Sunday, 16 October 2011

සේද මාවත 3 .... පර්සියාවේ සිට කනිෂ්ක රජු දක්වා ....

සේද මාවතේ පළමු කොටස
                 දෙවන කොටස



සේද මාවත මුලින් ගොඩබිම් මාර්ගයක් පමණි . පසු කලෙක එක් වූ මුහුදු මාර්ගයද ඇතුළුව කොටස් තුනකි  .

1. උතුරු ගොඩබිම් මග


2. දකුණු ගොඩබිම් මග

3. මුහුදු මග


ගොඩබිම් මගෙහි මුලික අරමුණ ටක්ලමකාන් කාන්තාරය තරණය කර චීනයට ඇතුල් වීමත් චීනයෙන් පිටවීමත් කියල හිතන්න පුළුවන් .

සරලව ගත්තොත් මේ කාන්තාරයට බටහිර පැත්ත ඉරානය [ පුරාන පර්සියාව ]සහ ඒ අවට රටවල් . එයිනුත් ඔබ්බට මධ්‍යධරණී ප්‍රදේශය [ රෝමය සහ අවට ප්‍රදේශය ]. යුරෝපයද මේ බටහිර කොටසටයි අයිති වුනේ .

කාන්තාරයට නැගෙනහිරින් චීනය . බටහිරයි නැගෙනහිරයි දෙවිදියකට දියුණු වුනා .
සේද මාවතේ බටහිර අන්තය ඉක්මනින් දියුණු වුනා . ඒ බටහිර පැත්තේ ප්‍රබල අධිරාජ්‍යයන් ඇති වීම වගේම නැගෙනහිර පැත්තට වඩා පහසු භූගෝලීය සැකැස්ම නිසා .

ඒ කාලයේ පර්සියන් අධිරාජ්‍ය මැද පෙරදිග විශාල කොටසක් අල්ලාගෙන හිටියා . දකුණින් ඉන්දියන් රාජධානිය දක්වාම විහිදුනා . ඉන්දියන් රාජධානියත් එක්ක වෙළඳ ගනු දෙනු සිදුවුනා . එකල ඇති වුනමාර්ගය සේද මාවතේ කොටසක් වර්ධනය කළා . මෙය ප්‍රධාන මාවතේ හරස් පාරක් කියන්න පුළුවන් . මෙම ප්‍රදේශය නුතන පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අයිති කලාපය .

හැබැයි මහා ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තු පුරවා 325 දී පමණ පර්සියන් [ ඉරාන ] අධිරාජ්‍ය යටත් කරගත්තා . මේ ප්‍රදේශයේ ග්‍රීක් සංස්කෘතිය පැතිර ගියා . තියෙන සාක්කි අනුව මහා ඇලෙක්සැන්ඩර් ගේ හමුදාවල අයගෙන් පවත එන අය දැනට උතුරු පකිස්ථානයේ Hunza නිම්නයේ ඉන්නවා.

පාර්තියන්[Parthiyan ]  අධිරාජ්‍ය විසින් මේ ප්‍රදේශය ග්‍රිකයින්ගෙන් අල්ල ගන්නවා . පාර්තියන් කියන්නේ ඊසාන දිග ඉරානයෙන් බිහිවෙලා ඉරානය ,ඉරාකය , ආර්මේනියාව , තුර්කියේ කොටසක් , ජෝර්ජියාව, අසර්බයිජානය , ටර්ක්මෙනිස්ථානය , ටජිකිස්ථානය , ඇෆ්ගනිස්ථානය සහ කෙටිකලකට පකිස්ථානයද අයිති  වෙච්ච අධිරාජ්‍යයක් .

මේ කාලේදී උතුරු ටක්ලමකාන් පැත්තෙන් පලවා හැරපු Yuezhi ජනතාව උත්තර ඉන්දියාව වාසභූමිය කරගත්ත . ඔවුන් පසුකලෙක ඉහත කිව්ව ප්‍රදේශයට සංක්‍රමණය වෙලා කුෂාන් අධිරාජ්‍ය පිහිටුවනවා . ඒ සමග තමයි ඔවුන් ඉන්දියාවෙන් ගෙනා බුදුදහම ප්‍රදේශයේ ස්ථාපිත වෙන්නේ .
කනිෂ්ක රජතුමා ගැන කට්ටිය අහල ඇති . බුදුදහම මහායාන හීනයාන විදියට බෙදෙන්නේ ඔහුගේ කාලේදී . මේ ගැන මට වඩා දන්නා කෙනෙක් විස්තර කරයි කියල බලාපොරොත්තු වෙනවා .


