Tuesday 5 July 2011

ගන්ධබ්බ මවක් ..පුතුට කිව් කවක්

කාටත් කියා ගමරට ලොකු හීන     මවන්
පහුකර වලා කැටි අල්ලන තරම     දුරින්
දාහක් විල් අතැර සයිගොන් ගඟට උඩින්
ආවේ පතන් යන්නයි  රන් ඉසුරු   අරන්

සුවහසකට වඩා වැඩියෙන් පෙරත්     බවේ
සෙනෙහස උපන් දා සමුදුර වැටක් නොවේ 
තිබුනා වගේ දැනුනිද ආදරේ             සුවේ
හඳුනා කෙසේ බලමුද සිත ඇඳුන        රුවේ

 ආලය තියා උගසට ඇඳි රන්      මුද්ද
කාලය ඉගිලුනා එය දුටුවේ        නැද්ද
තාලය ලිහී ගීයේ තනු           වැරදෙද්ද
බාලය මුදුව  රන් වුව මලකඩ   කද්ද

ආ මග වැරදිලා ආලය මග        වැටුනයි
කාහට වුනත් වෙන්නට ඇති දේ උරුමයි
වීදුරු බඳුන ජිවිතයේ බිම           වැටුනයි
පිහි තුඩ රිදෙව්වේ මට නොව රන් පුතුටයි

දෙතනේ කිරි පිරුණි දෙනු බැරි විය         ඔහුට
අප්පත් අද හෙටම යයි මහ උළු             ගෙයට
දුප්පත් පුතුට  වේවිද කවුරුන්                   පිහිට
යන්නෙත් කොහොම අතහැර මන් දෙව් ලොවට  

නිමිත්ත ....
.
  වියට්නාම් මවක් සිය කොරියන් සැමියාගේ පිහි පහරින් මිය යයි.
 වැඩි ප්‍රසිද්ධියක් නැතිව පත්තරේ පුංචි කොනක තිබුණු මේ පුවත මන් දැක්කේ සති ගානකට කලින්. අමතක කරන්න බැරිව විටින් විට මේ කතාව මගේ හිත සසල කළා . අපේ රටේ නෙමේනේ කියල සැනසුම් සුසුමක් හෙලන්න  බැහැ කොහොමටවත් . කොහේ වුනත් මනුස්සයෙක් ..අසරණ වෙච්ච කිරිසප්පයෙක් . කියන සිතිවිල්ල මට වගේම ඔබටත් ඇති වෙයි කියල මන් දන්නවා . දුක හිතෙන දේවල් ලියන්න මන් ටිකක් අකමැතියි. ඒත් මෙය නොලියා ඉන්න බැහැ.
දැන් අපේ සමහර අය කරන්න වගේ ''ඔය ගෑනි ගේ වරදක් තියෙන්න ඇති ..මිනිහට හදිසි කෝපයක් එන්න ඇති '' කියල හිතමුද . මට නම් එහෙම හිතන්න බැහැ . හදිසි කෝපෙට හරි මොන එහෙකට හරි දරුවා ඉපදිලා  දවස් දහනමයක් වෙච්ච අම්ම කෙනෙක්ට පිහි පාරක් අනිනවා කියන්නේ අමනුස්ස වැඩක් . තිරිසන් කියන්න මන් අකමැතියි. මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන උදාහරණයක් සත්ව ලෝකෙන් දෙන්න මන් දන් නැති නිසා.
මිශ්‍ර විවාහ අද ලෝකයේ ඕන තරම් වෙනවා. මේ වගේ දේවලුත් මිශ්‍ර අමිශ්‍ර ඕනෑම ජන සමාජයක  වෙන්න හැකි. මේ කාරණයට අදාළ නැතත් වියට්නාමයේ ඉතා බහුල නිසා ඒ ගැන යමක් කියන්න ඕන. බොහෝ විදේශිකයින් වියට්නාම කාන්තාවන් විවාහ කර ගන්නවා . ඔවුන්ගේ හුරු බුහුටි රුපසොබාව නිසා වෙන්න ඇති. හෙට මැරෙයිද කියල හිතෙන වයසක සීයල පුංචි කෙල්ලන්ගේ අතින් අල්ලන් යනවා . ඕවට හිනා වෙන්න ද අඬන්න ද . .කොතැනක කවුරු වුවත් ඒ ජිවිත වලට සතුට ලැබේවායි පතනවා හැර .

39 comments:

  1. අනේ මන්දා අක්කේ ඔය සිද්ධි එදත් වුනා අදත් වෙයි හෙටත් වෙයි... මොනවා කරන්නද?
    කවි ටික ලස්සනයි

    ReplyDelete
  2. // දැන් අපේ සමහර අය කරන්න වගේ ''ඔය ගෑනි ගේ වරදක් තියෙන්න ඇති ..මිනිහට හදිසි කෝපයක් එන්න ඇති '' කියල හිතමුද //

    එහෙම හිතාගමු නේද..?? එතකොට හරි ලේසියි නේ අපේ හිත හදාගන්න.. ඊටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා, "ඒ ගෑනිගෙයි මිනිහගෙයි කරුමෙ" කියලා හිතමු..

