Thursday, 6 December 2012

වටරවුමේදී මග ඇරුන ..කවි මිතුර


සන්තකට ,
අකුරු විතරක්ම තිබු
අකල් සමයෙක
හමු වූ කවි මිතුර
අප මග ඇරුන හන්දිය
ඔබට මතකද ...

වටරවුම හැරවුම
පහසු මාවත මටයි
ඔබ ගියේ රළු කටුක
වෙනස් පාරක හැඩයි

...අත ඇරුණු කවි අහුලන්න
හන්දියට ගොසින් බැලුවාම
ඔබ ගොසිනි බොහෝ දුර
මට වචනයක් වත් නොතියාම

...ඔබ ලියු පරණ කවී පමණක්
ඇලවෙනු දුටිම් තැන තැන
අලුත් පරපුර අලුතින්ම
කියවයි අකුරු ගැන ගැන ..

බැරි වුණත් බිතු සිතුවමක් වන්නට
ඉස්සර වගේ කියවා කියවා ඉන්නට
ඉඳහිටක දුක සැපක් අහන්නට
බැරිකමයි මට නම් තියෙන දුක

......කුඩා වූ පෘථිවියේ කොහේ හෝ
හමු වුණොත් අහම්බෙන් අතරමග
අහන්නට තිබෙන කප්පරක් දේවල් නොඅසා
එකම පැනයක් අසමි ..

''එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
බෙදා ගත් කහට තේ කෝප්පෙට
මම ණයද ?''


Monday, 3 December 2012

අතු දියට වැටි ...දිය තරග නැගී......

ඊයේ සීතල වුනත් මිදුම තුනී වූ දවසක්..කාලෙකින් හොවැං කියම් වැව පැත්තෙ යන්න බැරි වුන නිසා රවුමක් ගියා.
මේ තමයි චිනය සහ යුද වදින්න ලබාදිපු රන් කඩුව ඉබ්බා ආපසු අරගත්තු තැන. ආයේ කඩුව කටු ගෙවල්වල දාලා පසු කාලෙක පරිස්සන් කරනවට වඩා ආපසු ගත්තු එක හොඳ වෙන්න ඇති.
අද මට කම්මැලියි වැඩි විස්තර කියන්න. පින්තුර විතරයි.

මේ වැව රවුම නගරයේ හදවත කියන්න පුළුවන්. ඒ වගෙම මෙතන තරමක උප සංස්කෘතියක්  තිබෙන බවත් කියන්න ඕන. ව්‍යායාම කරන්න , පින්තුර ගන්න ආදරේ කරන්න , රස්තියාදු වෙන්න කියාපු තැන .

මේ වගේ ජලාශ මේ පළාතේ හැම තැනම . කොටින්ම පළාතේ ලොකුම වැව ආසන්නයේ තමයි අප ජිවත් වෙන්නෙත් . නමුත් මේ වැව විශේෂයි  .

නගරයේ  ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් .

මේ ගැන ලියන්න නම් අපමණ දේ තියෙන නමුත් වෙලාව පිලිබඳ ගැටළුවක් තිබෙනවා . වසන්තය ඉවරයි . ලියන මුඩ් එකත් නැතිවේගෙන යනවා වගේ . පාසලේ නිවාඩුවට පෙර අන්තිම සති දෙක . විවිධ ක්‍රියාකාරකම් සිදුවෙන කාලේ .

මේ පාර නම් මුකුත්ම ගෙනියන්නේ නැහැ කියල හිතන් හිටි ගල් හිත උණු වෙන්න පටන් ගන්න කාලේ . සේද පසුම්බි ටිකක් , ලැකර් පින්තාරු ටිකක් ,  බම්බු වලින්හදපු පොඩි පොඩි විච්චුර්ණ ටිකක් ගන්න පරණ ටවුම දිහා රස්තියාදුවේ යන්නත් කාලේ .

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ . මේ වැව වටේ ඇවිදීම ලස්සන අත්දැකීමක් .




පින්තුර අරන් විනාඩි දහයෙන් දෙන කැමරා ශිල්පියෙක්ට කියල ලස්සන පින්තුරයක් ගන්නත් පුළුවන් .



ආදරවන්තයෝ නම් බැංකුවක ඉඳගෙන ඈත බලන් ඉන්නත් බැරුවය දවසක් වුනත් ..




 .


වැවට උඩින් රතු පාලම දිගේ ගිහින් ඉබි පන්සලට යන්නත් පුළුවන් .
 
 
 
 පන්සලට යන ගේට්ටුව ගාව කොටියා සහ මකරා










අධ්‍යාපනය සංකේතවත් කරන පින්සල් කුළුණ . ඔය ගල් වැටියට බඩ ගෑම අපේ දෙන්නගේ ආසම වැඩක්





යුගල පින්තුර ගන්න ආපු මනාල ජෝඩු දහයක් පහළොවක් බලා ගන්න පුළුවන් . මට මුණගැහුන ආරක්ෂක අංශ සාමාජිකයා සහ එයාගේ මනාලිය නම් බොහොම කැමැත්තෙන් පින්තුරේට මුණ දුන්නා . ඒ අතින් හරිම මිත්‍රශීලි අහිංසක කමක් මේ මිනිස්සු ළඟ තියෙනවා .




Cyclo කියන බයිසිකල් රික්ශෝවේ නැගල රවුමක් යන්නත් පුළුවන් .

ලොකු තැපැල් කන්තෝරුව .





නගරයේ දහස් වසර ගෙවුන නිසා ස්විස් රජයෙන් දුන්න ලොකු ඔරලෝසුව ...



