අපේ ආච්චිලා සියල හතර දෙනාම සුරයෝ[ බුලත් කන්න] . දැන් ඒ හතර දෙනාම නැහැ. ඔයින් හොඳම සුරයෝ දෙන්න තාත්තගේ ''අපුච්චයි'' [අපි කිව්වේ ආතා] අම්මගේ ''තාත්තයි.'' [අපේ සිය ]. ආතා කොට බිත්තිය උඩ ඉඳගෙන පුංචි වක් පිහියෙන් පුවක් ගෙඩිය සුද්ධ කරලා විටක් එද ගන්න හැටි බලන්න අපුරුයි. ගත්ත අනික් අඩු වැඩිය ගැන එච්චර මතක නැහැ. මොකද අපි ආතව දකින්නේ අවුරුද්දකට වතාවක් නිසා. අනික අනිවාර්යයෙන්ම සොල්දරෙන් බාගත්තු පරණ රසවාහිනියක් ...ශ්‍රී සඟරාවක් බලන ගමන් යන්තමට අහුවෙච්ච දර්ශනනේ ඕව.
නිතර හම්බ වෙච්ච නිසාත් විට කෙටීමේ භාරදුර රාජකාරියත් කරපු නිසා සිය නම් බුලත් හපපු හැටි විතරක් නෙමේ ඒකේ රසත් දැනෙනවා වගේ තාම . බුලත් , පුවක් , හුණු පොඩ්ඩක්, සහ පුංචි දුන්කොල කෑල්ලක් චුටි වන්ගෙඩියකයි කෙටුවේ. ඕව දාන අනුපාතය වෙනස් වුනොත් රසේත් වෙනස් . දුන්කොල වැඩි වුනොත් හොඳටම මත්වෙනවා. අනික් ඒවා කෙසේ වෙතත් දුන්කොල කෑම පොඩි අයට තහනම් .ලිප්ස්ටික් හෙම දැකලවත් නැති කාලේ [ පුන්චිල ඒවා මහා අනර්ග වස්තු වගේ හන්ගගෙනනේ.] ඔයින් පොඩ්ඩක් කාල කට රතු කර ගන්න හරි ආසයි. සියලගේ ගෙදර බුලත් කොරටුවකුත් තිබුන.
සියල අච්චිලත් එක්කම බුලත් කොටුයි බුලත්කෑමේ පුරුදුයි අපේ ගෙවල් වලින් නැතිම වෙලා ගියා. දැන් සමාජයේ බුලත් විටක් කන්නේ එහෙමත් අයෙක්. රතු දෙතොල් එක්ක කහට බැඳිලා කැත දන්ත කල්‍යාණයක් ලැබෙන නිසා දැන් පංච කල්යානියෝ නම් කියක් දුන්නත් බුලත් හපන එකක් නැහැ . ඔය පාට කුරු තියෙන්නේ ඕනෑතරම්.
අනික බිත්ති පුරා හුණු පාරවල් ඇයි අතට අරන් වැඩි ටික අතුල්ලලා ...මිදුල පුරා රතු කෙල පාරවල් එක්ක ජීවත්වෙන්න දැන් කවුද කැමති. [අපේ ආච්චිලා සියල නම් ගේ දොර කිළුටු කරගෙන බුලත් කෑවේ නැති බව ආදරයෙන් සිහි කරනවා].
මෙච්චර වල වටාරම් කියන්න නෙමේ හිටියේ. පහල ළමයින්ගේ සෙල්ලම් කාමරේදී පුංචි පොතක් කියෙව්වා . ඒ කතාව දැක්ක ගමන් හිතුනා ඒ ගැන ලියන්න . ඒ බුලත් ගැන. ලංකාවේ හුඟ දෙනෙක් වගේම මමත්හිතන් හිටියේ බුලත් කන්නේ ලංකාවේ සහ දකුණු ආසියාවේ රටවල විතරයි කියලයි. ලංකාවේ විතරයි කියල හිතන අයත් ඇති ඕනෑතරම් .
ඒත් මෙහෙත් බුලත් කනවා. නිකන් නෙමේ පුවක් හුණු එක්කම අපි වගේම .යම් යම් සංස්කෘතික අංග වලින් ලෝකේ කොයිතරම් සමාන කම් තියෙනවද. සමහර දේවල් හරිම පුදුම හිතෙනවා .
ඒත් වැඩේ කියන්නේ මෙහාට බුලත් ආවේ නාග ලෝකෙන් නෙමේ . අන්න ඒ කතාව කියන්න තමයි මේ අර ඇද්දේ. ටිකක් දිග කතාවක් කෙටියෙන් කියන්නම්.
එකමත් එක කාලෙක ''කාවෝ '' පවුලේ නිවුන් පුත්තු දෙන්නෙක් හිටිය. අය්යා ''tan '' මල්ලි ''lang ''. දෙන්නම ගුරුතුමාගේ දුවට ආදරේ කරනවා. [සමකෝණී ආදරයක් ] . ඒත් කෙල්ල කැමති වුනේ අය්යට. දෙන්න විවාහ වෙලා සතුටින් හිටිය . මල්ලිත් හිටියේ මෙයාල එක්ක . හැබැයි විවාහෙන් පස්සේ අය්යා මල්ලි ගැන තිබ්බ අවධානය අඩු වුන එක ගැන මල්ලි ටිකක් දුකෙන් හිටියේ, ඊටත් වඩා මට හිතෙන්නේ තමන්ගේ පලවෙනි ආදරේ ඇහැට පෙනී පෙනී ගෙදරම ඉඳිද්දී ...දුක නැත්ද . ඔය අතරේ පොඩි හිත අමාරුවක් වෙලා මල්ලි ගෙදරින් යනවා. ආපහු ගෙදර යන්න හිතුවත් මග වැරදිලා ලොකු ගඟක් ළඟ නවතින්න වෙනවා.
