Wednesday, 25 July 2012

මිනිසෙක් වූ බල්ලෙක් - අංක 2 ...සුරතලේට අලියෙක්








කොටස් වශයෙන් ලිවිම මහා කම්මැලි වැඩකි . මුලින් ලියද්දි එන ''ගැම්ම'' නැති වීම වගේම ''ලියල ඉවරයක් කරන්න ඕන යන'' කරදරකාර සිතුවිල්ලද නිසාවෙනි . බ්‍රවුන් බුලා සහ ටාසන් ට අමතරව විටින් විට විවිධාකාර බල්ලන් සිටි අතර පුසෙක් අනිවාර්යයෙන් ඇති කල බව මතකය .

ඊට අමතරව කොල්ලන් දෙන්නෙක් ගෙදර සිටි නිසා විටින් විට ලේන පැටවුන් , හාපැටවුන් ඇති කරන්නට කල උත්සාහයන්ද අඩුවක් නොවිණි. ඒ එක සතෙක්වත් දිග කාලයක් තබා ගන්නට බැරි විය . එක්කෝ පැන යයි . නැත්නම් පූසන් ගෙන් බේරන්නට බැරි නිසා අත අරියි .

මා කුඩාම කාලයේ , පාසල් යාමටත් පෙර කාලයේ අපේ ගෙවතු අල බතල සිටවනු ලැබූ සමයයි . එපමණක් නොව කහ , ඉඟුරු ආදිය විකුණන්නට තරම් පලදාව ලැබුනාද මතකයි. ඒ 70 දශකයයි . ඇතැමුන්ට මේ සමය හොඳින් මතකය .මේ ගැන විවිධ මත පලවෙයි. ඒ ගැන විචාරයක් කිරීමට තරම් ලොකු ළමයෙකු වී සිටියේ නැත . කවදත් අල්පේච්ච ගති පැවතුම් තිබු ලෝකය ඉහට කඩන් වැටුනත් ගණන් නොගත් අපේ තාත්තා සහ අපේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැඳවු ඒ සඳහා අපමණ කැපවීම් කල අම්මාත් අපි හතර දෙනාත් ඒ යුගය ගතකල ආකාරය ගැන මට ඒහැටි මතකයක් නැත .

ඇත්තේ කොයි ලමයාටත් ඇති සාමාන්‍ය මතක පමණි . එහෙත් ඒ දශකයේ අවසාන භාගයේ විසල් වෙනසකට හසු වූ ලාංකීය සමාජයේ පරිවර්තනය ගැන මට හොඳින් මතකය . දවසක ඒ ගැන කතා කරමු .

කියන්නට ගියේ බතල පාත්ති ගැනය . ළමා අප බතල පාත්ති වල සේවුයේ කුමක්ද ...මතක් කල විටත් සිනා නැගේ . ඔට්ටුයි කියන්නට බැරුවාට . අප සෙවුයේ හා බෙටිය . කුඩා රවුම් හා බෙටි කීපයක් එක තැන දැමීම හාවුන් ගේ ගතියයි. රවුම් හැඩති කිසිම ගඳක් නැති හා බෙටි ළමා අප තුල රුචිකත්වයක් ඇති කල හැටි අපුරුය .

හා බෙටි දුටුවිට අප වඩා ආසා පෙරදා රැයේ හාවුන් ආබවට එය වටිනා සාක්කියක් නිසාය . මෙතනදී ඔබට ගැහැණු ළමයි මතක් නොවේද . ලොකය්යා හෙවත් නිමල් කුසුම් කුඩා කල ලොසින්ජර යයි රවටා හා බෙටි කටට දැමු හැටි ...

වරක් අක්කටත් මටත් අතරමන් වූ හාපැටියෙක් අල්ල ගැනීමට හැකි විය . පිළිකන්නේ මුල්ලක දැලක් අටවා තාවකාලික කුඩුවක් තනා උඳුපියලිය කන්නට දමා ඇති කරන්නට ගත් අළු පාට හාපැටියා... අනේ ගෙදර උන් තක්කඩි පුසා ඒ අසරණ සතාව සුරා තිබිණි. අක්කත් මමත් ඌ වඩා ගෙන අහල පහල ගෙවල් වලින් බෙහෙත් සෙව්වා මතකය . මල දරුවා කරගසාගෙන ගිය කිසාගෝතමිය මෙන් . එකල අද මෙන් ගෙවල් වල betadin ප්ලාස්ටර සර්ජිකල් ඉස්පිරිතු තබන සිටි කලක් නොවේ. එක ගෙදරක දම් පාට බෙහෙත් තිබිණි. [ ඒ කාලයේ රෝහල් සේවකයින්ට ගම් වල ලොකු සැලකිල්ලක් ලැබුනේ මෙවැනි බෙහෙත් ගෙවල් වල තිබීම නිසාය ]

