Friday 4 November 2011

මල් කියන්නේ කාට කාට .....

මටත් මගේ බ්ලොග් එකටත් එරෙහිව බෑන් කී මුන් කල කුමන්ත්‍රණය අහවර වී මාස කීපයක් ගත විය . එහෙමයි කියා කරදර කිරීම් නම් අඩුවක් නැත . හැම බදාදාම පැයක් කලින්ළමයි ගෙදර එවයි . මාසයකට දෙකකට වතාවක් ගුරුවරුන්ගේ දැනුම වැඩි කරන්නට සම්මන්ත්‍රණ පවත්වන්නට යයි කියා ළමයි ගෙදර තියයි . ඔය මොනවා වුනත් ළමයි නම් ඉස්කෝලෙට බොහොම කැමතිය . අද හවස අමතර වැඩ වලට නතර වූ බනියා සෙල්ලම් පිට්ටනියෙන් ගෙදර ගෙනාවේ හරිම අමාරුවෙනි .


මටත් කොයි කරදර තිබුනත් ඉස්කෝලෙට අකමැති වෙන්නට නම් බැරි දෙයක් පසුගිය දිනවල සිදුවින . ඒ එක්සත් ජාතීන්ගේ දින උළෙලේදී අපේ පොඩ්ඩන් දෙන්නාට අපේ කොඩිය ඔසවාගෙන යන්නට අවස්ථාව ලැබීමය .


පාට පාට කොඩි අරගත් පාට පාට ඇඳුම් ඇඳගත් පාට පාට ළමයි . ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට බෝම්බ අත අරිද්දි ඇමරිකන් ළමයි ඇෆ්ගන් ළමයි ලඟින් සිටි . උතුරු කොරියන් කොඩිය රැගත් ලස්සන දැරිය යන විට සියලු කොරියානුවන් හුරේ දමයි .

ළමයි මල් වගේ කියන්නේ නිකන්ද .
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාසල් දෙකක් පමණි ලෝකයටම ඇත්තේ . නිව්යෝර්ක් සහ හැනොයි නගර දෙක තුල . එබැවින් වසරකට වරක් එක්සත් ජාතීන්ගේ දිනය ලොකුවට සැමරේ . ගිය වසරේ බෑන් කි මුන් මහතාද පැමිණි නමුත් මෙදා පාර එව්වේ ගෝලයෙකි .
  
ගිය අවුරුද්දේ ආපු මුන් මහතා . ළඟ ඉන්න සුදු රැවුල් සියා විදුහල්පති තුමාය

ගෝලයාගේ කල කතාවේදී නම් මට නින්ද ගිය බව කිව යුතුය . මට කොහොමත් දේශනා අහන ඉන්න බැරි ලෙඩක් තිබේ . අනික මගේ ඊ - මේල් ගිණුම කවුද අල්ලාගෙන මාව ස්පේන් යවා තිබුනේ කලින් දාය . එදා රෑ හරි හමන් නින්දක්ද නොවිය .

සියලු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ හැනොයි වල බැවින් එහි සේවය කරන තානාපති කාර්ය මණ්ඩලයේ දරුවන් නිසා පාසැල තුල ඇත්තේ විසල් ජන විවිධත්වයකි .

එදිනට පොඩ්ඩන් දෙදෙනාටම ළමා සාරි සැකසීමට සිදුවිය . ලොක්කිගේ ළමා සාරිය මසන්නට දුන් කාන්තාව ඉනට රැලි නැති අලුත්ම වර්ගයේ ළමා සාරියක් මසා දුන්නාය . ප්‍රතිසංස්කරණයන්ට හසු වී යන්තම් පිළිවෙලක් කරගත්තේ අවසන් මොහොතේය .

එකම පාටින් ළමා සාරි ඇන්ද අක්ක නගෝ දෙන්නට කවුරුත් කැමති විය . එකම රටින් අක්කයි නංගියි ජාතික කොඩිය ගෙනයාමත් විරල දසුනක් . ජාතික ඇඳුමක් කියා එකක් නැති එංගලන්තයේ ඇමරිකාවේ ළමයි ඒ රටවල් නියෝජනය කලේ විවිධාකාර ක්‍රම වලටය .
[ඒ අයගේ ජාතික ඇඳුම අපි උදේ හවා අඳින හෙයින් ] සමහරු කොඩි වගේ ඇඳුම් ..ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් මුහුදු වෙරළට යන්නා සේ සැරසී උන් අතර සමහර ඇමරිකන් ළමුන් කව් බෝයි තොප්පි දමන් සිටියහ . කොරියන් ජපන් ළමුන්ට නම් ලස්සන ජාතික ඇඳුමක් තිබේ . අප්‍රිකන් එඬේරුන් ද දැක ගත හැකි විය .

සපා කඳුකරයේ ළමයි  
 
 
වියට්නාමයේ කඳුකර පළාතක් වන සපා වලින් පැමිණි දැරියන්ගේ ජන නැටුමට අකමැති කෙනෙක් නොවිය . සරල දිවිපෙවතක් ගෙවන වියට්නාම කඳුකර ජනතාව ගැන වෙනම ලියන්නට සිතා සිටිමි . ආදර පොලින් කිව්වෙත් එවන් ජනකොටසක් ගැනය .

අපේ කොඩිය උස්සන් ගියේ ලොක්කිය . බනි නිකම් අක්කගේ තනියට ගියා වාගේය .


  ඉන්දියන් කොඩිය අරන් ගිය පොඩි එකාට උදව්වට ඔහුගේ පියා ගිය බවත් අපිටත් යන්න බැරිදැයි බනිගේ තාත්තාට සිති තිබිණි . ඒ ගියේ  ඒ ළමයාගේ තාත්තා නොව ලොකු පන්තියක ළමයෙක් බව ඔහුට තවමත් ඒත්තු ගන්වන්නට බැරිය .