මුහුණ ඇඳගන්න කැමති නම්

නැත්නම් කැසට් එකක් දාල නැටුම් උගන්නන තාවකාලික නැටුම් කණ්ඩායමක් එක්ක නටන්නත් පුළුවන් . ඉවර වෙලා තොප්පියට කියක් හරි දෙන්න විතරයි තියෙන්නේ .
 
 

ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .

Friday, 30 November 2012

පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා






''මන් ඉස්කොලේ යන්න ආස නැහැ. මට අම්මව මතක් වෙනවා'' මගෙ චුටි දු ඊයෙ එහෙම කිව්වා. '' ඒ වුනාට උදේ ඉස්කොලේ යද්දි නම් කිව්වා'' අද හරිම විශේෂ දවසක්.. මට අද ඉස්කොලේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා'' කියලයි.

අද වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කොලේ ගියේ පරණ පොත් සල්පිලක් තියෙන නිසා.

ඉස්කොලේ ළමයින්ට තමන්ට වැඩක් නැති පරණ පොත් මේකට දෙන්න කියලා කියා තිබුණත් අපේ දෙන්නා නම් එක පොතක් වත් දුන්නෙ නැහැ.

''ඕන නැති පොත්'' කියල ජාතියක් අපේ දිහා නැති නිසා.
ඇඳුම් , කන කෑම එකෙන් භාගයක් වුණත් කාට හරි දෙන ළමයි ඒ වුණාට උන් මගෙම හින්දා පොත් නම් දෙන්නෙ නැහැ.


ඒකට මොකද දෙන්නා හම්බ කරන් තිබුණ සල්ලි ටිකත් අරගෙන තව මගෙනුත් ඉල්ලගෙන තමයි අද ගියෙ පොත් ගන්න.

අපේ පොඩි දෝනි එහෙම ආවට ගියාට සල්ලි හොල්ලන කෙනෙක් නෙමේනෙ . කිඩ්සානියා එකේ බොරු සල්ලි කොළ ටික වියදම් කරන්න බැහැයි කියල පොළොවෙ හැපුන හැටි මතකනෙ .
මෙගොල්ල සල්ලි හොයන හැටිත් අපූරු කතාවක් .

 ඔන්න මන් සෝදලා තියෙන තාත්තගෙ රෙදි [ එව්වට කකුල් නැති නිසා කබඩ් වලට යන්නෙත් නැහැ ලේසියකට ] සමහර දාට මන් මෙ දෙන්නට කියනවා නවල දුන්නම කබඩ් වලට දාන්න කියලා .
මේ ඉතින් මේස් යට ඇඳුම් වගේ පොඩි පොඩි දේවල්.


මේගොල්ල ඒවා බෑග් එකක හෙම දාලා ස්කූටරෙන් තමයි බෙදා හරින්නෙ. හැබැයි නොමිලෙ නෙමේ.
කෑලි  ගණනට අය කරන්නේ. ඒ සල්ලි වලින් අලුත් මේස් කුට්ටම් දෙකක් විතර ගන්න පුලුවන් .
ඩිස්කවුන්ට් සහ   ෆ්‍රික්වන්ට් කාර්ඩ් ක්‍රමයක් [ මේ කාඩ් ක්‍රමේ අර ගුවන් යානා වල දෙන ජාතියෙ එව්වා. නිතර ගුවන් ගමන් යන අය දන්නවා ඇති . නැති අය කලබල වෙන්න ඕන නැහැ.

ගුවන් සමාගම් වලින් තමන්ගෙ ගුවන් යානාවල නිතර යන අයට යම් ශ්‍රේණි ක්‍රමයක් යටතෙ කාඩ් ලබා දෙනවා.
යන හැම ගමනකදිම ලකුණු එකතු වෙනවා. මෙ කාඩ් රිදි, රත්ත්‍රන්, ප්ලැටිනම් වගෙ නම් වලින් සහ තව එක එක ක්‍රම වලින් තියෙනවා.
ඒ ඒ කැටගරි වලට ඉතින් විවිධ වරප්‍රසාද ලැබෙනවා වැඩිපුර කිලෝ කිපයක් , ගුවන් තොටේදී විවේකාගාර පහසුකම් වගේ.

වසරක් ගානෙ මේ ලකුණු එකතු කරලා ගුවන් ටිකට්පත් ගන්නත් පුලුවන්. නැත්නම් යම් බඩු මිලදි ගන්නත් පුලුවන්. ඔන්න ඉතින් මන් කැලේ පැන්නා. මේවා නයි පොලොංඟු හෙම නෙවේ. ගුවන් ගමනක් කියන්නෙ ඉස්සර වගේ සුපිරි දේකුත්  නොවේ. හැබැයි මේ දේවල් සමහරු නොදැන හෝ කම්මැලි කමට හෝ භුක්ති විඳින්නෙ නැහැ ගුවන් ගමන් ගියත් .

හරි ඔන්න ඔහොම කොච්චර ඩිස්කවුන්ට් දුන්නත් තාත්තගෙන් ගාණක් කඩා ගන්න කෙල්ලො දස්සයි.
හොඳම දේ ඉතින් මටත් පොඩි ගාණක් දෙන එක .


පොත් සල්පිලෙන් එන සල්ලි යම් යම් සුබසාධන වැඩට ගන්න බවයි කියන්නේ.

ඇත්තටම මට ලියන්න ඕන වුණේ ඔය එකක්වත් නෙමේ. ඊයෙ අපේ චුටි දුට හැංගි මුත්තන් කරන්න ඕන වුණා.
එයාට එහෙම එක එක ආසාවල් එනවා එක එක දාට. සෙල්ලම් කරලා අපි වේලාසන නිදා ගත්තා . හිනෙන් වගෙ මට මතක් වුනා පරණ පොතක්.