එහෙත් හා පැටියා මිය ගියේය . අපට දැනුන දුක කියා නිම කල නොහැකි එකකි. හා පැටියෙක් ඇති කල පළමු සහ අවසන් අවස්ථාව එපමණකි.

අපේ ගෙදර නොහිටියාට අහල පහල ගෙවල් කීපයක කුඩුකර ගිරවුන් සැළලිහිනියන් සිටි අතර උන්ට කතා කරන්නටද පුළුවන . '' චුටි බත් කෑවද'' මේ බොහෝ කුරුල්ලන් අහනා පොදු ප්‍රශ්නයකි .
අපට ඉඳහිට සුරතලයට අලි ඇතුන් ලැබේ . පුදුම වැඩක් නොවේද . අද වන විට කුට්ටි කර පර්චස් දහයේ විස්සේ කෑලි වලට විකුණා ඇති බොහෝ ඉඩම් එදවස ලොකු පොල් හෝ රබර් වතුය . අප සිටි කුලී නිවසද තිබුනේ එවැනි විශාල ඉඩමකය . මේ ගැන ලියන්නට වෙනම ලිපි පෙළක් උවමනාය . කැළණි පෙරහරට ඈතින් එන අලි ඇතුන් අපේ පළාතේ ලොකු වතුවල බැඳ තබයි. සමහර උන් හරිම හිලෑ නිසා අපට ළඟ පාතට වී බැලිය හැක . අපිට සුරතලයට අලි ඇතුන් ලැබුනේ එසේය ,.


ක්‍රමක්‍රමයෙන් මේ අලි ඇතුන් පන්සල කිට්ටුවටම සිමා වූ බව පෙනේ . පෙරහැර කාලයට පාරේ සිටියොත් අලි බලාගන්නට ලැබේ . ඉස්සර දැන් වාගේ අලි ලොරිවල ගියේ නැත . ඉතාම දුර බැහැර සිට ඔවුන් ආවේ පයින්මය . අද නම් උන් පව් කියා සිතේ . එකල පෙරහරේ චමත්කාරය මිස අලින් පව් යයි කියා මට කවදාවත් සිති නැත . ලෝකය වෙනස් වෙලා ද මන් පරිනත වෙලාද. කතන්දරට වගේම මටත් සිතේ .

යමක් ලියන විට ඒ අස්සේ කතන්දර ගොඩක් ලියවේ . මක් කරන්නද වැඩි කලක් ජිවත් වූ නිසා වැඩියෙන් දේවල් ලියන්නට තිබේ . කියවන්නට දිග වැඩි නම් සමාව භජනය කරත්වා !!!

ඔය අස්සේ වරක් අප ටිකක් ලොකු කාලයේ මට මතක හැටියට 7 , 8 පන්ති වලදී වියහැක , අප අලුතින් පුසෙක් ගෙනාවේ අම්මා අඳුනන ගෙදරකිනි. මේ ගමනට අක්කත් සහභාගී වූ නිසා ගෙදරට ගෙන එන විටම ඇය පුසා අයිති කර ගත්තාය . ඇය ජිවිතයේ ගත් මෝඩම තීරණය එය බව නොදැන උන්නාය . අපේ අක්කා ගැන කියන්නේ නම් අප දෙදෙනා බොහෝ වෙනස්ය . ඇය මට වඩා උසය , කොණ්ඩය රැලිය . මගේ කොණ්ඩය ඉත්තෑ කුරුය . ඇය හරිම පිළිවෙලය . කොටින්ම ජපන් එස් පහෙන් උපරිම වැඩ ගනී..මගේ වාසනාවට ඇයට දැන් මගේ ගෙය නොපෙනේ . නැත්නම් ඇය කලන්තය දමා වැටුනොත් මටම කරදරය .
ඇය පොඩි කාලයේත් එහෙමය . ගේ දොර අස්පස් කරන්නට සැබෑ හපනියකි . අප දෙදෙනාට තිබුනේ එක අල්මාරියකි. ඇයගේ තට්ටුව මල් අසුරුවාක් වැනිය . අදටත් නිවාඩුවට ගිය විට ඇයගේ අල්මාරිය දකින මා ස්ථිර අදිටනින් එන්නේ මගේ අල්මාරියත් අස්කරන්නටය . කිසිදා සැබෑ නොවන සුන්දර සිහින ..D
ඉතින් අපගේ අල්මාරිය ..අහෝ මා කියන්නට යන විපත්තියට මෙය ඇඳෙයි .


