Monday, 26 September 2011
දිය මකර රජු ගේ ළමයි....
වියට්නාමයේ ජනකතා කියන්නයි ටි ජි ළමයා හුඟ කලක සිට ඉල්ලයි . හැමදාම යුද්ධය ගැන ලියන්නට ගියොත් කට්ටියට එපාවෙන්නත් බැරි නිසා වෙනසක් කරන්නට මටත් සිතුනා .
එහෙන් මෙහෙන් අසා තිබුනත් ඒවා අකුරු කරද්දී අපට හිතු ලෙස ලිවිම හොඳ නැති හින්ද මන් අපේ ''මුන්'' මහත්තයාගේ පුස්තකාලෙන් පොතකුත් සොයන් ආව. දෙමාපියන්ට සති දෙකකට පොත් තුනක් ගන්න පුළුවන්.
විශ්වය ඇති වීමේ ඉඳන් වියට්නාම් ජාතිකයින් ඇති වීම දක්වා ලස්සන මිත්‍යා කතන්දර ටිකක් හම්බ වුනේ මගේ වාසනාවට . බොහොමයක් පොත් ස්ව බසින් ලියවුන මේ රටේ ඉංග්‍රීසියෙන් ලියවුන පොත් අඩු නිසා මේක සැහෙන වටිනවා මටනම් .
අද මන් ලියන ප්‍රධාන කතාවට කලින් අතුරු කතාදෙකක් කියන්න ඕන. මොකද මේ කතා දෙක එච්චර රසවත් නැතත් පස්සේ ලියනවට වඩා මුලදීම කිවමයි අගේ.
බොහොමයක් සංස්කෘතිවල වගේ මෙහෙත් විශ්වය ඇති වීම ගැන කතාවක් තියෙනවා . ඔන්න ඉස්සර කාලේ ලෝකය එක අඳුරු කුහරයක් විතරයි. එකදවසක් එක යෝධ දෙවි කෙනෙක් දිවය ලෝකේ ඉඳන් පොලවට ආවා. ටික කාලයක් ගියාට පස්සේ මේ දෙවියා අහස අත් දෙකෙන් උස්සලා උඩට උඩට තල්ලු කරනවා . තල්ලු කරන ගමන් ආධාරකයක් විදියට කණුවක් බඳිනවා . මේ කණුව තැනෙන්නේ පොළවෙන් ගත් කුණු සහ පාෂාණ වලින් . මුලින් මදුරු දැලක් වගේ වෙච්ච අහස අන්තිමට බත් පිඟානක් වහපු මුඩියක් වගේ පේනවා .
ඔහොම උස්සල උස්සලා එක මට්ටමකදී ස්ථාවර වුනාට පස්සේ අර කුළුණ විනාශ කරන්නේ දෙවියා විසින්මයි. ඒකෙ කොටස් විසිරිලා තැන් තැන්වල දුපත් කඳු හෙම නිර්මාණය වුණා. කුළුණ හදන්න අමුද්‍රව්‍ය ගත් තැන් සාගරය ලෙස ඉතුරු වුණා .
Son Tay පළාතේ ඇති Thach Mon කන්ද එම කුළුණේ නෂ්ටාවශේෂ බවයි කියවෙන්නේ . සමහරු එය ''දෙව් ලොවට මග '' කියන තේරුම ඇති Khong - lo ලෙසත් හඳුන්වනවා .
ඊට පස්සේ මේ දෙවියා ගේ කාරිය ඉවරයි. ආපසු දෙව්ලොවට ගියා වෙන්න පුළුවන්. ඉන් පස්සේ තවත් දෙවිවරු හත්දෙනෙක් ආවලු . ඒ අය වැලි , රළ ,තරු .,ගංගා ...ගස් ..වනාන්තර ...ඇතිකළ බව තමයි කියවෙන්නේ .
ඊට පසු ඉතා විශාල කාලයක් ගත වුණා . ඒත් තාමත් අහස අඳුරුයි ...වාතය තෙතයි.
මේ අඳුරු ලොව දෙස
බලා ඉනු බැරි තැන
උතුම් දෙව් අදිරද
එවුවා සඳ එක්ක
හිරු දෙවඟන .....
......දැන් ඉතින් දෙව්ලොව අධිරාජයා විශ්වය තනා ඉවරයි. ඉතුරු බිතුරු වලින් ලෝකෙට සත්තු මවන්න කල්පනා කලාලු . සේරම සත්තුන්ට වඩා සියුම් දේවල් වලින් තමයි මිනිසා හදල තියෙන්නේ. මේ වැඩේට වින්නඹු දෙවඟනන් 12 ක් උදව් කලාලු.
මේ ලෝකයේ සියලුම සත්වයන් ඊ ළඟ ආත්මයේ උපදින්නේ කවුරු විදියටද කියල තීරණය වෙන්නේ දිව්‍ය ලෝකයේ දෙව් රජුගේ සහ පරිපාලක සභාවේ තීරණයන්ට අනුව. මෙයිනුත් මනුස්ස ආත්මයක් ලැබීම ගැන කටයුතු කරන්නේ අර උඩ කිව්ව දෙවඟනන් 12 දෙනා .
පුද්ගලයෙක්ගේ අවයව වගේම අධ්‍යාත්මයත් ඔවුන්ගේ නිර්මාණ . හැබැයි ආයුෂ නම් තමන් කරන කියන දේ අනුවලු තීරණය වෙන්නේ.
ඔන්න ඉතින් තවත් කාලයක් ගියාට පස්සේ උතුරු වියට්නාමයේ Hong Ha නදිය [රතු නදිය ...මේ ගැන වෙනම ලියන්නම්] ආශ්‍රිතව මිනිස්සු පදිංචි වුණා . ගොවිතැන් සහ ධිවර කටයුතු තමයි කලේ.
ඔය කාලේදී තමයි Lac Long Quan නම් දෙවියා පහල වෙන්නේ . එයාගේ තාත්ත කඳුකරේ දෙවියා වෙච්ච Kinh Doung Vuong . අම්ම ජලයේ දෙවඟන ....Ho Dong Dinh . ඒ වගේම එයා දිය මකරියක්.
මේ මිශ්‍රණය නිසා පුතාට අම්මගේ ලක්ෂණ තමයි වැඩි. ඒ නිසා එයත් වැඩිය ඉන්න ආස කලේ වතුරේ .
