''පොත් කියවන අය ''කණ්ඩායමේ වත් කවි පොත් ගැන කියවෙන්නේ නැති  තරම් . මට හිතෙන්නේ කවියේ සරල සුගම බව නැතිකම . සංදේශ කවි වල ...ජනකවි වල ...කොළඹ යුගයේ කවි වල තිබ්බ රිද්මය  නිසදැසින් ගිලිහී යාම වෙන්න ඇති . මේ දැන් මගේ ඔළුවට ආපු අදහසක් ඒක. මන් හරිද මන්දා . දැනට ගොඩක් අය කියවන කවි පොත් ඇත්නම් මාව දැනුවත් කරන්න . මේ පාර පරිප්පු ගෙන අදහස ඇත ඇරලා පොත් වලට එක බැග් එකක් වෙන් කරන්න හිතන් ඉන්න නිසා. කඩේක පරිප්පු තියෙනවා දැක්ක .
    මට වැඩිපුර කියන්න  ඕන වුනේ සුදෝ සුදු ගැන . ඒත් කොළඹ යුගයේ අනිත්  කවි ගැනත් කතා කරමු . ඊට පස්සේ නිසදැස් ගැනත් කතා කරමු . තවත් හිතෙනවා නම් කවි මුතු වලට ගිහින් කවිත් ලියමු .
අදට ඇතියි සිතෙනවා . මේකට ස්තුති කරන්නේ කාටද ..මුණු පොතේ දීපාල් සොයුරාට ස්තුතියි යලිත් ''සුදෝ සුදු ''මතක් කලාට . බනියි ලොක්කියි තනියම පාටියක් . බනිගේ තාත්තට වැඩ වැඩියි . ග්‍රීෂ්ම කාලෙට මිනිස්සුන්ට වැඩිපුර තිබහ වෙන නිසා. මට ඕන එකක් ලියා ගන්න දීල එයාල තමන්ගේ වැඩක් බලාගන්න එකට ස්තුති කරන්න එපාය .
ඊට පස්සේ මොන විකාරයක්ද කියල බැන බැන හරි මේක කියවපු හැමෝටමත් ස්තුතියි.
 
පින්තුරය ගුගල් පින්තුර  අඩවියෙන්
 
ප . ලි. මගේ ළමා කල යහළුවෙක් සහ යෙහෙලියක් අලුතින් බ්ලොග් ලෝකෙට ඇවිත්. මට පරණ අය අත දුන්න වගේ මගෙනුත් එයාලට උදව්වක් දෙන්න ඕන. කියෙව්වට පාඩුවකුත් නොවෙන නිසා .
පොත් ගුල්ලගේ
සහ
කවි මුතු වල ලියන චන්දී [ චන්දී ල දෙන්නයි . අපේ චන්දී අක්කයි මේ චන්දියි ]

Tuesday, 5 July 2011

ගන්ධබ්බ මවක් ..පුතුට කිව් කවක්

කාටත් කියා ගමරට ලොකු හීන     මවන්
පහුකර වලා කැටි අල්ලන තරම     දුරින්
දාහක් විල් අතැර සයිගොන් ගඟට උඩින්
ආවේ පතන් යන්නයි  රන් ඉසුරු   අරන්

සුවහසකට වඩා වැඩියෙන් පෙරත්     බවේ
සෙනෙහස උපන් දා සමුදුර වැටක් නොවේ 
තිබුනා වගේ දැනුනිද ආදරේ             සුවේ
හඳුනා කෙසේ බලමුද සිත ඇඳුන        රුවේ

 ආලය තියා උගසට ඇඳි රන්      මුද්ද
කාලය ඉගිලුනා එය දුටුවේ        නැද්ද
තාලය ලිහී ගීයේ තනු           වැරදෙද්ද
බාලය මුදුව  රන් වුව මලකඩ   කද්ද

ආ මග වැරදිලා ආලය මග        වැටුනයි
කාහට වුනත් වෙන්නට ඇති දේ උරුමයි
වීදුරු බඳුන ජිවිතයේ බිම           වැටුනයි
පිහි තුඩ රිදෙව්වේ මට නොව රන් පුතුටයි