අක්කා ගෙනා අගේ ලස්සන පුස් පැටියා හරිම සුරතල්ය,..එහෙත් මු අමුතුම පුසෙක් බව අපට දැනෙන්නට විය . ගෙයින් එලියට අඩියක් නොතබයි. ගෙයි වසුරු දමන පුරුද්ද අත නාරියි. විවිධ තරවටු වලින් පසු එලියට යන්නේද මරන්නට ගෙන යන්න වගෙය . අහල පහල පුසෙක් දුටුවොත් කෑස් ගාගෙන ගෙට රිංගයි. අදෝමැයි මේකා බයගුල්ලෙකි . පූසන් බල්ලන් නම් ඉවසිය හැක . කැරපොත්තෙක් දුටොත් මේකා ලොවෙත් නැත .
මියන් ගැන කවර කතාද . මියන් උගේ උදුන් පැන ගියෙත් මු නිදා ඉන්න විටය . ඇහැරී උන්නොත් මු පැන එපා කියා දුවනු ඇති.


මේකා මෙසේ බය ගුල්ලෙක් වුයේ ඇයිදැයි නොදනිමු. මුගේ උපන්ගම ඒ දිනවල රටේ පරසිඳු චන්ඩියෙක් සිටි ගමකි.[ අපේ කිට්ටුව ගමකි . මගේ නම් සම්බන්ධයක් නැති බව සැලකුව මනාය ] එවන් ගමක උපන් මේකා මෙසේ බය වීම නම් සරදමකි ...D
දැන් ඉතින් අපේ අක්කාට පුසා ගැන යකා වැසි ඇත. කලින්ම අයිති කරගත් නිසා අපේ විහිලු වලටද ඇය බඳුන් විය .
අපේ අක්කා සැමදා උදයේ ඇඟ සේදීමට බොහෝ වෙලා ගත කරයි. මැදපු ඇඳුම් පමණක් අඳියි. [ මේ ලෝකයේ මට පේන්නම බැරි රාජකාරියකි රෙදි මැදීම ..]
දවසක් උදයේ පන්ති යාමට ඇඳුමක් ගන්නට අක්කා අල්මාරිය ඇරියාය . ඇරුනු අල්මාරියෙන් පුස් තඩියා පැන ගියේය

.  අක්කා ගවුමක් ඇන්දාය .........එතැන් සිට තනිකරම ඛේදවාචකයකි ...
පුසා අක්කගේම තට්ටුවේ ජරා කර තිබිණ .
අපි වාසනාවන්තය . පුසාගේ අයිතිකාරයා වෙනකෙක් වුවා නම් ..කතන්දරේ වෙනස් විදිහට ලියන්නට සිදුවේ ..

අපි ගෙදරින් එනකම්ම හිටියේ ඒ පුසාය . අපේ අක්කා ජීවිතේට බල්ලෙක් පුසෙක් හැදීම නවතා දැමුවාය . ඒ පුසා මල පසු අපේ අම්මාද පූසන් ඇති කලේ නැත . පසු කලෙක කොහේදෝ යන පුසී පැටියෙක් මිදුලේ නවාතැන් ගත්තාය . අපෙත් නොවී අනුන්ගේත් නොවී යමක් කාබී සිටි පුසිට අපේ ලොක්කි '' පොලි '' කියා ඉංගිරිසි නමක්ද දැම්මාය . පොලි මවක් වී වරින් වර දු දරුවන් ලැබූ බව අම්මා කි නමුදු ඉඳහිට ගෙදර ගිය අපට ඔවුන් දක්නට නොලැබිණ . ළමයින් දිග තල දුන් පසු ගෙවල් යලි පෙර පරිදි නොවේ. මල්ලි විවාහයට පෙර ඇති කල බල්ලාද බ්‍රවුන්ය . .