    ReplyDelete
  3. මන් බොහොම කාලයක් කොරියාවේ වැඩ කලා නිසා දන්නවා. එහෙ මිනිස්සු වැඩි දෙනෙක් ගැහැනුන්ට සලකන්නේ වහල්ලුන්ට වගෙයි.. හැම පිරිමියෙක්ම හමුදා සේවයේ යෙදීම අනිවාර්ය උන නිසා හුඟක් මිනිස්සුන්ගේ මනුස්ස ගති අඩුයි. කිසිම දෙයක් සාමයෙන් සාකච්චා කරන්න අමාරුයි. විරුද්ද මත ඉවසන්නේ නැහැ.. පුදුමයක් නැහැ මේ වගේ දේවල් වල.

    ReplyDelete
  4. @ පුසා

    ඒක ඇත්ත හිතේ දුකට ලිව්වට වෙන මොනවා කරන්නද

    @ බුරා

    මක්කයි වුනේ . ගිය පාර ලිපිය මග අරුණ නේද . කරුමේ වගේ සංකල්ප යක් වත් නැත්නම් ජිවත් වෙන්න හරිම අමාරුයි නේද . මන් ලඟදි ඇහුව කතාවක් ..ඉන්දියාවේ අන්ත දුප්පතුන් සහ සුපිරි පොහොසතුන් සමගියෙන් ඉන්නේ ඇයි ...දුප්පතා හිතනවා මේ අපේ කරුමේ කියල .

    @ සරත්

    වෙන්නත් ඇති .

    අනේ මන්ද මෙහෙ ඉන්න කොරියන් පවුල් නම් බොහොම හොඳින් ඉන්න බව පේනවා. රටකට ජාතියකට සිමා කරන්න හැකි දේවල් ද මේවා. සරත් ගොඩක් ඇවිදලා ඇති බව පේනවා

    ReplyDelete
  5. Gimhani

    මේ වගේ කතා අහනකොටම් හිතෙනවා ලෝක විනාසය
    ඉක්මනටම වෙනෙවනම් හොදයි කියලා

    ReplyDelete
  6. හරිම දුක හිතෙන කතාවක්. මේ වගේ දේවලට හැම දෙනාම කට වහගන ඉන්න හන්දා මේ දේවල් වැඩියෙන් සිද්ධ වෙනවද? ගෑනුකම හන්දා ගෑනු මේ වගේ අවස්තාවලදී කටවහගන ඉන්ට ඕනිද? කවුරුත් කලබල වෙන්ට දෙයක් නෑ. මම මේ නිකමට ඇහුවා විතරයි.

    @බූරා,

    හිතට සැනසුමක් ලැබෙන්ට ඉතින් ඒක නම් පිලියම නම් 'කරුමේ' තමයි කියලා අපටත් කියන්ට වෙනවා.

    ReplyDelete
  7. මට නම් හිතෙන විදියට මේ වගේ හැගීමකින් තොරව මරන්න හැකියාව ලැබෙන්නේ සමහර රටවල තියෙන ආවේනික ලක්‍ෂන ඒ කියන්නේ මැරෙනවාය කියන එක වීරත්වයක් කියල අදහන රටවල මිනිසුන්ට තමන්ගේ මරණය ගැන හැගීමක් නොවන විටක අනෙකාගේ මරණය ඒ හැටි දෙයක් නොවෙන්නට ඇති...

    ReplyDelete
  8. මොනදේ උනත් කෙනෙක් තව කෙනෙක්ව මරන්නෙ මොන අමනුස්සකමකටද.

    ReplyDelete
  9. උදේම පින්බර දේවල් කියවන්න ලැබෙන්න කියලා පතන්න බෑනේ . .

    උදේම කියෙව්වේ මේක. හිත සසල උනා.

    අම්මයි එලොව ගියා, අප්පා හිරේ යයි. අසරණ දරු පැටියා? ඌට කාගේ පිහිටක්ද??

    පර්ල් එස්. බක් ලියපු මගේ ප්‍රියතම පොතක් උනු අනුලා ඩි සිල්වා පරිවර්ථනය කරපු "නව වසර" පොතේ තියෙනවා යුද්ධ කාලේ විදේශිකයින් නිසා කොරියන් කාන්තාවන්ට උපන් දරුවන්ට මොකද වෙන්නේ කියල විස්තරයක්.

    ඒක ඛේදවාචකයක්.

    ඒ ගැන හිතුවාම කොරියාවේ අර දරුවන්ට වගේ වියට්නාමේ උනාට ඔය දරුවටත් වැඩි වෙනසක් වෙන්න විදිහක් නෑ නේද හිතුනාම තවත් දුකයි . .