ලෝකය පුරා ලොකු අය රණ්ඩු වෙද්දී පොඩි අය රැගෙන ගිය කොඩි එක පේලියට සිටගෙන ඉන්නේ මේ ළමයින් වගේමය . ඉස්කෝලෙට යන විට නිතරම මට නන්දා මාලිනියගේ
''මල් කියන්නේ කාට කාට '' ගීතය සිහිවේ . මල් ළමයින් වාගේය . ළමයින් මල් වාගේය .  ඒ ගියත් අහලම යන්න
ප්‍රධාන උත්සවයෙන් පසු සෑම පන්තියකම විවිධ රටවල කෑම බුෆේ ක්‍රමයට තියා තිබුණි . වෙනදාට යසට හැදෙන මුන් ඇට කැවුම් මෙදා හරියට හැදුනේ නැත . මගෙත් මොකෝ ඔරිජිනල් එව්වා කා නැති අය දත් වල ශක්තිය මැන ගන්නට ඇත.මන් මගේ පාඩුවේ ඉන්දියන් සමෝසා ,කොරියන් රයිස් රෝල් , මැලේසියන් රසකැවිලි , ජර්මන් පාන් ,වියට්නාම ස්ප්‍රින්ග් රෝල් සහ නම මතක නැති රස කෑම කෑවෙමි


අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි . එය අනිකුන් පහත කිරීමක් නොවේ . ලස්සන මල් යායක මලක් වුවිට ඒ මල අනිකුන් හඳුනා ගනී නම් මලට ඇති වෙන සතුට කෙසේ වෙයිද . එවැනි අහිංසක සතුටක් පමණකි මට ඇති වුයේ . එමෙන්ම අනිකුත් මල් වල ලස්සනද රස  වින්දෙමි .

ප. ලි ..
පසුගිය දිනවල සේද මාවතේ ඇවිදින්නට ගිය නිසාත් වෙන වෙන රාජකාරි තිබුන නිසාත් මේ කතාන්දරය ලියුවේ පමාවිය . සැබවින්ම මෙය සිදුවුයේ මසකට පෙරය .
මේ පොස්ට් එක දැම්මා වුනත් අරහේ තවම අපි මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැනද කතා කරමින් සිටිමු . සුජිවත් බුරාත් අපමණ දැනුම් සම්බාරයක් එක්කහු කරමින් සිටි. කැමැත්තෝ වෙත්නම් ගොහින් කියවන්න .


පින්තුර සියල්ල අපේ කැමරාවෙන් දුර සිට ගත් ඒවාය . අනිකුත් ළමයින්ගේ පින්තුර අනවසරයෙන් දමන්නට අකමැති නිසා බොහොම තෝරා බේරා ගන්නට සිදුවිය .

38 comments:

  1. මෙච්චර ලස්සනට සිද්ද වෙච්ච දේ දමන්න ඇයි මෙච්චර පරක්කු උනේ කියලා හිතුනා බින්දි අක්කා...අර කිව්වත් වගේ ළමයින්ට මොන ජාතිබේදද...තාම මේ පැටව් කිසිම දෙයක් දන්නෙ නෑ...අර බින්දි අක්කා කිව්ව වගේ " මල් කියන්නෙ කාට කාට...ළමයින්ටයි පාට පාට...." බෑන් කී මූන් ලා ඕවා දන්නෙ නෑ... උන් දන්නෙ කුණු අවුස්සන්නනේ....

    චූටි අක්කා නගෝ දෙන්න දකිද්දී ආස හිතුනා...පිටරටක අපේ ජාතික කොඩිය හැමෝටම පේන්න උස්සාගෙන යන්න ලැබීම මොන තරම් දෙයක්ද ?

    අර හයි උන මුං ඇට කාපු අය ඊලඟ දවසේ දත් දොස්තරලා හම්බු වෙන්න ගියාලු...එහෙම නේද බින්දි අක්කේ ?

    ඔය ළමයින් මැද්දේ තමන්ගේ දරුවො දෙන්න දකිද්දී බින්දි අක්කට ඇති උන හැඟීම මේ දැන් මට දැනෙනවා වගේ...මොනා උනත් අපි තවමත් අපි උපන්න රටට මොන තරමක් ආදරේද....

    ReplyDelete
  2. එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් පොඩ්ඩක් විතර එකේ මුලික ප්‍රතිපත්ති වලට පටහැනිව ක්‍රියා කරනවා කියලයි මට නම් හිතෙන්නේ...නමුත් මේ ඉන්න පොඩි දරුවෝ නම් කවදා හරි එහෙම කරන එකක් නෑ....

    ReplyDelete
  3. පිට රටක කට්ටිය ඉදිරියේ අපේ කොඩිය ගමන් කරනකොට මට නම් පුදුම සතුටක් තමා දැනෙන්නේ ..

    අපේ පොඩි උන් දෙන්නට ජයම වේවා !!

    ReplyDelete
  4. ලංකාව කොහොමත් අමුතු රටක්. පුංචි දූපතක මහා දැවැන්ත කඳු පිහිටා තියෙනවා. කොයි තරම් ද කිව්වොත් ඔස්ට්‍රේලියානු මහාද්වීපයේ ඇති කොසියුස්කෝ [මි 2200+] උසම කඳු මුදුනත් අපේ පිදුරුතලාගලට [මි 2500] වඩා මිටියි.

    ලංකාවේ ආනතිය ඉතාමත් වැඩියි. ලංකාවට වඩා ආනතියෙන් යුතු කුඩා දිවයින් නම් කෝසිකාව [මි 1800] හා හවායි [මි 4000 - හවායි යනු පතුලේ හිඳ උස කිමි 13ක් වන ලෝකයේ බඳින් උසම කන්දයි].

    රටේ කොඳු නාරටිය මෙන් කඳු පිහිටි නිසා සුළං මුහුණත හා සුළං මුවාව ඇති වීමෙන් දේශගුණ කලාප හැම එකක්ම වාගේ කුඩා දිවයිනක පවතියි.