උදේම පොත් රාක්කේ ඇදලා පොත හම්බ වුණා. මේවා හැමදාම වෙන දෙවල් නෙමේ. ඒ කියන්නෙ පොත් සොයන එක නෙමේ. සොයන පොතක් හම්බ වෙන එක.

පුස්තකාලෙන් ගෙනා පොත නැති වෙලා සුමානයක් සෙවුවා. අන්තිමට පොත් ගොඩක් අස්සෙ හැන්ගිලා දුවිලි වැදිල තියෙද්දි සොයා ගත්තෙ.

මන් මේ හදිසියෙ හෙව්වෙ '' පුංචි  පැටව් සහ උන්ගෙ අම්මලා'' කියන පොත.


චීන පොතක්. ලියා තියෙන්නෙ ජීආං යීමිං. අනුවාද්ය සවිමන් ඌරුගොඩවත්ත.

අරුණ ප්‍රකාශකයින්ගෙ බෙදා හැරිමක්. මේ ටික ලිව්වෙ කාට හරි සොයා ගන්න ඕන වුණොත් කියල .



සත්ව ලෝකෙ අම්මලා ළමයි බලගන්න හැටි.මන් සහ මගෙ ළමයි ආසා පොතක්.
මගෙ චින පොත් එකතුවෙන් එකක්. මන් ආයෙම කියෙව්වා. රස දේ තනියම කන්නෙ මොකටද  කියා සිතුනා.






'' කැන්ගරු අම්මාට ලොකු ඔඩොක්කුවක් ඇයි?
 තම සිඟිති පැටියාට තුරුළු වී ඉන්නත්
කෑම බුදින්නත්
එය කදිමයි! ''


ඔන්න එක පිටුවක තියෙන දේ.




මේ පොතට මන් ආසා ලස්සණ පින්තුරත් තියෙන නිසායි.

අපේ චුටි දොනි ඉස්කෝලෙන් ගෙනාවා සත්තු සහ ඒගොල්ලගෙ ළමයි ගැන පොතක් ලඟදි.
කැස්බෑවො වගේ සත්තු පැටව් බලාගන්නෙ නැහැ කිව්ව්ම එයාට තරහයි. ඒ ගොල්ලො හරි නරකයි කිව්වා.
මෙයා ළමයින්ගේ අයිතිවාසිකම් ගැන බොහොම උනන්දුයි.

දවසක් මන් සැර කළහම කිව්වෙ '' මන් නම් ලොකු වුණහම මගෙ ළමයින්ට ඔයිට වඩා කරුණාවන්ත වෙනවා'' කියලයි.
ඕක අහල අක්කා කියන්වා ''අපෝ ළමයි හදන එක අමාරු වැඩක්...අපි නිකන් ඉමු ''කියල .


ආයේ දවසක් නිවාඩු දාක ඉස්කෝලෙ ලඟින් යද්දි මන් කිව්වා මන් මේ ඉස්කෝලෙට හරිම ආසයි කියල.
අක්කා ගත්තු කටටම කිව්වෙ ''ඔව් ඔයාට අපිව යවලා නිදහස් වෙන්න පුලුවන් හින්දා නේ ''කියලයි..''
මන් කිව්වා ටිකක් ඇත්ත කියල . ආදරේ කියන්නේ ඇඟේ අලවාගෙනම ඉඳිම නෙමේ.

කතාවෙ මුලයි මෙතනයි සම්බන්ධ  වෙන්නේ දැන් .
මතකනෙ චුටි දුව ඊයෙ රෑ කිව්වා මාව දාල ඉස්කොලේ යන්න බැහැ කියලා. ඒ වුණාට එයා වැඩ ගොඩක් ඇතැයි කියා ඉස්කොලේ ගියා


ඒ ගැන අවුල් වගේ නම් අපි චීන පොත්ගැන කතා කරමු.

 අද මට ආයෙ එන්න වෙන්නෙ රෑ වෙලා. හවස සෙල්ලම් කරන්න යනවා. ඊට පස්සෙ ඉස්කෝලෙ සංගීතයක් බලන්න යනවා.



ප.ලි.


විජේසේකරෙට මාරු වෙන්න බුරා සහ ජනූ [ සේරම විස්තර කියලා දැනටමත් මාව තල්ලු කරන ජනූ නගා].. උදව් කරමින් ඉන්නේ.
බුරෝ ..නණලළ ගැන කල්පනා කරද්දි මට දැනෙන්නෙ සෑහෙන්න අමතකයි කියලයි මට. ටිකක් ඉගෙන ගන්න ඉන්නේ . අපේ ලමයින්ට මං තුමි නෙ ඔව්වා උගන්නන රාජකාරිය බාර අරන් ඉන්නේ.

Wednesday, 28 November 2012

හැඳි මිටෙන් ගිලිහී...සිතේ සිතුවිලි මිහිරී...

 
 
 
ඉහටත් උඩින් වැඩ . සෝදන්න තියෙන රෙදි ගොඩ දිහා නොබලා ළමයි උදේ කාලා කෑම පිඟන් මේසේ උඩ. එව්වා පොඩ්ඩක් එහා මෙහා කලහම සාලෙ මේසෙ උඩ ලැප්ටොප් එක තියා ගන්න පොඩි ඉඩක් හදා ගන්න පුලුවනි.

එලියේ සිතල මිදුම. අහස තනිකර අලු පාටයි .