    ReplyDelete
  10. "අම්මා නැති කලට අප්පා කවර කල"
    කරුමේ නෙමෙයි ලෝකේ හරි අසාධාරණයි. ඒක තමයි ලෝකස්වභාවය.
    කවිය බොහොම සංවේදී.

    ReplyDelete
  11. හරිම දුකයි මේක දැක්කම. අනේ, අර අහිසක දරු පැටියට කාගෙ පිහිටක්ද? මේ දිගටම මෙයට සමාන සිද්දි දැක්ක පත්තර වල . ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට වලින් අම්ම නැතිවෙලා. ගිය සතියෙත් දැරිවියො දෙන්නෙක්. මේ සතියෙත් එක් දැරිවියකට. අම්මා නොමැතිව දියණියක ගේ ඉරනම කොහොම විසදේද?
    මේ වගේ දේවල් වෙන්නෙ ඇත්තටම ක්ෂනික කෝපය නිසාමයි. තම සිතුවිලි පාලනය කර ගන්න බැරි උනාම වෙන විනාසේ. අම්මාවරුනේ........අම්මාවරුනේ දරුවන් ගේ දුක් කඳුළු දකිනදා.........සුරලොව සිට අතපා ............ඒ කඳුළැලි පිසිනා.......

    ReplyDelete
  12. අම්මා නැති පුතුට බඩගිනි වෙන්න එපා
    පියතුම නැති කලට බය ඇති වෙන්න එපා
    දරු පැටියට කිසි විපතක් වෙන්න එපා
    රැකගත යුතුය තව නම් දුක් ගැහැට එපා

    ReplyDelete
  13. මං කවි ටික මග හැරියා බින්දී, අර ජෝඩි ගේ කතාව බලලා හිතේ එකතු වෙච්ච දෙයක් තවම අයින් කර ගන්න බැරුව ඉන්නේ. තව ලෝඩ් කරන්න බැහැ.

    මේ වගේ වැඩ මේ රටෙත් වෙනවා. මේක මනුස්ස ස්වභාවය. මං එහෙම කිව්වේ හිත හදා ගන්න නොවේ. මිනිසා කියන්නේ මනසින් උච්ච වූ ජීවියෙක් කියන පණ්ඩිතයන්ට ඔල්මොරොන්දන්. මනුස්ස ස්වභාවය කියන්නේ තවත් එක සත්ව ස්වාභාවයක්.

    ඉක්මන් කෝප ඇති වුනාට මරා දමන්න අහවල් අයිතියක් ද තියෙන්නේ.

    මගේ ඔලුවේ එකතු වෙච්ච මේ වගේ කතා තියෙනවා දරා ගන්න බැරි. එක පකිස්තාන් කාරයෙක් තමන්ගේ බිරිය රසට ඉව්වේ නැහැ කියලා ඇගේ නාසය දිව කන කපලා, ඇස් උගුල්ලලා. පකිස්තාන උසාවියෙන් දුන්නු තීන්දුව වසර දෙක තුනකට හිරේ යැවීම. මං පත්තරේ දැක්කා ඒ තීන්දුව දන ගන්න ඔහුගේ විසි ගණන විතර වයසක හුන් බිරිඳ ඇවිත් හිටියා, ඇයට එය අහන්න බලන්න බැහැ. එහෙමම උනා නම හොඳයි නේද? තමන්ට මේ අපරාධය කල එකා නීතියෙන් ලබපු වරප්‍රසදය දැනගන්නවට වඩා.

    අනේ මේ කතාවේ කිරි කැටියෙකුත් ඉන්නවා.

    මේ පොස්ට් එක ගැන මිට වඩා මොකුත් කියන්නේ නැහැ. නොදකින් කාලකන්නි.

    ReplyDelete
  14. මිනිස් වෙසින් ඉපදුනු අමනයො කොයි ජාතියෙත් ඉන්නව... කිරි එලදෙන මරල කන එව්වොත් ඔයිට හුඟක් වෙනසක් නෑ...

    බින්දි... ඔබට ඉතාම හොඳට කවි ලියන්න පුලුවන්...අදයි ඒක හොඳටම දැක්කෙ... නිතර කවි ලියන්න....අපි වගේ පද හතරක් ගලපගන්න බැරි ඒත් හොඳින්ම රස විඳින්න පුල්වන් අය වෙනුවෙන්..

    ReplyDelete
  15. අයියෝ ඔය කතාව ඇහුවාම අපේ පැත්තෙත් වෙච්ච සිද්ධියක් මතක් උනා .......