    කඳු නිසා විවිධ භූ විෂමතා ද තිබේ. දැවැන්ත ඕස්ට්‍රේලියා මහාද්වීපයේ මෙතරම් විවිධත්වයක් නැත.

    ඊළඟට බලන්න මිනිසුන්. හොඳට හෝ නරකට අමුතුම මිනිසුන් ගොඩක් මෙරටේ හිඳිති. රටේ අතිශයින් අනන්‍ය වූ සංස්කෘතියක් ඇත. මේ තරම් කුඩා ප්‍රජාවන් අතර මේ හැටි අනන්‍යතාවයක් ඉතිරි කරගත් රටවල ඇත්තේ බොහොම ටිකකි. [මේ සඳහා නම් ක්‍රෙඩිට් ඒක යන්නේ අර ගෝත්‍රික ජාතිකවාදීන් කියා ලිබරල් හා වම්මුන් බනින සෙට් එකට තමයි. ලිබරල් හෝ වමේ අය කියන විදිහට හිටිය නම් මේ අනන්‍යතාවය ඉතුරු වෙන්නේ නැහැ. හොඳ මෙන්ම නරකත්. කොටින්ම අපි‍ට ජාතික ඇඳුමක් තියෙන්නෙත් උන් නිසා]

    ඉතීහාසය ගත්තත් පුංචි දිවයිනක් ලෝක ආර්ථිකයේ හා ගමනාගමනයේ මෙතරම් සන්ධිස්ථානයක් වෙච්ච අවස්ථා අඩුයි

    ක්‍රිකට් කන්ඩායම ගත්තත් ලෝකයේ වැඩිම විස්මයක් ජනනය කරන කණ්ඩායම අපේ අය [දිනද්දීත් පරදිද්දිත්]. කොහෙද මුල්ලකින් ඇවිත් 96 කුසලානේ දිනන ඒක විතරක් නොවේ. කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ශයිලි විවිධත්වය ගත්තත්.

    කාලෙකට කලින් ලෝකේ කොහෙවත් නැති සිරාම ත්‍රස්ත කල්ලිය බිහි වෙනකම් ඇහැ පියාන මෛත්‍රී කල අපි, ලෝකේ කාටවත් කරන්න බැරි උන විදිහට [කරන්න බැරි නිසා අපේ කකුලෙන් ඇද්දට පුලුවන්නම් ඒ ගොල්ලෝ කරන්නෙත් ඕකම තමා] ඒ ත්‍රස්තවාදය නිමා කළෙමු.

    හැබැයි මේ අනන්‍ය හා විවිධත්වය සහිත රටක වෙච්ච එකේ දුර්විපාකයක් තමයි අද ලෝකේ වෙනත් රටවලින් බිහිවන විදිහේ මහා ප්‍රාඥයින්, විද්වතුන්, ධනවතුන්, ව්‍යවසායකයින්, ලෝක නායකයින් අපෙන් බිහි වෙන්නේ නැති එක. මොකද අනන්‍ය හා විවධත්වය සුරකින මිනිසුන්ගෙන් සාමාන්‍ය පොදු පද්ධතියේ ඉහලට යාම අපේක්ෂා කරන්න බැහැ. අපි ඉන්නේ අවුට් ඔෆ් බොක්ස්.

    චින්තනයත් වෙනස්නේ. මං ඕකට කියන්නේ "කොලොම්බස් ශ්‍රී ලාංකිකයෙක් වුනා නම් තවමත් අපට ඇමරිකාවක් නැත" කියයි. මෙච්චර අගේට කාලා බීලා ඉන්න රටක් තියෙද්දීත් ලංකාවේ එකෙක් යයිද ඔහොම අගමුල නැති ගමනක් [ඒ තියා මේ මුහුද මැද්දේ ඉඳගෙනත් අපිට තියේද කිසිම නාවික බලයක්, ෆේරි සර්විසස්, ඒ තියා අපිට පීනන්නවත් බැහැ]

    බොහොම අමුතු රටක්.

    බින්දිගේ පුංචි පැටව් දෙන්නා ජාතිකාභිමානෙන් යන හැටි බොහොම ලස්සනයි. ඒ දෙන්නට අපේ සුබ පැතුම්.

    ආයිත් යන්න ඕනේ අනික් පැත්තට බුරාගේ කැවල්රි එක ගඟෙන් එහා පැත්තේ නතර වෙලා ඉන්නේ.

    ReplyDelete
  5. [[එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් පොඩ්ඩක් විතර එකේ මුලික ප්‍රතිපත්ති වලට පටහැනිව ක්‍රියා කරනවා කියලයි මට නම් හිතෙන්නේ]]

    දැන්??

    පොඩ්ඩක් විතර??

    :)

    ReplyDelete
  6. විස්තර, සෝපාහාස, කතන්දර, පිරි අපූරු සටහනක්....!
    නෙළුම් විලේ සමන් මලක්....!

    ReplyDelete
  7. පොඩි දෙන්නව පැහැදිලිව පේන ෆොටෝවක් දැම්මානම් තවත් හොදයි.ඒත් වෙන රටක, තවත් රවල් වල අය අතරින් අපේ කොඩියත් තියෙනවා දැක්කාම අපේ හිතේ කොච්චර සංතෝසයක් එනවද.

    මේ අවස්තාව අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි අක්කා...