මෙතනදී තමයි සංස්කෘතීන් කීපයක් මිශ්‍රණයෙන් අපුරු සංකලනයක් මැවෙන්නේ . පර්සියන් [මැදපෙරදිග පැත්තේ ] ...ග්‍රීක [ මධ්‍යධරණී පැත්තේ ] ....උතුරු චීනයෙන් ආපු මිනිස්සුන්ගේ සහ අපි දන්නා ඉන්දියන් සංස්කෘතියේ මිශ්‍රණය කොයිතරම් අපුරුද.

ග්‍රීක අභාෂයෙන් මේ කුෂාන් රාජධානියේදී තමයි බුදු හිමියන්ගේ පිළිරූ වලට මිනිස් ස්වරුපයක් ලැබෙන්නේ . මම වැරදි නම් නිවැරදි කරන්න . මේ කාරණා ගැන අන්තර්ජාලය මතම විශ්වාසය තබන්න මන් අකමැතියි .

සේද මාවත කියන්නේ මන් සලකුණු විතරක් කියල ඉවර කරන්න බැරි කතාවක් .

. මේක අති විශාල සංස්කෘතීන් මිශ්‍ර වෙච්ච කතන්දර ගොඩක් . සේද මාවතේ මේ හරස් පාර වැටුන ප්‍රදේශයේ කතාව සංකීර්ණයි . ඒත් ලස්සනයි .


සේද මාවත ගැන ලියද්දි මේ අතුරු කතා ලිවිම ගැන අමනාප නොවෙනු ඇතැයි සිතනවා .පාන්දර එකත් වෙලා . මන් තාම ටක්ලමකාන් කාන්තාරෙට ඇතුල් වෙන්නේ නැතුව අහල පහල රස්තියාදු වෙනවා .
පරණ පුරුදු රටාවේ ලිපි නැතුව බලාපොරොත්තු කඩ කරන් යන අය සමාවෙන්න . මේ වැටිච්ච වලෙන් ගොඩ එන්නත් එපාය  මන් . අතරමග නවත්වන්නත් බැහැනේ . එක පාරට ලියන්න වෙන්නෙත් ටිකයි . මේ ටික ලියන්නත් ගොඩක් කියවල මමම තේරුම් අරන් සැක අර දැනගෙනනේ ලියන්නේ . කන්දක් විලිලා මි පැටියෙක් වැදුවා වගේ තමයි .

අදට ඇති ..මතු සම්බන්ධයි

21 comments:

  1. ඉන්දියාවෙ තිබුනු ග්‍රීක් ජනාවාස හැදින්වුනේ 'ග්‍රීක්-බැක්ට්‍රියන් නගර' කියන නමින්.. මේවායෙන් පැවතෙන්නෝ අද දක්වාම ඉන්න පුළුවන්.. අහලා තියෙනව නේද මිළිදු-නාගසේන වාදය.. මෙහි සදහන් වෙන මිළිදු රජතුමා කියන්නෙ ග්‍රීක්-බැක්ට්‍රියන් රජෙකු වූ මිනැන්ඩර් බවට මතයක් තියෙනවා..

    බින්දි, කණිෂ්ක රජුගෙ කාලය හා මහායාන-හීනයාන බෙදීම ගැන වැඩිදුර කියවන්න ඕනනං බලන්න A.P. බෂාම් ගෙ 'අසිරිමත් ඉන්දියාව' කියන පොත.. වෛදික යුගයේ සිට බටහිර ආක්‍රමණ දක්වා ඉන්දීය උපමහද්වීපයේ කතාව ඒකෙන් කියවන්න පුළුවන්..

    ReplyDelete
  2. වරින් වර මොනවා හරි ලියනවා හැම පෝස්ට් එකම කියවන නමුත් වැඩ ටිකක් වැඩියි ලියන්න.