    ඒ මනුස්සයා ටික කාලෙක ඉඳල තමන්ගෙ ගෑනු මනුස්සයත් එක්ක රණ්ඩු කරන කොට කියලා තියනවා “තෝව මම මරල අර ලිඳට දානවා කියලා“ අනේ ඒ වගේම එක දවසක් රෑ මේ මනුස්සයා තමන්ගෙ අවුරුදු 3 ක දරුවා බලා ඉන්දැද්දිම දරුවගේ අම්මගේ ඔලුවට කැපෙන ආයුධයකින් ගහලා (පොරවක් හරි මන්නයක් හරි) ගෝනියක දාලා අර ලිඳට දාලා. අනිත් දවසේ උදේම ලේ ඔක්කොම හෝදලා ලමයව මොන්ටිසෝරියටත් ගිහිං දාලා, අහම්බෙන් අහල පහල කෙනෙක් එදා ගෙදරට ආපු වෙලේක ලේ ටිකක් දැකලා තමා පොලිසියට කියලා තියෙන්නෙ. කොහොම හරි අවුරුදු 3 පොඩි එකා බය වෙලා කාටවත් කියලා නැහැ, පස්සෙ පොලිසියෙන් අහන කොට තමා කියලා තියෙන්නෙ. දැන් අර මනුස්සයා හිරේ අම්මා මැරිලා අර ලමයි එයාගේ අක්කා ගාව ඉන්නෙ. වෙලාවට අක්කා අඩු වයසින් බැඳලා (පැනලා ගිහිල්ලා) තියෙන්නෙ. නැත්නම් ඒ ලමයි දෙන්නම අනාතයි ........

    ඔය වගේ කතා ඇහෙන කොට පපුව හෝස් ගාලා පත්තු වෙනවා.

    ReplyDelete
  16. @ ගිම්හානි
    ඔයා මේ පැත්තේ ආවට ස්තුතියි. ඔන්න නෙලුම් විලට පිලිගන්නවා ආදරයෙන් . ලබන අවුරුද්දේ විනාශ වෙනවලුනෙ. සත් සමුදුරෙන් දිනේෂ් කියාගෙන එන්නෙත් ඒ ගැන මේ දවස්වල.
    @ පොඩ්ඩි
    අනේ ඉතින් මේවා ලියද්දි බැලන්ස් එකේ ලියන්න එපාය. ගෑනුත් ඉන්නවනේ ඔය වගේ වැඩ කරන . හැබැයි වැඩි ප්‍රතිශතය පිඩිතය ගනු කෙනෙක් තමයි. අනික කට අරින්න හම්බ වෙන්න නැතිව ඇති . නැත්නම් කට වැඩියි කියල හිතුනද දන්නේ නැහැ ..
    @ දිනේෂ්
    මන් නම් හිතන්නේ කොයි රටෙත් ඕව වෙනවා . දැන් ගන්නකො අපේ ධර්මද්වීපය . බණ..පිරිත් උදේ හවා කිව්වත් ඔයවගේ ය ඉන්නවා .
    @ දුකා .
    මන් උදේම කියෙව්වේ ඔයාගේ යශෝදරා ගැන . මේක ඊයේ ලියල තිබ්බ එකක් .අනේ ඇත්තටම නරසිහ ගාථා අහල මේ වගේ දුක හිතෙන ..තරහ යන කතාවක් ලියන එකත් කියවන එකත් අමාරුයි. හැබැයි ඒ පෝස්ට් එකයි මේකයි එකම කාසියේ දෙපැත්ත කියල හිතෙනවා මට. හරියට ජිවිතේ වගේ
    මටත් දුක දරුවා ගැන තමයි. ''නව වසර ''මමත් බැලුව .මෙහෙත් ඉන්නවා ඒ වගේ පරපුරක් . ඒ පරම්පරාව දැන් ලොකුයි. සමහර අය තවස්මත් අක්මුල් හොයාගෙන ඇමරිකාවේ පුරවැසිකම ගන්න බව කියවෙනවා.

    ReplyDelete
  17. @ පොත් ගුල්ලා

    දැන් ඉතින් අප්පත් නැහැනේ . අම්ම නැති දරුවන්ට අම්ම වෙච්ච තාත්තලත් ඉන්නව . ඒ වගේ උතුම් පියවරුන්ට අපි හිස නවන්න ඕන

    @ චන්දි
    මටත් උහුලන්නම බැරි දෙයක් තමයි දරුවන්ට අම්ම නැති වෙන එක . ඉස්සර වගේ නෙමේ දැන් පාරක් පනින්නත් බැහැ නිදහසේ දරුවෝ සිහි වෙනවා .