උදේ වෙද්දී එයා පාෂාණයක් වෙලා.
මල්ලි ගිය එක ගැන දුක් වුන අය්යත් මල්ලි හොයන් ගිහින් අර ගල ළඟදීම මහන්සියට නවතිනවා. එයා ගහක් වෙනවා. දෙන්නම නැති දුකෙන් තරුණ බිරිඳ ඔහේ ඇවිදන් යද්දී අර ගහයි ගලයි දැකලා ගහ බදාගෙන වැලපෙනවා. ඊට පස්සේ වැලක් වෙනවා... දුකින් හැඬු හදවතේ හැඩයට කොලත් දරාගෙන . හිතා ගන්න පුළුවන්නේ ඒ තමා බුලත් . අය්යා පුවක්. මල්ලි හුණු .
මේ කතාව දැනගත්තු ගම්වැසියෝ ඇවිත් එතන පන්සලක් හැදු බවයි කියන්නේ.
ඔන්න ඕකයි කතා පොඩ්ඩ. ඔය ආදර කතාව නිසා අදත් මගුල් ගෙවල් වල දෙපැත්තේ කට්ටිය කතා කරන්න පටන් ගන්නේ බුලත් විටක් හපල තමයි . මගුලකදී අනිවාර්ය අන්ගයක්ලු. බුලත් කොලය හරි ගානට දෙකට බෙදන්න හැකි නිසා ඒ වගේම සමාන දෙන්නෙක්ලු නේ කසාද බදින්න ඕන. කොහෙන් හොයන්නද සමාන දෙන්නෙක් .
තව නව වසරට සහ තව පුද පුජා වලටත් බුලත් වලටත් වඩා පුවක් ගන්න බව පේනවා.
එදිනෙදා ජීවිතයේදී බුලත් කෑමට නම් ලංකාවේදී වෙච්ච සන්තැසියම තමයි. ගමක ආච්චියෙක් ඇරුනම මේ රූපේ රැක ගන්න ඕන දෙයක් කරන්න කැමති ලස්සන කෙල්ලෝ කයි බුලත් .
මෙතනින් පහලට තියෙන්නේ වැඩිදුර හොයපු කරුණු. කම්මැලි නම් නොකියවා ඉන්න.
දකුණු ආසියාවේදී ..චීනය ,තායිලන්තය , මියන්මාරය , ලාඕසය , කැම්බෝඩියාව.,පිල්පිනය..ඉන්දුනීසියාව. හා ඕෂනියා රටවලදී බුලත්සහ පුවක් වලට සංස්කෘතික අගයක් ලැබෙනවා.ඕෂනිය දන්නැත්නම් http://en.wikipedia.org/wiki/Oceania යන්න .
හුඟක් රටවල විවාහ සිරිතක් විදිහට මේක තවම වැදගත්ලු. මාල දිවයිනේ වැඩිය කන්නේ පුවක්. අමුවෙන්මත් රොස්ට් කරලා කරන්දමුන්ගු , සිනි හෙම තවරලා ටිකක් පිළිවෙලටත් එයාල පුවක් කනවා . එක'' ලු'' නැතිව කිව්වේ මමත් කාල තියෙන නිසා. රැකියාවට පුහුණු වෙන කාලේ අපි එක්ක හිටපු මාල දිවයින් සෙට් එක කොච්චරවත් මොනවද හපනවා. අපි හිතුවේ චුයින්ගම් හරි නැත්නම් උම්බලකඩ කියල. අපි වගේ ප්‍රේතයෝ එක්ක උම්බලකඩ කැල්ලක් වත් හොරෙන් කන්නය. අපිටත් දුන්න . බැලින්නම් පුවක්නේ . හැබැයි අමුතුම රසක් .
බාලි දුපතේ ගිරයක්.
නිකන් දැකල පුරුදුයි වගේ නේ
චීනයේ සමහර පැතිවලත් [විශේසයෙන් දකුණු චීනයේ] තායිවානයේත් සැලකිය යුතු බුලත් කෑමක් තාමත් වෙනවලු.
ඉන්දියා පකිස්තාන් හෙමත් එහෙමයි. තායිලන්තේ දැන් අඩුයි.
බුලත් පුවක් එහි ඇති අවුෂධිය [ලියන්න දන්නේ නැහැ.] ගුණයටත් ප්‍රසිද්දයි. බුලත් දත් දිරා යාම වලකනවලු, පුවක් පණු අමාරුවට හොදළු. ඒත් පිළිකා අවදානම මගින් ඒ හොඳ ගුණ නැතිවෙනවා. කටේ ,හා අහාර මාර්ගයේ අනික් කොටස් වල විතරක් නෙමේ prostrate , cervical වගේ පිළිකා තත්ත්ව වලට පාර කපනවලු දිගු කාලින බුලත් හැපිල්ල. අනේ මන්ද බටහිර කල පර්යේෂනනේ. අපේ රටවල මේ වගේ දේවල් ගැන එච්චර පරීක්ෂණ කරලා තියෙනවද දන්නේ නැහැ. මොකටද ඉතින් අත්‍යවශ්‍ය දේකුත් නෙමේනේ. නොකා හිටියම හරි.