    ලියන්න ගොඩක් දෙයකුත් නැහැ. ඔබ ලියන්නේ මට ඉගෙන ගන්න කරුණු. මේ පෝස්ට් ටික නැවත නිවී හැනහිල්ලේ කියවන්නත් ඕනේ.

    සේදමාවතයි කුශාන් අධිරාජ්‍යයි ගැන ලියලා ස්කයිතියන් හෙවත් සකයින් ව අමතක කරන්නත් බැහැ. කුෂාන් අධිරාජ්‍යයට කලින් ඔය හරියේ බලය අල්ලන හිටියේ ඔවුන්. සක රාජධානිය රුසියාවෙන් බර කොටසක් අල්ලාගෙන උන්නා, ඉන්දියාවේත් දිල්ලි වෙනකම් විතර. ඔබ කියන සේද මාවත් ගියේ ඒ තුලින්.

    සකයන් පරදවා සතවාහනවරු බලය ඇල්ලු මහා සටන සිහි වන්නයි සක රාජ වර්ෂ අරඹන්නේ [වසර 78]. හැබැයි සතවාහන අධිරාජ්‍යය සේද මාවත ඇල්ලුවේ නැහැ. ඊට පස්සේ වෙන්න ඕනේ කුෂාන් වරුන් බිහිවන්නේ, කුෂාන් ලා අල්ල ගන්නේ සක රාජ්‍යයේ කොටස්.

    ස්කයිතියන් වරු තමයි කොටින්ම ඔබ මේ කියන සේද මාවත් දෙක නිර්මාණය කලේ. මොකද ඔය කාන්තාර අස්සේ ජනාවාස හදා ගෙන මුලින්ම ආවේ ඔවුන්. ඔවුන් හැදු ඒ පොකුරු ජනාවාස නොවෙන්න ඔය ගමන යන්න බැහැ.

    දන්නවා නේ ඔය ටක්ලමකාන් එක හැදෙන්නේ කොහොමද කියලා? ටිබෙට් සානුවේ සුළං මුවාව. ඔය හරියට එන හුලං වල වැස්ස තමයි ගංගා නිම්නයට වහින්නේ. ඒ ලෝකයේ වැඩිම වර්ෂාපතනය ලබන කලාපය. කන්දෙන් එහා පැත්ත තමයි ටක්ලමකාන්.

    මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය කාන්තාර අස්සේ රිංගන්නේ නැතුව උපමහද්වීපික ඉන්දියාව හරහා කෙලින්ම නොගියේ ඇයි කියන එක. කොච්චර මිනිස්සු හිටියද ඒක ඇතුලේ. ඔය මෞර්ය ගුප්ත යුග එහෙමත් ගෙවුනේ.

    බින්දී සමාජ අධ්‍යනය මිස් කෙනෙක් වත් දෝ කියා හිතුනා. මේ පෝස්ට් නම් නවත්තන්න එපා, අපි [ලෙමන් පෆ්ට කියලා] බැන්කියා ගෙදර යවලා හරි ඉස්කෝලේ ඇරලා දෙන්නම්.

    @බුරෝ;

    දුක්බර මොහොතේ උඹත් එක්ක එකතු වෙන්න බැරි වුනා. මගේ හද පිරි කනගාටුව. තාත්තාට සන්තෝසෙන් ඇහැ පියාගන්න පුළුවන් පුතෙක් හැදුව නේ. ඒ මදැයි.

    ඒ වගේම සුබ උපන් දිනක්. දැන් හිතපන් ඔය උපන් දිනේ කියන්නේ එලාම් එකක් කියලා, නීතට බහ දෙන්න [දීල ගන්න එක දීලම දාන්න].

    ReplyDelete
  3. නෙළුම් විලේ සුවඳ තවත් වැඩිවෙන ලිපි පෙළක්. දැනට කියෙව්වා කියලා විතරක් ලියන්නම්.

    ReplyDelete
  4. නියම ලිපි පෙලක්

    ReplyDelete
  5. මොන තරම් වටිනා ලිපි පෙළක්ද මේ බින්දි පලකරන්නෙ...තරහා අවසර...මේ ටික ඔක්කොම මම කොපි කොරගෙන තියාගත්තා....බොහෝම ස්තූතියි බින්දිට...