    @චතුරංග

    අම්මේ කියා දවසක ඔහු අඬනු ඇති
    මොන බසකින් වුවත් තේරුම එයම වෙති
    උණු වෙන ලයක් ඇති අය ළඟ මිනිස් ගති
    අම්මෙක් කවුරු හෝ ලං වෙයි පතමි නිති

    @ සුජීව
    හ්ම් ...නොදකින් කාලකන්නි තමයි හොඳම කියමන

    @ සපතේරු උන්නැහේ

    ඇත්ත අමනුස්සයෝ කොහෙත් ඉන්නවා. කවිද ..එක තමයි මගේ මුල් කැමැත්ත . ස්තුතියි . තව කවියෝ ගොඩක් ඉන්නවා . කවිමුතුවල් වල කවි විතරමයි. ඔය සුජීව අදත් එකක් ලියල

    @ සුජීව
    දානකො ලින්ක් එක මෙතන අයෙත්. දුකා කියා තිබුන ඔය ලින්ක් දාන හැටි. මට ඉතින් ඔය තාක්ෂණික වැඩ කම්මැලියි .

    @ කල්හාර

    ලංකාවේ වෙනදෙවලුත් මේවට දෙවෙනි නැහැ.කොහෙත් එකයි . මන් පුද්ගලිකව දන්නා කෙනෙක්ගේ නංගිට එයාගේ සැමියා වස ඉන්ජෙක්ෂන් එකක්දිල . දුක් විඳලා විඳලා මැරුණා. දරුවෝ දැන් මන් දන්නා කෙනා ගාව.

    ReplyDelete
  18. hithaganna ba mehema wenawada kiyala anith ratawalath..monawa unath paw wade..:(

    ReplyDelete
  19. බින්දී; ලින්ක් එක කිව්වේ කොයි ලින්ක් එක ද? මගේ විරිදු ටික ද? එක නොදැම්මේ අයි කියලා තේරෙනවනේ. මෙහෙම කතාවක ඔය වගේ විහිළු කතාවක් දා ගන්න බැහැ මට.

    ReplyDelete
  20. @දිලීප
    ලෝකේ කොහෙත් මිනිස් සතා එකයි මල්ලි . මනස කියන මැෂිමේ පොඩි තැනක් අවුල් වුනහම සේරම ඉවරයි
    @ සුජීව
    මන් ඒ ගැන එච්චර හිතුවේ නැහැ . ඒත් විහිළුවක් වුනත් ඒ විරිඳුව තුල අනික් සේරම යට වෙලා මට පෙන්නේ ''තාත්තෙක්'' . මොකද මන්දා

    ReplyDelete
  21. පදපෙල පංකාදුයි, පන්හිඳෙහි තියුණුව වගේම පදපෙළේ සංවේදී බව ගොඩාක් දැණුනා. දිල් නංගිගේ (අතීතයෙන් අහුලන මතකයන්) සොයුරියකගේ අසනීප විස්තර කියවා ඇවිත් මේ පොස්ට් එකත් උණු උණුවේම කියෙව්වත් ලියාගන්න තරම් හැකියාවක් නොවිය.

    ReplyDelete
  22. මටත් හිතෙන්නෙ අර ගිම්හානි කිව්ව එකම තමයි. ඉක්මණට ලෝක විනාසෙ වුණාවෙ.

    ReplyDelete
  23. බුරතීනො එළි බැහැලා ගොඩ දවසකින්.

    ReplyDelete
  24. @බින්දි,

    පෝස්ට් එක මග ඇරුනෙ නැතෝ.. මං ඒක කියෙවුවා, ලිපියටත් වඩා ෆොටෝස් ටික රසවින්දා.. ඒත් ඉතිං කමෙන්ට් එකක් දාන්ට කම්මැලි හිතුනා.. :)

    @නලිනි,

    ඔවු අනේ, පහුගිය දවස් ටිකේ හැංගිලා වගේ හිටියෙ.. මේ සමහර ගෑණු ළමයින්ගෙන් බේරෙන්නම බෑ නොවැ.. ;)

    ඔයාගෙ පෝස්ටුත් කියෙවුවා කමෙන්ට් නොකලට..

    ReplyDelete
  25. මේ වගේ සිද්ධි අහන්න නොලැබේවා කියල තමා ප්‍රර්ථනය.ඒත් ඉතින් සමාජයේ මේ වගේ මිනිස්සු ඉන්නකන් අපිට මේ වගේ දේවල් අහන්න වෙයි. කොයිම අව්ස්ථා සන්භන්ධයකදි උනත් තවත් ජිවිතයක් උදුරගන්න අයිතියක් නෑ කාටවත්ම.

    ReplyDelete
  26. මට නම් හිතෙන්නේ මේක මේ සමාජ ක්‍රමේ වැරැද්ද. අද ෆිල්ම් එකක් බැලුවත්, ටෙලි නාට්ටියක් බැලුවත් වැඩිපුරම දකින්න ලැබෙන්නේ මිනීමැරුම් ගහ මරා ගැනීම... මේ දේවල් බොහොම සාමාන්‍යකරණය කරල.. ඉතින් මේවා බලන මිනිස්සුන්ගේ මනස විකුර්ති වෙන්නේ නැද්ද..? බයානකම දේ තමයි අද පොඩි උන්ට සෙල්ලම කරන්න වෙලා තියෙන්නෙත් යුද්ද, ගහමරා ගැනීම තියන වීඩියෝ ගේම් එක්ක... අම්මල තාත්තල පොඩි උන්ට සෙල්ලම් කරන්න ගෙනත් දෙන්නේ තුවක්කු... පොඩි උන්ගේ මනස පොඩි කාලෙදිම විකුර්ති කරනවා... හ්ම් මටත් කියන්න තියෙන්නේ ඉක්මනට ලෝක විනාසේ වත් උනාවේ කියල තමයි......