දෙතනේ කිරි පිරුණි දෙනු බැරි විය         ඔහුට
අප්පත් අද හෙටම යයි මහ උළු             ගෙයට
දුප්පත් පුතුට  වේවිද කවුරුන්                   පිහිට
යන්නෙත් කොහොම අතහැර මන් දෙව් ලොවට  

නිමිත්ත ....
.
  වියට්නාම් මවක් සිය කොරියන් සැමියාගේ පිහි පහරින් මිය යයි.
 වැඩි ප්‍රසිද්ධියක් නැතිව පත්තරේ පුංචි කොනක තිබුණු මේ පුවත මන් දැක්කේ සති ගානකට කලින්. අමතක කරන්න බැරිව විටින් විට මේ කතාව මගේ හිත සසල කළා . අපේ රටේ නෙමේනේ කියල සැනසුම් සුසුමක් හෙලන්න  බැහැ කොහොමටවත් . කොහේ වුනත් මනුස්සයෙක් ..අසරණ වෙච්ච කිරිසප්පයෙක් . කියන සිතිවිල්ල මට වගේම ඔබටත් ඇති වෙයි කියල මන් දන්නවා . දුක හිතෙන දේවල් ලියන්න මන් ටිකක් අකමැතියි. ඒත් මෙය නොලියා ඉන්න බැහැ.
දැන් අපේ සමහර අය කරන්න වගේ ''ඔය ගෑනි ගේ වරදක් තියෙන්න ඇති ..මිනිහට හදිසි කෝපයක් එන්න ඇති '' කියල හිතමුද . මට නම් එහෙම හිතන්න බැහැ . හදිසි කෝපෙට හරි මොන එහෙකට හරි දරුවා ඉපදිලා  දවස් දහනමයක් වෙච්ච අම්ම කෙනෙක්ට පිහි පාරක් අනිනවා කියන්නේ අමනුස්ස වැඩක් . තිරිසන් කියන්න මන් අකමැතියි. මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන උදාහරණයක් සත්ව ලෝකෙන් දෙන්න මන් දන් නැති නිසා.
මිශ්‍ර විවාහ අද ලෝකයේ ඕන තරම් වෙනවා. මේ වගේ දේවලුත් මිශ්‍ර අමිශ්‍ර ඕනෑම ජන සමාජයක  වෙන්න හැකි. මේ කාරණයට අදාළ නැතත් වියට්නාමයේ ඉතා බහුල නිසා ඒ ගැන යමක් කියන්න ඕන. බොහෝ විදේශිකයින් වියට්නාම කාන්තාවන් විවාහ කර ගන්නවා . ඔවුන්ගේ හුරු බුහුටි රුපසොබාව නිසා වෙන්න ඇති. හෙට මැරෙයිද කියල හිතෙන වයසක සීයල පුංචි කෙල්ලන්ගේ අතින් අල්ලන් යනවා . ඕවට හිනා වෙන්න ද අඬන්න ද . .කොතැනක කවුරු වුවත් ඒ ජිවිත වලට සතුට ලැබේවායි පතනවා හැර .