ඔය ටික කිව්වේ වැඩිදුර කියවන්න වෙලාව නැති අයට,. ආස නම් සහ වෙලාවත් ඇතිනම් මෙන්න පාර .විකි මහතාගේ ගෙදරින් තමයි විශ්වාසෙට යමක් ණයට ගන්න හැකි.
http://en.wikipedia.org/wiki/Areca_nut
බුලත් කොළ වල පුවක් ගෙඩි වල පින්තුර දැම්මේ නම් නැහැ. දැකපු නැති කෙනෙක් නැතුව ඇතිනේ.
ඕව ඔක්කොටම වඩා බුලත් හැපීමෙන් මුඛ පිලිකා හැදීමේ අවදානම ගැන දැනුවත් වීම නිසා මේ පුරුද්ද නැතිවේගෙන යන්නේ. මුඛ පිලිකා සැදීමට ප්‍රධාන චුදිතය දුන්කොල හා හුණු කියල මම හිතන් හිටියට ''විකි'' මහත්තය කියන්නේ පුවක් තමයි නරකම අනික් දෙන්න කරන්නේ අත් උදව් දෙන එකයි කියලයි.
හුඟක් රසවත් විදිහට ලියවුණු ලිපියක්. ඒ වගේම සෑහෙන්න මහන්සි වෙලා කරුණු සොයලා ලියවුණු ලිපියක්.
ReplyDeleteඅර පුංචි කතාවත් අපේ ජනකතාවලට හුඟක් සමීපයි වගේ. බොහෝ කලකට ඉහතදි මේ සභ්‍යත්වයන් සියල්ල අතර සම්බන්ධතා පවතින්නට ඇති.
අපේ අප්පච්චිත් ඉස්සර බුලත් කෑවා. හැබැයි එක දවසක දත් සුද්ද කරවගෙන ඇවිත් බුලත් කෑම එහෙම්මම නැවැත්තුවා.
අනේ මට මේ දැන් බුලත් විටක් කන්න ඕනේ.. කාපු කාලයක් මතක නෑ.. :(
ReplyDeleteඉඳලා හිටලා බුලත් විටක් කෑවට වැරැද්දක් නැහැ .........
ReplyDeleteඅපේ අය ඔයිට වඩා නරක දේවල් පාවිච්චි කරන්නෙ ......
ඕකත් අපේ සංස්කෘත්යේ එක අංගයක් මම හිතන විදියට ......
හොඳ ලිපියක් ........
බැලුවාම බින්දිත් ගමේ හැදිච්ච කෙල්ලෙක් .........
ගොඩක් ස්තුතියි චන්දිමා. මහන්සියි කියන්නේ ලියන්න ගියහම වෙලාව යන එක නොදැනී නින්ද අඩුවෙන එක තමයි. නැත්නම් හරිම ආසයි මේ වැඩේට. ඔයාගේ සයිට් එක කියවන්න ඕන . තාම හරියට එන්න බැරි වුනා. ඔයා නම් පහුගිය කාලේ ඇඟේ හැපිලත් ඇති සමහර විට. නමත් හරි හුරුයි වගේ.
ReplyDeleteඅනේ බුරතිනෝ. ඔයාට තියෙන්නෙත් සියෙක්ගේ නමක්නේ. ආදරයෙන් පිලිගන්නවා. අයි ඔය ''බාබුල්''ද මොනවද මත් වෙන බුලත් ජාතියක් තිබන නේද ඉස්කෝල ගාව හෙම . ඉන්නේ යුරෝපේ හරි ඇමරිකාවේ හරි නම් ඔය ඉන්දියන් pakistan කඩ වල ඇති බුලත්.
ReplyDeleteස්තුතියි කල්හාර ...නැහැ මම ගමේම කියන්නත් බැහැ. කොළඹට හැතැප්ම අටයි. එත් මගේ තාත්තගේ ගම රත්නපුරේ. එහෙ යන එක තමයි පුංචිකාලේ තිබ්බ ලොකුම සතුට.අම්ම කොළඹට ටිකක් ළඟ වුනත් මේ ලඟක් වෙනකම් ගමේ ලස්සන ඉතුරු වෙලා තිබුනා. තාමත් නව නුවර පාර දිගේ යනකොට බියගම පැත්ත පහු කලහම ටිකක් ගම බලන්න පුළුවන්. හසිත මලයලගේ ගෙවල් දිහා යන්න ලැබුනොත් ඔයාට පෙනෙයි. කොළඹ හිටියට ගමටම ආදරේ කල කෙනෙක් නම් තමයි මම .