ඌද අමුතු චරිතයකි . කජු ගහේ භාගයක් නගින්නට පුළුවන . අවුරුද්දකට පසුව යන අපට වැඳ වැටේ . අම්ම ගමනක් යද්දී පාර හරස් කරයි . විටින් විට අපේ ගෙවල් වල එන අම්ම දින කීපයක් නවතින එක බරවුන් අකමැති කාරණයකි .

අද මල්ලි වෙන ගෙදරකය . අම්ම මහගෙය විකුණා දැම්මාය . පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත . පොලි ට මක් වීදැයි නොදනිමි. ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.

මෙතනින් එහාට ලියන්නට මගේ බොඳවූ නෙත් ඉඩ නොදේ .
පින්තුරය

Tuesday, 10 July 2012

මිනිසෙක් වූ බල්ලෙක්




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .

Tuesday, 29 May 2012

දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේ

පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්‍රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට තමයි මේ ජාතික කර්තව්‍ය ගැන අපට වඩා ඕන කමක් තිබුනේ .

මේ ගැන මුලික අදහස මතු වුනේ නිදහස් දවසේ . කියන්න බැරි වුනා අපි නිදහස් දිනයත් ලස්සනට සැමරුවා . ඒදවස්වල පොඩි කම්මැලි කමක් තිබ්බ නිසා ලියන්න බැරි වුනා . කලිනුත් කිව්ව පරිදි පිරිමි කට්ටිය කීපවතාවක් බරපතල සාකච්චා වට කීපයක් තියල අන්තිමට තීන්දු වුනේ මැයි 20. ඔන්න ඕක නිසයි අහසින් වැටුන වගේ වෙසකුත් පහුවෙලා පොසොනුත් කටේ තියාගෙන අවුරුදු ගැන ලියන්නේ . නැතුව බින්දිට පිස්සු හෙම නෙමේ ඔන්න .

අපේ මහත්තුරු හරිම කාර්යබහුල අය. බොහොම අය නිතරම රට රටවල රාජකාරි වලට යන එන අය . ඔන්න ඒ අය සේරම ලාහෙට එකතු කරලා ගන්න හැකි වුනේ මැයි 20 තමයි . මේ මහත්තුරු රැස්වීම් තියෙන අවස්ථාවල කාපු බිපුවා ගැන රස කතන්දර තියෙනව . එක්කෝ එව්වා මොකටද . සමහරු මේක කියවනත් එකේ ..D

මොනවා වුනත් ගැහැණු අපිට කෑමක් හදන එන එක ඇර වැඩි වගකීමක් දුන්නේ නැති එක ගැන එයාලට ගොඩක් ස්තුති කරන්න ඕන . ශ්‍රී ලංකික ජනතාව කිව්වට මෙහෙ සු ගාල ඉන්නේ පවුල් කීපයයි . සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා . ලොකු පිරිසක් නැති නිසා කල්ලි ගැසිමකුත් නැහැ . ඕනෑම දෙයකට සියලුම දෙනා සහභාගී වීමයි සිරිත . අනෙක වියට්නාම අම්මල සහ ශ්‍රී ලංකික තාත්තලාගේ ළමයි ගොඩක් ඉන්නවා . කට්ටිය එකතු වුනහම හරි ලස්සනයි .

අපට මේ අවුරුදු උත්සය අලුත් වුනාට හෝ චි මින් නගරයට නම් සැහෙන පරණයි . හෝ චි මින් කියන්නේ වාණිජ අග නගරය . හැනොයි තමයි ජාතික අගනගරය . හෝ චි මින් වලට නුතන දියුණුව කලින් ඇවිත් නිසා ජිවත් වීම පහසුයි .

එහෙ ඉඳන් මෙහෙ එද්දී''' wish you all the best ''කියන එක අස්සේ තියෙන්නේ ''හු හු ඇද්ද උඹට'' කියන එක . නැත්නම් ඉස්සර පාවෙල් සයිබීරියාවට පිටුවහල් කරද්දී අපි දුක හිතුවා වගේ . හැමෝම නෙමේ . අදටත් ආදරෙන් නිතර කතා බහ කරන හොඳ යාළුවොත් ඉන්නවා .