පියා විසින් Lac Long Quan ට Lac Viet [ වර්තමාන වියට්නාමය ] බාර දුන්න . ඔහු රට දියුණු කළා . ගෘහ නිර්මාණයට ආස කළා . ඔහුගේ මාලිගය කොටස් දෙකයි. එකක් ගොඩ බිම . අනික දිය යට. වැඩිය හිටියේ දිය යට මාලිගේ . රටවැසියා ඇවිත් ''Oh Father '' කිව්වම ගොඩට ඇවිත් ප්‍රශ්න විසඳන්න උදව් කළා .
ඔහොම සාමයෙන් ඉන්න අතරේ ඔහුගේ නෑයෙක් වුන De Lai තමන්ගේ රූබර බිරිඳ Au චෝ සමග මේ රටට එනවා . බිරිඳව ගොඩ බිම මාලිගයේ රඳවා ඔහු රට තොට බලන්න යනවා . මේ විපරම් කිරිල්ලට රටවැසියා කැමති වුනේ නැහැ . ඔවුන් ගිහින් Lac Long Quan රජුට කේලම කියනව .
ඔය අවු අස්සේ දියෙන් ගොඩට ආව රජතුමා Au Co ගේ රූපෙට වහ වැටිලා දන්නා ශිල්ප සේරම දාල
ඇගේ හිත ගන්නවා .
අනේ ඇත්තට මන් හිතන් හිටියේ ලස්සන ගැහැණු කෙනෙක් දැක්කම මෙලෝ සිහියක් නැති වුනේ අපේ රජ ගොල්ලන්ට විතරයි කියලයි. බලපුවම කොහෙත් එකයි.
මේ දෙන්න විවාහ වෙනවා . De Lai සටන් කරන්න ශක්තිය මදි නිසා ආපසු යනවා .
Lac Long Quan සහ Au Co රැජිනගේ විවාහයෙන් පසු ඇය බිත්තර 100 ක් දමනවා . [ මෙයාල මකරු හොඳේ ..මකරියෝ දාන්නේ බිත්තර ] . මේ බිත්තර වලින් ළමයි 100 ක් ඇති වුණා
මේ මොන දේවල් වුනත් වතුරේ ඉන්න පුරුද්ද නම් අඩු වුනේ නැහැ රජතුමාගේ . ඉතින් රැජිනට හරි පාලුයි. ඔය පිරිමි ''ලඟින්ම ඉඳන් හිස අතගගා ඉන්නම්'' කිව්වට ගෑනු ළමයි දැන ගන්න ඕන කියන තරමට එව්වා වෙන්නේ නැති වග .
කොහොම හරි උපන් රට දැක ගන්න ආසාවත් පාළුවත් නිසා ඇය දරුවනුත් එක්ක ගිහින් එන්න හිතනවා . ඒත් දේශ සීමාවේදී ආරංචි වෙනවා මුල් සැමියා මරා දාල Hoang De කියන කෙනෙක් පාලකයා වෙලාකියල . ඇගේ ආගමනයට ඔහු කැමති වෙලා නැහැ . රටවල් දෙක අතර සටනක් වෙයි කියල ඇය බය වෙලා ආපසු ඇවිත්.
හැබැයි මේ සේරම වුනේ ඔයා හින්ද තමයි කියල Lac Long Quan එක්ක නොහොඳ නෝක්කාඩු වෙලා . ඔන්න පිරිමි ''ළමයි අපි ඕන දෙයක් වෙද්දෙන් කියල පැනල යමු '' කියල ගෑනු ළමයි කිව්වට ,පස්සේ ඔයා හින්ද මට මගේ සනුහරේම නැති වුණා කියන්න ඉඩ තියෙන බවත් මතක තියා ගත්තත් හොඳා .
මේ නෝක්කාඩු වලින් පස්සේ රජතුමා පැහැදිලි කරලා මම දිය මකරෙක් ..ඔයා සුරන්ගාවියක් . ඒක තමයි ඇත්ත තත්වය කියල . මේ දෙන්න කතා බහ කරලා තීරණය කලාලු ළමයි 50 ගානේ බෙදා ගන්න .
මේ ළමයි බොහොම හොඳ අය. එයාලම කොටස් දෙකකට බෙදිලා . 50 ක් තාත්තා එක්ක දිය යටට ගිහින් . 50 ක් අම්ම එක්ක ගොඩ බිම ජිවත් වෙන්න තීරණය කරලා .
Au Co එක්ක ගොඩ බිම නතර වුන ළමයින් ගෙන් තමයි වත්මන් වියට්නාම ජාතිකයෝ පැවතෙන්නේ කියලයි කියවෙන්නේ . ආයේ දෙකක් නැහැ මෙහෙ අයට දිය ගොඩ දෙකම හොඳට හුරු වෙන්න ඕන තියන ගංගා.. වැව් සංඛ්‍යාව දිහා බැලුවම .
අපේ ගේ ඉස්සරහින් යන ලොකු පාරේ නම Au Co . ඒකෙ ගිහින් Lac Long Quan පාරට හැරිලා තමයි අපි ඉස්කෝලේ යන්නේ . අනික් අතට Au Co සහ Lac Long Quan දෙන්න හමු වෙනවා වගේ තමයි.
ඔන්න බලන්න ඇස් ඇරලා බැලුවොත් කියන්න කතන්දර කොයිතරම් තියනවද ...අප අවටම . Au Co පාර දිහා බලාගෙන ඇය කිසිකලෙක නොදැන සිටි බසකින් අද මන් ඇය ගැන ලියන බව ඈත ..ඈත දවසක ඇය සිතන්නට ඇද්ද .
මේ ප්‍රවාදය මෙහෙ හරිම ජනප්‍රියයි. අර අපි සිංහයාගෙන් පවත එන ගානටම . චිත්‍ර කැටයම් ..නාටක හෙම බොහොමයි . දකින දකින තැන් මකරු
මේ දෙන්න ඉන්න මුද්දරයක්
ඉස්සරහට තව කතා ගොඩක් කියන්න හිතාගෙන අදට නවතින්නම් .
Pictures by Google
Wednesday, 21 September 2011
බිම වැටුන කුරුල්ලෝ - වියට්නාම ,ඇමරිකන් ගුවන් සටනේ නටඹුන් අතර ...
