කියවා ඉවර කල නොහැකි මහා විස්තර ගොඩක් තියෙනවා සේද මාවත ගැන . විවිධාකාර සංස්කෘති ගැනද ඒ ඒ කලාපයන්හි විකාශය ගැනද දිගින් දිගට විහිදුන ඉමක් කොනක් නැති කතන්දර රාශියක් සේද මාවතට පැටලිලා. දවස් ගානක් තිස්සේ කියවනවා කොහොමද මේක සරල කරලා ලියන්නේ කියල . පොඩි කාලේ අපට මේක නොතෙරුනේ මේ සංකීර්ණ බව නිසා කියලයි මට හිතෙන්නේ .
බොහෝ දෙනෙක්ට ඉතිහාසය අප්පිරිය වෙන්නේ මේ එකිනෙක පටලැවී ඇති සංකීර්ණ විලාසය නිසා කියලයි මට හිතෙන්නේ . ඉතිහාසෙට බොහොම ආස මටත් මෙහෙම නම් ඕක පේන්න බැරි සඳරු මලය ගැන හෙම කවර කතාද .
හද ගී පොතේ තිස්ස කියල තිබුන තමන්ට යමක් හොඳටම තේරුනා නම් මිත්තනියට පැහැදිලි කරන්න හැකි වෙන්න ඕන කියල .
මෙතනදී මගේ ඉලක්කය සඳරු වගේ අයට තේරෙන විදියට ලිවිම .
සේද මාවත සරලවම කිව්වොත් මධ්‍යධරණී කලාපයේ විශේෂයෙන් රෝමයේ සිට චීනය දක්වා ගිය මාර්ගය . චීනය සහ බටහිර ලෝකය අතර සම්බන්ධය ඇති කල පාර . වැඩේ ලේසි වෙන්න මෙන්න සිතියමක්. මේ සිතියමේ පේනවද චීනයෙන් බටහිරට වෙන්න ඇති රටවල් ටික .
කවුරුත් දන්නා පරිදි චීනය ලෝකෙට නව නිපැයුම් රැසක් ලබාදුන්නා . , වෙඩි බෙහෙත් ,කඩදාසි ,මුද්‍රණ කර්මාන්තය , කාන්දම් මාලිමාව , මල්වෙඩි .තේ .තව මහා ගොඩක් . මොනව හරි හොයාගත්තේ කව්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්නම් බය නැතුව චීනය කියන්න . බොහෝ විට හරියනවා.
ඉතින් මුලින්ම සිල්ක් සොයා ගත්තේ චීනය . ඒ ගැනත් රසවත් කතා තියෙනවා .
කලෙක චීන අධිරාජයා වුන Huang Ti [ කහ අධිරාජයා ] ගේ දේවිය Lei Tsu තමයි මුලින්ම සිල්ක් [සේද ] සොයා ගත්තේ . දිනක් ඇය උද්‍යානයේ තේ බොමින් ඉදිද්දී උණු තේ කෝප්පෙට පණු කෝෂයක් [cocoon ] වැටිලා . සමනලයාගේ ජිවන චක්‍රය දන්නා ඕනකෙනෙක් කෝෂය දන්නවා .
උණුවතුරෙන් තැම්බිලා මේ කෝෂය වටේ ඇති නුල් දිලිසුනාලු. මේ නුල් දිග ඇරලා රෙදි විවීමේ අදහස මේ බිසවට ඇති වුනාලු.
ඒ තමයි පටපණු කෝෂයෙන් සේද නිපදවීමේ කතාව .
ඉතින් චීනයේ සේද වලට
යුරෝපයේදී සහ මධ්‍යධරණී කලාපයේ ඉහල ඉල්ලුමක් ඇති වෙලා . විශේෂයෙන් රෝම අධිරාජයේ . කොහොමද මේ සේද මිලට ගන්නේ . මොකෝ දැන් වගේ ඉන්ටර්නෙට් එකෙන් ඉල්ලුම් කරලා ගේ දොරකඩට ගෙනත් දෙන කාලයක් නෙමේ ඒක
ඒත් එක්කම චිනේටත් ඕන වුනා බටහිර සමග සම්බන්ධකම් ඇති කරගන්න . ඒ වගේම විවිධ දේවල් මිලදී ගන්න . විශේෂයෙන් අශ්වයන් . දැන් ඇෆ්ගනිස්ථාන් තියෙන පැත්තෙන් හොඳ අශ්වයෝ මිලදී ගන්න එක චීනයට ඉතාම වැදගත් වුනා . තව බටහිරත් එක්ක තානාපති සබඳකම් ගැනත් චීනය උනන්දු වුනා .
