අවුරුද්දට ගමේ යන්න තමයි අපේ පරම පැතුම වුනේ . ගෙදර ගිනි මොලවන්න ඕන කියල අම්මගේ තදබල විරෝදය හින්ද කලාතුරකින් අවුරුදුවල ගමේ ගියේ නැකත් වලින් පස්සේ . ඒ ඇරුනම අනික් හැම පාරම නැකත් වලට කලින් ගමේ ගියා . ඇඹිලිපිටිය බස් එකේ ගියොත් කහවත්තෙන්ම බහින්න පුළුවන් . රත්නපුරේ බස් එකේ ගියොත් තව බස් එකකට මාරු වෙන්න වෙනවා .වීදුරුවක් ළඟ සිට එකක් ලැබෙනවා කියන්නේ සුපිරි වාසනාවක් . අවිස්සාවේල්ල කිට්ටු වෙද්දී කඳු පේන්න පටන් ගන්න කොට මට හරිම සතුටුයි. පාරේ ඒ පැත්තට මේ පැත්තට මාරු වේවි යන පුංචි කෝච්චි පාර දිහා බලන් යන්නත් මන් හරි ආසයි . රත්නපුරේදී බස් එකට නගිනවා නාරං සහ ඉඟුරු දෝසි වෙළෙන්දෝ . සුවඳම සුවඳ ජමනාරන්. මෙහෙත් තියනවා ඒ ජාතියේ නාරන් . කන හැම වෙලේම අර පරණ සුවඳ මතක් වෙනවා .
කහවත්තෙන් බැස්සම තමයි අමාරුම රාජකාරිය . මහ ගෙදර ලඟට බස් තිබුනේ නැහැ . වාහන යන පාරක් තිබුන වුනත් අද වගේ ත්‍රිවිල්තිබුනේ නැහැ . මගට යන බස් එක ගියෙත් වෙලාවකට .පයින් යන්නත් විදි කීපයක් තිබුනත් කවුරුත් කන්ද නැග්ගේ පයින් යන කෙටි පාරෙන් . ගමේ අය අඩියට දෙකට අපිව පහු කරන් ගියා . තාත්තට හය්යෙන් යන්න පුළුවන් . අපිට නම් ඉතින් දනිස් රිදී රිදී බාගෙට පන යනවා . එකම හොඳේ අතරමග තැනින් තැන සිතල දිය වෑහෙන පිල්ලවල් වලින් මුණ සෝදා ගත්තම දැනෙන සනීපය .
අන්තිමට සැනසීමක් දැනෙන්නේ ආච්චිලගේ ගෙවල් පහල නාගහ දකිද්දී . එතන තරමක තැන්නක් . එතනට මහගෙදර වඩිම්බු පෙළත් එක්ක උළු වහලේ පේනවා . නාගහ ලඟින් උඩට ගල් පඩිපෙළ . ගල් පඩි පෙලට උඩින් ඉස්තෝප්පුවේ කණුවකට හේත්තු වෙලා ආච්චි අපි එනකම් බලන් ඉන්නවා . අපිව පහුකරන් ගිය කෙනෙක් අපි එන බව කියන්න ඇති . එතනින් පස්සේ සියලු දුක් වෙහෙසවල් ඉවරයි . ආච්චිගේ ආදරය ..නැන්දලගේ සුරතල් බාප්පාගේ විහිලු , ලෝකෙම හරිමලස්සනයි එතකොට .
කන්දේ ඈත උල්පතකින් පුවක් පිල්ලයක් දිගේ සිතල වතුර කුස්සිය දොරකඩටම එනවා . මහගෙදර දවස් පුරාම බත් තිබුනා මෙසේ උඩ. කෙනෙක් ආවොත් බත් කන්නයි අඬ ගහන්නේ දවසේ කොයි වෙලේ වුනත් . අදත් ගෙදරට ගොඩ වෙන කෙනෙක් බඩගින්නේ යවන්නට හිත නොදෙන්නේ අපිට ජාන වලින් ඒ ගතිගුණ ලැබිලා නිසා වෙන්න ඇති .