    ReplyDelete
  6. නෙළුම් විලේ ලස්සන නෙලුම් මල් ටිකක් වගේ මේ ලිපි ටික. ගොඩක් වටිනවා.

    ReplyDelete
  7. කඩේ වහලා තිබුණත් මේකට පොඩි දෙයක් එකතු කරන්න හිතුණා....

    "කනිෂ්ක රජතුමා ගැන කට්ටිය අහල ඇති . බුදුදහම මහායාන හීනයාන විදියට බෙදෙන්නේ ඔහුගේ කාලේදී"

    මේ බෙදීම බුද්ධ පරිනිර්වාණෙත් එක්ක ඇතිවෙලා අවසානයේ පැහැදිලිව ප්‍රකාශයට පත්වෙන්නේ දෙවෙනි ධර්ම සංගායනාවත් එක්ක.

    ලාංකේය මූලාශ්‍ර දක්වන්නේ දෙවෙනි ධර්ම සංගායනාවෙන් වජ්ජි පුත්තක භික්ෂූන් කැප යැයි පිළිගත්තු දස වස්තුව අකැපයි කියලා නැවත තහවුරු කරගත්තාට පස්සේ ඒකට එරෙහිව වජ්ජි පුත්තක භික්ෂූන් රැස්වෙලා සංගායනාවක් කරලා මහා සාංඝික නමින් බෙදුණා කියලා.

    ටිබෙට් ඉතිහාස ග්‍රන්ථවල කියන්නේ ඊටත් පසුකාලීනව මහාදේව හාමුදුරුවෝ ඉදිරිපත් කරපු පංච වස්තුව පිළිගත්ත අය මහා සාංඝිකත් ප්‍රතික්ෂේප කරපු අය ස්ථවිර නොහොත් ථේරවාද වුනා කියලා

    කොහොම නමුත් කණිෂ්ක රජතුමාගේ කාලේ සිදුවුණේ මහායාන අදහස් විධිමත් පරිදි ඉදිරිපත් කිරීමක්. කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේ තිබුනු සංගායනාවේදී සංස්කෘත බසින් විභාෂා ග්‍රන්ථ නමින් ග්‍රන්ථ විශේෂයක් සැකසුණු අතර ඒවායින් පරස්පරතා පැවති මහායානික අදහස් එක පිළිගැනීමකට එකඟව රචනා වෙලා තියෙනවා

    "ග්‍රීක අභාෂයෙන් මේ කුෂාන් රාජධානියේදී තමයි බුදු හිමියන්ගේ පිළිරූ වලට මිනිස් ස්වරුපයක් ලැබෙන්නේ . මම වැරදි නම් නිවැරදි කරන්න "

    මේ කතාව නම් හරි අක්කේ. එතෙක් බුදුන් නිරූපණය කරන්න භාවිත වුණේ සිරිපතුල, බෝධි වෘක්ෂය, ධර්ම චක්‍රය, පද්මය වගේ සංකේත. බුදුන් මානව ස්වරූපයෙන් නිර්මාණය කිරීම මුල් කාලීනව නොකළ දෙයක්.

    සාංචි ස්ථූපයේ තොරණ්වල ඉහත දක්වපුවට හුඟාක් උදාහරණ දැකගන්න පුලුවන්.

    කණිෂ්ක සමයේ තමා ග්‍රීක දේව ප්‍රතිමාවල ආභාෂයත් ඇතිව මුල්වරට බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ. බුද්ධ ප්‍රතිමාවේ බාහිර අලංකාරයට මේ ශිල්පීන් මුල්තැනක් ලබාදීම විශේෂයි.

    ගාන්ධාර ප්‍රතිමා කලාව විදිහට මේක හඳුන්වනවා.