හැබැයි මෙහෙ ඇවිත් ජිවත් වෙද්දී හිතෙනවා ජිවිතේ ටිකක් සරලයි කියල . කට්ටිය අඩු නිසා කල්ලි ගැසීම් නැහැ . හමු වීම් අඩුයි . අනික පරිසරය සාමකාමියි සාපේක්ෂව . කොටින්ම මන් දැන් කැමතියි මෙහෙට . හරියට කොළඹයි නුවරයි වගේ .මේක හරිම ඉතිහාසයක් තියෙන ලස්සන නගරයක් . ඒ ගැන වෙනම ලියන්න ඕන . අනික අපේ තානාපති කාර්යාලේ තියෙන්නෙත් මෙහෙ . රාජකාරි වැඩක් කරගන්න ලේසියි


හරි දැන් කියන්න ඕන අවුරුදු ගැනනේ. ඉතින් පසුගිය 20 වෙනිදා අපි හැමෝම රැස් වුණා ලස්සන නිවාඩු නිකේතනයකට . එතන පිට්ටනිය තමයි අවුරුදු උත්සවේ තියන්න අරන් තිබුනේ . නිකන් නම් නෙමේ හරිම මිල අධිකයි . අනික එයාලගේ පාපන්දු පිට්ටනියේ අගනා තණකොළ ටික අපි කයි කියලද කොහෙද සැහෙන තර්ක විතර්ක තර්ජන වලින් පස්සේ තමයි ඒක ඉල්ලා ගත්තේ .

මේක උණ බට ඔන්චිල්ලාවක්




හිමේ වගේ කරත්ත වල ලෙස්සල යන තණකොළ බෑවුම ..


අලියට ඇහැ තැබීම ....බනිස් කෑම..මෙහෙ අපට ගැලපෙන වර්ගයේ බනිස් නොතිබ්බ නිසා කන්න දුන්නේ ඩෝනට් . අපේ ශ්‍රී ලාංකිකයෙක් ඩෝනට් ව්‍යාපාරයක් පවත්වන නිසා විසිකරකර කන්න ඩෝනට් තිබුන .
ටයි කොන්ඩෝ පැංචා ඩෝනට් කාල එක වුනා . අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .

කටේ මුනේ ගාගෙන කාපු හැටි පින්තුරයක් දාන්න හැටියක් නැහැනේ . මුණු පොතේ ඉන්න අය නම් දැක්ක .

කනා මුට්ටි තරගෙත් හරිම විනෝදයි . කඹ ඇදීම පිරිමි තරඟයේ දිනුවේ 40 ට වැඩි අය ..Old is gold වෙන්න ඇති .

කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .


බැලුම් පිපිරවීම කලේ ළමයි විතරයි .


ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් .[ ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....]

උදේ සද්දෙන් කතා කල අයගේ හඬ හවස් වෙද්දී තව වැඩි වුනා . සද්ද නැතුව උන්න අය සද්ද කරන්න පටන් ගත්ත . කොටින්ම සීයලා පුංචි එවුන්ට මල්ලි කියල කතා කරන්න පටන් ගත්ත . ඒ සේරම වුනේ ශ්‍රී ලංකික කෑම වේලෙන් පස්සේ .


එතැනදී ඒගොල්ලන්ට මැජික් අරිෂ්ටයක් බොන්න ලැබිල . වයස අඩු කරන


කොහොම හරි එදා දවස බොහොම සතුටින් විනෝදෙන් ගෙවී ගියා . ආයෙමත් ඒ වගේ හමු වීමක් තියන්න කතා වෙලා .


අනික් අයගේ අවසර නැතුව පින්තුර දාන්න විදිහක් නැහැ . අවසර ගන්න ගියොත් එයාල මේක කියවයි ..ඊට පස්සේ ...මන් ඉවරයි .D



Saturday, 26 May 2012

ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''

පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .



ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .



Banh chung     [හදන හැටි ඕන නම්]   හෙවත් sticky rice Cake .




මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .


. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ




මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .



මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .

බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .

සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .

මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .

රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.

හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .

රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .






ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .

 චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .


ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .

කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය



ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .

Wednesday, 16 May 2012

යලිත් මල් පිපී

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.


 .