ReplyDeleteවැහ් කවුද බොලේ බාබුල් කන්නෙ.. ඒ අර බජාර් එකේ පොරවල් නිකං මත් වෙන්ට කන ජාතිනෙ.. මං කිවුවෙ එහෙම නෙමේ, හොදට බඩ පැලෙන්න බත් කාලා ඉවරවෙලා කෑම ටික දිරවගන්ට කියලා ඔය බුලත් විටක් හපන එක ගැනයි.. වෙලාවක කාලා බලන්ටකො බුලත් පුවක් හුණු යහමින් දාලා, ඕනෙමනං දුංකොල පොඩිත්තකුත් දාලා, තව ඔය කරාබුනැට්ටක් එනසල් ඇට 2-3ක් එහෙම දාලා කොහොමද දැනෙන සනීපෙ කියලා..
ReplyDeleteපලි: ඉන්නෙනං ඒරොප්පෙ තමා.. ඒ වුනාට මේ ඉන්දියන් කාරයින්ගෙ තියෙන බුලත් විට මට හරියන්නෙ නෑ මෙයා.. අර අපේ ගතිය දැනෙන්නෙ නෑ..
පපලි: බුරතීනො කියන්නෙ සීයෙක්ගෙ නමක්දෑ.. ඔය අපේ සිරිබිරිස් කොලුවනං මට කියන්නෙ බුරම්පියා කියලයි.. ඔයාට ඕනෙනං බුරම්පි සීයා කියන්ටකො එහ්හෙනං.. ලොහ් ලොහ්..
හරි ලස්සන කතා පොඩ්ඩ . ඉන්දියා , නේපාල , බංග්ලාදේශ් වලදි කෑම කාල අහවර වුණහම බුලත් විඩ පිළිගන්නන අවස්ථා තියෙනවා . පාන් කියල තමයි මේ විටට කියන්නේ . පැණි රසයි සැර රසයි එන විදියට ලස්සනට විට අහුරලා තියෙනවා . දිල්ලියේ පොඩි පෙට්ටි කඩ තියෙනවා පාන් ,සිගරට් සහ සරුවත් විකුනන.
ReplyDeleteමගේ රියදුරු මහත්තයෙක් හිටියා තිස්ස කියලා තරමක් වයසක ඒත් ඩ්‍රයිවින් බොහොම ඉහලයි . වාහන එලවන අතරත් නොකඩවා බුලත් හපන පුරුද්ද එයාට තිබුණා. ඉතින් ගමන පටන්ගන්න කලින් විටක් ඒදගන්න බැරිවුණොත් තිස්සට හිතට හරි මදි . ඒ නිසා අපි විහිලු කරන්නේ වාහනේ ඩීසල් තිබුණත් ගමන යන්න නම් තිස්සගෙ බුලත් හපේ ඕනෙ කියලා .
පහුගිය දොහේ බින්තැන්නේ ගියවෙලාවේ උණු එලකිරි , තේ ,හකුරු , වඩේ එහෙම තියෙන කඩ පොඩ්ඩක නැවැත්තුවා . තේ බීල අහවර වුණ කාටත් නොමිලෙම බුලත් විටක් ඒදගෙන යන්න උවමනා කලමනා ඔක්කොම එක්ක නිතරම ඉලත්තට්ටුව පුරවලා තියෙනවා කියලයි කඩේ අක්ක කිව්වේ .
ඒක ඒ පැත්තේ ගම් වල සිරිතක්ලු
බුරතිනෝ කියල රුසියන් කතාවක උන්න නේද කවුරු හරි . බුරම්පිත් නරක නැහැ. වඳ වෙලා යන නම්නෙ. සුද්දන්ගේ වගේ අපේ නමුත් අප්ඩේට් නොවී තිබ්බ නම් ළමයෙක්ට දාන්න තිබ්බ . පැරිස් වල චැපල් හන්දියේ සිංහල කඩවල තියෙනවා ලංකාවේ ඕන දෙයක් . අම්ම තාත්ත ඇර. ඔයා ඉන්න රටේ ඒ වගේ සිංහල කඩ නැත්ද . තියෙනවා නම් එයාලට හොඳ බිස්නස් එක බුලත්. තව බුරම්පිල සියදොරිසලා හෙම නැතැයි.
ReplyDeleteTG ...ඇත්ත තමයි. විකියේත් පාන් ගැන කියල තිබ්බ . කාලයට නොගලපුනා වුනත් ගැමි ජිවිතයේ සුන්දර ලකුණක් බුලත් කෑම. කල්හාර කිව්වා වගේ ඉඳ හිට කෑවට වහ වෙන්නේ නැහැ . කොයි වෙලෙත් හැපේ කටේ තියන් ඉන්න ගියොත් තමයි ලෙඩේ. අපේ සියල ආච්චිලා ඔය අපුරුවට අවුරුදු 70- 80 හිටියේ. කොළඹ පැත්තේ වුනත් ගෙදරක තියෙන මගුලක් මරණයක් වෙලාවට තවම බුලත් හෙප්පුවක් තියෙනවා. අයි අර ඉස්සර වෙලාම මනමාලය ඉස්සරහට ලජ්ජාවෙන් ඇඹරි ඇඹරි බුලත් හෙප්පුව නේද අරන් යන්නේ. අපේ ගෙදර බුලත් හෙප්පුවක් නොතිබුණු හින්ද අපි අම්මලට ඔය වගේ පොඩි පොඩි දේවල් වලට කරදර කලේ නෑ. ඕන වෙයි හිතනවා නම් ආයි බින්තැන්නේ ගිය වෙලාවක ඉල්ලන් එන්න.