    ReplyDelete
  8. "මේ කාලේදී උතුරු ටක්ලමකාන් පැත්තෙන් පලවා හැරපු Yuezhi ජනතාව උත්තර ඉන්දියාව වාසභූමිය කරගත්ත . ඔවුන් පසුකලෙක ඉහත කිව්ව ප්‍රදේශයට සංක්‍රමණය වෙලා කුෂාන් අධිරාජ්‍ය පිහිටුවනවා"

    මේකටත් පොඩි දෙයක් එකතු කරන්නම්. බටහිර දෙසට සංක්‍රමණය වෙන Yuezhi වරු ක්‍රි.පූ 140-120 අතර කාලයේදී මහ Yuezhiවරු හා සුළු Yuezhiවරු ලෙස කොටස් දෙකකට බෙදෙනවා.

    ඒකෙන් සුළු Yuezhiවරු ටිබෙට් පැත්තට යද්දී තවත් බටහිරට ගිය මහ Yuezhiවරු කුජුල කැඩ්පයිසීස් කියන නායකයාගේ යටතේ හින්දුකුෂ්, වයඹ දිග ඉන්දීය ප්‍රදේශවල බලය පිහිටුවාගන්නවා.

    ඊට පස්සේ වීමා කැඩ්පයිසීස්ගේ කාලේ තක්ෂිලා, පංජාබ් , මථුරා ප්‍රදේශ දක්වාම බලය ව්‍යාප්ත කරගන්නවා. කණිෂ්ක තමා මේ සියල්ල අබිබවලා උතුරු ඉන්දියාවේ වැඩි ප්‍රදේශ ප්‍රමාණයක් අල්ලාගෙන ශක්තිමත් කුෂාණ අධිරාජ්‍යයක් පිහිටුවන්නේ

    ReplyDelete
  9. උඩහින් දාපු කමෙන්ට් එකේ චූටි වැරැද්දක් තියෙනවා.. මෙන්න මේකයි පොත.. සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ අසිරිමත් ඉන්දියාව කියලා තමා..

    The Wonder That Was India: A survey of the history and culture of the Indian sub-continent before the coming of the Muslims: by A.L. Basham

    @සුජීව,

    // මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය කාන්තාර අස්සේ රිංගන්නේ නැතුව උපමහද්වීපික ඉන්දියාව හරහා කෙලින්ම නොගියේ ඇයි කියන එක. කොච්චර මිනිස්සු හිටියද ඒක ඇතුලේ. ඔය මෞර්ය ගුප්ත යුග එහෙමත් ගෙවුනේ //

    ඇයි බොල එහෙම ගියානං ටැක්ස් ‍ගෙවන්ට වෙනව නෙවැ.. එතකොට ලාබ තියාගෙන බඩු විකුනන්නෙ කොහොමෙයි..!!?? කාන්තාරෙ අස්සෙං ගියාම මයි කාර්-මයි පැට්‍රෝල්-මයි ප්‍රොෆිට් නොවැ..

    පලි: නිශ් ගාව මගෙ නොම්මරේ තිබ්බ නෙවැ.. මාත් ආසාවෙන් හිටියෙ උඹත් එක්ක ටිකක් කතාබහ කරන්ට..

    ReplyDelete
  10. හෆ්ෆා . . . පෝස්ට් එක කියෙවුවට වඩා අමාරුයි කොමෙන්ට්ස් ටික කියවලා