    ReplyDelete
  8. සේද මාවත ගැන අප්ඩේට්ස් එනකොට මම සුසුමක් හෙළලා අහක බලන් ඉන්නවා. මොකද, හදිසියෙ ඇවිත් කියවල යන්නවත්, කමෙන්ට් කරන්නවත් බැරි හින්දා ඒ වගෙ පෝස්ට් එකකට.
    ළමා සාරි මහන්න ගිහින් කරදර වෙනකොට හිතුණෙ නැද්ද සරල ඇඳුමක් තිබුණනම් හොඳයි කියල? :D
    කොහොමත් විවිධත්වය හුඟක් වැඩි තැන්වල අමුතු ලස්සනක් තියෙනවා. කල්ලි ගැහෙන්න තරම් තමන්ගෙ ගෝත්‍රයෙ අයත් නැත්නම්, අනික් අයව ඉවසගෙන, අනික් අයට ගෞරව කරගෙන ඉන්නම සිද්ධ වෙන නිසාද මන්දා.

    ReplyDelete
  9. // අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි . එය අනිකුන් පහත කිරීමක් නොවේ . ලස්සන මල් යායක මලක් වුවිට ඒ මල අනිකුන් හඳුනා ගනී නම් මලට ඇති වෙන සතුට කෙසේ වෙයිද . එවැනි අහිංසක සතුටක් පමණකි මට ඇති වුයේ. //

    මේ ටික නං පට්ට.. ජාතික ඇඳුමට කොච්චර බැන්නත් ඔය වෙලාවට පිහිටට එන්නේ ඒක තමා.. :)

    ReplyDelete
  10. ගෙදරදි අම්මට පොල්ගාල දෙන ලොක්කි සහ බනියා (ඔය නම හැදුනෙ කොහොමද?) කොඩිය ඉස්සීමනං අපූරු කාරණාවක්. කෙල්ලන්ට ජයෙන් ජය පතමි. අම්මාටත් තාත්තාටත් එසේම වේවා.

    ReplyDelete
  11. @නලිනි;

    නලිනිට මොකද වුනේ කියා හොයාගෙන යනවිට එක්සෑම් එකකින් ඇඳිරි නීතිය වැටුන බව හෙළි විය. ගෙදර අන්තර්ජාලේ තඩි ලොරි යන නිසා අකුරු දහයක් ලියා ගන්නත් පය ගානක් යාමට ඉඩ ඇති බවද සැල විය.

    සිත් ආරේ රී ලෝඩ් දමමින් අපි බලා සිටිමු.

    ReplyDelete
  12. හ්ම්ම්..ජාතිකත්වය ඇඳුමෙන් විදහාපෑම අතින් මම ඉතින් අන්තිමයි . ගොඩක් අන්තර්ජාතික වැඩවල සමාරම්භක අවස්තාවට ඩ්‍රෙස් කෝඩ් එක අනිවාර්යෙන් නියමකලොත් ඇර මම ඉතින් වෙන ඔප්ෂන්ස් තමයි කරන්නේ .ඒ වැඩේට හරියන්න ශ්‍රී ලංකා කියලා සිංහල , දෙමල ,ඉන්ග්‍රිසි භාෂා තුනෙන්ම ගහපු ලංකාවෙ කොඩිය තියෙන ලස්සන ටී ශර්ට් කීපයක් මට තියෙනවා .එවයින් ශේප් වෙනවා .
    බනියලට ජීවිතේ හොඳ අවස්ථාවක් ලැබිල තියෙන්නෙ . ලෝකේ නොයෙක් රටවල් වල භාෂා ,ආගම් ,සංස්කෘතිය පුංචිකාලෙම ඇසුරු කරන්න, ඒවා විඳින්න , ඒ වගෙම ඒවා ඉවසන්න .අගය කරන්න .මේ උත්සවයෙන් ගන්න තියෙන දිගකාලීන පාඩම ඒකයි .

    මේ ඩයිවර්සිටි අගයකිරීම ගැන කාලෙකට කලින් දවසක හවස්යාමෙක කෝපි බොන ගමන් අපි යාලුවො කීපදෙනෙක් ( දකුණු හා නැගෙනහිර ආසියාතිකයන් ) කුරුටුගෑව සටහනක් .කියවන්න කැමතිවේවි කියල හිතනවා .මම නලිනිගේ අදහසට එකඟයි .බනියලාට සුබපතනවා .

    Pluralism is not one lose its identity like sugar in the milk
    Also it is not merge the identities like porriage which has rice ,salt ,green leaves , crushed and cooked together
    Pluralism is like symphony orchestra with different kind of notes, tunes , pitch
    Pluralism like salad bowl where u recognize carrot, onions , cucumber separate
    Pluralism like bouquet of flowers which has different fragrances and colours

    Definitions
    Plurality – Understand the existence of diverse things
    Pluralism – Appreciation and engagement with diversity

    ReplyDelete
  13. ඉස්සරවෙලාම මගේ වැරදි වැටහිමක් ඉවත් උනා මේ පොස්ට් එකෙන් මෙච්චර කල් මම හිතාන උන්නේ බනියා කියන්නේ ඔයාගේ මහත්තයා කියලා.. දැනුයි තේරුනේ ඒ පොඩි දු කියලා.... ඇත්තටම පරක්කු වෙලා හරි මේ වගේ දෙයක් බෙදා ගත්තටක අක්කට බොහොම පින්... පොඩි උන් දෙන්නට බොහොම ආදරෙන් සුභ පැතුවා කියන්න... යන හැම තැනකම අපේ රටේ නම බබලවන්න වාසනාව ලැබේවා

    ReplyDelete
  14. මල් වගේ ළමයින් එක්වූ තැන කවදත් සුන්දරයි. මෙපමණ විවිධත්වයක් තියෙද්දි ඒ සුන්දරත්වය තවත් වැඩියි.

    ReplyDelete
  15. පැටව් දෙන්නා ලස්සනට ඉන්නවා අක්කෙ, ලමා සාරිත් ලස්සනයි, ඔයිට වඩා හොඳ ෆොටෝ එකක් ගන්න චාන්ස් එකක් ආවෙම නැද්ද .........

    ලමයි මල් වගේ ඒ කතාව නං සහතික ඇත්ත, සමහර වෙලාවට ඒ මල් කරන වැඩවලට තරු වීසි වෙන වෙලාවලුත් තියනවා ....