ඒ කාලයේ බත් වලට මාළු පිනි ගොඩක් හදන්නේ නැහැ .පරිප්පු , වම්බටු , මැල්ලුම් වගේ දේවල් තමයි . සැමන් බැදුම තමයි නිතර මාළු වෙනුවට හැදුනේ . කඳු පළාත්වලට මාළු ආවේ නැහැනේ වැඩිය . මස් නම් උයපු බවක් මතකම නැහැ . පිල්ලෙන් වතුර ගලන පාරේ කොහිල තිබුනා හිටවල . හේනක් තිබුනා මය්යෝක්ක බතල හෙම තියෙන . කැරන් කොකු මාලුව ආච්චි රසට ඉවුවා . ඔයින් දෙකක් තුනක් තමයි බතට ඉවුනේ .
අලුත් රතු හාලේ බත් නිසාත් බඩගිනි නිසාත් හොඳටම කන්න පුළුවන් . බත් කෑවට පස්සේ කැවිලි කන්න පුළුවන් . ඒ වෙනකොට ළමයි ගොඩක් එකතු වෙලා මහ ගෙදරට . ළඟ ඉන්න අයයි දුර ඉන්න අයයි. තාත්තගේ පවුලේ නම දෙනෙක් . පොඩි අය ගොඩයි . බොහොමයක් ළමයි අවුරුද්දට එහෙ එනවා . හැමෝම මේසෙට වැඩි වෙලා කැවුම් කද්දී ආච්චි මට විතරක් පොඩි මුට්ටියකට කැවුම් දාල කුස්සියේ බංකුවක් තියල වාඩි කරවනවා .
මට සැහෙන ප්‍රසිද්ධියක් තිබුනා මේ කැවුම් කෑමේ පෙරේතකම ගැන . මොනවා වෙනස් වුනත් කැවුම් කෑමේ ආසාව නම් තවමත් එහෙමමයි .
අනික් පළාත්වලදී කොණ්ඩ කැවුම් රත්නපුරේදී හැඳි කැවුම් වෙනවා . එකම මිශ්‍රණය වුනත් හැඳි කැවුම් හදන්නේ කොණ්ඩේ නැතුව . ආච්චිට ආස්මි හදන්නත් පුළුවන් හොඳට . ආස්මි මිශ්‍රණය තෙලට වත් කරන්නේ අතේ ඇඟිලි වලින් . ඇත්තටම ආස්මි කොච්චර රස කෑමක්ද. හැබැයි දවුල් කුරුඳු හැමතැනම නැහැනේ . කාට හරි බැරිද ඕකට ආදේශකයක් සොයා ගන්න .
ඇත්තටම ගෙදර පිටි කොටලා දර ලිප් වල ඔය රාජකාරි කරන එක කොයි තරම් ලොකු වැඩක්ද . හොඳ වෙලාවට ආච්චිලට ඉන්ටර්නෙට් හෙම තිබ්බේ නැත්තේ . හැබැයි අපේ ආච්චි පොත් කියෙව්වා . අන්තිම කලේ වෙනකම්ම රෑට පොතක් කියෙව්වා නිදාගනිද්දි . වැඩේ කියන්නේ බණ පොත් නම් නෙමේ . ආච්චි කියෙව්වේ නවකතා හෙම . ජයසේන ජයකොඩිගේ පොතක් කියවනවා මට හොඳට මතකයි .
අවුරුදු චාරිත්‍ර කොළඹට වඩා ටිකක් වෙනස් . ආතා මුලින්ම දෙබලක් තියෙන ලියක් හිටවනවා . ඒ උඩ අවුරුදු කුමාරයාට කෑම තියනවා . අපේ තාත්තලා ආතාට කිව්වේ අපුච්චා . ආතාට පුංචි කොණ්ඩ පොඩිත්තක් තිබුනා . වැඩි කතාවක් නැහැ . අපි පොඩි බිය මුසු ගරු සරුවක් තිබුන වගේ මතකයි හැබැයි ආතාගේ කාමරේ තිබුන පොත් රාක්කෙට බැල්ම හෙලන්න ඒක මට බාධාවක් වුනේ නැහැ . පුංචි වක් පිහියෙන් අඹ කපලා දුන්න මතකයි අපිට .