    ReplyDelete
  11. @ සුජීව ..
    ස්කයිතියන් කියන්නේ පාර්තිනියන් මද . එහෙම නැත්නම් පාර්තිනියන් ලාගෙන් ස්කයිතියන්ලා අල්ල ගත්තද . මට තේරිච්ච විදියට දෙගොල්ලම එකම සම්බවය ඇති අය. හැබැයි මේ එක්කෙනෙක්ට වත් චිනෙත් එක්ක ඒ හැටි ගනුදෙනුවක් තිබ්බ බවක් පෙන්නේ නැහැ . ස්කයිතියන්ලා ගැන කියවද්දී දැක්කා මරිජුවානා පාවිච්චි කල බව . අදටත් ඇෆ්ගනිස්ථානය පැත්තේ ඔව්ව ගජරාමෙට වවනවා නේද .
    බොහොම ස්තුතියි වැඩ මැද්දේ ආවට ත් අලුත් කාරනා එකතු කරනවාටත් . මේ එක්කම බුදුදහම උඩහට ව්‍යාප්ත වීම ගැනත් අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් .සමාජ අධ්‍යනයට ආස වුනත් ගුරුකම නම් පිහිටලා නැහැ වගේ .
    @ බුරා ..
    මටත් බොහොම කනගාටුයි වෙච්ච දේට . මේ වගේ ඇවිදින පුස්තකාලයක් වගේ පුතෙක් හැදුවට එතුමා ට අපේ ආදරය හිමිවෙනවා . කෝ කිසිම තොරතුරක් අපිට ලැබුනේ නැහැ . දුරකථන අංකයක් වත් . පොත් ගුල්ලා වෙදමුල්ල පැත්තේ ගිහින් සොයාලත් තිබුනා .
    දේශසීමා දාගෙන තම තමන් හරිම අනන්‍ය ජාතින් කියල පෙන්වන හැදුවට මෙව්වා දකිද්දී හිතෙනවා මනුස්ස වර්ගයා මොනතරම් මිශ්‍ර වෙලාද කියල . මට නම් සැහෙන සතුටුයි ඒ ගැන . පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ පැත්තේ මිනිස්සුයි මධ්‍යධරණී පැත්තේ අයයි මැදපෙරදිග යයි හමේ වර්ණය අතින් හෙම හුඟක් සමානයි . මට මුණගැහුනා හරිම ලස්සන ගෑනු කෙනෙක් . නිකන් ඉරානේ පැත්තේ වගේ . ඒත් එයා කිව්වේ මැලේසියාවේ කියලයි. ටිකක් ආශ්‍රය කරද්දී කිව්වා ඇෆ්ගනිස්තානේ ඉඳන් ඇවිත් තියෙන්නේ .
    @හසිත
    වපු කඩ වල මුදලාලිලාත් ඇවිත්නේ . මල්ලි නම් ඉතිහාසය ඉගෙන ගන්න නිසා මේවා ගැන හොඳ අවබෝධයක් ඇති . ස්තුතියි පැහැදිලි කිරීමට . අපි ඕ ලෙවල් වලින් ඉතිහාසය මග දාපු අයනේ . ඔයා වාසනාවන්තයි අපිට වඩා .
    සමහර දේවල් පොස්ට් එකේ දාන්න ගියහම දිග වැඩියි කියල හිතෙනවා . මේ විදියට කමෙන්ට් දැම්මම මට ගොඩක් පහසුයි සහ මටම වඩා පැහැදිලියි . ඔලු කීපයක් එක ඔලුවකට වඩා ලොකුයිනේ . වැඩ පාඩු කර නොගෙන ඉඩ ඇති විට අදහසක් එකතු කරන්න මල්ලි

    @ දිල් ..
    කොච්චර හොඳද . මේ කමෙන්ට් ටිකත් එකතු කරගන්න
    @ ප්‍රසන්න ..ලකී..මධුරංග.. ස්තුතියි හොඳේ

    අද පොඩ්ඩක් විවේකය තිබුනා . දෙන්න තාත්ත එක්ක සරුංගල් යවන්න ගියායින්

    @ ඕනයා ..
    උම්බලකඩ කෑල්ලක් කටේ දාගන්න මහන්සියට

    ReplyDelete
  12. මේ කතාවට සම්බන්ධ නැතත් මෙන්න අර වියට්නාමේ තියෙන ලෝකේ ලොකුම කේව් ඒක ගැන ඩොකක්.

    අනන්ත ගුහාව

    මාත් තවම බැලුවේ නැහැ. බෑවෙන්න දැම්මා.

    http://topdocumentaryfilms.com/ පැත්තේ යන්න එපා කවුරුත්. පාපමිතුරෙක්‌ වෙයි මං. මේක තමුන්නාන්සේලාට ඉදිරි වසර පහේ විතර ඇති රස්සා විභාග ඇතුළු සියලු අනාගත අභිවෘද්ධිය ගෙන දෙන වැඩ සටහන් අල කර ගන්න පුළුවන් සිතු පැතු සම්පත් දෙන සුරබි දෙනකගේ වෙබ් සයිට් එකක්.