    ReplyDelete
  16. //වෙනදාට යසට හැදෙන මුන් ඇට කැවුම් මෙදා හරියට හැදුනේ නැත . මගෙත් මොකෝ ඔරිජිනල් එව්වා කා නැති අය දත් වල ශක්තිය මැන ගන්නට ඇත.//

    අනේ පව් !!! බින්දි අක්කගේ ගල් කැවුම් කා ගිය සුද්දෝ සුද්දියෝ ලංකාවේ මිනිසුන්ගේ මුඛ සෞඛ්‍යය ගැන පුදුම වන්නට ඇත. සමහර විට සුදන්ත දන්තාලේපයට පිටරට ඉල්ලුම වැඩි වෙන්නටද පුළුවන!!!


    //අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි .//

    ඔය වචන ටික කියවනකොට පපුව මොනවද වෙලා ගියා... දැන් මේක කියවන ඊනියා දේශප්‍රේමීන් (?) මොනවා කිව්වත් මට හිතෙන්නේ ඒ පිච්චිල්ල රට ගැන තියෙන හැඟීම ! අපිට මේක කියවලා එච්චර දැනුනා නම්, තමන්ගේම ලෙයින් හැදුනු දරුවන් දෙන්නා තමන්ගේම රටේ කොඩිය ලෝකෙටම පේන්න අරගෙන යද්දි අක්කට කොච්චර හැඟීමක් එන්නැතිද කියලා මට හිතාගන්න පුළුවන් !!!

    කෙළි පැටව් දෙන්නාට ළමා සාරි මැස්සුවාට හා ඇන්දුවාට රට වෙනුවෙන් අපේ ප්‍රණාමය අක්කාට හා අයියාට !!! විශිෂ්ඨයි !!!

    ReplyDelete
  17. අහ් අමතකවුණා කියන්න ඔය වගේ ජාතිකත්වය පෙන්නන්න බැරිවෙලාවත් අහම්බෙන් හරි සාරියක්නම් අඳින නම් වෙන්නෙ ඒක ශ්‍රි ලන්කන් හෑන්ඩ් මේඩ් කොට්න්ම තමයි .ඊට වැඩිය දෙයක් මට නෑ ඒ සමහරක් මරඳමුණේ මුස්ලිම් රෙදිපිලි කාර්මිකයො වියපුවා . සමහරක් රුහුණු රන් සලු දකුණේ අත්යන්ත්‍ර රෙදි පිලි කාර්මිකයො වියපුවා.ඔහොම වෙලාවට අඳුමත් එක්ක පසුබිම් කතාවකුයි රටට ආවෙණික ගතියකුයි තියෙන දෙයක් තෝරගන්නවා .

    ReplyDelete
  18. ඔබේ ලිපියට යෙදූ මාතෘකාවම සිතට පුදුම සතුටක් ගෙනාවා ..

    ReplyDelete
  19. පිටරටක උනත් අපේ කොඩිය දැක්කම මාරම සතුටුයි අප්පා.

    ReplyDelete
  20. ලෝකේ මොන රටක හිටියත්, ලංකාවේ කොඩිය දැක්කාමත්, ජාතික ගීය ඇහෙනකොටත් හිතට දැනෙනේ පුදුම සතුටක්. අර සෙනඟ මැද්දේ පොඩි අය දෙන්නාත්, අපේ කොඩියත් දකිනවිට හිතේ ඇති උනේ ඒ වාගේම සතුටක්.

    දුවලා දෙන්නට ඔය අත්දැකීම හැමදාම හිතේ තියෙයි කියලා හිතනවා. අපරාදේ බනියාලාගේ අප්ප්ච්චිටත් චාන්ස් එකක් නුදුන්නේ....:D

    ReplyDelete
  21. ටී ජී නංගෝ;

    අවාසනාවකට සිම්ෆනියක් හැමෝටම කර ගන්න බැහැ. සිම්ෆනියක් කොට උඩ ගියාම කැකෆොනීයක් ඇති වෙන්න පුළුවන්. වෙනම පාලනයට ලක් නොකර ඔහේ ශබ්ද මිශ්‍ර උනාමත් ඇති වන්නේ ඒකම තමා [පොළ, මහා පාර]. කැකෆොනියක ඉතින් කරන්න තියෙන හොඳම වැඩේ හැමෝටම හයියෙන් කෑ ගහන එක. හයිය තියෙන එකා දිනුම්. කෙඳිරි ගාන උන්ට සොරි.

    මේ ටික ලිව්වේ ඔයාගේ දාර්ශනික මිතුරන්ගේ කතාවට ඌනපුරනයක් හැටියට. ලස්සන උදාහරණයක්. සමාජය අපාර්ශ්වීය එහෙත් එක නයිතික රාමුවක [එක එක සුළු ජාතියට ටොලරේට් නොවන] හිබිය යුතු බව මේ උදාහරනෙනුත් පේනවා. සිම්ෆනි ඉබේ හැදෙන්න නැහැනේ නේද?

    [බින්දී සමා වන්න මේක ටිකක් දුරස් කතාවක්].