මා ඉතිහාසයේ නටඹුන් අතර සැරිසරන්න කැමති මන්දැයි මාද නොදනිමි. වත්මනට වඩා ඉතිහාස තොරතුරු සොයා යාමේ පිපාසය කුඩාකල සිටම ඇති වුවකි. එබැවින් නෙලුම් විලට යන එන ඔබට නිතර අතීතයේ සැරිසැරීමට වීම ගැන අහිතක් ඇතොත් සමාවෙනු ඇති සිතමි.
අද Air Defence -Air Force Museum වෙත ගිය ගමනේ වගතුග ඔබවෙතට ගෙන එමි.
සියල්ලටම කලියෙන් වියට්නාමයේ ගුවන් ඉතිහාසය ගැන ටිකක් දැන ගත්තාට වරදක් නැත . මේ විස්තර නම් අන්තර්ජාලයෙන් ..විශේෂයෙන් විකිපිඩියාවෙන් බව සඳහන් කල යුතුමය .
*වාර්තාවල හැටියට මුල්ම ගුවන් යානය Bao Dai අධිරාජයා සතුව තිබී 1945 දී උතුරු වියට්නාම් රජයට බාරදුන් De Havilland Tiger Moth යානයකි.
මොත් යානයේ අනුරුවක්
* 1949 දී හෝ චි මින් මුල් වී ගුවන් පර්යේෂණ කමිටුව [ Air Force Research Committe ] පිහිටුවාගන්නා ලදී.
* මුල්ම ප්‍රහාරක යානය - T -28 Trojan යානයකි. 1964 පෙබරවාරියේදී දී එමගින් C -123 වර්ගයේ ඇමරිකන් යානයක් බිම දමන ලදී
*1964 පෙබරවාරි - මුල්ම MIG -17 රුසියාවෙන් ලබා ගත අතර චීනයේදී නියමු පුහුණුවක්ද ලැබිණි . මෙයට සමගාමිව පළමු ගුවන් සටන් ඛණ්ඩය පිහිටවනු ලැබූ බව සඳහන් [ අගෝස්තුවේදී ],.
* 1965 අප්‍රේල් 3 පළමු මුහුණට මුහුණ ගුවන් සටන . ඇමරිකන් F -8 යානා දෙකක් බිම දැමුණ . ඇමරිකාව මෙය පිලි නොගත් බව කියවේ .
* අප්‍රේල් 4 පළමු වරට F - Thunderchief යාන දෙක ක් බිම දැමුනා Thanh Hoa පාලමට පහර දෙන්න ආ වෙලාවේ. . මෙය දෙපසම පිළිගත් සංඛ්‍යාවක්
* 1965 දී MIG 21 යානා ලැබුන රුසියාවෙන්.
තව ඉතින් ඉතිහාසය දිගයි . මට පොඩියට කම්මැලි කමකුත් ඇවිත්.
ඊට පස්සේ ඉතිහාසය සාරාංශ ගත කලොත් ...කොහොම හරි මේ විදියට රුසියාවේ ආධාරයෙන් වැඩි දියුණු කල මිග් යානා ලැබුනත් ඇමරිකාව එවූ අති නවීන F -4 Phantom යානා වලට මුහුණ දෙන්න ශක්තිය මදි වුනා . මිග් විශාල ප්‍රමාණයක් විනාශ වුනා .
ඉතින් ඇමරිකන් ගුවන් යානා හිතු ලෙස ජය ගත්තද ? නැහැ . වියට්නාම් හමුදාව බිම සිට මිසයිල මගින් එව්වා බොහොමයක් බිම දැම්ම .
ගොඩ බිම සටන ගැන අද ලියන්න බලාපොරොත්තුවක් නැහැ . ඉතුරු කටු ගෙවල් වලට ගිහින් විටින් විට ඒ ගැන කියන්නම් .
වියට්නාමයේ කුචි උමන් පෝස්ට් එකේ ටික ඒ ගැන ලිව්වත් නේ .
කොහොම වුනත් වාර්තා වල පරිදි ගුවන් හමුදාවෙන් යුද්ධෙට එතරම් දායකත්වයක් සපයාගන්න බැරි වුන බවයි කියවෙන්නේ .
ඒ කෙසේ වෙතත් නටඹුන් අතර සැරිසරද්දී දුටු දේ තමයි ඉතාම ප්‍රාථමික පහසුකම් යටතේ ඔවුන් කර ඇති කාරිය නම් සුළු පටු නැති බවකුයි .
කටුක යුධ බිම වැයුන තාලය ..
ගුවන් ගමන් වලදී හෝ මාමා හිඳ සිටි පුටුව
වියට් සෙබළුන්ට මෙවන් අවිද තිබිණි
කව්දැයි මේ වීර සෙබළිය ???
උදව් කල අය
මෙයාව දන්නවද
අභ්‍යවකාශයට ගිය පළමු වියට්නාම් ජාතිකයා සිය රුසියන් සගයා සමග
මිය ගිය ගුවන් සෙබළු
ජංගම රේඩාර්
මගේ සතුටට ...ඕලු පැල කීපයකින් යුත් කුඩා විල ..එය නෙලුම් විලක් වේයැයි පතමි
ප .ලි.
අපි මේ අතීත ගුවනේ සැරිසරද්දී අපේ ලොක්කි සමනලයෙක් පසුපස දිව ගිය අතර ඒ නටඹුන් අතර ඇය දුටු මහඟු වස්තුව එයම බව මට සිතේ. එය ළමයින්ගේ සුන්දර ලෝකයයි.
Labels:
වියට්නාම යුධ ඉතිහාසය
Friday, 16 September 2011
වයසට නොයන මගේ ආදර සිබිල් නැන්දා...