ReplyDeleteපිස්සුද බින්දි දැන් ඔය බුලත් හෙප්පු අල්ලගෙන ඇඹරෙන්නේ නෑ. කැන්ඩල් ලයිට් ඩිනර් , කොෆී ඉවිනින්ග් වලදි තමයි කැමැත්ත අකමැත්ත අහන්නේ . ගොඩක් කැමතිනම් ඉතින් ජුනි මාසේ දිහාට දිල්ලිය පැත්තේ අත් අල්ලන් ඇවිදින්න යන්න ඉන්නේ පාන් විටක් කාල සරුවත් එහෙම බීල, දුමකුත් උරල . හා හා හි හී
ReplyDeleteවිහිලුවක් හොඳේ
බුරතීනෝ කියන්නෙ ලී බෝනික්කගෙ නම. මම හරි ආස කතා පොතක්.
ReplyDeleteඅර පාන් කාලා සරුවත් බීලා දුමක් අදින්න යන්න හිතයි මටත්...
@නලිනි
ReplyDeleteMost Welcome
ඔය කවුරු වුනත් කොලඹ ගැවසෙනවනම් කියන්න කැන්ඩල් ලයිට් නැත්තත් ඩිනර් එකකට යන්න පුලුවන් .නලිනි
ඔය කවුරු වුනත් කොලඹ ගැවසෙනවනම් කියන්න කැන්ඩල් ලයිට් නැත්තත් ඩිනර් එකකට යන්න පුලුවන්.හොඳ යාලුවො වෙනුවෙන් මම සෑහෙන්න වෙලාවක් ආයෝජනය කරනවා
@නලිනි,
ReplyDeleteතෑන්ක්ස් මෙයා.. මම මෙච්චර කාලයක් සිංහල බ්ලොග් අවකාශෙ ඉන්නවා, බුරතීනො කියන නම ඇහුව ගමන් "ආ, මේ අර අරයගෙ නමනෙ" කියලා අදුරගත්තෙ ඔයා විතරයි.. අනිත් අයට හැමදාම නමේ විස්තරේ කියල දෙන්න වුනා මට.. :)
@බින්දි,
බුරතීනො කියන්නෙ පිනෝකියෝගෙ රුසියානු වර්ෂන් එක, නිකොලායි ටෝල්ස්ටෝයි ලිවුවෙ.. අර කරබස් බරබස් එහෙම ඉන්නෙ..
කාඕ ටෑන්ග්,ලෑන්ග් කතාව අපි ඉස්කෝලෙ යනකොට දහය වසර හරි එකොළහ වසර හරි ඉංග්‍රීසි පොතේ තිබුනා වගේ මතකයි.(2002-03)
ReplyDeleteඔය බුලත් හදන විදිහෙ සහ හපන විදිහෙත් එක්තරා කලාවක් තියනවා.පලපුරුදු නැති අය බුලත් කෑවට රතුපාට එහෙම හරි ගාණට එන්නේ නෑ.මම බුලත් කන්න පුරුදු වුනේ අපේ පන්සලේ වැඩවාසය කරන පොඩි හාමුදුරුවන්ගෙන්.උන් වහන්සේ නම් බුලත් විට හපන්න රැසියා.දවසකට විට විස්සක් ,තිහක් වත් කනවා.අද (ඉරිදා) ගෙදර ඉන්න එකේ දැනුත් ලැහැස්ති වෙන්නේ ගම වටේ පොඩි රවුමක් දාල
එන ගමන් පන්සල පැත්තෙත් ගොඩවෙලා බුලත් විටක් එහෙමත් කාල එන්න.(අපේ ගෙදර කට්ටිය බුලත් පාවිචිචියක් නෑනේ)
මට ඔබේ ලිපිය බලන කොට මගේ සීයත් ජීවත්ව සිටි අවධියේ බුලත් කෑ ආකාරය මතක් වුනා. සීයත් දීර්ඝ කාලයක් හුණු,දුම්කොල හා පුවක් සමග බුලත් කෑවාට වාසනාවට එයින් කිසිදු අසනීපයක් හැදුනේ නැහැ. මම අහල තියෙන විදියට ආසියාවේ තවත් වැඩියෙන්ම බුලත් කන මිනිසුන් ඉන්න රටක් තමයි පාකිස්ථානය. හොද ලිපියක්.වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන දෙයක් තමයි ඔබ අපිට පෙන්වලා දුන්නේ...
ReplyDeleteවිටක් කැවුනොත් ඉතිං කැවෙන්නෙ මළ ගෙදරක ගියොත් තමයි. වියට්නාමෙ ඉඳන් කොහෙ මළ ගෙවල් වල යන්නද?
ReplyDeleteඅපේ ගෙදර පිලෙත් ඉලත්තට්ටුව හැමදාම පිරිලයි තියෙන්නේ .. මගේ අම්මයි නංගියි ඇරෙන්න අනිත් හැමෝම බුලත් විට කාපර්ලා . අපේ ගෙදරට එන කවුරු උනත් විටක් කාලා තමයි යන්නේ ..
ReplyDeleteවියට්නාම් වලත් විට කනවා කියලා මම දන්නේ දැන් .