ඔය කොයිකටත් තිබ්බ විශාල බාධකය හරි හමන්පාරක් නැති එක . පාරක් තියෙන්න විදිහකුත් නැහැ . චීනෙට ඇතුල් වෙන්න නම් ඇති බිහිසුණු ''ටක්ලමකාන් '' කාන්තාරය පසු කල යුතුම වුනා .
මොකක්ද මේ ටක්ලමකාන් කාන්තාරය .
ලෝකයේ විශාලම කාන්තාර අතරින් එකක් . ඒ වගේම ලෝකයේ ඇති දුෂ්කරම පරිසර තත්වයන් ගෙන් එකක් . වත්මන් චීනයේ වයඹ පැත්තට වෙන්න විහිදිලා තියෙන්නේ . වැඩි විස්තර කැමති අයට ලින්ක් එකෙන් යන්න පුළුවන් .
කෙම් බිම් ඉතාම අල්පයි . වැඩිහරියක් වැලි කඳු . ගිම්හානයේදී අංශක 40 ක් [සෙල්සියස් ] විතර 50 ක් වෙනවා බොහෝ විට . රැය සීතලයි සෙල්සියස් අංශක 20 ට අඩුයි . ''ටක්ලමකාන් '' කියන එකේ තේරුම '' ඔබට එහි යාහැකියි . නමුත් එලියට ආ නොහැකියි '' .
නමින්ම තේරෙනවනේ අමාරුව.
ඒත් මේ කාන්තාරය තරණය කරන්න තරම් දිරිමත් මිනිස්සු හිටිය . කතර මැද ඇති කෙම් බිම් කීපය හරහා අතුරු මාවත් කීපයකින් චීනය සහ බටහිර ලෝකය සම්බන්ධ වුනා . මේ පාරෙන් ගෙන ගියේ සේද විතරක් නොවේ. දකුණින් විශේෂයෙන් ඉන්දියාවෙන් මැණික් , ඇත් දල චීනෙට ගියා . බටහිරින් අශ්වයින් රට ඉඳි විදුරු භාණ්ඩ සහ නොයෙකුත් දේ චීනෙට ගියා .
ඒ එක්කම සංස්කෘතීන් මිශ්‍ර වුනා . ආගම් මිශ්‍ර වුනා . විශේෂයෙන් බුද්ධාගම ඉන්දියාව පැත්තෙන් චිනේටත් බටහිර සහ මධ්‍යම ආසියාවටත් යාමට මුලිකම හේතුව මේ මාර්ගය . ඉන් පසු ක්‍රිස්තියානි ආගම බටහිර පැත්තෙන් ආසියාව දෙසට පැතිරුනා .
විශේෂම දේ තමයි ඒ කාලේ මේ පාරට සේද මාවත කියා කිවේ නැහැ . 19 වන සියවසේ ජර්මන් ජාතිකයෙක් තමයි මේ නම දැම්මේ .
අදට මදැයි. වැඩියම ලිව්වොත් එපා වෙයි. කාට හරි විශේෂ තැන තියෙනවා නම් අහන්න පුළුවන් . ඊළඟ පොස්ට් ඒකට දාන්න .
ලකී සහෝදරයා සොයා දීපු යු ටියුබ් ලින්ක් එක මෙන්න . හරිම ලස්සනයි . එකතැන ඉඳන් බලන්න වෙලා නැති එක තමයි ප්‍රශ්නේ . අපිට මෙව්වා පෙන්නද්දී අගයක් නැති හැටි.
ගල්මල් අඩවියේ ඩීන් අය්යා විශේෂයෙන් විස්තර ටිකක් එව්වා . ලංකාව මේකට සම්බන්ධ වෙන හැටි . ඉදිරි ලිපියකදී කතා කරමු .
විශේෂම ප්‍රශ්නයක් ඇර මේ ලිපි පෙලේදී එක එක කමෙන්ට් වලට පිළිතුරු දෙන්න ඉඩකඩ මදි නිසා ඒ ගැන නම් සමාවෙන්න ඕන . කමෙන්ට් එකක් දැම්මම වචනයක් හරි නොකීම හරියට ගෙදරට ආපු මනුස්සයට තේ එකක් නොදී ඇරිය වගේ . මේක ඉවර වුනාම කේක් කාල තේ බොමු . කමක් නැහැනේ
විස්තර නම් අන්තර්ජාලයෙන් තමයි . හැබැයි කියෙව්ව තරමට ලින්ක් ටික මතක නැහැ . අන්තිමට සේරම එකතු කරලා දාන්නම්
ඒ කාලෙ සේද මාවත පාඩම පෙන්නන්න බැරුව හිටියෙ , සමාජ අධ්‍යයනය විශයට බින්දි වගේ ගුරුවරියක් නොහිටිය නිසා වෙන්න ඕනෙ. වටපිටාව ගැන සරලව මෙහෙම විස්තර කරනව නං කාටද ආසා නොහිතෙන්නෙ, සඳරුට වඩා පොඩ්ඩයි වෙනස් මම.