කවුරුත් ලියුමක් නොඑවන හන්දා
තමන් එවූ ලියුමක් රස වින්දා
සුත්තරෙන් අත්තම්මව බන්දා
පුන්චට දඟ වැඩ කිව්වේ නැන්දා
බත් කන්නට මට බෑමයි බෑමයි
බනියා කිව්වට මන් බය නෑමයි
''උඩ ගිය බබා ''ගෙ පොත මා ගාවයි
බනියා දැන් බත් කන්නට ආසයි
අවුරුදු කාලෙට කැවුම් බදින කොට
''කැවුම් යෝදයා '' එයි මගේ මතකෙට
''කිරිහාමි''ගෙ කොස් ගහ කැපු වරදට
වුන කරදර සිහිවෙයි කොස් කනකොට
අම්මයි අප්පයි දෙව්ලොව ගිය කල
විමලුයි සාමයි අත්තම්මගෙ පැල
මැටියෙන් බැඳුනත් සතුටින් හිටි කල
''මැටි ගෙදර ''ක වුව මිණි පලිගුද දුල
ගොහින් කොළඹ බලමින් හොඳ හොඳ කඩ
කොස්ගම මාමා ගේන ගේන කුඩ
කවුදැයි ගත්තේ ඕව නරක වැඩ
''කුඩ හොරා ''ගෙ ලිපිනය මහ ගහ උඩ
අම්ම තාත්තට කරමු උදව්වක්
බිම අතු ගාලා අරගෙන ඉදලක්
කොළ යට සැඟවී තිබුණි පන්දුවක්
වැඩ කල හාවට ලැබුණි ''තෑග්ග''ක්
සීයගේ මුණේ කිරි සුදු රැවුලකි
දිගට වැවෙනු බැහැ කැපුවේ මියෙකි
මුවහත නැති වී වුයේ අරුමෙකි
''දුවන රැවුල '' නම් මට මහ පුදුමෙකි
සුන්දර ගම මැද ගෙවුනලු බාලේ
රස රස දේ සිදුවුන ඒ කාලේ
''වැනියන් කළු''ට කියනා වෙලේ
පෙනේද මගේ හිත නැළවෙන තාලේ
''අත්තම්මා'' නම් වූ පොත් පිංචකි
කුමාරන් කියන හොඳ කොලු පැන්චෙකි
වයසක අය ගැන ආදර ඇත්තෙකි
ඒ වැනි දරුවන් දැකුමත් සතුටකි
මඩගොඩ වලව්වේ වුන පැණි පිරුන කතා
නැන්දගේ පෑන් තුඩගින් හොඳ රසට ගොතා
අප අවටත් සිටින බව අඩු නැතුව ඉතා
හිනැහෙමි තවම සමගින් මම කුසුමලතා
මං පොඩි කාලෙ මේ රස හොඳ හැටි වින්දා
මගෙ පොඩි එවුන්ටත් එය ගෙන දෙමි කැන්දා
කවදත් ඔබ අසල මං හරි පොඩි හින්දා
තවමත් සිබිල් මගේ ආදර බර නැන්දා
මගෙ ආදර සිබිල් නැන්දාට මේ ලිපිය ආදරයෙන් පිරි නැමේ.
පින්තුර ඇයගේ වෙබ් අඩවියෙන් සහ ගුගල් වෙතිනි
Thursday, 1 September 2011
මේ පුර සඳ ළමයින්ටයි
අනේ සුපුරුදු පරිදි''පෙන් මෙන්ග්''කියල දුෂ්ටයෙක් සැමියා නැති වෙලාවේ ඇවිත් මේ ඔසුව ඉල්ලනවා . අසරණ වෙච්ච චැන්ග් එක හුස්මට මේක බීලා දානවා . ඊට පස්සේ සඳ වෙත පියාඹන්න හැකි වෙනවා . එදා ඉඳන් සඳේ ඉන්න මේ කරුණාවන්ත කාන්තාවගෙන් ආශිර්වාද ඉල්ලන්න සරත් සමයේ පුර හඳ යට අනගි සැණකෙළියක් පවත්වන්න මිනිස්සු පුරුදු වුනාලු.
තද හිරු රැසින් මිහිකත දවපු ගිම්හානය තව දිග නිවාඩුවකට අර අඳිනවා . විටින් විට හමන තද සුළඟ නිකම් පෙරහරට කලින් එන කස කරුවෝ වගේ සරත් සමය ලඟම එන බව කියනවා .කවුරුත් කියන පරිදි හැනොයි වල ලස්සනම කාලය තමයි සරත් සමය . ඉතින් චණ්ඩ හිරුරැස් වලට උත්සවාකාරයෙන් සමු දෙන්නයි කට්ටිය සුදානම් වෙන්නේ .
මට නම් ලස්සනම මල්සුවඳ විඳින වසන්තය . මගේ ඒ පරණ පෝස්ට් එක කැමති නම් කියවන්න . මල් නුවර මල් සුවඳ විඳ
.
..එකමත් එක කතා වලින් සරු වුන වියට්නාමය ''සඳ උළෙල '' සමරන්න ඔන්න මෙන්න . උණු උණුවෙම මේ ගැන ලියන්නයි මම අද හිතුවේ . අර බුද්ධාගම ආපු හැටි ඊ ළඟ ලිපිය කරන්න සිද්ධ වුනා . ඒ ගැන කට්ටිය සමාව දෙයි කියල හිතනවා .
මේ නැගෙනහිර ආසියානු කලාපයේම සමරන ''සඳ උළෙල '' ..[Moon festival මම සිංහල බසට පෙරලුවේ එහෙමයි . ..] වියට්නාමයේදී සැමරෙන්නේ කොහොමද කියලයි මන් ලියන්න හදන්නේ . චීනය ..ඇතුළු මේ කලාපයම මෙය සමරන බවයි මගේ අදහස . අනික මුල් වෙච්ච ජනප්‍රවාදත් හුඟක් දුරට සමානකම් තියෙනවා . චිනෙදි අර දුනුවායට ලැබෙන්නේ බෙහෙත් කරලක් . බිරිඳ ඒක ගිලදාලා. සැමියා කියනව ආපහු ඒක ඕන කියල . බිරිඳ හඳේ . හඳේ හාවා තාමත් බෙහෙත් කොටනවා ඒ කරළ හදන්න .
වියට්නාමේ තව කතාවක් තියනවා . ඒකෙදි සැමියාට ලැබෙන්නේ බෙහෙත් නුග ගහක් . ඒ ගහට මුත්‍රා කිරීම තහනම් . බිරිඳ ඕක නොදැන ගහ යට මුත්‍රා කරනවා . ගහ බිරිඳත් අරගෙන උඩට උඩට වැවිල දැන් ඇය සඳේ .