    ReplyDelete
  27. @ Soda ගුනේ,

    ඒ කතාවට 100%ක්ම එකග වෙන්න අමාරුයි සහෝ.. ඇත්ත ඒ ‍දේවලත් යම් බලපෑමක් ඇති.. ඒත් ඉතිං අපි පොඩි කාලෙත් සෙල්ලං කලේ තුවක්කු එක්ක නෙවෙයිද..?? ගහමරා ගන්න ඒවා TV එකේ බැලුවෙ නැද්ද..?? එහෙමයි කියලා අපි මිනීමරන තත්ත්වෙට පත්වෙලා තියෙනවද..?? අපට මිනිහෙක් නෙවෙයි මීයෙක්වත් මරාගන්න පුලුවන්ද..?? අනේ මන්දා මම නං හිතන්නෙ ඊට වඩා දෙයක් මේකට බලපාන බවයි..

    ReplyDelete
  28. වැරැද්ද කාගේ වුනත් අන්තිමට දුක් විඳින්න ඕන ලමයි තමයි.

    ReplyDelete
  29. බින්දී;

    ලෝකයට බිරියන් සපයන තවත් රටක් ද ඔය? ඔය සබ්ජෙක්ට් එකේ පිලිපීනය තමයි අංක එක.

    ලස්සනම විතරක් නොවේ [අපිට බෝනික්කෝ වගේ උනාට සුද්දන්ට ලස්සන නැතුව ඇතිනේ ඔය ගෑනු බාග :)] අනාගත සුරක්ෂිත භාවය එහෙමත් බලනවා. ආසියානුවන් ගැන එහෙම මතයක් තියෙනවනේ.

    ඔකේ පට්ට මාකටින් පාරක් යනවා. බොහොම බාල වාණිජ පරමාර්තත් තියෙනවා. ඔබ දකින ඔය නාකියා කෙල්ල බැඳ ගත්ත කෝණය එකක් පමණයි. කට්ට කෙල්ලක් සල්ලි කාරයෙක් බැඳගෙන වවා ගෙන කන එක තව කෝණයක්.

    කොහොම උනත් ලෝකය තවත් ලස්සන වන්නත්, සිවිල් සමාජය විවාහය සෞඛ්‍ය දියුණුව වගේ දේ නිසා අකාර්යක්ෂම ව ගොස් ඇති ඒකීය මානව පරිනාමය තරමක් හෝ ක්‍රියාත්මක කරන්නත්, උතුරු දකුණු, නැගෙනහිඅර් බටහිර වගේ චින්තන වෙනස්කම් සමනය වීමටත් ඔය මිශ්‍රණය බලපානවා. ඒක හොඳයි. මිශ්‍ර පවුල් වළ ළමයි හැඩයි නේද?

    කිව්වමයි මතක උනේ, අපේ ගෙවල් පාරේ ලංකාවේ පොරක් බැඳගත්ත චීනියෙක් [කිව්වට කොයි රටේ ද දන්නේ නැහැ] ඉන්නවා. ඒගොල්ලන්ගේ බබා තනිකර චීන ලුකින්. හිනි ඇස්දෙක, බෝල මුහුණ, ඇතුළු ඔක්කොම තනිකර චයිනීස්. හැබැයි තාත්තා වගේ කප්ප කලුයි. මං දැකපු මුල් ම කළු චීනා තමයි මේ පුංචි කොලු පැටියා.

    -------------

    ලංකාවේ 1960 ගණන් වලදී බුරුම තානාපතිගෙ [හෝ වෙනත් ලොක්කෙකුගේ] අවුරුදු විස්සක් විතර වයස වෙනස් කමක් ඇති ප්රෝපොසල් එකකින් බැඳ ගත් [බලෙන් වගේ ලුනේ එහෙ එව්වා කරන්නේ] ලාබාල තරුණ බිරිය ලංකාවේ ප්‍රසිද්ධ ක්ලබ් එකක ගායක කොල්ලෙකු සමග අනියම් සම්බන්ධයක් කළා කියලා, එයාව තානාපති නිල කාර්යාලයක් තුල ප්‍රසිද්ධියේ මරා දමනවා. බුරුම නීතියෙන් එය හරි ලු. ඉතින් ලංකාවේ නීතියෙන් බේරෙන්නේ ඩිප්ලෝමටික් පාට් දාලා බොඩි එකයි මිනි මරුවයි හොරෙන් ම එහෙ යවලා.