    ReplyDelete
  22. @ දිල් ...
    ටිකක් පරක්කු නම් තමයි නගේ. මට හිතුන සේද මාවත ඉවරයක් කරලම ඉන්න . මේ පැත්තේ දත් දොස්තරලට වස්සි වෙන්න ඇති තමයි .
    @උපුල්
    මේ දරුවොත් ලොකු වුනහම නම් කොහොම වෙයිද මන්දා . ලොකු වෙද්දී නේ ඔලු නරක වෙන්නේ . එක්සත් ජාතික සංවිධානය පොඩ්ඩක් නෙමෙයි තනිකරම පක්ෂග්‍රාහී බවයි මගේ හැඟීම . ඒත් ඉතින් නමට හරි එහෙම එකක් තියෙන්න එපයි . අනික ඒ අසරණයින්ගේ ඔෆිසිය තියෙන්නෙත් අමෙරිකාවෙනේ.. කවුද කැමති උන් හිටි තැන නැති කර ගන්න . අපේ වාසනාවට අර වැටෝ පවර්ද මොකක්ද එක විවිධ මත ඇති රටවල් කීපෙකට තියෙන එක . අපි ටිකක් වාසනාවන්ත වුනාට සමහර රටවල් නම් අවාසනාවන්තයි .
    @ සඳරු ..
    ඔව් මල්ලි . අපිට ඔලිම්පික් වල ලොකු පදක්කම් නැතත් අර පෙරෙඩ් එකේ කොඩිය දකිද්දී නම් හරිම ආසයි .
    @ සුජීව ..
    ඔය කියා තියෙන්නේ යසට . ඇත්තම කියනවා නම් ජාතික කොඩිය , අපේ ඇඳුම , ජාතික ගිය දැක්කම නම් ඔය සේරම ලිබරල් හැඟීම් යටයි . කොලොම්බස් වගේ අනුන්ගේ ගෙවල් අල්ල ගන්න නොයන ගතියට මන් නම් කැමතියි. මෙච්ච්රවත් බේරිලා ඉන්නේ අනුන්ගේ එව්වට අත දාන්න නොගිය නිසයි .
    කොලොම්බස් අපේ රටේ වුණා නම් කියල රචනාවක් ලියන්න දීල බලන්න ඕන පොඩි එකෙක්ට
    @තිස්ස ..
    ස්තුතියි තිස්ස
    @නිසුපා
    හිතලමයි එහෙම ෆොටෝ නොදැම්මේ . නිසුපා .මුණු පොතට නම් දැම්ම

    ReplyDelete
  23. ලංකාවෙදි ළමයි ඔය වගේ සුදානම් කරන එක වදයක් වගේ දැනුනත්, පිටරටකදි කොයි තරං ආසාවෙන්ද ඒ ටික කරන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ.

    ප.ලි.
    ළමා සාරි මැහිල්ලට නං ඔබී එක්ස්පර්ට් වුනා ඔය වැඩ වලින්, අපිට කෙල්ලොම දෙන්නෙක්නෙ. දැනුත් ඔබීට ඔය පඩි නැති කොන්ත්‍රාත් අනන්තයි, හැබැයි ආසාවෙන් කරල දෙනව.

    ReplyDelete
  24. ලී බෝනික්කගේ කැවර්ලි එකට පහර දුන්නා. අනික පෝස්ට් එකේ.

    ReplyDelete
  25. කැවර්ලි නොවේ කැවල්රි. ටැපලුනි.

    ළමා කතා රසිකයින්ට රසවතියෙන්

    ඇන්ජෝයි ඈ.

    ReplyDelete
  26. @ Sujeewa
    ලියද්දිම හිතුනා මේක දැක්කගමන් අයියා ටියුන් වේවි කියලා හි හී .ගනන්ගන්න එපා අනේ අපි කෙල්ලොන්ට කෝපි ටිකාක් වැඩිපුර පෙවුනම ගම ,රට , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම අමතකවෙලා ඔයවගේ විකාර රූපී යුටෝපියානු කතා කියවෙනවා.සම්පූර්ණ වැරැද්ද කෝපිවල .අපේ වයසේ නෙවේ ,මට ෂුවර් හි හී

    මදැයි බනියලාගේ ඉස්කෝලේ උත්සවයක් ගිය දුර හික්ස්

    ReplyDelete
  27. අනිවා ටී ජී. හැබැයි ඒ කෝපි වැඩිවෙලා කිව්ව කතාව මාර ඇත්තනේ.

    මිනිස් වරගයාට විස්ඩම් එක පහල වීමට කෝපි නිෂ්පාදනය වැඩි කරව්.

    ReplyDelete
  28. මම ඉන්න රටේ මම දන්න තරමට ඉන්නේ සිංහලයෝ දෙන්නයි...මම ශ්‍රි ලංකා ටීෂර්ට් එකක් ඇදන් ඉන්නකොට උන් සිංහයව දැකලා මට දැං කියන්නේ ලයන් කියලා....හික් හික් හික් ......

    ReplyDelete
  29. //සියලු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ හැනොයි වල බැවින් එහි සේවය කරන තානාපති කාර්ය මණ්ඩලයේ දරුවන් නිසා //
    දැං මම දන්නව ඔයාගෙ බ්ලොග කියවන මගෙ යාලුවා කවුද කියල.

    ReplyDelete
  30. ළමා සාරි වැඩේට නම් මාත් හරිම කට්ටක් කනව... මේ අවුරුද්දෙ හාමනි ඩේ එකට මහපු ඒව ඊ ළඟ අවුරුද්දෙ ඕන වෙනකොට හිරයි, කොටයි... දරුවො දෙන්න කොඩිය අරන් ජාතික ඇඳුම ඇඳලා යනකොට ඔයාට ඇතිවෙච්චි හැඟීම මටත් හිතාගත්තෑකි....
    ඔයාට කැවුම් හදල වෙච්චි අලකලංචිය මට මේ අවුරුද්දෙ හාමනි ඩේ එකට අලුවා හදල උනා... කස්ටිය ගල් අලුව කනකොට මං අහක බලා ගත්ත...