@නලිනි .සහ බුරතිනෝ .ඔන්න දැන් මතකයි. කෝ ඔය පොත් ළඟක තියනවය . කියවල මතකය අලුත් කරන්න. සතුටුයි මම වගේ රුසියන් පොත් පිස්සෝ දෙන්නෙක් හමු වෙච්ච එකට. අපේ ළමයි සිංහල වර්ෂන් වලට අකමැතියි. ඒවා රස විඳින්න හොඳ සිංහල දැනුමක් ඕන . රුසියන් පොත් ඉංග්‍රීසියෙන් ...චික් කිසිම රසක් නැහැ. රුසියන් පොත් ගැන ලිපියක් ලියන්න ඕන. හොඳ කරුණු එලියට එයි කමෙන්ට් විදියට. ලිපි වලට වඩා පස්සෙන් එන කමෙන්ට් වලට මම ආසයි.
ReplyDeleteඅපිට candle night ...කෝපි හැන්දෑවල් වලට යන්න බැරි වුනා මෙයා. අඩු ගානේ 6 ට කලින් වත් පුස් පැටව් වගේ ගෙවල් වලට යන්න එපාය. දිල්ලියේම රොමැන්ටික් ඉන්දියන් වෙඩිමක් ගන්නද කල්පනාව.
ReplyDelete@අළුත් කොල්ලා
ReplyDeleteඇයි අර අවුරුදු උත්සවේ වගේ ''බුලත් '' හැන්දෑවක් ලැස්ති කරයි කට්ටියට කිව්වා නම්. ..බා චියු මාකට් එක ගාව තියෙනව බුලත් පුවක් විකුනන්න.
ස්තුතියි දිනේෂ්. ඉන්දියාවේත් උඩහට වෙන්න තමයි මගේ හිතේ බුලත් කෑම වැඩි.
ReplyDelete@ තීර්ථ යාත්‍රිකයා.
ReplyDeleteඔයාට හොඳ මතකයක් තියෙනවනේ. හාමුදුරුවෝ නම් බුලත් කනවා තමයි හරියට. මට මැවිලා පේනවා ආවාස ගෙයි හාන්සි පුටුවකට වෙලා විටක් කන හාමුදුරුවෝයි පඩිය උඩ ඉඳන් බුලත් කන ඔයයි.
@බින්දි,
ReplyDeleteමතකද ඒකාලෙ (ඒ කියන්නෙ අසූ ගනන්වල) දැදිගම වි. රුද්රිගු පරිවර්තනය කරලා රාදුගා ප්‍රකාශකයො එලිදක්වපු රුසියන් පොත් සෙට් එක.. අන්න එතන තමා මගේ හා රුසියානු සාහිත්‍යයේ ආදරේ පටංගත්තෙ.. පුෂ්කින්, තුර්ගනීයෙව්, ලෙර්මන්තෙව්, ගොගොල්, තෝල්ස්තෝයි, මගෙ අම්මේ ඒ වගේ රසවත් සාහිත්‍යයක්.. ඒ පොත් තාම ගෙදර ඇති, ඒත් ඉතිං කියවන්න ලංකාවටම යන්ට එපායැ.. :(
පලි: සෝවියට් සාහිත්‍යයට වඩා විප්ලවයට පෙර රුසියානු සාහිත්‍යයට මං ආසයි.. සෝවියට් සාහිත්‍යයේ ඇති ප්‍රචාරක බව මට දිරවන්නෙ නෑ.. සෝවියට් සාහිත්‍යකාරයින්ගෙන් මං කැමැති අයිත්මාතව්ට විතරයි.. ගෝර්කි වුනත් එච්චර අල්ලන්නෙ නෑ..
පපලි: ඔයා අර කිවුව පොස්ට් එක දාන්ටකො.. මේ පැත්තෙන් කමෙන්ට්ස් ටික එයි.. :)
@
ReplyDeleteසඳරු...සඳරු ගේ ගමට එන්න ආසාව වැඩි වෙනවා. ස්තුතියි මල්ලි . ඔයාට ඔය අවංක අදහස් පහල වෙන්නේ ඔය ගම නිසානේ.
@ Bura ...so interesting . Ill come back in the evening
ReplyDelete@Bura
ReplyDeleteබූරගෙ කතාවට මාත් එකඟයි . චින්ග්ගිස් අයිත්මතොව් තමයි මගෙත් ප්‍රියතම රුසියන් ලෙඛකයා . ඒත් එයාව මට මුණ ගැහුනේ ප්‍රකට රුසියක් ලෙඛකයො කීපදෙනෙක් කියෙව්වට පස්සේ .දුයිෂෙන් , ජමිලා , දනිකේ , මිර්ගසල් මගේ හිතේ තාමත් ඉන්නවා .
බින්දි නරකද බූර කිව්ව වගේ රුසියන් පොත් ගැන ලිව්වොත් . ඉස්සෙල්ල ලමා පොත් වලින් පටන්ගන්න .රුසියන් ලමා පොත් වල පින්තූර වලට මම හරි ආසයි.
ප/ලි
හපොයි මේ බූර . මදැයි මම එකත්පස්වෙලා බිසී වෙලා වැඩකොරන්න පටන්ගත්තා විතරයි රුසියන් පොත් මතක්කොලා. දැන් ඉතින් ඔයින් එකක පිටුවක් හරි බලනකන් පපුවෙ ගින්දර .ඔහොම රස දේවල් මතක් කරන්න එපා බූරෝ වැඩ තියෙනවා කරන්න .