    ReplyDelete
  13. @සුජීව:
    ගියෙ නෑ ඕං

    ReplyDelete
  14. මේ ගුහාවට තවම මහජනයාට ලඟා වෙන්න බැහැ මන් දන්නා විදියට .ගවේෂණ කණ්ඩායම් කීපයක් විතරයි ගිහින් තියෙන්නේ . සුජීව දුන්න ලින්ක් එකෙත් ස්ලයිඩ් ෂෝ එකක් විතරයි වගේ . ලේසර් අධාරයෙන්ලු දිග පළල මැන්නේ . http://news.nationalgeographic.com/news/2009/07/090724-biggest-cave-vietnam/ සාමාන්‍ය විස්තරයක් තියෙනවා . ඉදිරියේදී තව කරුණු සොයා ගත්තොත් ලියන්නම්

    ReplyDelete
  15. සේද මාවත සහ කොමෙන්ට් කියෝල තාම හති

    ReplyDelete
  16. ලිපි පෙළේ තුන් වන අදියරටත් ආව.හැම ලිපියම කියෙව්වට ඔක්කොම් ටික ලියල ඉවර උනාම එක දිගට ආයෙ කියවන්න ඕනෙ.

    ReplyDelete
  17. @බින්දී;

    ස්කයිතියන් ලා පාර්තිනියන් ලා නොවෙයි නේද? එකම කාලේ දෙගොල්ලන් වෙන වෙනම රාජධානි දෙකක ඉන්නේ. දෙගොල්ලන්ම ඉරාන මුලයකින් පැවතෙන අය නම් තමයි.

    සමහරු පාර්තිනියන් හා ස්කයිතියන් එකයි කියා කියන බව මාත් දැක්කා. හැබැයි එහෙම බැලුවම හන්ගේරියන් වරු [ලෝකයේ ලොකුම අභිරහසක් තමා හන්ගේරියන් වරුන්ගේ මූලය] ස්ලාව් ජර්මන් විතරක් නොවේ ස්කොට්ලන්ත වැසියන් පවා ස්කයිතියන් මුලයකින් එන බව හිතන අයත් ඉන්න බව මං දුටුවා.

    මේකට හේතුව නම් ස්කයිතියන් වරුන් වනචාරි [සාපේක්ෂ වචනයක්] සංක්‍රමණිකයන් පිරිසක් වීම. එ නිසා අසු පිටින් යන වනචාරි සංස්කෘතීන් හඳුන්වන්න පොදුවේ යොදා ගත්තා ස්කයිතියන් කියන වචනය.

    හැබැයි මේ වගේ කතා එහෙම ලේසියෙන් අරින්නත් බැහැ. මැඩගස්කරය ජනාවාස වෙලා තියෙන්නේ ඉන්දුනීසියානුවන්ගෙන්. ඔස්ට්‍රේලියාව ජනාවාස වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව යන පෙදෙස වලින් ගිය සන්ක්රමනිකයන්ගෙන් [ඔවුන්ගේ ඩින්ගෝ අපේ වල් බල්ලාට බොහොම සමීපයි]. පොලිනීසියාව ජනාවාස වෙලා තියෙන්නේ පැසිෆික් හරහා පැමිණි දකුණු ඇමරිකානුවන් ගෙන් කියා මතයක් තියෙනවා [තුර් හියදල් කියා නොර්වේජියානුවෙක් මේක පහුරකින් ගිහින් ඔප්පු කළා]

    ඉන්දියාවේ උන්නු සකයින් නම් ස්ථිරවම ස්කයිතියන් ලා. එමෙන්ම බින්දී කියන පාරේ උන්නු පොකුරු ජනාවාස වල හිටියෙත් ඒ ගොල්ලෝ තමා. ලෝකෙට කලිසම දායාද කලෙත් මේ ගොල්ලන් කියා මට හිතෙන්නේ [කලිසම අනිවාර්යයෙන්ම ඔය හරියෙන් ආපු ඇඳුමක්]. විකියේ නොතිබ්බ මුත් මේ ගොල්ලන් හා ගෙන්ගිස් කාන් අතරේ නෑකමක් තිබුණු බවත්, රෝමනි මිනිසුන් [ජිප්සී - යුරෝපය] බිහි වීමට මේ අයගේ සම්බන්ධයක් ඇති බවටත් මට සැකයක් තියෙනවා.

    විද්වතුන්ට බාරයි.