  ඊයෙ මෙට්‍රො සුපර්මාකට් ගියාම ජමනාරන් දැක්කා .ගෙදර ගෙනාවා. හරිම සුවඳයි.

මේ නාරන් දොඩම් කාලය. මෙට්‍රො කියන්නෙ මහා විශාල වෙලඳ සැලක්. මාසෙකට දවසක් පමණ යා යුතු තැනක්. කාලයයි සල්ලියි දෙකම වැය වෙන තැනක්. කෙලවරකින් පටන් අරන්  සේරම රාක්ක දිහා බල බල යන එකත් එක විදිහක විනෝදයක්.

ගොඩක් දේශිය ජනතාව මෙතනට එන්නේ තොග වශයෙන් බඩු ගන්න.

අපි යන්නේ අනෙක් කඩවල සොයාගන්න බැරි දේවල් විශේෂයෙන් පොලේ යාමට වඩා තරමක් පහසු නිසා. මිල ගණන් සඳහන් නිසා ගැටලුවකුත් නැහැ .

අනෙක් දේ තමයි ආනයනික රට සඳහන් වීම. චින ලොකු අය්යා ගෙ අනෙක් දේවල් ගැන අවුලක් නැහැ . ඒ වුනත් කෑම බීම ගැන විශ්වාසයක් තියන්න බැහැනේ.

මෙට්‍රෝ ගැනත් නම් සෑහෙන්න ලියන්න පුලුවන්. ඒ වුනත් ලියන්න කියල මගෙ අත කෙනිත්තුවෙ මෙට්‍රෝ නෙමේ.. ජම නාරන්. නාරන් කියන්න බින්දුව දාන්න ඔනෙ තමයි . බින්දුව සොයන්න කම්මලි නිසා හල් නයන්නෙ නාරන් කමක් නැහැනෙ.

මාරයාගෙ බ්ලොග් එකේ හැලප කඩේ චෝදනා කර තිබුණා අකුරු වැරදිම්  ගැන. මගෙ අතිනුත් සෑහෙන්න වෙන්වා .දැනගෙන කම්මැලිකමට, අමතක වීම වගේ කාරණා නිසා. අනික එච්චර සැලකිල්ලෙන් ලියන්න ගියහම මට එපා වෙනවා.



ඒ හින්දා මෙතන වෙන වැරදි නම් බරපතල එකක් ඇරෙන්න වැඩිය ගණන් ගන්න එපා.


ඉතින් ඔන්න ජමනාරන් ගෙනාවා. ඉස්සර කහවතු යද්දි රත්නපුරෙන් බස් එකට නගින වෙලෙන්දන්ව මතක් වුනා.

කෝ රත්නපුරෙ කට්ටිය අත උස්සන්න බලන්න. ඒ අය නම් දන්නවා. රටකජුයි , ජමනාරනුයි , ඉඟුරු දොසියි...
[රන්ගිගෙන් නම් මන් දැන් ගුටි කනවා.]

බස් එකම නාරන් සුවඳයි. අපිත් ඇහැලියගොඩින් නවත්තල මොනව හරි කාලා හිටියට මෙ වෙද්දි බඩගිනියි. ඊටත් වඩා පොඩි වුන් කොයි වෙලෙත් මොනවා හරි හපන්න ආසයිනෙ . අනික උදේ පාන්දර ගෙදරින් ඇවිත් තිබුණෙත් තේ විතරක් බිලා.

අද උදෙ හරිම සිතලයි ඇහැරවගන්න බැරිම තැන ඔය කතාව කියලා තමා දෙන්න ඇහැරෙව්වෙ.

[උදේට ඇහැරවිම ගැන වෙනම ලිපියක් ලියන්න ඕන. මාත් කතන්දර වගෙ කත්න්දර වලට ලෝබ වෙන්න ඕන .]
අපෙ දෙන්නා හරි ආසයි මගෙ අතීත කතා අහන්න. ඔන්න ඔය ගැන කියලා උදේට කන්නත් දුන්නා ජමනාරන්.

''ම්ම් එච්චර රස නැහැනෙ.''


ඔන්න ඔහොමයි මගෙ ආදරණිය ජමනාරන් වලට කෙල්ලන්  පිටුපෑවෙ.


ඒ වෙලේ මට දාර්ශනික සිතුවිල්ලක් පහල වුනා.මේක එච්චර අලුත් සොයා ගැනිමක් නොවේ. නමුත් මාත් එය පරික්ෂණ මගින්ම ඔප්පු කලා.

එනිසායි අපමණ යුතුකම් වගකිම් පසෙක ලා මෙතන ඉඳගෙන ලියන්නට ගත්තේ. එවන් කල්පනා හැඳිමිටෙන් ලිස්සා ගොස් හොද්දට වැටී හෝ රෙදි බේසමක සබන් පෙන අතර දියවි එසේත් නැතිනම් පිඟානක ඉතිරි වූ ඉඳුල් සමග කුණු බක්කියකට වැටී අපතේ යා යුතුද..? 

මගෙ වාසනාවට එහෙම වෙන්න ඕන නැහැ කියන මනුස්සයෙක් ජිවිතේ බෙදා ගන්න ලැබිල තියෙනවා.


''''''රසය කියන්නේ දිවට පමණක් දැනෙන දෙයක්ද.? බොහෝ මිහිරි රසයන් අතිත සුවඳවල්...අතීත මතක හා යා වී ඇති විටයි රසයක් වනුයේ .'''''