ඇත්ත තමයි . මමත් මේ ඉවිල්ල පැත්තකට දාල ඉඳගෙන පොඩ්ඩක් කුරු ගාල බැලුව . අද රෑට හරි හෙට හරි ලියනවමයි. ඒ අස්සේ ඊයේ එක්කෙනෙක් කු චි ගිහින් ඇවිත් මගේ ඔලුව පිරෙව්වා , ඒවා එලියට දාන්නත් ඕන.
ReplyDeleteඖෂධීය - ලියන්නේ අන්න එහෙමයි හොදේ.
ReplyDeleteඅමතක වුණා.මාලදිවයිනේ අය පුවක් වගේම හැමතිස්සේම හපහප ඉන්නව "සුපාරි" Supari කියල ඉන්දියානු විටක්.පොඩි හතරැස් පොලිතීන් පැකට්ටුවක දාල විකුණන්න තියෙනවා.
ReplyDelete@බින්දි,
ReplyDeleteඕන්න TG ත් විවරණ දීලා තියෙනවා.. එහෙනං ඉතිං ළමා කතාවලින්ම පට්ටාං ගන්ටකො.. මතක ඇතුව ලියන්ට බුරතීනො, වසීලිස්සා, ලොකු නුවණක්කාර පුංචි ඉවාන්, වැඩ බැරි දාස, හත් පෙති මල වගේ ඒව ගැන.. :)
තව පොතක් තිබ්බා නම මතක නෑ, මං පුංචි කාලෙ ආසම ඒකට.. කාටුන් වලට කවි දාලා තිබ්බෙ, මෙන්න මතක ඒවයින් කීපයක්..
උණුසුම ඇති සැප පුටුවේ- දඩෝරියා නිදි කිරුවේ
මැස්සෙක් හිද නාද කලා- දඩෝරියා අවදි කලා
මැස්සගෙ අමිහිරි නාදේ- නිසා බලනු සිදුවූ දේ
පුටුවෙන් දුනු මතු වුනා- දඩෝරියා විසිවුනා
වෘකය හරි කෑදරයි- හා මසටම කෙල හලයි
උගෙ ඔය කෑදර පුරුද්ද- නැති කරලමු නොකර සද්ද
ඌ උගුලේ අහුවුනා- නගුට ගසට හිරවුනා
බේරී ආ මී පැටියා- බෝතල පතුලේ සිටියා
තරහෙන් පුරු පුරු ගෑවා- කෑම වේල වැරදුනා
මීයෝ ඌ වෙතට දුවති- ගලවගන්න මාන බලති
මීයා ගොසින් සැගවුනා- බළල නොදැන රැවටුනා
හික් හික් හික්, තාම මතකය හොදයි නේ..
@TG,
ඔයා මේ විහිළු කරනවා.. ඔයා ගෙදර ඉන්න නිසා පොතක පිටුවක් හරි බලන්ට පුළුවන්.. මට ඔය පොත් ඇහැට දකින්නත් ලංකාවටම එන්ට එපායැ..
ඇයි ගුල්සාරි අමතකද..??
@ජයශ්‍රී ...ස්තුතියි හොඳේ ..පෑනෙන් ලියන්න දන්නවා . මේකේ කොටන්නනේ බැරි . මම දනන් හිටියේ නැහැ සුපාරි ගැන . ඔන්න බලන්න පොඩ්ඩක් මුල අල්ලලා දුන්නම කොච්චර නොදන්නා දේ එලියට එනවද.
ReplyDelete@බුරතිනෝ...
ආ ඒ ''අපුරු කතන්දර.'' මන් ගාව මේ අත ලඟම තියෙනවා. අවුරුදු දෙක තුනකට පෙර පුස්තකාලේ සේල් එකකින් ගත්තේ. දෙමල පොත . යාළුවෙක්ගෙන් සිංහල ෆොටෝකොපි වර්ෂන් එක ගෙනත් සේරම පිටු අතින් ලිව්වා. ලංකාවෙන් එද්දී ගෙනා පොත් වලින් එකක්. තාමත් පොඩ්ඩන්ට කියවනවා.
''කුඩා බෝලෙ පෙරලුනා ...
තව දිගටම පෙරලුනා...
පුස මගදී රැවටුනා...''
මට ඊයෙ එන්ඩ බැරි වූණානෙ මෙතනට.
ReplyDelete@ TG: මමනම් ඉන්නෙ කොළඹමයි. ගහමුද රස්තියාදුවක්? හැබැයි මම වැඩිපුර ආස ඇවිදින්න යන්නයි. කන්ඩ නෙවේ.
බුරතීනෝ: ඔයාවනම් මම දැක්ක දවසෙම අඳුනගත්තා. :P
විප්ලවයට පෙර රුසියානු සාහිත්‍යයෙ අමුතුම ගතියක් තියෙනවා තමා. පුෂ්කින්ගෙ කතාවල තියෙන සුන්දරත්වය විප්ලවය ඇඩ්වටයිස් කරන කතාවල නැහැ. ඒවගෙ තියෙන්නෙ වෙනස් විදිහෙ ලක්ෂණ. නමුත් අයිත්මාතොව්ගෙ කතා ඒ අතර විශිෂ්ටයි. කෙටිකතා පොත්වල තිබුණු එක් එක් කතාවක නම් මතක නැහැ මට දැන්. මිනිසකුගේ ඉරණම, රතු රුවල්, සමුගනිමු ගුල්සාරි, ජමිලා, අසේල්, ගුරුගීතය වගේ ඒවා කෙළින්ම හදවතට ආමන්ත්‍රණය කරනවා.