    @බුරෝ

    උඹේ නොම්මරේ අපි ඉල්ලුවා මචෝ ලැබුනේ නැහැනේ.

    අරුන්ට ලාබයිනේ බං ගංගා නිම්නේ තිබ්බ ඇති දැවැන්ත ජනගහනයට ටැක්ස් ගෙවාගෙන හරි වෙළඳාම් කරන එක. ඒත් බෞද්ධ මූලාශ්‍රයක වත් නැහැනේ අරාබි වෙළෙන්දන් ගැන.

    මේක මට තරමක ප්‍රහේලිකාවක්. සමහර විට කාශ්මීරේ දිහාවෙන් යන්න බැරි තරම් භූ විෂමතා බාධක තිබ්බද දන්නේ නැහැ. කෙලින්ම නෙපාලෙන් යන්න බැහැනේ කොහොමත්. හැබැයි එක සේද පාරක් යනවා බෙංගාලය අරුනාචල් හරහා බුරුමෙන්.

    [නිකම් ඉන්න වෙලාවක බලපන් ගංගානම් ද්‍රෝණියේ අදටත් ඉන්න දැවැන්ත ජනගහනය, එහි ඝනත්වය හා ඉතිහාසය. ඉන්දියාව‍ කියන්නේ ඔන්න ඔය ගඟ. උත්තර ප්‍රදෙශේ විතරක් කෝටි විස්සක් මිනිස්සු. ලෝක ජනගහනයෙන් හය වෙනි තැන තනිව ගත්තොත්]

    ReplyDelete
  18. සුජීව,

    මම කිවුවෙ බං ඉන්දියාවට වෙළෙදාම් කරන එක ගැන නෙවෙයි, ඉන්දියාව හරහා ගොහින් බටහිරට වෙළෙදාම් කිරීම ගැන.. ඒ කාලෙ ඉන්දියාවෙ තිබ්බ විවිධ රාජධානි හරහා වෙළෙද තවලමක් යනවා කියන්නෙ ඒ හැම රාජධානියකටම ටැක්ස් ගෙවන්න වෙනවා කියන එකනෙ.. එතකොට අන්තිමට ඒ ඔක්කොම අල්ලන්න වෙනවා භාණ්ඩවල මිලෙන්, ඊට වඩා ලාබයි නේ කාන්තාරයක් මැද්දෙන් යන එක.. අමතක කරන්න එපා මෙතනදි නැගෙනහිරින්-බටහිරට වගේම බටහිරින්-නැගෙනහිරටත් භාණ්ඩ හුවමාරු වුන බව, ඉතිං ඒවා ගන්න ඉන්දියාවට ගොහින් බෑ නෙවැ.. ඒකයි මම හිතන්නෙ ඕකට හේතුව.. අනෙක මේ මාර්ගය නිකංම නිකං කාන්තාර මාර්ගයක් විතරක්ම නෙවෙයි නේ, සමර්කාන්ඩ් වගේ වෙළෙද මධ්‍යස්ථානත් මේ හරහා පිහිටුවලා තිබුනනේ..

    ReplyDelete
  19. නියමයි බින්දි . . . සුජීව, බුරා, හසිත හැමෝටමත් බොහොම ස්තූතියි . . . හරිම වටින ලිපි . . අදහස් . .

    ReplyDelete
  20. ගහකොල වනාන්තර නිස මංමුලා වෙන්නෙ නැති සහ මඟ දුර වෙන්නෙ නැති, වැස්ස ගංගා නැති, තරුමං හොයාගන්න පහසු, වන සතුන් ගැන බියක් නැති, සතුරන් දුරදිම දකින, ඔටුවො සහ බූරුවොන්ට හුරු පුරුදු කාන්තාර දිගෙ අඩු බදු බරින් වැඩි බරක් දුර ගෙනයන එක සීතල හිම මැදින් ඉන්දියාවට (නම් ප්‍රදේශයට ) එනවට වැඩිය කොහොමත් හොඳ ඔප්ෂන් එකක්නෙ!

    ReplyDelete
  21. හත්තිලව්වෙ පෝස්ට් එකට වඩා දිගයිනෙ කමෙන්ට්ස් ......

    ReplyDelete