ඉතින් අවුරුදු නැකතට අවුරුදු කුමාරයට කෑම තියලා අපි හැමෝටම බත් කට කට කවනවා . අවුරුදු මේසේ විශේෂයෙන් හත්මාළුව වරදින්නේ නැහැ . ඒ පැත්තේ කජු හරිම විරලයි . හැබැයි ආච්චි කොහෙන් හරි කජු ටිකක් හොයා ගන්නවා මේකට . ජාති හතක් දානවා . මට මතක නම් නැහැ ඒ හතම . කවුරු හරි දන්නවා නම් ලියා තියන්න.
ඊට පස්සේ ගනු දෙනු . පිනි බිඳු කිව්වා වගේ මේක අපිට නම් ගනු විතරයි . බුලත් කොලේ ඔතලා සත පනහ රුපියල දෙක ලැබෙනවා . ඒ ගෙදරින් . ඊට පස්සේ ගෙවල් වලට කෑම පිඟන් බෙදීම . අපි හරිම කැමති වැඩේ . ගිය ගිය තැනින් කන්න දෙනවා . පොඩ්ඩක් වත් නොකෑවොත් හොඳ නැහැලු . අන්තිමට බඩවල් හොඳටම පිරිලා . ඒ ගෙවල් වලිනුත් බුලත් කොලේ ඔතලා සල්ලි ලැබෙනවා .
මෙහෙ චීන අවුරුද්දට ලස්සන කවර වල දාල ළමයින්ට ලකී මනි දෙනවා . බලන් ගියහම අපිටත් බුලත් කොලේ ඔතලා ලකී මනි ලැබිලානේ.
ඉතින් අවුරුදු කාලෙට අපි හරි පෝසත් .
අපි පොඩි කාලේ ඇටඹ ගහක ලොකු ඔන්චිල්ලාවක් බඳිනවා . හරිම උසයි . බඩ පපුව දනවා උඩ යද්දී . ඔන්චිල්ලාව බැන්දේ වෙනිවැල් වැලකින් බවයි මතක . එක වරක් අපේ පුංචි කෙනෙක් ඔන්චිල්ලවෙන් වැටුනා . කලන්තේ හැදිලා අපි හරිම බයෙන් හිටියේ . ආතා වක් පිහියෙන් ඔන්චිල්ලාව කපා දැම්ම . ඒ තමයි ඒකෙ අවසානය .
තව ගමේ තැනක කතුරු ඔන්චිල්ලාවක් හැදුවා මතකයි . අපි පොඩි නිසා පදින්න දුන්නේ නැහැ . අවුරුදු දවස් ගෙවුනේ හරිම සතුටින් . එක එක වයසේ ළමයි ගොඩක් හිටි නිසා අපි හරියට සෙල්ලම් කළා . පංචි දැම්ම , බට්ටෝ පැන්නා. ඇවිදින්න ගියා .
කළුවර වැටෙන කොට කට්ටිය සාලයේ එකතු වෙනවා . කතන්දර සින්දු කියන වෙලාව . මන් බාලාංශ පන්තියේ ඉඳිද්දී මන් කතාවක් කිව්වා . අපේ බනි විතර ඇති . උස නැති නිසා බංකුවක් උඩ නැගල කතාව කිව්වේ .
''ඔන්න එකමත් එක රටක ගෙඹි අම්මෙකුයි පුතෙකුයි හිටියා . දවසක් අම්ම ගමනක් යනකොට පුතාට ලුණු ටිකක් දුන්න සුද්ද කරලා තියන්න කියල . පුතා ලුණු ටික කාල දැම්ම . අම්ම අවහම පොතු ටික විතරයි . අම්ම තරහ ගිහින් පුතාට ගැහුවා . [ අපේ බනි නම් මේ වැඩේට විරුද්දයි. එයාට කියද්දී නම් මේක පොඩ්ඩක් වෙනස් කළා . අම්ම ගැහුවේ හිමින් . ඊට පස්සේ උම්මා එකක් දුන්න කියල ]
ඉතින් පුතා මේ සින්දුව කිව්වා ...