Sunday, 26 June 2011

මකර මවක් වැතිර නිදන... තම දරුවන් සමග සොඳින

හැමදාම වියට්නාමය ගැනම ලියනවා යයි මගේ සිතම මට චෝදනා කරද්දීත් නොලියා බැරි දෙයක් තියෙනවා..මා දුටු සොබා සොඳුරු දසුන් ගැන කෙසේ නොලියා ඉන්නද. එයිනුත් මා වශී කල ...මා පමණක් නොවේ ලොවම වසඟ කල හැකි ''සුන්දර තැනක් '' ගැනයි අද මේ සටහන .
එකමත් එක කතා පිරුන මේ රටෙහි තවත් ලස්සන කතාවකි මෙයත්.
එක් යුධ සමයක මෙහි වැසියන්ගේ උදව්වට දෙවියන් දෙවියන් විසින් මකර පවුලක් එවනු ලැබුවා.  අද වගේ ම ඒ කාලෙත් යුද්ධ වලට විදේශ ආධාර ලැබී ඇති හැඩයි. අද නම් මකරුන්  වෙනුවට  ඒරොප්පෙන් එවන්නේ  මිසයිල , ප්ලේන් වගේ එව්වනේ. ඉතින් මේ මකරුන් යුධ ආධාර වශයෙන් වටිනා ජේඩ්  සහ මැණික් වමාරලා .   දැන් ඉතින් හිතන්න එපා යුද්ධෙකදී මැණික් මොකටෙයි කියල . මෙන්න මේ මැණික් සහ ජේඩ්   විශාල පර්වත ..දුපත් වෙලා අනගි බලකොටුවක් නිර්මාණය වුනාලු. ඔය බලකොටුවේ උදව්වෙන් රට බේරුනාලු.
යුද්ධේ ඉවර වුනත් මකර පවුලට මේ ලස්සන ප්‍රදේශය දාල යන්න බැහැ කියල හිතිලා . අද වගේම තමයි ඔය මකරුන්ගෙන් උදව් ගත්තම එලව ගන්න බැහැ. හැබැයි මේ නතර වෙච්ච මකරුන් නම් හොඳ අයලු.
මන් අද ඔයාලව අරන් යන්න හදන්නේ මේ මකරුන් නැවතුන ලස්සන ''හාලොන්ග් බේ ''[Halong Bay ] පෙන්වන්න
හැනොයි සිට පැය හතරක් පමණ ගිය විට හමුවන මෙහි ලස්සනින් මා නම් චමත්කාරයට පත් වුනා.
විශාල තැන්නක ඇති යෝධ ශේෂ කඳු සිහිගන්නවන දහස් ගණනක් දුපත් [වැඩිපුරම ලයිම් ස්ටෝන් ] සමුහයක් ජලයෙන් මතුවී තිබෙන අයුරු තමයි දිය හැකි සරලම මනෝ චිත්‍රය. දැන් මෙන්න පුල පුලා සිටි පින්තුර .



















පාවෙන ධිවර ගම්මාන . මේවයින් මාළු අරගෙන බෝට්ටුවේ මුළුතැන්ගෙට දුන්නම උයලත් දෙනවා . අපිට කරන්න බැරි වැඩ ඕව. අපේ බෝට්ටුවේ හිටපු ජපන්නු ටිකක් ලොකු කකුළුවෙක් වගේ එකෙක් අරගෙන එවෙලේම  අමුවෙන්  කැවා.










වියට්නාමයට එන ඕනෑම සන්චාරකයෙක්ගේ ප්‍රධාන ඉලක්කයක් තමයි Halong Bay . එහිදී ලි බෝට්ටුවකට [Junk ] ගොඩවි නිසලදියේ පාවෙමින් මේ සොඳුරු අඩවියේ සරන්නට හැකි. කැමති නම් රැයක් පුරා ඒ ආශ්චර්යය විඳිය හැකියි. ඒ සඳහා සාමාන්‍ය බෝට්ටු වගේම අතිසුඛෝපභෝගී විසල් බෝට්ටුද [කෘස්] මුදල් හදල ඇති විදියට සපයා ගන්න පුළුවන්.
අපි නම් ගියේ පැය හතරේ ගමනක් . පොඩි උන් එක්ක රැයක් වතුරේ ගත කරන්න පොඩි අකමැත්තක් තිබු නිසා. බෝට්ටු වලට ගොඩ වෙන්නේ මෙන්න මේ තොටුපලින්.




















චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime caves ]

චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime cave]