ජම්නාරන් මගේ දිවට මිහිරක් වන්නේ මේ ජමනාරන් බිකක් සපන විට දිව දිගේ ගොසින්  රත්නපුරයේ '' නාරන්,ජමනාරන්,, ඉඟුරු දෝසි ''වෙලෙන්ඳන්ගේ හඬත්...එවායේ සුවඳත්.. ආච්චිලාගෙ ගේ පිටුපස ගල් වැටිය උඩින් තිබු ජම නාරන් ගසත්, ආච්චිත් ඇතුලු ළමා මතකයන් සියල්ලත් අවුස්සන බැවින්මය.
වැඩිමනක් සිතද්දී දිවට පමනක් නොවේ නහයට , කනට , ඇසටද පොදු සත්යයකි.

ඇතැම් ගීත වලින් එහි ඇති අරුත් ..මිහිරි තාලයන්..අනගි කටහඬවල් යන සාධක සියල්ලට අමතරව එයිනුත් ඔබ්බට ගිය සන්වේදනයක් ඇති වන්නේ මෙම නිසාමයි.


අපේ ලමයින්ටද දිනෙක මෙවන් දේ සිතෙනු ඇත. ඔවුන්ටද ජමනාරන්ම මිහිරි වේ යයි අප සිතුවොත් වරදක්ය. ඔවුන් තම තමාගේ මතක ඔස්සේ ජිවිතයේ මිහිර විඳිමයි වඩා වැදගත්.


Tuesday, 13 November 2012

කජු කිරි

 
picture


සිරාගේ කජු මුලේ කතාව කියවල මට කජු කතා මතක් වුනා . මන් කජු කන්න ආසයි . මෙහෙ කජු හරිම පිලිවෙලට පැකට් කරලා විකුණනවා . හැබැයි සේරම යන්තමට හරි බැදලා .ඒවා උයන්න හරි නැහැ.
හො චි මින් වල ඉන්න කාලෙ බෙන් තාන් මාක්ට් එකේ තමයි අමු කජු තිබුනෙ . බනිලගෙ තාත්ත දැනුත් එහෙ යන එන නිසා කජු ටිකක් නම් වරදින්නෙ නැහැ අපෙ දිහා .

දැන් මෙහෙම රත්තරන් වගෙ වුනාට අපි කිරි කජු කෙල්ලො කාලෙ අපිට කජු වලින් අඩුවක් තිබුනෙ නැහැ..
අපේ පැත්තෙ බොහොම කජු ගස් තිබුණා. අපි පොඩිම කාලේ හිටිය අපෙ නොවුනට අපේ වගෙ පලතුරු කාපු ලොකු වත්තෙ කජු ගස් තිබුණා. අපි අහුලන් ආවම අම්මා ඉඩක් ඇති  විටක කපල දුන්නා.
අමු කජු ටිකක් කඩලා ඉව්ව වෙලාවලුත් තිබුණා.


ගවුම් වල කජු කිරි ගෑවුනොත් ඉවරයි. යවන්න ක්‍රමයක් තිබුණෙම නැහැ.

කජු කපන එක නම් මහම එපාකරපු වැඩක් . මන් නම් කවදාවත් කරලා නැති වැඩක්..කජු කිරි ගෑවුනහම හම පිච්චුනා වගෙ කහට බැඳෙන්නෙ.

කජු පුහුලන් කපලා ලුනු දාල කනවා. සමහර ගස් වල පුහුලන් රස වැඩියි. වවුලන් තමයි ඉතින් ඔය රස වැඩිය දන්නෙ . පුහුලම කාල හපයත් එක්ක කජු ගෙඩිය බිම දාල යනවා .
සමහර විට අපිට හම්බ වුනා යන්තම් පැලවිගෙන එන කජු. ලා කොල පාටට කජු මදය පැලයක් වෙන්න ඔන්න මෙන්න. අමුතු රසයක් තියෙනවා . සමහරු කාලා ඇති .කජු ගහේ මැලියම් සරුන්ගල් අලවන්නත් අපට උදව් වුණා .

[මගෙ ඊශ්‍රායල් මිතුරිය හරියට පුදුම වුනා කජු පොකුරක පින්තුරයක් දැකලා.]

තව අපේ ගමේ ලොකු කජු වත්තක් තිබුණා. එයට කිව්වෙ කජු හේන කියලා. ඒ ඉඩම අයිති ගෙදර අක්කලා අපිත් එක්ක යාලුයි . අපිත් යනවා කජු කඩනවා බලන්න. හරිම විනෝද ගමන.
ඒ වත්තෙ කජු ගස් රාශියයි..වැඩට ඉන්න කට්ටිය කජු කඩලා ගෝනි පිටින් අරන් එන්නේ.


''චුටි බත් කෑවද'' අහන ගිරවෙකුත් හිටියා ඒ ගෙදර.

කජුයි මෙ ගිරවයි එක්කම මට ඒ කාලේ ටක් ගාලා ඔලුවට එන්නෙ ''කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා'' කියන රබන් පදේ.


 .එක එක ගස් වලට නම් පවා තිබුණා. එක නමක් මට මතකයි ;;ආප්ප කජු ගහ'' . නම් වගෙම කජුත් වෙනස් . ලොකු පොඩි රතු පුහුලන් කහ පුහුලන් වගෙ වෙනස්කම් තිබුණා.


අර කිව්ව කජු හේන පසු කලෙක කුට්ටි කරලා විකුණුවා. ගමෙන් භාගයකට වඩා ඉඩම් තිබුණ එ පවුලට වුණ දේවල් නවකතාවක් ලියන්න තරමයි. කවදහරි දවස්ක කොහේ හෝ ලියා තබන්න ඕන.
කුලී ගෙවල් වල උන්න අපිත් ඒ ඉඩමින් තමයි කෑල්ලක් ගත්තේ.