''අම්ම මට ..චක් චක්
ගැහුවා මට ..චක් චක්
යනවා මන් ..චක් චක්
ගමට යන්න ..චක් චක් ''
ඒ කාලේ මට ටයන්න කියවුනේ ත යන්න විදිහට . ඔය සින්දුව කට්ටියට කොච්චර විනෝදයක් ගෙනාවද කිවොත් පසු කලෙක මාව දැක්ක ගමන් ඕක කියල විහිලු කරනවා
ඒ ළමයි සේරම ලොකු වෙලා අම්මල තාත්තලා වෙලා . එයාලටත් මට වගේ මේවා මතකද දන්නේ නැහැ .
අවුරුදු ගැන විතරක් නෙමේ ගම ගැන කියන්න ගොඩක් දේ තියෙනවා කලෙක ඉඳන් මට ලියන්න ඕන වුන .
.
කමෙන්ට් කරන්න දෙයක් නැති වෙන්න පුළුවන් . නිකන් කියවලා හරි සතුටක් ලැබුන නම් මගේ සතුට එයයි .
කොමන්ට් කරන්න දෙයක් නෙවෙයි කොමන්ට් කරන්න වචන නැති වුනා.
ReplyDeleteඔය වචන ටික දාහක් වටිනවා
Deleteකියන්ඩ වදන් නෑ.. අපිටත් අඩු වැඩි වශයෙන් එමමයි.. අපෙත් අපි කුඩාම සන්දියේ චාරිත්‍ර කරන්ඩ ගමේ ගියා මතකයි. පස්සෙ පස්සෙ අවුරුද්දට ගෙදර පාලු කරන්ඩ හොඳ නෑ කියන සංකල්පය මත ගෙදර සිරිත් කරලා තමා ගමේ ගියේ. ඔය ආච්චිගෙන් , සීයගෙන්, නැන්දගෙන්, බාප්පගෙන් ලැබුනු ආදරයත් එහෙම්මමයි..
ReplyDeleteසිත අතීත කාමයෙන් මත් වෙනවා අප්පා මේවා මතක් වෙද්දී..
අද.. ? වැඩියෙන්ම දුක හිතෙන්නෙ ඒවා අද ලබන්ඩ බෑ කියලා හිතෙත්දී...
ඒක තමයි අද අපේ සහෝදර සහෝදරයින්ගේ ළමයින්ට හොඳ නැන්දලා මාමලා වෙන්න අපිට බැරි වෙලා . අපේ පරම්පරාවේ අපි වයස් පරතරය අඩුයි . එතකොට එකම කාලේ වගේ විවාහ වෙලා අපේ ප්‍රශ්න අපිට . ඒ කාලේ පවුලේ වැඩිමලාගේ ඉඳන් බාලයාට ලොකු වෙනසක් තිබුනා .අක්කල අය්යලගේ ළමයි එක්ක සුරතල් වෙන්න ඒ අයට වෙලාව තිබුනා . අනික පවුලේ ගොඩාක් ළමයිනුත් හිටියනේ . අපේ තාත්තගේ පවුලේ 9 යි . අම්මගේ 8 යි . අපේ ගෙදර 4 යි . අපිට දෙකයි . පරම්පරාවක් යද්දී භාගයක් අඩු වෙලා .