තවත් කතාවක දුප්පත් කොලුවෙක් ඕ වගේ සඳට ගියාලු . කොහොම හරි කවුරු හරි සඳට ගිය විත්තිය තමයි කියවෙන්නේ හැම කතාවේම . ඉතින් මේ සඳට ගිය අය ට ආපහු එන්න පාර පෙන්නන්න සඳ උළෙලදා අලංකාර පහන් සාදලා දල්වනවා . සමහර ඒවා අහසේ පාකර අරිනවා . මේ පහන් අපේ වෙසක් පහන් වගේ . හරිම ලස්සනයි . උණ බට තමයි වැඩියම යොදා ගන්නේ .
සඳ උළෙල වගේම මේකට Mid Autmn festival [ කවුරු හරි ඕක සිංහලට හරවනවද . අපේ සරත් මහත්තය මා එක්ක තරහ වෙයි ඔය අනන් මනං නම් හැදුව කියල ] කියලත් කියනව . ඒ කියන්නේ සරත් සමය පටන් අරන් පළමු පුර හඳ දවසේ තමයි මෙය පවත්වන්නේ . හරියටම දින වකවානු කියනව නම් 8 වෙනි චන්ද්‍ර මාසයේ 15 වෙනි දවසේ . චන්ද්‍ර මාසය කියන්නේ ලුනාර් කැලැන්ඩර ය අනුව මාස වෙන් කරන විදිහ . මේක චීනය අවට රටවල සම්ප්‍රධායක් . සඳ මුල් කරගෙන කැලැන්ඩර හැදීම චීනය අවට විතරක් නෙමේ මන් හිතන්නේ අපිත් ඉස්සර කළා . මැද පෙරදිග පැත්තෙත් එහෙමයි මන් හිතන්නේ . ඩින් ..ලකී ..ඒ ගැන කියාවි . මේ අවුරුද්දේ සැප්තැම්බර් 11 තමයි දවස .
ඔය පසුබිම් කතාවලින් පස්සේ අපි කෙලින්ම කතාකරමු මේ සඳ උළෙල ගැන . ඇත්තටම මෙය ළමයින්ගේ දවසක් . තනිකරම ළමුන් සතුටු කරන්න යොදා ගන්න හැටි හරි අපුරුයි .ඇයි මේක ළමයින් වෙනුවෙන් වෙන් වුනේ . ඒකත් ලස්සන රහසක් . අස්වනු නෙලන සමයක් මේ ගෙවෙන්නේ . අස්වනු නෙලන කාලය දෙමාපියෝ හේන් කුඹුරුවල වැඩ . ළමයි ගැන සොයන්න වෙලාවක් නැහැ . ඉතින් ඒ මග අරුණු කාලෙට වන්දි ගෙවන්න ළමයි සතුටු කරන්න තමයි මේ සඳ උළෙල වෙන් වෙන්නේ .
මුල් සිරිත පුර සඳ යට සිට ''Moon cake '' කෑමත් පහන් දැල්වීමත් වුනත් ඇත්තටම මෙය දැන් සංස්කෘතික උත්සවයක් වගේ . ඊටම ආවේනික සම්ප්‍රධායික කෙලිබඩු තනනවා ළමයින් වෙනුවෙන් . දැන් නම් චීන මාමලා ප්ලාස්ටික් වලින් හදල එවනවනේ නානාප්‍රකාර සල්ලම් බඩු. ඒත් ඉස්සර අපි කුරුම්බැට්ටි මැසිම ..ගොක්කොල රූන් පෙත්ත ..රබර් ගෙඩි බඹරය වගේ සරල කෙලිබඩු වලින් නැලවුනා වගේ මෙහෙත් ඒක ඒක ජාතියේ කෙලිබඩු හදල තියෙනවා . සහල් පිටි අනල පාට මිශ්‍ර කරළ සතුන් මල් වැනි ලස්සන නිර්මාණ කරනවා . විවිධ හැඩති වර්ණවත් පහන් සදනවා . බොහෝ විට සතුන් ..විශේෂයෙන් හාවා . .
Moon cake නම් මාසයකට පමණ පෙර සිට විකිනෙනවා . රවුම් හෝ හතරැස් හැඩේට සාදන මේ රසකැවිල්ල රසවත් වෙන්නේ නෙලුම් ඇට..මුන් ඇට පිටි ..දොඩම් ලෙලි වගේ දේවලින් . මැද්දේ බිත්තර කහ මදේ. හරියට හඳ වගේ . ඇත්තම කියන්න මට නම් බිත්තර දැක්කම එච්චරම ආස නැහැ . බිත්තර නොදාත් කලාතුරකින් හදනවා .
මකර සහ සිංහ නැටුම්....මකරා ඉතින් මේ කලාපයේ හරි ජනප්‍රිය සතෙක්නෙ . මකරු සිංහයෝ විදි බහිනවා නට නටා . බෙර කාරයෝ මකරු සිංහයෝ ඉන්න කණ්ඩායම් විදි දිගේ යනගමන් කඩ වලට ගෙවල් වලට ඇවිත් තමන්ගේ හැකියාවන් පෙන්වනවා . ඉවර වුනහම මුදල් තෑගී හෙම ලැබෙනවා . දැන් ඉතින් කොහෙත් ඕනෑම දේකට වගේ මේවටත් විශේෂයෙන් පුහුණු වෙච්ච කණ්ඩායම් ඉන්නවා . අපේ මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් ඔයින් උත්සවයක් තියෙයි . එදාට ළමයි වියට්නාමයේ සම්ප්‍රධායික ඇඳුම අඳිනවා .
ළමයින්ට නොයෙක් වැඩ සටහන් පැවැත්වෙනවා විවිධ ස්ථානවල . මුලිකවම ළමයි සතුටු කිරීම අරමුණ වුනත් ළමයින් දිරිමත් කිරීමට කතන්දර තියෙනවා .
ඔන්න ඒක කාප් මාලුවෙක් ට ඕන වුනාලු මකරෙක් වෙන්න . මේ මාළුවා ඒ ගැනම හිතලා මහන්සි වෙලා වැඩ කලාලු . අන්තිමට එයා මකරෙක්[ Ca Hoa rang ] වෙලා පියඹල ගියාලු. තමන්ගේ අරමුණ වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීම තමයි මේ කතාවේ ආදර්ශය . ඒ නිසා වෙන්න ඇති මකර නැටුම් කරන්නේ . ඔන්න මකරට අමතර ආදායමක් සොයා ගන්න කාලයක් .