    ReplyDelete
  31. @ නලිනි ..
    ළමා සාරිය කොච්චර සරලද කියල ඔයාට දැනෙයි කොරියන් ලගේ hanbok එක දැක්ක නම් . ඇයි ජපනගේ කිමෝනාව . ඔය කල්ලි ගැහෙන එක වලක්වන්න ඉස්කෝලෙට ගන්නේ එක රටකින් 20% යි . පන්තියක එක ජාතියකින් දෙන්නෙක්ට වඩා තියන්නේ නැහැ .ඒ වුනත් සමහර රටවලින් ඒ 20% ම වගේ ඉන්න කොට අපි වගේ පොඩි රටවලින් ඉන්නේ දෙතුන් දෙනයි .ඇත්තම කියනව නම් ශ්‍රී ලන්කන් පාස්පෝර්ට් තියෙන්නේ අපේ දෙන්නට විතරයි .
    මන් ඉතින් හොඳ විතරක් දකින්න උත්සාහ කරනවා .
    @බුරා
    මන් නම් අපේ ජාතික ඇඳුමට බනින්නේ නැහැ කවදාවත් . ඇඳගෙන ඉන්න බැරි තරම් සංකීර්ණ නැහැ . අනික කවුරු හරි රටට අපහාසයක් කලොත් දෙකක් කියන්න පසුබට වෙන්නෙත් නැහැ . ඒක නිකන් මගේ අම්මට තාත්තට තියෙන ආදරේ වගේ එකක් . කවුරුත් කිව්වේ ලස්සනයි කියල තමයි .
    ඒක නෙමේ මොන්ගොල් ප්‍රහාර වලින් අමාරුවක් හෙම නැහැනේද .
    @කවිකාරි ..
    ඔය දෙන්නගේ පොල් ගෑම අර විනෝදෙට මාළු බානවා වගේනේ . තරඟෙට පටන් ගන්නේ . පොඩ්ඩකින් පැනලා යනවා .මන් නම් කැමතියි කුස්සියෙන් ඈත් වෙලා ඉන්න තරමට අපි පොල් පාවිච්චිය ටිකක් අඩුයි . හැම මාකට් එකේම පොල් නැහැ . මේ අය පොල් ලපටි කාලේ බොනවා . ගාපු පොල් ගන්නේ කලාතුරකින් . මන් පොල් ගෙඩි පහක් විතර ගෙනාවම සති තුනක් විතර කනවා . මගේ පොල් මල්ල රිසෙප්ෂන් එකේ කෙල්ලන්ට හරි පුදුමයක් . මගේ යාලුවෝ හිරමනේ දිහා බලන්නේ ලොකු යන්ත්‍රයක් දිහා බලන ගානට .

    . බනියට නම හැදුනේ කොහොමද කියලා මටත් මතක නැහැනේ දැන් . තාත්තගේ හුරතලේනේ. ඔයාටත් ජය !
    @ ටි .ජි .
    කුරුටු ගාපු ටික හරි ලස්සනයිනේ . නිතරම ජාතික ඇඳුම අඳින්න වෙනකොට කරදරයක් වෙන එක සාධාරණයි ඔයා වගේ කාර්ය බහුල අයෙක්ට .බොහොම කලාතුරකින් ලෝක ප්‍රජාව ඉස්සරහ රට නියෝජනය කරද්දී ඕක ඇඳගන්න තියනව නම් හොඳයි .ඒත් ඉතින් මට නම් බල කරන්න බැහැ. හැබැයි ජාතික ඇඳුම කියල වෙන වෙන එව්වා අඳින්නේ නැතුව රටේ නම ගහපු ටි ෂර්ට් එකක් අඳින එක නම්බුයි .
    රට රටවල් ගැන අපේ ළමයින්ට ලොකු දැනීමක් තියනවා .
    @ දේවා..
    අනේ ඇත්තටම . ලොකු පිරිමි කැමති නිකන් සිංහයා වගේ නම් වලටනේ . බනි මගේ පොඩ්ඩි. ස්තුතියි මල්ලියේ
    @ ගල් මල් ..
    ඔව් ඩීන් අය්යා හරිම සුන්දරයි .
    @කල්හාර ..
    තව ෆොටෝ තියනවා මල්ලි . මට හිතුනේ නැහැ ඉතින් ඕනවට වඩා පැහැදිලි පින්තුර දාන්න .
    අපොයි ඔව් මල් කරන වැඩ වලට මල පනින අවස්ථාත් තියනවා . කෙල්ලෝ නිසා මට ඒ තත්වේ අඩුයි .

    ReplyDelete
  32. @චතුරංග ..
    ඔන්න බලන්න අපි රටට කරන සේවය . දේශීය දත් බෙහෙත් කර්මාන්තය නගා සිටවන්න උදව් වෙනවා . සුද්දෝ කැමතියි අපේ කෑම වලට . මෙහෙ ඉන්න ලංකික කාන්තාවක් ඉස්කෝලෙම අමතර පන්තියක් කරනවා ලංකාවේ කෑම උයන්න . ළමයින්ට නෙමේ ලොකු අයට.
    @මහේෂ්
    ස්තුතියි මහේෂ් . ඔයාටත් දැන් ඔය වගේ වැඩ වෙයි ඉස්සරහට .
    @මධුරංග ..
    පිටරකදී තමයි ඒ සතුට වැඩි මල්ලි . 2009 දී ජනාධිපතිතුමා මෙහෙ ආපු වෙලාවේ හැනොයි සිංහ කොඩි වලින් සරසල තිබුන . ඒ කාලේ බ්ලොග් එක තිබුනේ නැහැනේ බෙදා ගන්න .
    @පොඩි
    අපොයි ඔව් ..කිසිම අධ්‍යාපන රැස්වීමකට නොයන තාත්ත මේකට නම් ගියේ නැද්ද කැමරාවත් උස්සගෙන . හැබැයි දුවල දෙන්නව මිසක මාව නම් නිකමට වත් පින්තුරේක නැහැ . ඔන්න බලන්න පිරිමින්ගේ හැටි නේද . දුවල ඉන්නකොට අපිව පේන්නෙත් නැහැ .
    @ සුජීව ..
    සිම්පනියක් නිකමට හැදෙන්නේ නැහැ . කොහෙන් හරි කොන්ට්‍රෝල් වෙනවමයි . අවන්කවම කිව්වොත් මේ ඉස්කෝලෙත් එක්තරා සිම්පනියක් . ගැඹුරින් හිතන් යද්දී ෆැන්ටසියක් . එක්සත් ජාතින් වගේම තමයි . ඉන්නේ ඇමරිකන් හරි ඕස්ට්‍රේලියන් හරි ගුරුවරු .වෙන ජාතියේ ගුරුවරු ඉන්නේ විශේෂිත විෂයන්ට විතරයි ..UN එකේ ඔෆිසිය ඇමරිකාවේ වගේ තමයි . අපි ඉතින් තියෙන හොඳම දේ ළමයින්ට දීලා හොඳ පැත්ත ගැන විතරක් හිතනවා ඔන්න ඔහේ .
    @ඔබ්සර්වර් ..
    අපි ඉතින් මිසිස් ඔබි වගේ මැහුමක් ගෙතුමක් ඉගෙන ගත්තේ නැහැනේ . වතුරේ ඉන්න මාළුවට ගොඩට දැම්මනේ වතුරේ අගේ දැනෙන්නේ . අපිටත් ඒ වගේ තමයි .
    @ටි ජි ඇන්ඩ් සුජීව
    හොඳ වෙලාවට කොපි බිව්වම වෙරි නොවෙන්නේ . තෑගි හම්බ වෙච්ච කොපි මැසිමක් තියෙනවා කරගන්න දෙයක් නැතුව