මේ ගුහා ගැනත් අපුරු කතන්දර තියෙනවා . එකක් තමයි Virgin Cave ..රූමත් යුවතියක් වයසක mandarin [චීන] ධනවතෙක් විසින් බලෙන් විවාහ කරගනු ලදුව ය පැනගොස් දිවි නසා ගත් බව කියවෙන ගුහාව. ඇය එහිදී ගල් පිළිමයක් බවට පත් වූ බව එක කතාවක්. තවත් එකක් නම් අයගේ සිරුර මිහිදන් කර සොහොන් කොතක් තැනුණු බව.
මෙවැනි කතා බිහිවීම සොභාවික යයි සිතෙන්නේ මේ ගුහා තුල ඇති මනරම් හැඩතල දුටු විටයි . ලංකාවේ මෙවැනි ගුහා ඇති බව අසා තිබුනද මට කවදාවත් ඒවා බලන්නට නොහැකි වුණා.
නුතනයේ වර්ණවත් විදුලි ආලෝකයෙන් හැඩවූ මේ ගුහාවන් [සියල්ල නොවේ..ප්‍රධාන ආකර්ෂණයන් පමණයි.බොහෝ ඒවාට ලඟා වීම දුෂ්කරයි ] ඇතුලෙදි දැනෙන්නේ අපුරු සුරංගනා ලොවක තනි වූවා සේය.

මෙම halong bay යුනෙස්කෝ ලෝක උරුමයක්ද වෙන බව කියන්න ඕන

ලෝකයේ අලුත් පුදුම හත තෝරාගන්න පැවැත්වෙන චන්ද විමසුම ගැන දන්නවද . halong bay ඒ අතර වැදගත් තැනක් ගන්නවා . කැමති නම් චන්දයක් දෙන්න හැකි මෙතනින්
මේ තොරතුරු නම් මන් ගිය ගමනේදී දැනගත් තොරතුරු . අන්තර්ජාලයෙත් මේ ගැන අටෝරාසියක් විස්තර තියෙනවා .
සිතියම් දෙකනම් ගත්තේ අන්තර්ජාලයෙන් . ඒ ඇරුනම අනිත් සේරම පින්තුර අපේ විදෙස් මිතුරෙක් ගේ ඉතා හොඳ කැමරාවකින් ගත්තු ඒවා. අපේ සාමාන්‍ය කැමරාවලින් අර ගුහා ඇතුලේ මෙච්චර පැහැදිලි චායාරුප ගන්න බැහැ.
වැඩි විස්තර පිපාසයෙන් පෙලෙන අයට මෙන්න ලින්ක් ටිකක්

Thursday, 23 June 2011

උමන් වලින් එලියට විත් 3D කුන්ග් ෆු පැන්ඩා බැලුවෙමි.

පසු ගිය සතියේ කුචි උමන් අතර හිරවී සිටි මා එලියට එන්නට තීරණය කළා . ඒ උමන් ප්‍රදර්ශනයට   ..කොටින්ම මුදල් සොයන ආකර්ෂණයක් විදියට තියා වියට් කොන් වරුන් ලෑන්ඩ් මාර්ක් ගොඩනැගිලි හදද්දී මන් විතරක් ඕව අස්සේ හිර වෙලා ඉන්නේ මොකටද. බුරාලගේ උපදෙස් අනුව දැන්  යමක් ලිව්වම ටික දවසක් තියන්න තීරණය කල නිසාත් මටත් ඉතින් මේ දවස් වල නොයෙකුත් වැඩ තියෙන නිසාත් තමයි ඉවසන් හිටියේ යමක් නොලියා.
 
නොයෙකුත් ත්‍රිමාන චිත්‍රපට ආවත් පවුලේ සැමට බලන්න වුනේ නම් මෙතෙක් ආපු කාටුන් තමයි. සැම කිව්වට බනිලගේ තාත්ත නම් ඔය දඬුවම වින්දේ දෙතුන් පාරයි . දැන් ඉල්ලන ඕන ගානක් දෙනවා අපි තුන් දෙනා විතරක් යවන්න. මම නම් ඉතින් ආසයි සුන්දර ත්‍රිමාන ලෝකයේ ටික වෙලාවක් සැරිසරන්න. Alice in  wonderland හැර අනික් ඒවා සේරමටම මම කැමතියි.
ඊයේ අපි කුන්ග් ෆු පැන්ඩා 2 බැලුවා. අර වෙසක් දවසේ බණ අහපු ටයිකොන්ඩෝ පැංචා ත් ආවා අපිත් එක්ක.
 