Delete// කමෙන්ට් කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්//
ReplyDeleteමොන ඇන්නෑවක්ද මේ කියන්නෙ? අපිටත් ඔය වැනිල්ල නං හොඳට පුරුදුයි, අපි නං ඔය කොයි එකටත් කරන්නෙ නැට්ට වනන එකනෙ. ඒත් නොනේ මෙහෙම වැනිල්ලක්(පරිසරය) නං දකින්නෙ බොහොම කලාතුරකින්. ඔහෙට කියන්න මේ තාමත් නැට්ට වැනෙනවා :)
නැට්ට වනන ඒක කොච්චර හොඳද . බුරන්නේ නැතුව . ගම ගැන තව ගොඩක් කියන්න තියෙනවා
Delete//ඒ කාලයේ බත් වලට මාළු පිනි ගොඩක් හදන්නේ නැහැ .පරිප්පු , වම්බටු , මැල්ලුම් වගේ දේවල් තමයි . සැමන් බැදුම තමයි නිතර මාළු වෙනුවට හැදුනේ . කඳු පළාත්වලට මාළු ආවේ නැහැනේ වැඩිය . මස් නම් උයපු බවක් මතකම නැහැ . පිල්ලෙන් වතුර ගලන පාරේ කොහිල තිබුනා හිටවල . හේනක් තිබුනා මය්යෝක්ක බතල හෙම තියෙන . කැරන් කොකු මාලුව ආච්චි රසට ඉවුවා . ඔයින් දෙකක් තුනක් තමයි බතට ඉවුනේ .//
ReplyDeleteඅම්මෝ අද නම් මෙතනින් යන්ට බැරි තරම් කතාව රසයි.
මෙච්චර මේ ලාස්සන විස්තර තියෙනවා, මුන්දැට පෙනිලා තියෙන්නෙ කෑම විතරමයි.. පෙරේතකම තිබ්බට ඔහොමත් ලෝකෙට පෙන්නන්ට වටිනවද මං අහන්නෙ.!? :p
Deleteඕවට ආච්චිගේ අත් ගුණෙත් තිබුනා වෙන්න ඇති . නැත්නම් ඔය කරන කොකු ඇර අනික් එව්වා අදත් නැතුවය . අපි ඉව්වොත් එච්චර විශේෂයක් නැහැ .
Deleteඑහෙම තමයි අපි. රහ දේට බය නැතුව රහයි කියනවා. :D
Deleteහයියෝ! මේ කතා මෙහෙමත් කියන්ට වටිනවාද මං අහන්නෙ..?? සික්, මටත් ඒ කාලෙ මතක් වෙනෝ, හයියෝ බින්දි මොකද්ද මේ කොරේ.. :(
ReplyDeleteමතක් කරන්ට මතක් කරන්ට ..ඔව්ව අමතක කරන්න හොඳ නැහැ .
Delete"ආච්චිගේ ආදරය ..නැන්දලගේ සුරතල් බාප්පාගේ විහිලු , ලෝකෙම හරිමලස්සනයි එතකොට ."
ReplyDeleteඇස් දෙකෙන් කන්දුලු ගලනවා.... එතරම් සුන්දරයි මගෙත් මේ මතකේ...
මම හැම ආත්මෙකම අම්මා තාත්තා විතරක් නෙමේ.. මේ බාප්පල.. නැන්දලා.. අත්තම්මල පතන්වා
"කාට හරි බැරිද ඕකට ආදේශකයක් සොයා ගන්න "
ඇයි ගොඩපර
හත් මාලුව
කජු
වට්ටක්ක දලු
මෑකරල්
පරිප්පු
කොහිල
ඉතුරු ටික මතක නෑනේ
සබරගමුවෙ අවුරුදු මේ වගේ තමයි..
මන් කෑගල්ලෙ
ගොඩක් ස්තුතියි බු ..ඉතුරු ටිකත් හොයා ගත්තොත් හදලා බලන්න පුළුවන් . ගොඩපර කෑමට ගන්නවද . අපි තලලා කොණ්ඩේ ගෑවා . අපි නාපු ඒක ලිඳක් ගෑවා ගොඩපර ගහක් තිබුනා . කන්ඩිෂනර් ගෑවා වගේ තමයි .