.කජු ගස් කැපිලා ගෙවල් හැදුණ. එක් ලොකු කොටසක් ගත්තු කෙනා විතරක් එහෙම්ම තිබ්බ නිසා ගහක් දෙකක් ඉතුරු වුණා.
එතරම් සරුසාර ගස් නෙමේ. කොලු කුරුට්ටන්ගෙ පොලු පහර වල් නිසා ඒ ගසුත් නැති නාස්ති වුණා.
අපෙ ඉඩමෙත් පුන්චි ගහක් තිබුණා. පසු කලෙක කපා දැම්මා.

මෙ සියල්ලටම වඩා අපුරු කතාවක් තියෙන්වා. එකම එක ලොකු කජු ගහක් අපෙ ඉඩමට කිට්ටුවම අර ලොකු කොටසෙ තනියම විශාලෙට අතු පතර විදාගෙන හැදි වඩුණා. පලාතටම සෙවණයි. හරියට නුග ගසක් වගේ. කජු වාරෙට ගමේම කොල්ලො එතන. ගෙඩියක් පැහෙන්න දුන්නෙම නැහැ. ගිරවුන් නිතරම දකින්න ලැබුණා. අනික් නොයෙක් කුරුල්ලොත් ලේන්නු හෙමත් හිඟයක් තිබුණෙ නැහැ. කොහොමත් ඉඩමට පහල පුරන් වු වෙල් යායක්...
එන්න එන්නම ජනාකිර්ණ වුණත් කාර්මික ජනපදයක් පෙනෙන මායිමෙ වුණත් පොඩියක් හුස්ම ගන්න පුලුවන් කම තිබුණා අපේ පලාතෙ මිට ටික කලකට පෙර වෙනකම්ම.
මේවා වෙනම ලියන්න ඕන කාරණා.

මට අද හිතෙන විදිහට කජු ගස වටා උප සන්ස්කෘතියක් තිබුණා වගේ දැනෙනවා.

අයිතිකාරයින්ගෙ සොයා බැලිල්ලක්, වැටක් මායිමක් මුකුත් නැතුව ඔහෙ තිබ්බ මේ මහ ගස මට නම් සිහි කලේ අසරණ මනුස්සයෙක්. අහල පහල මිනිස්සු කුණු ගෙනත් දාන්නත් පුරුදු වුණා. ඩෙන්ගු බෝවෙයි කියල නිතරම ඔය කුණුගොඩ පුච්චන්නත් ආයෙ නොදමන්නත් කට්ටිය විටින් විට කතා වුණා. මහජන සෞඛ්ය පරික්ශක ගෙනත් පරික්ෂණයකුත් තිබ්බා.



හැබැයි ඔය එකක්වත් වුණෙ නැහැ. ඉඳල හිටල අපේ අම්ම හරි පහල ගෙදර අය හරි අතුගාලා පුච්චල දැම්ම විතරයි.
මොන කරදරක්ද මෙ කජු ගහ කියල අපට නිතරම තරහත් ගියා. හබැයි ඒ කරදර වලට වන්දි ගෙවන්න වගෙ හැන්දෑවට අපෙ මිදුලට තද ඉර එලිය එන්න නොදි හොඳින් බලා ගත්තෙ මෙ කජු ගහ තමයි.
මන් වෙන පලාතකට යන කොටත් ඔය කජු ගහ හොඳට තිබුණා.



අවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන වැටුණා කියල .

එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ...

...

Monday, 29 October 2012

මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා

   




සුළඟ කලබල කලැයි..

දුකෙන් පසුවුන අහස

ඊයේ මුළු දවසේම

හොඳටෝම හැඬුවා....

....ඉර හරිම බියගුලුයි

 පොඩි සුළඟටත් ගැස්සී

වලාකුළු කාමරේ

සිටියාලු හැංගි..

.... දඟකළ සුළං ගියෙදැයි
  
ජනේලෙන් එබී බලමින්

හෙමි හෙමින් ඉර ඇවිත් තිබුණා

..කඳුළු වලටම සේදී

අහස නව සළු පැළඳි....

සවස මනරම් ලෙසින් සිටියා ..

...හැරගියයි හිරුට දොස් නොකියා .....




හැංගිච්ච වැරද්දට පසුතැවි හොඳටම

ආයෙමත් රන් වලින් සරසා



අරුණි අක්කලාගේ ගෙවල් පැත්තේ  සැන්ඩි කලබල කරද්දී මේ පැත්තටත් වැඩි සද්දයක් නැතුව පොඩි කලබල කාරයෙක් කඩන් වැදුණා.

පිලිපිනෙට බැට දීලා මේ පැත්තට එද්දී චණ්ඩි කම් අඩු වෙලා තිබුනත් තරමක විනාශයක් කරලා . හතරදෙනෙක් පමණ මියගිහින් . උස ටි වී කුළුණකුත් කඩා දාලා . මුහුදු යන්න බැරි වෙලා .

අද සවස වැස්සෙන් සේදුන අහස හරිම ලස්සනට තිබුණා .

ලියන මුඩ් එකේ අද මන් කොහොමත් හිටියේ . එහෙම එක එක මුඩ් තියනවා . උයන මුඩ් එකේ උන්නොත් හොඳට උයනවා . ලියන මුඩ් ඒක ආවොත් කෑම සවුත්තුයි . ඔය වෙස්ටර්න්, ඉතාලි ඉවිලි තමයි ඒ දවසට .