මට පුදුමයි.සති අන්තෙක නම් කමක් නැහැ. ත්‍රිමාන ශාලා කීපයකින් සහ සාමාන්‍ය  සිනමා හල් කිපෙකින්ද යුතු දැවැන්ත සිනමා සංකීර්ණයක් . සති අන්ත දර්ශනයකට ප්‍රවේශ පත් මිලදී ගැනීමත් අසීරුයි. එක අයෙකුට 3 D ටිකට් පතක් ඩොන් 90 ,000 ක් [ඩොලර් 4 1/2 ක් ] ඒ සතියේ දිනවල . සති අන්තයේ ඊටත් වැඩියි. පවුලක හතර දෙනෙක් බැලුවොත් පොප් කොන් ..බිම ජාති [ හැමෝම අතේ පොප් කොන් එකක් වරදින්නේ නැහැ .] ඩොලර් 40 ක් 50 ක් වත් යනවා. මේ සිනමා සංකීර්ණය තියෙන්නේ දැවැන්ත සුපිරි වෙළඳ සංකීර්ණයක . ලෝක ප්‍රකට වෙළඳ නාමික භාණ්ඩ තමයි  වැඩිපුර විකිණෙන්නේ . ඒවා ගන්නත් සෙනග ඕන තරම් . මන් මුලදී හිතුවේ මේවා මිලදී ගන්නේ යුරෝපිකයින් වැනි විදේශිකයින් කියලයි . නැහැ වැඩිපුරම වියට්නාම ජාතිකයින්. මොකද යුරෝපියන් කියන දෙයක් තමයි ඒ රටවලට වඩා මෙහෙ එවැනි දේ මිල වැඩි බව.
 

ද්විත්ව කුලුනැති සිනමා සංකීර්ණය . මේක ගත්තේ ගුගල් වලින්. කොහෙද කොච්චර හැදුවත් මුළු ගොඩනැගිල්ල වදින එකක් ගන්න මට බැරි වුනානේ.
 
මන් මෙච්චර මේවා කියන්නේ ඇයි. 1975 දී කුචි උමන් වලින් එලියට ඇවිත් ඒ කිව්වේ යුද්ධෙත් ඉවර වෙලා උතුර දකුණත් එක්‌ වුනාට පස්සේ මෙයාල අද ඇවිත් ඉන්න ගමන ගැන පොඩ්ඩක් හඳුන්වල දෙන්න.
මෙහෙ ආර්ථික ප්‍රතිපත්ති ඇති හැකි පරතරය වගේ හර බර පැත්ත ගැන නම් මන් දන්නෙත් නැත ,දැන ගත්තත් ලියන්නෙත් නැත . පොල් ගන්න විත් ඉඩමේ දිග පළල මනින්න ගොහින් අයිතිකාරයින් නෙලුම් විලත් ගොඩ කර අපි පවුලම නැව් නග්ගන්නටත් බැරි නැත. මා දකින භෞතික දියුණුව ගැන [ එය දියුණුවක් ලෙස අප සිතනවා නම්] පමණි   මා ලියනුයේ. දැන් බකට් ලිස්ට් එකට මේ රට දමාගෙන සිටින නලිනි ...දුකා ..ටි ජි ...ලකී ..සපතේරු උන්නැහේ වගේ අයට මේ විස්තර උදව් වෙයි කියල හිතෙනවා.

නෙලුම් පොහොට්ටුවක් හැඩති Bitexco  ගොඩනැගිල්ල .


ඉතින් සුපිරි වෙළඳ හල ගැනනේ කියා කියා උන්නේ. හැනොයි නගරයේ විතරක් මෙවැනි වෙළඳ සල් බර ගානක් සහ මෙවැනි සිනමා සංකීර්ණ ත් කීපයක්ම තියෙනවා . වාණිජ අගනගරය ලෙස ගණන් ගන්න හැකි හෝ චි මින් වල තත්වය මීටත් වැඩියි. අලුතින්ම ඉදිවුන Bitexco ගොඩනැගිල්ල ඉතාම අලංකාරයි.ඒක තමයි මෙයාල ලෑන්ඩ් මාර්ක් එක ලෙස සලකන්නේ                                                                                    