ReplyDeleteඅර ටක්ලමකාන් කාන්තාරෙ ගැන අහද්දි හිතුනෙ මෙහෙත් ඉස්සර හිටපු මිනිස්සු මේ දුශ්කර පරිසර තත්තව ජයගෙන මේ තත්ත්වෙට එන්න මොන තරම් වෙහෙසක් ගන්න ඇතිද කියලා, විස්තර හොයල බලන්න ආසා හිතුනා, ඒත් ඉතින් ඔය වැඩේට මට වඩා සුදුසු අය ඉන්නවා, අපේ ඩීන් අයියා විවේක වෙලාවක ඒ ගැන හොයලා අපිට කියාවි ඔන්න.
ඇත්තටම හරිම අපූරුයි අක්කේ මේ ඉතිහාස පාඩම නම්
ReplyDeleteහොඳටම හොඳයි. මෙහෙම ලියනවනම් සඳරූ විතරක් නෙවෙයි සඳරුගේ පේදුරු සීයාගෙ ආච්චි හිටියනම් එයත් කියවයි.
ReplyDeleteහොඳට වෙලාව අරගන මේ ලිපි පෙළ ලස්සනට කරන්න බින්දි. මේක ගොඩක් වටින දෙයක්. හැකි විදියට අපිත් උදව් කරන්නම්. කොමෙන්ට් වලට උත්තර දෙන්න ඕන නැහැ. ඒ වෙලාවත් අරගන පොස්ට් එක ලස්සනට ලියන්න. සේද මාවත ගැන ප්‍රශ්ණ ඇහුවොත් අපි හැමෝම එකතුවෙලා උත්තර හොයමු. ඒක අපි හැමෝගෙම දැනුමට හොඳයි.
සේද මාවත ගැන වැඩි තොරතුරු දන්න අය ලිපිය ලියවෙන විදිය බලලා අමතර තොරතුරු කොමෙන්ට් විදියට දාන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.ඒක බින්දිටත් පහසුවක්නෙ..
මට මේ ලිපි එකින් එකට කොමෙන්ට් දාන්න බැරි වෙයි . . . ඒත් අනිවා ඔක්කොම කියවලා අන්තිමටම කොමෙන්ට් එකක් දාන්නම් . . .
ReplyDeleteකොමෙන්ට් වලට පිලිතුරු එපෝ . .
ReplyDeleteමේ ලියන විදිහටම ලස්සනට පැහැදිලිව ලියන්න . .
අපිට සමාජ අධ්‍යනයෙන් හරියට ඉගෙන ගන්න බැරි උනු සේද මාවතේ කතාන්දරය නෙලුම් විලෙන් වත් ඉගෙන ගන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද . .
එහෙනම් කේක් කාලම් තේ බොමු!
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා..
ReplyDeleteමරු කතා ටික !!!
ReplyDeleteඅර තේ එකට පට පණු කෝෂය වැටුන කතාව නම් මරු. තේ එක සුප් එකක් වෙලා. :)
මේ ලිපිය කියවද්දි මම කල්පනා කලේ කොයිතරම් නම් භාර්යාවො , ප්‍රියම්බිකාවො ,පෙම්වතියො , ඔය මරු කතර පහුකරන් සේදමාවත දිගේ ඇවිදගෙන ගිය නිර්භීත ප්‍රිය පුරුෂයන් එනතෙක් ඇත ආසියාවේ කොනක සුසුම් හෙලමින් ,බලාපොරොත්තු අලුත් කරගනිමින් ඉන්න ඇත්ද කියලා .ඒ සමහරු කවදාවත්ම ආයෙ පොරොන්දු වුණ විදියට එන්න නැතුවත් ඇති අතරමග අතුරු ආන්තරා වලට ලක්වෙලා .තවත් සමහරු රෝමයේ ,මධ්‍යධරණියේ කුමාරිකාවො දැකලා කුටුම්බ පෙම්වතියො එහෙම අමතක කරලා දාලා එහෙම පැලපදියන් වෙන්න ඇති . ඔය වගේ ප්‍රේම පුරාවෘත කීයක් නම් සේද මාවතේ වැලලිලා ඇද්ද ?