රෙදි සෝදන මුඩ් එකත් එන දවස් තියෙනවා . එදාට කෑල්ලක් ඉතුරු නොවෙන්න සෝදනවා . අවාසනාවට රෙදි මදින මුඩ් එක කියල එකක් මට නැති හින්දා අකමැත්තෙන් තමයි රෙදි මැදෙන්නේ. අපි ඒ ගැන සෑහෙන්න කතා කලානේ ..

කඩේ යන මුඩ් එක ආදාට ගෙවල් ඉස්සරහ විදියේ කෙළවරක ඉඳන් ඇවිදිනවා . සමහර විට පොළෙත් යනවා .

ලොකුවටම සිතක් ආවොත් හැනොයි නගර මධ්‍යයේ විදිවලත් ඇවිදිනවා . මේ මුඩ් එක එන්නේ කලාතුරකින්.

දැන් අහන්න එපා මුඩ් එකක් නැති දාට කන්නේ බොන්නේ කඩේ යන්නේ රෙදි සෝදන්නේ නැද්ද කියල . ඒවා වෙනවා හැබැයි කරන්න ඕන නිසා .

කිසිම මුඩ් එකක් නැති කම්මැලි දවස් වලට වැඩියෙන් ටීවී බැලෙනවා . මුඩ් ෆික්ස් කරන්න ඉඟුරු විස්කෝතු වත් නැති කොට මක් කරන්නද .

ආ අර වැස්සෙන් සේදුන අහසේ සඳ පායලා . තරුත් පිරිලා . අපිට තරු දකින්න ලැබෙන්නේ කලාතුරකින් . මෙතරම් තරු පිරුණ ලස්සන අහසක් මෙහෙදී ඔය දැක්කමයි.

අපේ ලොක්කියි මායි එයාගේ පුංචි ටෙලෙස්කොප් එකත් අටවාගෙන සඳයි තරුයි බැලුවා . ඒ ටෙලෙස්කෝප් එක ගෙනාවේ ඔබා මාම බලන්න ගිය ගමනේදී . ලොක්කි ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් වුන ඔබා මාමගේ ''කළු'' එක්ක මිදුලට වෙලා තරු බලපු එක ගැන අපිට මතක් වුනා .

තරු වෙලා අහසේ දිලෙන්නේ
අපෙන් වෙන්වුන සොඳුරු මිනිසුන් නම් ....


ප ලි

පින්තුරවල අයිතිය මා සහ මගේ ෆෝන් පොඩ්ඩා සතුය

Saturday, 13 October 2012

අලිය ගිලපු දිවුල් ගෙඩිය වැඩක් නැති වුනත් ....


 


අපි පොඩි කාලේ උගුඩුවන් ඕනෑතරම් හිටිය . හැබැයි උන් මොනවගේද කියල හරිහැටියකට දැකල තිබුනේ නැහැ . නිශාචරයෙක් නිසා වෙන්න ඇති . මොනවා වුනත් උගුඩුවා කියන්නේ ප්‍රියමනාප සතෙක් විදිහට නම් නෙමේ අපට දැනුණේ. රෑට කුකුලෝ හොරකම් කරන විත්තිය අහල තිබුන . උගුඩුවො එන හින්දා කුකුල් කුඩුව ගහක එල්ලලා තිබුනත් මතකයි.

ඒ මදිවට සමහර මිනිස්සුන්ව ඇටිකෙහෙල් කාපු උගුඩුවාට සමාන කරනවා වුනාට ඇටි කෙහෙල් කෑවම උගුඩුවට වෙන්නේ මොනවද කියල හොයල බැලුවෙත් නැහැ .


අපිට එහෙම වුනාට ඔය කෝපි වලට ඇබ්බැහි වෙච්ච අයට නම් උගුඩුවාAsian Palm Civet හරිම වැදගත් බව මන් දැන ගත්තේ ලඟදි .

[picture from http://en.wikipedia.org/wiki/Kopi_Luwak ]



ඉතියෝපියාවේ කල්දී කියන කොලුවා කෝපි සොයා ගත් බව තමයි එහෙදි මට අහන්න ලැබුනේ . කල්දී කියල කෝපි කඩ ජාලයකුත් එහෙ තියනව . ජාලයක් කිව්වට ඉතින් ''ස්ටාර් බක්ස්'' හරි ''කොෆි බින්ස් '' වගේ හරි පොෂ් නම් නැහැ . කොහොමත් ඉතින් වැඩිය හොඳ පුටු තියෙන්නේ වඩුවාගේ ගෙදර නෙමේනේ .



අපිට වැඩකට නැති උගුඩුවන් ජාවා , සුමාත්‍රා වැනි ඉන්දුනිසියන් දුපත්වලට නම් රත්තරන් වගේ . අපේ උගුඩුවන්ගේ එහෙ ඉන්න නෑයන් එච්චර වටින්නේ මොකවත් හින්දා නෙමේ උන්ගේ වසුරු නිසා . කෝපි ඇට ගිලල හෙලන වසුරුවල තියෙන නොදිරවපු ඇට මේ පලාත්වල මිනිස්සුන්ට රත්තරන් වගේ .
ඕලන්ද කාරයෝ මේවයේ කෝපි වගා කරලා තියෙන්නේ මුලින්ම . හැබැයි පසු කාලේදී ගමේ මිනිස්සුන්ට කෝපි ඇට නෙලා ගන්න තහනම් කරලා . මේ මිනිස්සු තමයි මේ වසුරු වල තියෙන කෝපි ඇට වලින් කෝපි හදන්න පටන් අරන් තියෙන්නේ .