    මේ කම්පනයෙන් හැත්තෑ ගණන් වල විජය රාමනායක හදනවා දුහුළු මලක් චිත්‍රපටිය. නොබැලුව කවුරුත් නැතුව ඇති. "රන් කෙන්දෙන් බැඳ" වගේ ලස්සන සින්දු තියෙන්නේ. ජෙනිටා ප්‍රනාන්දු කියන නිළිය ලංකාවෙන් යන්න කලින් හිටිය අන්තිම ෆිල්ම් වලින් එකක්. ඒ කාලේ පට්ට හිට් එකක් [මං නම් ඉපදිලත් නැහැ]. ඕක ගැන කතාවක් හියෙනවා විජය රාමනායක ඔය කතාව ඉවර කලේ සැමියා බිරිඳ ව ඝාතනය කරන සීන් එකෙන් ලු. ඇත්තටම උනෙත් ඕකනේ. හැබැයි ලෙස්ටර් කිව්වලු ඔහොම එපා අවසානයේ සමාදානයෙන් ඉවර කරන්න කියලා [ඔය තමයි ශ්‍රී ලාංකික චින්තනය උගත් සමාජයේ. හැම තැනම නොවේ.]. ඉතින් විජය අර සීන් එක එහෙම පිටින් ම තිබ්බට ඒක හුදු සිතිවිල්ලක් කරලා [ටෝනි නේ සැමියා] ඉවර කරන්නේ මේකේ වරදේ බාගයක් සැමියාටත් අයිතියි, සැමියා පසුතැවෙනවා අන්තිමට යාලු වෙනවා කියන තැනින්. ලස්සන අවසානයක් ඒක.

    ලස්සන අවසානයක් පොඩි එකාටත් ප්‍රාර්ථනා කරනවා. සත්තු වගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තනියම හරි සුන්දර ජිවිතයක් ඒ දරුවට ලැබේවා.

    ReplyDelete
  30. මේක නිසා ලෝක විනාසෙට කඩේ යන ඒක තේරුමක් නැහැ. කැමති උනත් අකමැති උනත් මේ පය ගහල ඉන්න ලෝකේ විතරයි තියෙන්නේ. වෙන නැහැනේ. ඉතිරි ඔක්කොම හිතළු.

    මෙන්න මගේ බ්ලොග් සටහනකට දාපු කොමෙන්ටුවකට දුන්නු පිළිතුරකින් කොටසක්.

    "යතාර්ථය කියන්නේ යතාර්ථය. එයට සංසන්දනාත්මක උපමා දෙන්න අමාරුයි. ෆැන්ටසිය සුන්දර නම්, ඉන් පිටත නොබලා එකේම හැංගිලා ඉන්නවනම් එක පාරට අල්ලලා පොළොවේ ගැහුවම යතාර්ථය කටුකයි කියා හිතෙනවා. අභිනික්මන් කරන්නත් ඉඩ තියෙනවා.

    ඒකනේ හැමදාම මඩ පොළොවත් එක්ක ඔට්ටු වෙන පොලොසියෙන් ගුටි කන මුඩුක්කුවේ ලගින එකෙකුගෙන් සිද්ධාර්ත කෙනෙක් බිහි නොවන්නේ."

    ReplyDelete
  31. @සුජීව,

    අර සීන් එක බුරුම තානාපති‍ගෙ තමයි මටත් මතක හැටියට..

    ReplyDelete
  32. හප්පේ බුරා. දැක්ක කල්. මං උන්නේ ද්වන්ධ සටනකදී රබර් උණ්ඩයක් වැදී රුසියානු රෝහලක දැඩි සත්කාර ඒකකයේ කියලා.

    ReplyDelete
  33. @සුජීව,

    "ද්වන්ධ සටන් නීතිය අනුව ඔබට වෙඩි තැබීමේ අයිතිය තවම මා සතුය."
    - වෙඩි පහර : ඇ. පුෂ්කින් -

    @බින්දි,

    නෙළුම් විල අලුත් වෙලා තියෙන්නෙ.. ඔය උඩ තියෙන පිංතූරෙ ලොකු වැඩි නැද්ද..?? ඒකෙ උස අඩු කරානං හරි.. ඒක දිග අතට තීරුවක් වගේ ගන්න, අර උඩින් තියෙන නෙළුම් මල් දෙක ඇති, යට තියෙන කොළ අනවශ්‍යයි..