තව එකක් තමයි පොඩි කාලෙ කියවනකොට ආ හැඟීම නෙවෙයි දැන් එන්නෙ. විශේෂයෙන් විප්ලවීය කතා කියවනකොට ඒ කාලෙ දැනුණු විදිහ නොවෙයි, ඒ ක්‍රමයෙ අඩුපාඩුත් ඒ අස්සෙම සාකච්ඡා වෙලා කියලා හිතෙනවා ඒ පොත් ආපසු කියවනකොට.
දැන් මෙතන මේවා කතා කරන්න ඕන නෑනෙ. වෙනම දානවනෙ, නේද?
බුලත් හෙප්පුව කියන්නේ ඉස්සර ගෙදර ඉස්තෝප්පුවේ අනිවාර්ය අංගයක් නේ. කවුරු හරි ආවම ඉස්සෙල්ලම අහන්නේ විටක් කමුද කියලා. මන් නම් තාම ඉඳලා හිටලා විට කනවා. සාර විට කාරයෙක් එහෙම දැක්කම අනිවර්යයෙන් අරන් කනවා සාර විටක් නම්. අපේ පවුලේ සීයලා ආච්චිලා බාප්පලා මහප්පලා සේරම විට කැවා කාටවත් මැරෙනකන් පිලිකා නම් හැදුනේ නැහැ. දැන් ටවුන් වල නම් විට කන්න බැහැ කෙල ගැහුවොත් 5000ක් දඩ ගහනවලු.
ReplyDelete@ ම ..
ReplyDeleteඕකත් අර පොල්තෙල් වල කොලෙස්ටරෝල් වගේ මිත්‍යාවක්ද දැන් නැහැ. ඕකටත් රිසර්ච් කරන්න ඇත්තේ බුලත් කාපු අපි නෙමේ ඇහැට දැකල නැති සුද්ද වෙන්න ඇති.
බුලත් ගැන මේ විස්තරේට පොඩි ඌන පූරණයක් කරන්න හිතුන. ඒ තමය් ලංකාවෙන් බුලත් අපනයනය කරන බව.
ReplyDeleteසැහෙන බුලත් ප්‍රමාණයක් පකිස්තානෙට යවන බව මම අහල තියෙනවා.
තව එකක් තමය් බුලත් කනකොට කොලේ මුදුනේ නැට්ට ගාව කැල්ලය් පහල තුඩු කැල්ලය් කඩලදාළ කන සිරිත මන්හිතන්නේ තියෙන්නේ ලංකාවේ විතරය්.
@ මුලින්ම පොත් ගුල්ලියක වන මා විසින් ''පොත් ගුල්ලෙක් '' වන ඔබව සාදරෙන් පිලිගන්නවා.
ReplyDeleteඅහන්නත් ආසයි අපි යමක් අපනයනය කරන බව. සුළු අපනයන බෝග යටතේ වෙන්න ඇති. කෑගල්ල, රත්නපුර පැත්තේ ගම්මිරිස් හෙම වගා කරලා තියනවා දැක්කට බුලත් වැඩිපුර වවන්නේ මොන පළාත් වලද කියල දන්නේ නැහැ,.
දෙකොන කඩන සිරිත ආවේ නාගයා දිවය ලෝකේ ඉඳන් ගේද්දී කටින් ගෙන ආපු හින්දලු නේද. දෙකෙළවරින් නවල කටේ තියන් ලුනේ ආවේ . සමහර විට දෙකලවර කඩන එකට විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් ඇති. කවුරුවත් ඕවට රිසර්ච් කරන්නේ නැහැනේ.
ස්තුතියි අලුත් දෙයක් එකතු කලාට.
හ්ම්.. \\ඒත් වැඩේ කියන්නේ මෙහාට බුලත් ආවේ නාග ලෝකෙන් නෙමේ//
ReplyDeleteඕකම තමයි වැඩේ කියන්නේ... එහෙම එක පාටම අපිට අපේ සිංහල සංස්කෘතියත් එක්ක බැදුනු කතාව අහක දාන්ට බෑ නේද?
අහක දාන්න බැහැ. සමහර දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්න හැකි. මිනිස්සු තුන් දෙනෙක් බුලත් පුවක් හුණු වුනාට වඩා ගත යුත්තක් නාග කතාවේ තියෙනවා . මට හිතෙන්නේ අතුරු ආබාධ ඇති කරන සංයෝගය සංකේතාත්මකව පෙන්වනවදෝ කියල . මේ වියට්නාම කතාව සහ අනිකුත් රටවල් ගැන ලිව්වේ සංස්කෘතීන්ගේ ඇති සමාන ලක්ෂණ ගැන හිතලා . කතන්දර කෙසේ වෙතත් මේ බුලත් කෑමම ගත්තොත් මුළු ආසියාව පුරාම විහිදිලා . අනික මගුල් අවමගුල් වලදී අවශ්‍ය අන්ගයකුත් වෙලා .
ReplyDelete