Tuesday, 1 May 2012

වියට්නාම ඇමරිකන් සටන 1...චීනයෙන් රට ගලවා ගත් සුර වීර Trung සහෝදරියෝ

ඇමරිකාව මේ නැගෙනහිර ආසියාවට අතපොවන්න හේතු වුනේ ඇයි කියන එක සොයන්න කලින් වියට්නාමයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා . චීනය කියන්නේ ලෝකයට සැහෙන බලපෑමක් කල රටක් . මුල ඉඳන්ම එයාල කල්පනා කලේ වියට්නාමය කියන්නේ චීනයේ කොටසක් කියලයි . අපේ රට ඉන්දියාවත් එක්ක තිබුන ගනුදෙනු වගේම නැත්නම් ගොඩබිමින් සම්බන්ධ නිසා ඊටත් වැඩියෙන් ගසට පොත්ත වගේ මේ කලාපය එකට සම්බන්ධ වෙලා තිබුනා .

 දිය මකර රජුගේ ළමයි  කියෙව්වේ නැත්නම් මෙතැනදී ඒක කියවල එන්න .

 මිත්‍යාවයි ඉතිහාසයි කිසිම අවුලක් නැතුව මේ කොමියුනිස්ට් රටේ හරි අගේට යාලුකමින් ඉන්න හැටි නම් පුදුමයි . ඒ කතාවේ හැටියට ගොඩ බිම නැවතුන, Lac Long Quan ගෙයි Au co ගෙයි ළමයි 50 දෙනාගෙන් තමයි වියට්නාම ජාතිය පැවතෙන්නේ . එයිනුත් වැඩිමලා තමයි Hung Vuong . ඔහුගෙන් පැවතුන Hong bang රජ සමය ක්‍රි පු .2879 සිට 258 දක්වා පැවතුනා .එකල එම රජය සමන්විත වුනේ වත්මන් උතුරු වියට්නාමයත් දකුණු චීනයෙන් කොටසකුත් එක්ක .

මේ හුන්ග් රජවරුන් සිහිපත් කිරීම සඳහා අප්‍රේල් මාසයේ නිවාඩු දිනයක්ද මෑතක සිට වෙන් වෙලා .

මේ හුන්ග් රජසමයට අදාළ කතන්දර රාශියක් තිබෙනවා . මේ ලිපි පෙලේ අරමුණ ආක්‍රමණික ඉතිහාසය නිසා මෙතනදී ඒ කතා නොකියන්න හිතුවා . දවසක ඒවාත් ලියන්න ඕනේ . [මගේ වියට්නාම යාළුවන් කියන්නේ එයාලට වඩා මන් මෙහෙ ඉතිහාසයත් කතන්දරත් දන්නා බවයි .]

චීනය මුලින්ම මේ වියට් වරුන්ව යටත් කරගන්නේ ක්‍රි පු 111 දී . ඒ චීනයේ හෑන් වරුන් . වරින් වර ප්‍රාදේශීය වශයෙන් කැරලි ඇති වුනත් මේ හෑන් පාලනයට එතරම් බලපෑමක් කරන්න වියට් වරුන් සමත් වුනේ නැහැ . මෙතනදී තමයි අපිට මේ Trung [චුන්ග්] සහෝදරියෝ හමුවෙන්නේ . Trung Trac කියන්නේ අක්ක . Trung Nhi නංගි


.
අක්කගේ සැමියා චීන පාලකයින් විසින් මරා දැමෙනවා . යුධ ශිල්පයේ ප්‍රවීන මේ බිරිඳ සැමියා වෙනුවෙන් පලිගන්න හිතලා නංගිත් සමග හමුදාවක් සංවිධානය කරගත්තා . බහුතරය ගැහැණු . මේ ගැහැණු මුලික හමුදාව චීන හෑන්වරුන් පරදලා නැවත රට එක්සත් කරනවා . නමුත් හෑන් වරුන්ගේ අධික ශක්තිය මත මේ රාජ්‍ය වැඩිකලක් පවත්වාගන්න මේ සහෝදරියන්ට හැකි වුනේ නැහැ .  ක්‍රි වර්ෂ  39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ . 43 දී සටනින් පරදින බව දැන දියේ ගිලි දිවිතොර කර ගත බවයි සඳහන් . මේ සටනේදී හෑන් පිරිමි හමුදා නිරුවතින් සටනට පැමිණ තිබෙනවා . ගැහැණු හමුදාවල සෙබලියන් ලජ්ජාවට පත්වී අදහිරිය වූ නිසා පරාජය වූ බවත් සඳහන් .

මෙතැනදී කාන්තාවන් ගැන විවිධ වීර කතා බොහෝ ගණනක් ඇති වුනා . එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් .


මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් .

 චම්පා ගැන කතා කරද්දී චම්පා සමාජය මාතෘ මුලික වූ අයුරු අපට පැනයක් වූ බව මතකද .චම්පා වරු මේ ආදී වියට් වරුණේ අඩිපාරේ ගියා වත්ද . Dao Viet ලා පිතෘ මුලික වෙද්දී අර පරණ ලක්ෂණය චම්පා ළඟ ඉතුරු වුනා වෙන්න බැරිද [ මේක මගේ අදහසක් විතරයි ].


ඉතින් මේ Trung සොයුරියන් ජාතික නිදහසේ සංකේතයක් අදටත් . හැනොයි වල ඒක දිස්ත්‍රික්කයක් Hai Ba Trung . hai යනු දෙදෙනා . ba යනු කාන්තාවට ගරු සරු ඇතුව අමතන ආකාරය. මේ නමින්ම ප්‍රධාන නගර දෙකෙහිම ප්‍රධාන පාරවල් දෙකක්ද තිබෙනවා .
නිතරම ඔය පාරෙන් යද්දී මේ කතාව ලියන්නටහිතුවා . මේ ලිපි පෙලට අදාළ නිසා මෙතනදී සඳහන් කිරීමට ලැබීම සතුටක් .

 43 දී යලිත් චීනයට යටත් වුනාට පසු මොකද වුනේ කියල ඊළඟ ලිපියෙන් බලමු . පුංචි කොටස් වලින් තමයි ලියන්න වෙන්නේ .

Monday, 30 April 2012

උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස



Francoise Demulder taken April 30, 1975



මේක ඉතිහාසගත පින්තුරයක් . ඊතලයෙන් පෙන්වන පුංචි මිනිසා පේනවද .දුවන්නේ කොඩියක් අරන් . ඒ තමයි උතුරු වියට්නාම හමුදාව දකුණේ ඇමරිකන් රුකඩ ආණ්ඩුවේ ජනාධිපති මැදුරට කඩා පැන්න වෙලාව . පින්තුරයේ ඉන්න සෙබලා කොඩිය අරන් දුවලා මැදුරේ පියස්සේ කොඩිය ඔසවනවා . ඒ තමයි එක්සත් වියට්නාමයේ සංකේතාත්මක ඇරඹුම . 1954 ඉඳන් 1975 වෙනකම් තිබුන ඇමරිකන් -වියට්නාම යුද්ධයේ නිමාව .


මේ සෙබලාගේ නම Bui Quang Than . ..එදවස වෙද්දී වයස විසිනවයයි . යුද්ධෙට පටලවෙන්න කලින් තාන් සාමාන්‍ය ගොවියෙක් . ජනපති මැදුරේ ගේට්ටුව කඩාගෙන අංක 843 දරන සෝවියට් ටැංකිය ඇතුල් වෙද්දී එයින් බිමට පැනපු තාන් කොඩිය අරන් දුව්නන්නේ කිසිම ආයුධයක් නැතුව . ඒවෙනකොට ඇමරිකාව සටනින් පැරදිලා . තුන් දවසකට කලින් පත්වුණ සයිගොන් අලුත් ජනපති කොන්දේසි විරහිත යටත් වීමක් ප්‍රකාශයට පත්කරලා . ඒත් සයිගොන් වලට ඇතුල් වෙද්දී දරුණු සටන් තිබිල තියෙනවා . තාන් ලගේ රෙජිමේන්තුව සැහෙන විනාශයකට මුහුණපාල තමයි සයිගොන් පාලම තරණය  කරලා තියෙන්නේ .


'' අපි සයිගොන් පාලමින් එගොඩ වෙද්දී දැනන් හිටියේ නැහැ කොයි පැත්තේද ජනාධිපති මැදුර තියෙන්නේ කියල . පාරවල් වල කිසිකෙනෙක් හිටියේ නැහැ . මෝටර් බයිසිකලයක ගිය එක ගැහැණු කෙනෙක් බලෙන් නවතල තර්ජනය කරලා තමයි පාර අහගත්තෙ . ටැංකියෙන් බැහැල දුවද්දී සගයින්ට කිව්වා වහලය උඩ තමන්ව දකින්න නොලැබුනොත් මාලිගාවට පහර දෙන්න කියල . ''

ඒ තාන් අවුරුදු 37 කට පස්සේ තමන්ගේ මතකය අවදි කල හැටි .