මකරුන් විදි බැස
රෑ පහන්
හෙට තමයි වියට්නාම් ජාතික දිනය . 1945 අගෝස්තු විප්ලවය සහ නිදහස් වියට්නාමය ඇති වීම හෙට සමරනවා . අපිට නිවාඩු .
Friday, 26 August 2011
ප්‍රන්ශුවා ට ඉන්දු -චීනය අහිමි වුන . Dien Bien Phu සටන
ප්‍රංශ චාරිකාව ගැන තව ලියන්න දේවල් තිබ්බත් කලෙක සිට ලියන්න හිතන් හිටි දෙයක් මතක අලුත් වුනා . ප්‍රන්ශයත් වියට්නාමයත් ඉතින් අපියි එංගලන්තෙයි වගේම තමයි. ඒ හින්ද මෙතනට මේ කතාව අමුත්තකුත් නැහැ .
මොකක්ද මේ Dien Bien Phu ටිකක් අමුතුයි නේද . ඒ උත්තර වියට්නාමයේ ලාඕස් මායිමට කිට්ටුව ඇති ප්‍රදේශයක් .කැමති විදියට උච්චාරණය කලාට වරදක් නැහැ . ''ඩින් බින් ෆු ''වගේ තමයි මෙයාලගේ උච්චාරණය . මම මෙහෙ සමහර වචන කියන විදියට වියට්නාම ටැක්සි රියදුරන් හෙම හොල්මන් . මහම දිව උලුක් වෙන භාෂාවක් මේක .
ඇයි ඉතින් මේ ඈත මායිමක ඇති ගමක් මෙච්චර වැදගත් වුනේ . ඔය නමින් සයිගොන් වලත් හැනොයි වලත් ප්‍රධාන පාරවල් දෙකක් නම් කරලාත් තියෙනවා .
හේතුව තමයි 1954 දී මාර්තු මාසේ ඉඳන් මැයි මාසේ දක්වා ඇතිවුන මාරාන්තික සටන එහෙම නැත්නම් ප්‍රංශයේ ''ඉන්දු චීනය '' නමැති සිහින අධිරාජ්‍යය බිඳ වැටිලා පල්ලම් බැස්ස සටන . ඔය ගැන නම් සංඛ්‍යාලේඛන ඇතුවම දෙන්නම්කො .
සොල්දාදුවන් ගණන ...ප්‍රංශ =15,000
වියෙට් මින් = 40 ,000
ප්‍රංශ සොල්දාදුවෝ 1600 ක් මිය ගියා ..4800 ක් තුවාල වුනා . 1600 ක් අතුරුදන් ..8,100 ක් සිරගත කරන්න ගෙනියද්දි භාගයක්ම මග මිය ගියා . අද කාලේ වෙන දේ වලට අනුව මේවා පොඩි ගණන් වගේ පෙනෙයි . ඒත් මේ 1954 ගැන අපි කතා කරන්නේ .
හෝ චි මින් අරඹපු වියට් මින් පෙරමුණේ සොල්දාදුවනුත් සෑහෙන්න බැට කෑවා මේ ජයග්‍රහණය ලබාගන්න . 7900 ක් පමණ මිය ගියා . 15,000 ක් පමණ තුවාල ලැබුවා . මේ විස්තර ගත්තේ http://en.wikipedia.org/wiki/Battle_of_Dien_Bien_Phu සහ http://www.history.com/this-day-in-history/french-fall-to-viet-minh-at-dien-bien-පහුවලින් .
මේ ඉතිහාසගත සටනේ ප්‍රතිපලය ලෙස එතෙක් ප්‍රංශ ආධිපත්‍යට යත් ව සිටි වියට්නාමයට එම වසරේ ජිනීවා සමුළුවේදී නිදහසත් ලැබුන . වියට්නාමය මුලික කරගෙන ගොඩ නගන්න හීන මැව්ව ''ඉන්දු චීනය''ත් ප්‍රංශයට සිහිනයක්ම වුනා .
ඇමරිකන් වියට්නාම යුද්ධය ගැන අපි අහල තිබුනට ප්‍රන්ශයත් එක්ක ඇති වෙච්ච තත්වය මම එතරම් අහල තිබුනෙත් නැහැ . ආවට පස්සේ නේ දැක්කේ ප්‍රංශ ආභාෂය ලැබූ ගොඩනැගිලි ...භාෂාවට එකතු වුන වචන ..ඒ විතරක් නෙමේ කන්නෙත් ප්‍රංශ පාන් . මොකක්ද මේ ඉන්දු චීනය ? ඇයි ප්‍රංශ කාරය මෙහෙට ගොඩ බහින්න හේතුව ? ඔන්න ඔය පසුබිම පොඩ්ඩක් විස්තර නොකලොත් මේ සටහන් සම්පුර්ණ වෙන්නේ නැහැ. මේ ගැන බොහොම දේවල් දන්නා අය නෙලුම් විල දිහා එන බව දන්නවා . ඒ වගේම නිදන මිනිසෙකි මෙහි පොස්ට් එක ලිව්ව වෙලාවේ දැන ගත්තේ හෝ චි මින් ගැන අහල වත් නැති යාළුවො ගැන . එහෙම අයට මේ දේවල් පොඩ්ඩක් හඳුන්වා දිය යුතු නිසා පසුබිම ටිකක් කියන්න ඕන .
ඔන්න ඉතින් මෙව්වා ආවට ගියාට ලියන්න බැරි නිසා මම අන්තර්ජාලයේ සැරිසැරුවා . අපොයි මේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන සහ එහෙන් මෙහෙන් ලින්ක් යාවුන දැලක් වගේ මහා විස්තර ගොඩක් . සේරම කියවන්න වත් ලියන්නවත් මට හිතන්නවත් බැහැ. රසවත්ම ටික සාරාංශ ගත කරන්නයි බලාපොරොත්තුව .
මෙගා එකක් ලියන්න වටිනවා . ඒත් මන් කම්මැලියිනෙ . ටිකක් ලියමු ඉතුරු ටික කමෙන්ට් වැටෙන විදිහට ඇදගෙන යමු.