 
වෙන වෙනම විස්තර නොදා ගොඩනැගිලි කිපෙක පින්තුර ටිකක් ඔන්න
 
අපි යන්නේ කොයි පාරේ ...ලොකු අය්යා ගිය පාරේ ..මන් නෙමේ එහෙම කියන්නේ වියට් නාමය . ලොකු අය්ය තමයි චීනය . තව ටික කලකින් මෙය චිනේ වගේම වෙන බව නම් විශ්වාසයි.
ලිපිය හුඟක් දිග වෙනකොට මටත් කම්මැලි එකේ කියවන අයට හොඳටම එපාවෙයි. අනික මන් වැඩිය කැමති ආගිය තැන වල හිත ගත්තු  දේ ගැන ලියන්න . මේ වගේ පුළුල් පරාසෙක ලිපි වලට මන් ටිකක් හොරයි. පොඩි කාලේ හිතුව පත්තර කාරියෙක් වෙන්න . එහෙම වුනා නම්  දිග ලිපි ලියල මට එපා වෙයි. [  විභාග පරීක්ෂක වරු මගේ ෂෝර්ට් උත්තර වලට ආස වෙලා මට වැඩිපුර ලකුණු දෙන්න ඇති කියල මගේ ක්ෂුද්‍ර ජීවි ගුරුතුමා කිව්වා. එකත් හරි රස කතාවක් දවසක ලියන්න ඕන]
කතාව වෙන පාරවල යන්න නොදී අල්ලගන්න හරි අමාරුයි මට. වියට්නාමයේ සංචාරය කරන අයෙක්ට දැන ගන්න ඕන දේවල් ටිකක් මන් කියන්නම් . හැබැයි සේරම දේවල් බ්ලොග් පොස්ට් එකකින් කියන්න අමාරුයි. පුද්ගලිකව කවුරුහරි ඇත්තටම එනවා නම් ඒ වෙලාවට අවශ්‍ය දෙයක් සොයල දෙන්න නම් පැකිලෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙදී උදව්වක් ඕන වුනොත් කරලා දෙන්නත් මගේ ශක්ති පමණින් ඉදිරිපත් වෙන්නම්.
 
අපි ගමනක් යන්න කලින් ඉස්සර වෙලාම ගන්න පොතක් තියෙනවා. Lonely Planet සිරිස් එකේ හැම රටක් ගැනම වගේ පොත් තියනවා. බොහෝ දුරට විශ්වාස දායකයි. යන තැනක අත් පොතක් ලෙස ගෙනියන්න හැකි.http://www.lonelyplanet.com/
එයාලගේ සයිට් එක
 
ලංකාවේ ඉඳන් එන ක්‍රම කීපයක්  තියෙනවා . සිංගප්පුරුව හරහා ,තායිලන්තය හරහා හෝ මැලේසියාව හරහා.
සිංගප්පුරු ගුවන් සේවය තමයි මිල අධිකම . දෙක තායිලන්තය . ලාබම මැලේසියාව හරහා එන එකලු .ඕව ඉතින් දැන් අන්තර්ජාලයෙන් සහ ටිකට් ඒජන්ත වරුන්ගෙන් පහසුවෙන් දැන ගන්න හැකිනේ.
විසා ගන්න එක ඉස්සර ටිකක් අමාරුයි. එත් දැන් ලංකාවේ වියට්නාම එම්බසියක් තියෙන බවයි ආරංචි. ලිපිනය හොයා ගන්න මට බැරි වුනා . අන්තර්ජාලයෙත් නැහැ. ලැබුණු විට කියන්නම් . නැත්නම් සංචාරක නියෝජිතයින් හරහා තමයි. ඒවායේ  නම් මම මේකේ දාන එක හරි නැහැනේ . අවශ්‍ය කෙනෙක්ට පුද්ගලිකව කියන්නම්.
රට ඇතුලේ සංචාරය කරන කොට විස්තර තියෙන සයිට් නම් ඕන තරම් . මේ එකක්
ප්‍රවාහනය ..
ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටවල් 3 ක් තියෙනවා
හෝ චි මින් -Tan Son Nhat International Airport, Ho Chi Minh City, Vietnam හැනොයි - Noi Bai International Airport, Hanoi, Vietnam
Da Nang - Da Nang International Airport, Da Nang, Vietnam (DAD)
 