නිරායුධව දුවයද්දී ඔහුට තමන්ගේ ජීවිතය ගැන හිතිලා නැහැ . පඩිපෙළ නගිද්දී හමුවූ දකුණේ හිටපු තොරතුරු ඇමති වරයා ඔහුව ජනාධිපති ලඟට එක්ක ගිහින් . ජනාධිපතිතුමා ඉඩ දීල තියෙනවා ඔහුව උඩට ගෙනයන්න .



''එතනදී මොකක්ද පෙට්ටියකට නගින්න කිව්වා .''

 උගුලක් යයි සැක කලත් ඔහු අන්තිමට එයට ගොඩ වෙලා . ඒ පෙට්ටිය විදුලි සෝපානයක් බව ගම්බද ගොවියෙක් වූ තාන් කෙසේ දැන සිටින්නද . විදුලි සෝපානයෙන් ගොස් ජයග්‍රහණයේ කොඩිය වහලය මත රඳවනු ලැබුවා .

picture from http://nhtuong.wordpress.com/category/on-this-day/


ඒ වන විට ඇමරිකන් හමුදා සහ ඔවුනට හිතැති ඇතැම් සයිගොන් වැසියන් රටින් පිටවන්නට පටන් අරන් . බොහොමයක් ඇමරිකාවටත් තව පිරිස් ඔස්ට්‍රේලියාව නවසීලන්තය ප්‍රංශය වැනි රටවලට දේශපාලන අනාථයින් ලෙසින් පැනගියා . බොහෝ දෙනෙක් බෝට්ටු මගින් තායිලන්තයට ගොස් එතනින් මේ රටවලට ගිය හෙයින් ඔවුන් ''බෝට්ටු ජනතාව '' ලෙස හැඳින්වුවා . එලෙස ගියවුන් සහ පැවතෙන්නන් හැඳින්වුයේ වියට් කියූ වරුන් කියා . මෑතක් වෙනතුරු ඔවුන් එතරම් පිළිගැනීමකට ලක් නොවුනත් අද වෙනවිට ඔවුන්ට සැහෙන පිළිගැනීමක් තිබෙනවා .



] අද මේ ලිපියට කරුණු වියට්නාම් නිව්ස් පුවත් පතින්]

..අද මේ සුවිසල් මැදුර සංචාරක ආකර්ශනයක් . මමත් කීපවිටක් නරඹා තිබෙනවා . ගත් පින්තුර නම් දැනට පලකිරීමට නොහැක්කේ අලුත් පරිඝනකයට ඇතුලත් කර ගැනීමට තවම නොහැකි වූ නිසයි . මේ පින්තුර නම් ගුගල් අනුග්‍රහයෙන්




විටට්නාම යුධ ඉතිහාසය ගැන කියවීම සහ ලිවිමට ඉතාම කැමතියි . එහෙත් එය සැහෙන දිග සහ සංකීරණ කටයුත්තක් . එකක් මේ ගම් නියම් ගම් ගැන අවබෝධයක් නැතුව ඒමය තේරුම් ගැනීම මදක් දුෂ්කර වීම . කාටත් වැටහෙන පරිදි සරලව ලියන්නට හැකිව වෙයි දැයි මට ඇති සැකය . අනික මේ සඳහා මට සහ කියවන්නන්ට ඉවසීමක් තියෙයි විස්වාසයක් නැති කම .
එහෙත් මේ ගැන කෙටි හෝ හැඳින්ව්මක් නොකලොත් ලොකු අඩුවක් .  ඉදිරියේදී ඒ ගැන සිතන්නට ඕනේ

වඩා උනන්දු අයට


කුචි උමන්


ඩියෙන් බියෙන් ෆු සටන


 බිම වැටුන කුරුල්ලෝ     ....  ලිපි ටික කියවන්න ආරාධනා කරනවා .

හෝ චි මින් ගැන කියවෙන නිදන මිනිසෙකි   ලිපියත් මෙයට සම්බන්ධයි


මේ ජයග්‍රහණය සැමරීමට අප්‍රේල් 30 Victory Day ලෙස නම් කොට ජාතික නිවාඩු දිනයක් කර තිබෙනවා . මෙවර එය දිග නිවාඩුවක් . සති අන්තය සහ අප්‍රේල් 30 ත් මැයි පලවෙනිදාත් ඇතුළුව දවස් හතරක් .