මේ රටත් ඈත අතීතයේදී ඉඳන්ම විදෙස් ආක්‍රමණ අභ්‍යන්තර කැරලි කෝලාහල වලින් බොහොම සංකීර්ණ ඉතිහාසයක් ඇති තැනක් .මේ ඉතිහාසයට ප්‍රංශය සම්බන්ධ වුන තැන සොයාගෙන යද්දී තමයි අපට Gia Long අධිරාජයා [Nguyễn Phúc Ánh තමයි මුල් නම ] එහෙම නැත්නම් නුතන සිතියමේ විදියටම වියට්නාමය එක්සේසත් කරලා Nguyen යුගය ඇරඹු පුද්ගලයා හමු වෙන්නේ . එවකට දකුණු වියට්නාමය වෙනම පාලනය වුනේ . මේ කාලේදී ඇතිවුන කැරැල්ලකින් පාලක පෙළපතේ බොහෝ දෙනෙක් මිය ගියා . අවුරුදු 15 දී පලා ගොහින් ඉඳිද්දී මොහුට හමු වෙනවා මිෂනාරි වැඩේට ආපු ප්‍රංශ පුජකයෙක්. නම Pigneau de Behaine .ඔහු පොරොන්දු වුනා ආපහු බලය ගන්න උදව් වෙන්න . මෙයාලත් අර පයිරේට් ගනයේම තමයි. මිෂනාරි වැඩේට ආවට ඉන්දු චීන ප්‍රදේශයේ වෙළඳ කටයුතු වලට හොට දාන්න පොටක් පාදගන්න ප්‍රංශයට ඕනෑකම තිබ්බ . ඔන්න බලන්න ඇතුලේ ගිනි ගන්න කොට එළියෙන් වතුර කියල භූමිතෙල් ගහන අය එදත් හිටිය . ඉතින් මේ සත් ගුණවත් මිෂනාරි තුමා ප්‍රංශ රජයේ සහය අරගෙන Nguyễn කුමාරයට බලයට එන්න උදව් කරනවා .Gia Long ලෙස අභිෂේක ලබන කුමරා ඉතා සංකීර්ණ සටන් පෙළකට පස්සේ මුළු වියට්නාමයම එක්සේසත් කළා .
1802 දී ඔහුගෙන් ඇරඹුන Nguyen යුගය ඔහුගෙන් පුතාට[ Minh Mang ] හිමි වෙලා තවත් අධිරාජයන් දෙන්නෙක්ගෙන් පස්සේ 1945 දී නැත්තටම නැති වෙනවා . උදව්වට ආපු මිෂනාරීන්ගේ යටි අරමුණු Gia Long ට අවබෝද වුණා. ඒ වගේම ඔහුත් ඊට පස්සේ පුතත් සෑහෙන ප්‍රතිරෝධයක් දක්වලත් තියෙනවා රට ඒ බලපෑම් වලින් නිදහස් කරගන්න . ඒත් අවසාන රජු වුණා Tu Duc ගේ කාලේ වෙද්දී දකුණ විතරයි ඔහුට හිමි වුනේ . රට ප්‍රායෝගිකව කොටස් 3 කට කැඩිලා සහ මධ්‍යම වියට්නාමය ප්‍රංශ ආධිපත්‍ය ටත් නතුවෙලා ඉවරයි ඒ වෙද්දී.
ඉන්දු චීනයක් දිනා ගන්න ප්‍රංශය ගෙන ගිය සටන උච්ච වෙලාතිබුනේ . ඔය අස්සේ කම්බෝදියාවේ නොරදොක් රජතුමා කැමැත්තෙන්ම ප්‍රංශය යටතේ නාමික රජෙක් වුනා තායිලන්ත [ සියම ] යේ කරදර වලින් ආරක්ෂාවෙන්න. මේ ගැන කියවද්දී නිකන් කැඳ හැලියක් වගේ . ඔය කාලෙනේ දෙවන ලෝක යුද්ධය ත් තිබුනේ . යුරෝපේදී ලෝක යුද්ධය හරහා අපේ වීරයෝ ගොඩට වැටෙන ප්‍රංශය මෙහෙදී වෙනත් මුහුණක් . අනේ ඇත්තට මෙව්වා කියවද්දී ඉතිහාසයේ මොනතරම් පරස්පර විරෝදී කම් පාවා දීම ..සිද්ධ වෙලා තියෙනවද කියල අපි වගේ සාමාන්‍ය මනුස්සයන්ට නම් හිතා ගන්න වත් බැහැ .
Nguyen යුගය අන්තිම කාලයේ බලය අරගල ඇති වුනා . ඔය අස්සේ ප්‍රංශ මිෂනාරි වරු හැදුවා කතෝලික උරුමක්කාරයෙක් ට කිරුල හිමිකර දෙන්න . මට නිකන් අපේ කෝට්ටේ යුගය හෙම හීනෙන් පෙනී නොපෙනී යනවා මේවා කියවන කොට .
ඔය අස්සේ ජපනත් මේ පැත්තේ ලොක්ක වුනානේ . තායිලන්තේ එක්කත් ප්‍රන්ශේ සටනක් ඇති වුනා ඒ කම්බෝජියාවේ මායිම් ගැන . ලාඕසය නම් පුංචි අසරණයෙක් නේ. නිකන්ම ඉන්දු චයිනා සිතියමට ඇතුළු වෙලා ඉවරයි .
ඔය කාලයේ තමයි අපේ හෝ චි මින් හෙවත්'' හෝ මාමා ''කරලියට එන්නේ . ඔහුගේ මුලිකත්වයෙන් උතුරු වියට්නාමයේ වියට් මින් සංවිධානය බිහිවෙනවා . කලිනුත් පොස්ට් එකක් දමපු නිසා මේ නිදන මිනිසා ගැන ආයේ ලියන්නේ නැහැ .විවිධාකාර සටන් වලින් පස්සේ ජනරාල් Vo Nguyen Giap ගේ නායකත්වයෙන් අපේ ප්‍රධාන මාතෘකාව වෙච්ච Dien Bien Phu සටන
ඇති වුණා . එයින් පැරදුනාට පස්සේ ප්‍රංශ ය ඉන්දු චයිනා සැලසුම අකුලගත්ත . තව දෙයක් යටින් මේකට උඩ ගෙඩි දෙමින් හිටි ඇමරිකාව දැනගත්ත මේ වැඩේ ප්‍රන්ශුවාට කරන්න බැරි බව . ඔන්න බලන්න මිතුරන්ගේ හැටි .ජනාධිපති අයිසන්හවර් තීරණය කළා ප්‍රන්ශේ ට උදව් නොකර ඉන්න . පෙනේද මේකා.