මන් කෝපි ලෝලියෙක් නෙමේ නිසා කෝපි එක්ක වැඩි ආස්සරයක් නැහැ . යුරෝපිය වගේම අනික් ජාතිවල ගැහැණුත් බොහොමයක් කෝපි බොන්න රුසියන් . මන් ඉතින් තේ තමයි. දවසක් මට යාලුවෝ දෙන්නෙක් අඬගැහුව Cat poo poo කෝපි බොන්න යමුයි කියල . දැන්වීමකුත් පෙන්නුවා . නිකන්වත් කෝපි නොබොන මට ඔය ජරාව මොකටද කියල මන් ගියේ නැහැ . ඒ ගැන එහෙම්ම අමතක වුනා .

ඊයේ පෙරේදා '' අම්මට කියන්න එපා '' කියල ටිකක් අමුතු තැන්වලට යන නැෂනල් ජියෝග්‍රෆි නාලිකාවේ හාදයා බෝර්නියෝ පැත්තේ ගොහින් කල වැඩසටහනක් බලද්දී ආයෙම මේ ගැන කියවුනා . අපේ බනියටත් හරිම හිනා .


එවෙලෙමයි හිතුනේ මේ ගැන කියවල බලන්න . [මේ වගේ කියවල බාගෙට ලියල මග ඇරුන ලිපි කෑලි රාශියක් බ්ලොග් එකේ තියෙනව . මේක නම් ඉවරයක් කරනවා කියල හිතුනේ ටිජි අදත් මුණු පොතේ පණිවුඩයක් එව්වට පස්සේ.. මේ සතියත් කෙල්ලන්ට නිවාඩු . සම්පුර්ණ වගකීම බෑන් කි මුන්ගේ . මන් නම් අහිංසකයි ]


ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .


අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .
ඉස්සර ස්වභාවිකව කැලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් .

 පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි. මේගොල්ලන්ට ඕව එච්චර ජරාව නෙමේ .


වියට්නාමයේ කෝපි ජනප්‍රියයි බොහොම . දේශීය වගේම ජාත්‍යන්තර කෝපි කඩත් මෙහෙ තියෙනව . හැබැයි තවම මේ Civet Coffee එපමණ ප්‍රසිද්ධ නැහැ . මෙයාල කෝපි ජාතියක් තියෙනව තද කළු . හිමිට කෝප්පෙට පෙරෙන්න ඇරලා ගනකමට බොන . බොනවට වඩා කනවා තමයි ගැලපෙන්නේ .


මේ Civet Coffee තමයි ලෝකේ අඩුවෙන්ම නිෂ්පාදනය වෙන්නේ . ඒවගේම අස්ප ගණන් . බීපු උදවිය කියල තියෙන්නේ සතාගේ ආහාර මාර්ගයේදී යම් පමණකට පැසිමක් වෙන නිසා අමුතුම රසක් ඇතිලු.


ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .
අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .

ඉස්සර ස්වභාවිකව කාලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් . පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි.

කෝපි ගැන මගේ මතක නම් කෝපි තරම් තිත්ත නැහැ . උගුඩු කෝපි තරම් අප්පිරියාත් නැහැ

. ලිපියෙන් පොඩි වංගුවක් ගහල මේ ටික මෙතනම ලියල දාන්නේ ආයේ කවදා කෝපි ගැන ලියයිද නොදන්නා නිසා.
අපේ රත්නපුරේ මහගෙදර කෝපි වවා තිබුණා. අවුරුද්දට ගියහම ආපහු එද්දී ආච්චි ඔතල දෙන ගොරක , කාරබු නැටි , ගම්මිරිස් , කැවුම් අතර කෝපි ඇටත් තිබුන . අපි කඩෙන් කෝපි ගේන පුරුද්දක් තිබුනේ නැහැ . පුරුද්දකට කෝපි නොබොන අපේ ගෙදර මේ කෝපි ඇට කාලයක් තිබුන . කාට හරි බඩ රිදුනහම අම්ම කෝපි ඇට ටිකක් කබලේ රත්කරල වංගෙඩියේ කොටනවා . හරිම සුවඳයි . අලුතින්ම කොටපු කෝපි දෙහි දාල බොන්න දෙනවා . බොන්න අකමැති වුනත් සුවඳට නම් හරිම ආසයි .


ආයේ අපි උන්න ගෙවල් පැත්තෙත් හැම ඉඩමකම වගේ කෝපි ටිකක් තිබුණ. ඒ අය වුනත් තම තමාගේ පාවිච්චියට මිසක් විකුණන්න තරම් උනන්දුවක් ගත් බවක් මට මතක නැහැ . කෝපි මල් තියෙන කාලෙට හරිම සුවඳයි. ලස්සන දත් පෙළක් සුදු පාට කෝපි මල්වලට උපමා කරනවනේ . කෝපි මල් සුවඳක් දැනුණේ නැහැ කාලෙකින් . එහෙම බලද්දී කොයිතරම් දේවල් මට මග ඇරිලද.



picture from google images

ඉදිලා රතු පාට වෙච්ච කෝපි ගෙඩි සුප්පු කරන්න අපි ආසයි ඒ දවස්වල . සුද්දා වවපු කෝපි වගාවට සුදු පුස් බෝවුන කතාවයි , කෝපි මල් වල සුවඳයි . අම්ම හදන කළු කෝපි එකේ සුවඳයි , කෝපි මල් හිනාව ගැන යි වගේ පුංචි දේවල් ටිකක් විතරයි මන් කෝපි ගැන දැන හිටියේ .