 
 
නම් ගම් හරියටම කිව්වේ හුඟ දෙනෙක්ට ඕක පැටලෙන නිසා.
රට ඇතුලේ සමහර තැන වලට යන්න ඕන ගුවනින්. හෝ චි මින් සිට හැනොයි වලට පැය දෙකක විතර ගුවන් ගමනක්. රජයට අයිති ඒ වගේම ප්‍රධානම ගුවන් සමාගම Vietnam airlines . ජාත්‍යන්තරව වගේම අභ්‍යන්තරවත් මෙය බලවත් . මිලත් වැඩියි. ඊට අමතරව බජට් වර්ගයේ සමාගම් කීපයක්ම තියෙනවා. පොඩි පොඩි ගමන් නිසා අවුලකුත් නැහැ. කෙටි ගමන් වලට ඒ කියන්නේ පැය 3 ,4 , 5 වගේ බස් වුනත් හොඳයි . සංචාරක නියෝජිතයින් එක්‌ එක්‌ වර්ගයේ ගමන් ලෑස්ති කරලා දෙනවා . ටිකක් සැප පහසුවට ..වගේම ලොකු පිරිසක් එක්ක ලොකු බස් වල වුනත් යන්න හැකි. දුම්රිය ඒ තරම්ම ජනප්‍රිය නැතත් සමහර විට පාවිච්චි කරන්න හැකි. සුද්දා තරම් ප්‍රන්ශුවා දුම්රිය ගැන උනන්දුවක් දක්වල නැහැ වගේ.
පුංචි ගමන් වලට ටැක්සි සේවය ගොඩක් හොඳයි. හොඳටම බජට් නම් Xe Om පාරක් දාන්නත් පුළුවන් නිර්භීත කෙනෙක්ට . [ අපේ ත්‍රි විල් වගේ මෙහෙ මෝටර් බයික් වල පිටිපස්සේ යාම තමා ලාබම ප්‍රවාහන ක්‍රමය .අමතර හෙල්මට්  එකක් තියෙනවා. ] අපි බය වුනාට සුද්දියොත් යනවා කිසි බයක් නැතුව. ඊටත් වඩා නිර්භීත අයට කුලියට බයික් එකක් අරන් රට වටේ යන්නත් හැකි. පවුල් බරින් තොර අය මේක ට්‍රයි කලාට වරදක් නැහැ.
 
පොස්ට් එක දිග වෙනවද මන්ද . මෙගා එකක් කරන්න මට හිතක් නැහැ. එතකොට මට වෙන දෙයක් ලියන්න බැරි වෙන නිසා . උනන්දුවක් ඇති අය කියවයි නේ දිග වුනාට.
රට ප්‍රධාන කොටස් තුනයි . ඒ තුන සංස්කෘතිය  ..ඉතිහාසය ...කෑම බිම ..සිරිත් විරිත්...දේශගුණය ..භූගෝලය වගේ දේවල් වලින් ටික ටික විචල්‍ය වෙන බව කියන්න ඕන. උදාහරනෙකට රටටම පොදු නුඩ්ල්ස් සුප් එක වුනත් මේ පළාත් වලදී පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.
     දකුණ - හෝ චි මින් නගරය ප්‍රධානයි . මෙහි සිට මිකොන් ඩෙල්ටාව, Dalat [ නුවර එලිය වගේ ],කුචි සහ   
                     ලස්සන මුහුදු වෙරල ටිකක් බලාගන්න හැකි.   
 