ReplyDeleteමේ එක්කම සේද මාවතට සම්බන්ධ කරලා ෆාහියන් , නාලන්දා , තක්ෂිලා ගැනත් ලිව්වොත් හොඳයි
බින්දි, මට මතක් උනේ 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවෙ පැවත්වුනු අවස්ථාවේ ඒ වෙනුවෙන් ගැයුණු තේමා ගීතය.....ගායනය විශාරද අමරදේවයන්,
ReplyDeleteසේද මගේ සැදි,
මුතු මල් උයනයි,
සිරි ලංකා දෙරණයි,
එන්න සේද පාරේ,
එන්න සේද පාරේ,
හිමාලයෙන් බැස,
භාරතයෙන් බැස,
දකුණු ආසියා,
මිතුරු බිමින් බැස,
එන්න සේද පාරේ,
එන්න සේද පාරේ,
මම මේ ගීතය හොයාගන්න බැලුව....ම්හු, වැඩේ හරි ගියේම නෑ,
තිස්ස මහත්තැං......ඔන්න ඔබ තුමාටනම් බැරිවෙන එකක් නෑ.....හෙහ්, හෙහ්
මොකක් හරි ෆිල්ම් එකක මේ කතාව තියෙනවා. නම ආපහු මතක් වුනොත් ලියන්නම්.
ReplyDeleteවටිනා කියන සටහනක් බින්දි
හොද විස්තර ටිකක්....ස්තුතියි මහන්සි වෙලා දැනුවත් කිරීමට....
ReplyDeleteහැමදාම වගේ අලුත් දෙයක් ඔයා අපිට උගන්වනවා. බොහොම ස්තුතියි.. ගොඩක් පොත් කියවල හොයාගන්න වෙන දැනුම් සම්භාරයක්.. කවදාවත් කියවන්න වෙන්නේ නැති බව ඉතින් මං දන්නවානේ.. ඔය සේද ඇතිවුන හැටි මම අදමයි ඇහුවේ. මං ආසයි ලංකාව ඔය මාවතට කල සේවය ගැන අහන්න.
ReplyDeleteසමාජ අධ්‍යයනය පීරියඩ් එකේ ඉගෙන ගත්ත නැති එකේ මේකෙන් වත් ඉගෙන ගන්න බලමු. :D
ReplyDelete@මුහුදු,
ReplyDeleteඇයි උඹලට සමාජ අධ්‍යයනය කලේ කවුද, කටුස්සිද..??
බුරතිනෝ ..
ReplyDeleteබ්ලොග් අවකාශයේ ඔබ ඇතුව ලොකු හිඩැසක් තිබුනා . ආයේ ආපු එක ගැන මගේ අසීමිත සතුට . ඒ වගේම උපන්දිනෙත් පහුවුනා කියල ආරන්චියි. පරක්කු වෙලා වුනත් මගේ සුබ පැතුම් .
සුබපැතුමට බොහොම තැන්කූ.. :))
ReplyDeleteඅපි යනකංම ඉදලා මේ වගේ වැදගත් මාතෘකාවක් ඇදලා ගත්තනේ, මේකට මුල ඉදන්ම සහභාගිවෙන්න නොලැබීම ගැන මගේ බලවත් විරෝධය..
ඔන්න ඒකත් කියෙව්වා ...
ReplyDeleteටක්ලමකාන් කාන්තාරය ගැන ඇහුවෙත් අදයි, කාලෙකින් ආව සේද මාවතේ ඇවිදින්න. මේ ටිකේ වැඩ ගොඩවෙලා. ඒව ඉවරයක් කරල එන්න හදනකොට කොම්පියුටරේ ලෙඩක්. පුතාව ශේප් කරගෙන මේකට රිංගන්නෙ. හරිම ලස්සන විස්තරයක්. චීන සේද මේස මැට් ටිකක් මටත් ලැබුනා මගේ මහත්තයාගෙන් තෑග්ගක් ලෙස. හැබැයි මේසෙට දාන්නත් ලෝබයි ඒක දැක්කම. ඒ අය හරිම දක්ෂයි සේද රෙද්දේ ලස්සන නිර්මාන කරන්න. නංගි සුබ පතනවා, මේ කාර්‍යය දිගටම කරගෙන යන්න.
ReplyDelete