ඔය වෙනකොට ලෝකයේ හිස ඔසවමින් හිටි කොමියුනිස්ට් වාදය පැසිෆික් කලාපයේ ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාවත් යුරෝපිය බලවතුනුත් හැඟී හොරා ඉන්දු චීන වැඩ පිළිවෙලට ප්‍රන්ශේ ට ආශිර්වාද කරමින් හිටියේ . හැබැයි මෙයාට මේකා කරන්න බැරි බව දැනගෙන ඇමරිකන් කාරය හිමින් මෙහෙ වැඩ අරඹල තිබ්බේ . The Quiet American (1958 film) [ ග්‍රැහැම් ග්‍රීන් ගේ පොතක් ඇසුරුකොට ගත්] වල ඕක අපුරුවට පෙන්වනවා . ඇමරිකාවට වෙච්ච අලකලංචිය ඉතින් ආයි ලියන්න ඕන නැහැනේ . Cu Chi Tunnels ගැන කියවන්නකෝ අතපසු වුනා නම් . ඒකෙ තියෙනව ඒ ගැන විස්තර .
ඉතින් ඔහොම Dien Bien Phu සටනින් දිනලා නිදහසත් ලබාගෙන ..ආයේ ඇමරිකන් යුද්ධෙටත් මුහුණ දීලා වියට්නාමය අද යන්තම් ඉහ ගහල ඉන්නවා. මට මෙහෙම වියට්නාමයේ සිටම මේ ගැන ලියන්න ඉඩ ලැබුනේ ත් එදා දිවිපිදු නිර්භීත කුඩා මිනිසුන් නිසයි. ඔවුන්ට මගෙත් අසීමිත ස්තුතිය මෙයින් පිරිනැමෙනවා .
ප.ලි.
ගොඩක් කියවා බොහොම පරිස්සමින් සාරාංශ ගත කලත් වැරද්දක් දැක්කොත් පෙන්වන්න . ඉතිහාසය වෙනස් කරනවට මමත් බොහොම අකමැතියි.
විශේෂ ස්තුතිය ...බෑන් කී මුන් මහතාට ඉස්කෝලේ පටන් ගන්න තීරණය කලාට .
[බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් . ඒ ඒ ස්ථාන වලම ලින්ක් දමා ඇත ]
[පින්තුරත් Google Images තමයි . තවම යන්න බැරි වුනා . ලඟදි ගුවන් ගමනක් අරඹා ඇති නිසා එක්කගෙන යාමට පොරොන්දු වී ඇත .]
අමතර පින්තුර මෙයින් බලා ගත හැක
Wednesday, 3 August 2011
''මයිකල් ජැක්සන්ව'' බොන මැලේසියානුවෝ
පසෙකින් රෙදි ගොඩකි - පොත් පත් හැම තැනය
ඔක්කොම දමා ''බින්දී'' මම විල ළඟය
වැඩ ගොඩ වෙලා අය්යෝ මන් අසරණය
එහෙමයි කියා නොලියා ඉන්නත් බැරිය
නෑවිත් මේ පළාතේ මන් හිටි ටිකට
ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට
නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට
ඒකයි පමාවී බැස්සේ මගෙ විලට
අතහැර දමා ගිය බව මන් නෙලුම් විල
තැන තැන දුටිමි ලියවී කට කතාවල
පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල
කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල
රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද
දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ
එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද
විසිකළ යුතු යි සැල්වීනිය හා මඩද
සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා.
වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් . ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න .
ඒ ලොකු කෙල්ල තමයි කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය .
තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල .
දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන .
රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala Lampur නගරය නම් සෑහෙන දුරට සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ .
පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින් ඉතා සැලසුම් කොට නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා'' . පුත්‍ර = කුමරා ..ජයා = ජය .
මට යන්න නම් බැරි වුනා ඒ පලාතට .
නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්.
''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි .
නගරයේ නම් ප්‍රධාන ආකර්ෂණය ''Petronas twin Towers '' තමයි . උදේ පාන්දර ගිහින් ටිකට් අරගන්න ඕනේ උඩට නගින්න . අපි වගේ කම්මැලියන්ට ඔය වැඩ බැහැනේ .
එයට යාබද ''Petrosains Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා .
කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත .
. දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි.
මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න .
මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා .
අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ .
බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ .
මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි.
අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ නැහැනේ . ඊ ළඟ පාර බලමු.
ස්තුතිය ...මම රස ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට
ඔක්කොම දමා ''බින්දී'' මම විල ළඟය
වැඩ ගොඩ වෙලා අය්යෝ මන් අසරණය
එහෙමයි කියා නොලියා ඉන්නත් බැරිය
නෑවිත් මේ පළාතේ මන් හිටි ටිකට
ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට
නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට
ඒකයි පමාවී බැස්සේ මගෙ විලට
අතහැර දමා ගිය බව මන් නෙලුම් විල
තැන තැන දුටිමි ලියවී කට කතාවල
පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල
කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල
රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද
දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ
එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද
විසිකළ යුතු යි සැල්වීනිය හා මඩද
සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා.
වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් . ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න .
ඒ ලොකු කෙල්ල තමයි කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය .
තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල .
දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන .
රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala Lampur නගරය නම් සෑහෙන දුරට සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ .
පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින් ඉතා සැලසුම් කොට නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා'' . පුත්‍ර = කුමරා ..ජයා = ජය .
මට යන්න නම් බැරි වුනා ඒ පලාතට .
නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්.
''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි .
එයට යාබද ''Petrosains Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා .
කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත .
. දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි.
මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න .
මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා .
අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ .
බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ .
මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි.
අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ නැහැනේ . ඊ ළඟ පාර බලමු.
ස්තුතිය ...මම රස ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට
Labels:
පුද්ගලික සහ ඇවිද්ද තැන්,
සේද මාවත
Subscribe to:
Posts (Atom)
