Deleteඔයත් සබරගමුවේ එහෙනම් . සබරගමුව කියන්නේ අපුරු පළාතක් . උඩරට ලක්ෂණයි පහතරට ලක්ෂණයි එක්කහු වෙලා හැදුන උප සංස්කෘතියක් වගේ . අපේ කාර්ය මණ්ඩලයේ උන්න සබරගමුවේ කෙල්ලෝ කීපදෙනෙක්ම . එයාලව තරහගස්සන්න කොල්ලෝ විහිලු කරන්නේ සබර කියන්නේ වැද්දන්ටලු. සබරගමුවේ ඉන්නේ වැද්දෝ තමයිලු . කොච්චර ආඩම්බරයක්ද ..අපි බලන්ගොඩ මානවයාගේ කට්ටියනේ . සයිබර් යායේ ය නම් කියන්නේ සිංහලයා පැවැත එන්නෙත් බලන්ගොඩ මානවයාගේ තාත්තාගෙන් කියලයි .
බින්දි අක්කේ..
Deleteවැද්දෝ කිවත් අවුලක් නෑ වගේ අනේ අපි ගනත් හිතල බලාපුවම..
ගොඩ පර වලින් නානු හදා ගන්නවා..ආස්මි වලට..ඔව් ඔව්.. කොන්ඩිශනර් වගෙ තමඊ
අනේ ඔය චුටි මහත්තයගෙ මල කෝලන්..එයයි අපියි දන්න මානවකයො.. හික්ස්
සබර කියන්නෙ මැණික් වලට..
Deleteකොහෙද අපි උන්ට කිව්වා පිළිගත්තේ නැහැනේ . අපි මැණික් වගේ හින්දා ඉරිසියාවේද කොහෙද
Deleteඅක්කලාගෙ පලාත නං මරු....මටත් එන්ඩ හිතුනා :-)
ReplyDeleteකොයි පළාතද මල්ලි . රත්නපුරේ කියන්නේ අපේ තාත්තගේ ගම . අපි උන්නේ කොළඹට කිට්ටුව . කොළඹට කිට්ටු වුනත් ඒ දවස්වල ලස්සන පළාතක් . ඔය රත්නපුරේ නම් මමත් ගිය කාලයක් මතක නැහැ . දැන් එච්චර ලස්සනත් නැහැ .
Deleteඅතීත මතක ආදරයෙන් ස්පර්ශ කරන්න පුළුවන් සුන්දර කාලයක් ඔයාටත් තිබිලා බින්දි..
ReplyDeleteසතුටු හිතුනා කියෙව්වම..
ඇත්තටම ජිවිතේ ආපස්සට හැරිලා ලස්සන දේවල් විතරක් හිතන්න මන් දැන් පුරුදු වෙලා . අනාගතයේත් අද ගැන එහෙම හිතන්න අපි හැමෝටම ලැබෙයි නම් ඒක නේද සතුටින් ජිවත් වීම කියන්නේ
Deleteඅර ආච්චි ඔයාල එනකම් මග බලන් උන්නු හැටි කියවනකොට මටත් අපේ අත්තම්ම මතක් උනා.... එයත් එහෙමයි..... අවුරුදු කාලෙට බලන්න ඕන තියෙන සතුට.....
ReplyDelete"ඇත්තටම ගෙදර පිටි කොටලා දර ලිප් වල ඔය රාජකාරි කරන එක කොයි තරම් ලොකු වැඩක්ද.."
මේ ගැන නම් මටත් මතක් වෙනකොට පුදුමයි....
මතක ටික නම් හරිම ලස්සනයි බින්දි... ඔයාගෙ කතාවලින් මටත් තව තව දේවල් මතක් වෙනව....
ලියලා ඉවර කරන්නවත් බැහැ නේද . මන් මේ අලුත් පෝස්ට් එකකුත් කොටන ගමන් . දවසක්වත් මේ පෝස්ට් ඒක තියන්න ඕන නිසා මිසක් නවත්වන්න නම් හිතක් නැහැ . ඒක වගේ කලෙක ඒක වගේ අත්දැකීම් විඳපු මන් වගේම අය හමු වීම හරිම සතුටක්
Deleteඒක නම් ඇත්තමයි බින්දි.... :D
Deleteහපොයි දෙයියනේ! උදේ පාන්දර සීතල cereal කන ගමන් මේක කියෙව්වෙ. දැන් මට ලංකාවෙ කෑම බඩගිනියි! :D
ReplyDeleteඔන්චිල්ලාවක් පැද්ද කාලයක් මතක නැහැ... මම ඉස්සර ආසම වැඩක් තමයි ඔන්චිල්ලාව පදිනගමන් පොත් කියවන එක, දැන්නම් හිනයක් විතරයි....