 
 
 
 
     මධ්‍යම - කඳුත් සමග අලංකාර මුහුදු වෙරළවල් හිමි ලස්සන පලාතක්. චාම් [Cham ] ශිෂ්ටාචාරයේ
              නෂ්ටාවශේෂ [ වෙනම ලිපියක් ලියන්නට ඉන්න මාතෘකාවක්] සහ පැරණි රාජධානියක නටඹුන් . මටත්
                     තවම යන්නට බැරිවන බව කිව යුතුයි. ලඟදි යන්නට සිතා ඉන්න නිසා ඊට පසු ඒ ගැන ලියන්නම්.
    උතුර - මන් තුමී දැන් ඉන්නේ මෙහෙ . හැනොයි වන අගනගරය තුල ඉඳන් අවට බලා ගත  හැකියි.
            Ha Long bay [ මගේ ඊළඟ පොස්ට් එක]..කඳුකර සපා ප්‍රදේශය සහ තවම සම්ප්‍රධායික සුන්දර ලක්ෂණ ගොඩක් ඉතිරි වෙලා තියෙන හැනොයි නගරයම තුලත් බලන්න දේ ගොඩයි .
  රට තොට සේරම බලන්න නම් මාසයක් වත් ඕන . සති දෙකක් තුල අත්‍යවශ්‍ය දේවල් ටිකක්  බලන්න යන්තම් හැකියි .
 දුකාල අහල තිබුනනේ කියක් යයිද කියල .ඇත්තටම මට ඒ ගැන නම් හරියට තියා තක්සේරුවක් වත් කරන්න අමාරුයි. ඔය මුදල් වැඩ වලට මම එච්චර දක්ෂ නැහැ .එනවමනම් විතරක් සංචාරක ආයතනයකින් අහල දල ගානක් කියන්නම් .
පොදුවේ කියන්න තියෙන්නේ යුරෝපිය රටකට යනවට වඩා ලාබයි. කෑම ..විශේෂයෙන් බත් නුඩ්ල්ස් සුප් ..පලතුරු මාළු වගේ අපේ රටේ තියෙන දේවල් ඊටත් වඩා හොඳට තියෙනවා. සිංහල රෙස්ටුරන්ට් නම් නැහැ.ඉන්දියන් ඒවා ඕන තරම්.
 
Medical Insurance එකක් අනිවාර්යයි. වැදගත්ම දේ මේක අපි හිතන් හිටි සහ තවම බොහෝ අය හිතන් ඉන්න දුෂ්කර රටක් නෙමේ . ක්‍රීඩාවට ලැදි. මිත්‍රශීලි මිනිසුන් ඉන්න ලස්සන වගේම නුතන දියුණුවත් දැකිය හැකි රටක්. ආරක්ෂාවත් සාපේක්ෂව හොඳයි. ප්‍රධානම දේ බෝම්බ.පිපිරීම් නැහැ, දේශපාලන අස්ථාවර බවක් නැහැ. කල්පනා කරද්දී ගොඩක් රටවලට වඩා බය නැතිව ඇවිත් යාහැකි රටක්.
ඔන්න පර්ස් එක හෙම නැති වුනොත් මට බනින්න එපා . කොයි රටේත්  වගේ ජනාකීර්ණ තැන්වල ඒවා සිද්ධ වෙන්න හැකි. හැබැයි බැංකොක් වලට ..ඉන්දියාවට සාපේක්ෂව ඒවා ටිකක් අඩුයි.
දැන් ඇති කියල හිතෙනවා . මගේ ගෙදර මේ අවස්ථාවේ නානාප්‍රකාර නාට්‍ය රංග දක්වෙමින් පවතිනවා. සාලයේ මැද විටින් විට දර්ශන තල මාරු වෙන බව පේනවා. ඒ ගැන සොයන්නත් ඇති නිසා අදට ඇති.
 
ස්තුතිය ...මේ ගැන ලියන්න කියල හැමදාම මතක් කල ..අම්මට කරදර නොකර ලියන්න දෙන්න කියල පොඩ්ඩන් ගෙන්  ඉල්ලීමක් [ නැතිව තර්ජනය කරන්න නම් බැහැ.. ලෝකේ කාටවත් බය නැති වුනත් මේ දෙන්නට හරි බයයි...] කරපු බනිලගේ තාත්තට ...සහ විශේෂ ස්තුතිය එක්සත් ජාතීන්ට මැදිහත් වෙන තරමේ රණ්ඩුවක් නැතිව ගේ අනික් පැත්ත පෙරලපු ලොක්කිටයි  ..බනීටයි .