    ReplyDelete
  33. @බින්දි,

    අපොයි මම ජාතික ඇදුමට දොස් කිවුව නෙවෙයි.. ඒ වුනාට ඔය සරම ගහල ඉන්න මම හරීම අකැමැතියි (හදිසියට දුවන්නවත් බෑ නෙවැ), ඒකයි එහෙම කිවුවෙ.. :))

    සුජීවට ඇටෑක් කලා, counter attack එක එනකං ඉන්නෙ.. :D

    ReplyDelete
  34. @ ඔබ නොදුටු ලොවක් ..

    කොහෙද අප්පේ ඔය රට . අප නොදුටු රටක් වෙන්න ඕන . ඇත්තටම අපේ ළමයි හිතන් ඉන්නේ අපේ රටේ සිංහයෝ ඉන්නවා කියල . මන් කිව්වා ඉස්සර ඉන්න ඇති කියලා . ඇත්තම කියනව නම් මොකක්ද වගේ ආදිතමය සිංහයෙක් කියන්න . සිංහ කියල මනුස්සයෙක් වෙන්න ඇති කියලයි මන් නම් පොඩි කාලේ ඉඳන්ම හිතන්නේ . මක් වෙනවද ඉතින් වියට්නාමේ මකරුන්ගේ පැවත එන එකේ අපි සිංහයෝ වුනහම . බුරුවෙක් නොදා සිංහයෙක් දාපු එකට වත් සතුටු වෙන්න ඕනනේ . මන් අපේ පොඩි අයට කියන්නේ සිංහයෝ වගේ නිර්භීත හන්ද කියලයි .

    @ ඕනයා ...

    ඔයා නොදන්නවා වෙන බැහැ . මට ඉතින් නම් ගම් දාන්න බැහැනේ . ..වගකිව යුතු රස්සා කරන අයනේ .

    @ මියුරු ..

    අක්කට කොට වෙන කොට නංගිට දෙනවා . පරණ ඒවා කියල තවම ප්‍රශ්නයක් නැහැ . අලුවද ..අපොයි මට කවද වත් හදාගන්න බැරි කෑමක් . මුන් ඇට කැවුම් නම් ලේසියි . මෙදා පැණි වැඩි වෙලා මගේ හාල් පිටි ඉවර වෙලා වෙන වෙන පිටි දාල හයි වුනා . හොඳම දේ කට්ලට් වගේ දෙයක් තමයි . ඒවා නම් උඩ පැන පැන කයි කට්ටිය . කමක් නැහැ අනේ ඔරිජිනල් ඒවා කාල නැහැනේ එයාල .

    ReplyDelete
  35. ඔව් ඔව් පිරිමින්ගේ සරම නම් එච්චර ආරක්‍ෂිත ඇඳුමක් නෙමේ . වෙන්න හැකි අලකලංචි අපි කියන්න ඕන නැහැනේ . අපේ පිරිමි ජාතික ඇඳුමට නම් මගෙත් ඒ තරම් මනාපයක් නැහැ . නෑද බැරි උත්සවයකට ඇර. අද නම් සුජීව ඇටැක් කරන්නේ නැහැ . අඩු ගානේ රෑ වෙනකම් වත් බේරිලා ඉන්න හැකි වෙයි

    ReplyDelete
  36. මම ඉන්නේ සලංහන්තේ..........

    ReplyDelete
  37. දෙන්න හරිම ජයයි.. මම කලින් දැකපු පින්තූර වල හැටියට හිතාගෙන හිටියෙ ලොක්කියි බනියයි අතරෙ සයිස් වෙනස ඔය්ට වඩා වැඩියි කියලයි.. ලොක්කි නම් හිතපු තරම්මයි... බනිය අක්කිගෙ කර ලඟටම උසයිනෙ...

    .....

    කට්ටිය මගහැර ගන්න එපා ...හොඳ හොඳ සෙල්ලම් තාම අරෙහෙ යනව... බුරා ද... ? කොකා ද ..?

    ReplyDelete
  38. මම මේ මෙහෙ ආවෙ ටික දොහකින්.
    හැමදාම වගේ සමාජ අධ්‍යයනය පාඩම මිස් වෙලා!! ඒ මදිවට ලොකු යුද්ධෙකුත් යනව වගේ.
    අර රට රටවල් වල කොඩි අස්සෙ අපේ කොඩිය දකිනකොට හිතෙන ආඩම්බරේ. අප්පේ! හිනාව මෙන්න මේ වගේ :D :D :D

    ReplyDelete