ReplyDeleteමුහුදු ..
ReplyDeleteසොරි වෙන්ට ඕන
කුෂි ..
කවුද අනේ දැන් අපි වගේ අලින්ට ඔන්චිලි හදල දෙන්නේ . මාත් එහෙම තමයි අපේ ගෙදර අවුරුද්ද පුරාම ඔන්චිල්ලාවක් තිබුනා .
ඇත්ත කමෙන්ට් කරන්න දෙයක් නැති උනා.. ඒ මොකද මේ වගේ අවුරුදු සෑහෙන කාලෙකින් සමරලා නැති නිසා.. ගොඩක් දේවල් අපෙන් නොදැනුවත්වම ඈත් වෙලා.. වෙලාවකට දුකයි..
ReplyDeleteපොඩි සන්දියේදී නම් ඉතින් අවුරුද්ද එනකම් බලාන ඉන්නේ ඇඟිලි ගැන ගැන . ඒත් දැන් නම් අවුරුද්ද ඇවිදින් අපිටත් හොරා යන්ඩ ගියා අපිත් වැඩ වලම එල්ලිලා හිටියා ඉතින් ඒක යාන්තමට වත් දැනුනේ නෑ . තව ටික කාලෙයක් යද්දී මේ අවුරුද්ද මෙහෙමවත් දැනේවිද ?
ReplyDeleteමම නම් අවුරුද්දට කියලා කලේ කැට ගහපු එක විතරමයි .
මේ කතා කියවද්දි දැනෙන දේවල් එක්ක ලොකු ෆයිට් එකක් කරන්න වුනා. ( සිංහල තිබ්බේ නැති හින්ද හොඳට ගියා)
ReplyDeleteඔයාගේ පෝස්ට් එක කියවල මියුරුගේ එකත් කියෙව්වාම මොන මොනවදෝ උනා. ඒ අවුරුදු අද නැති හින්දා නෙමෙයි අතීතයට මම ගිහින් වෙන්න ඕනෙ.
මම නම් පොඩි කාලේ අවුරුදු වලට කොහෙට හරි ගියාම කන පුරුද්දක් නෑ. මට දෙන තෑගි ටිකයි සල්ලි ටිකයි වෙනුවෙන් විතරයි මගේ උවමනාව තිබ්බේ.
අපේ පැත්තේ අවුරුදු කාලේට පංචි දානවා. මම ගොඩාක්ම පොඩි හින්දා මම වෙනුවෙන්ම පාට් එකක් දුන්නෑ අක්කලා එක්ක හවුල් වෙන්න විතරයි හම්බ වුනේ. කොහොම හරි මම ගොඩාක් වෙලාවට අපේ ලොකුගේ පැත්තටයි ගියේ එයාගේ ලකි හෑන්ඩ් හින්දා එයා නිතර දිනුවා. ඉතින් මාත් ඉබේම දිනුවා ( එහෙම හිතාගෙන හිටියා) අපේත් බාප්පලා ඔක්කොමලා රෑ වෙද්දි පංචි දාන්න තමයි එකතු උනේ. ඒ කාලේ වෙලාසනින්ම අර පැට්‍රල් මක්ස් හරි මොනා හරි කියන ලාම්පුවක් පත්තු කරනවා. වැඩි එලියක් තියෙන්න. මාරයගේ හරි කොහේ හරි පෝස්ට් එකක මම ඒ වගේ ලාම්පුවක් ගැන කියෙව්වා. තව දාදො එකක් අරගෙන අපි ඒකත් සෙල්ලම් කලා වගේ මතකයි.