    ReplyDelete
  34. දෙතනේ කිරි පිරුණි දෙනු බැරි විය ඔහුට
    අප්පත් අද හෙටම යයි මහ උළු ගෙයට
    දුප්පත් පුතුට වේවිද කවුරුන් පිහිට
    යන්නෙත් කොහොම අතහැර මන් දෙව් ලොවට

    අපූරුවට කවි ටික ගළපලා තියෙනවා. මේ සිද්ධ වෙන දේවල් දැක්කම ලොකේම එපා වෙනවා

    ReplyDelete
  35. @ ගල් මල්

    ස්තුතියි ඩීන් ..මමත් ගියා දිල් ගේ බ්ලොග් එකට . හරිම දුකයි . ලෝකය අපට හැම වෙලේම හිනාවෙන්න ඉඩ දෙන්නේ නැහැ .

    @ නලිනි ..

    ''සත් සමුදුර '' ලියන දිනේෂ් මායා වරුන්ගේ දිනදර්ශනය ගැන ලියාගෙන යනවා . අද හෙටම හරියටම දන ගන්න හැකි වෙයි .

    @බුරා

    ඔයා ලි බෝනික්කෙක් නිසා ගැණු ළමයි කැමති ඇති . ඕන විදියට ඉඳියි කියල . ඔන්න මන් පින්තුරේ අඩු කළා . ස්තුතියි . මල් පොහොට්ටුවට ආස නිසා ඉතුරු කර ගත්තා

    @රෝස කුමාරි ..

    ඇත්ත ලෝකය නපුරු නොවී ලස්සනට තියෙනව නම් . මගෙත් පැතුම ඒකයි.

    @ සෝඩා ගුණේ.

    හැකි තරම් දරුවන්ට ලස්සන දේ පෙන්විය යුතුයි. ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා . අපේ කෙල්ලෝ නිසා අස නැහැ . ඒත් මන් දැකල තියෙනවා කොල්ලෝ ඉන්න ගෙවල් වල වැඩිපුරම බලන්නේ හරිම කලබලකාරී කාටුන්.

    බුරා මහතාගේ කතාවත් ඇත්ත . අපේ බනිලගේ තාත්ත යුද්ධ කතා ..සටන් කතා හරියට බලනවා . ඒත් කැරපොත්තෙක් වත් ආවොත් පුටු උඩ. අපි තමයි සටනට යන්න ඕන . විහිළුවටවත් පොඩි එකෙක්ට ගහන්නේ නැහැ .

    මන් හිතන්නේ පරිසරය ,..ජාන..මානසික අවපිඩනය ඕවා සේරම එක්කහු වුනාම තමයි මේවා වෙන්නේ .

    @ නෙතු පිය

    දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ වන්දි ගෙවන එකට මාත් හරිම අකමැතියි.

    @ සුජීව ..

    ඉතාම හොඳට පවුල් කන මිශ්‍ර ජෝඩු ඉන්නවා . වෙලාවකට පුදුමයි . ළමයි සමහර විට හැඩයි. විශේසයෙන් කළු - සුදු මිශ්‍ර වුනාම ලස්සන පාටක් එනවා . බනිලගේ ඉස්කෝලේ ඉන්නවා පාට පාට ළමයි . හරි අපුරුයි බලන්න .

    ඒ දරුවට සමහර විට හොඳ කලක් යයි . මමත් එහෙම පතනවා .

    @අයේෂා

    ස්තුතියි අයේෂා . කවි ටික ලස්සනයි කියල සතුටු වන එකත් හොඳ නැහැ . එක හරියට දුක විකුණන් කනවා වගේ මට දැනෙනවා . ඉක්මනට වෙන පොස්ට් එකකට යන්න ඕන.

    ReplyDelete
  36. පොත් ගුල්ලා ලියන බ්ලොග් එක කියෙව්වට පාඩුවක් නොවෙන තැනක් .

    http://malmakaranda.blogspot.com/

    ReplyDelete
  37. ගොඩක් ස්තුතියි.අහලවත් තිබුනෙ නැති විස්තරයක් දැනගත්තා...

    ReplyDelete
  38. හිතට දැනෙන දුක ගුලි කර තාම මම
    මිනිසුන් කුරිරු වන්නේ ඇයි මෙතරම්ම
    අසරණ කිරි කැටියා ලොකු වුණ දාක හෙම
    ලොවට මව්පියන් ගැන ඔහු කියනු කුම

    සංකීර්ණ සමාජයක්.ලෝක විනාශයට ලඟය.මිනිසුන් සොබාදහමට විරුද්ධය.තවත් විනාශයට ලඟය...........
    කවියේ සුන්දරත්වය යට තියෙන අසුන්දර කතාව හින්දම කවියේ සුන්දරත්වය ගැන සිනා නොවී සමාජයට සිනා නැඟිය යුතුව ඇත.

    ReplyDelete
  39. මගේ ඉහත කොමෙන්ටුවේ විජය රාමනායක විජය ධර්ම ශ්‍රී ලෙස වෙනස් විය යුතු බව මතක වුනේ වැම්පයර් තුමා වැඳ පුදා ගත් වෙලාවේ

    ReplyDelete