අපි පොඩිකාලෙ හිටියේ තැනිතලාවක. ඊට අමතරව වත්තෙ කජු ගස්නං ඕන තරම්. අපිට තිබුනෙ නෑ පීල්ලෙ නාන්න, ඒ වෙනුවට අක්කර බර ගාණක් විශාල වැව. ඔය වෙනස් කම් ඇරුනම අතින් සේරම සමානයි! හැබැයි මම නම් වැඩිපුර කැමති සීනි වලින් හදන කොන්ඩා කැවුම් කන්නයි! නැත්තං කොකිස්!!!!
ReplyDeleteබින්දුමතී අක්කට ස්තුතියි ඕගොල්ලන්ගෙ ගමට අපිට එක්කරගෙන ගියාට.
හරි හරි අලුත් එක ලිව්ව නිසා මේක මග ඇරිලා . අපෝ මෙයාගෙන් බේරෙන්න බැහැනේ . රත්නපුරේට වඩා කජු තිබුනේ අපි හිටිය පළාතේ . විවිධාකාර කජු ගස් . කහ පුහුලම් , රතු පුහුලම් . වැවක් තිබුන නම් පීනන්න පුළුවන් ඇතිනේ හොඳට .මගේ නමත් වෙනස් කරලනේ . කමක් නැහැ ඉතින් අපේ මල්ලි මට කිව්වේ පොඩ්ඩා කියල . මල්ලිලා නම් දාන්න දක්ෂයි
Deleteඅපිත් ආසයි කොණ්ඩ කැවුම් වලට . හැබැයි හැමෝම දන්නේ නැහැනේ හදන්න . මන් ට්‍රයල් ඇන්ඩ් එරර් කළා හරි ගියේම නැහැ . අපේ සේවස්තානේ හිටියා රඹුක්කන කෙනෙක් . මට නිතරම කොණ්ඩ කැවුම් හදල ගෙනත් දුන්න දුවල ඉපදෙන්න හිටි කාලයේ
/ ආතා මුලින්ම දෙබලක් තියෙන ලියක් හිටවනවා . ඒ උඩ අවුරුදු කුමාරයාට කෑම තියනවා . /
ReplyDeleteඈ. බිංදියෙ, කොහොමෙයි දෙබලක් උඩ කෑම තියන්නෙ?....කිව්වනම් බලන්ට අපිට දැනගන්ටත් එක්කල...:) :)
/ ඇත්තටම ආස්මි කොච්චර රස කෑමක්ද. හැබැයි දවුල් කුරුඳු හැමතැනම නැහැනේ . කාට හරි බැරිද ඕකට ආදේශකයක් සොයා ගන්න . /
නෑ, නෑ, බින්දි බයවෙන්ට එපා...කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පටන් ගන්න යෝජනාවක් තියනව මහා පරිමාණයෙන් දවුල් කුරුඳු වගාව ව්‍යාප්ත කරන්ට සහනාධාර එහෙම දීල...2020 වෙනකොට ශ්‍රී ලංකාවේ දවුල් කුරුඳු හෙක්ටෙයාර් 20,000 ක් වගා කරන්න තමයි සැලසුම.. :) :)
ලියවිල්ල නම් අපූරුයි බින්දි....හෙහ්, හෙහ්, තව ගමේ විත්ති තුන හතරක් ලියන්න....හොඳේ..
අනේ මන්ද මට ඔය මතක හැටි තමයි . කෙහෙල් කොලෙකින් ගොටුවක් හදනවා . ආතා නැහැනේ අහන්නවත් . නැත්නම් වෙන්න ඇත්තේ ලියේ උඩ කීප අතකට පලා මුක්කු ගසා යමක් රඳවන්න හැකි ලෙස සැකසීම වෙන්න ඇති .
Delete2020 වෙද්දී ආස්මි හදන්න දන්නා අය ඉඳියිද අප්පේ . ආස්මි අපේ රටේමද . නැත්නම් කොහෙන් හරි ඇවිත්ද . කොකිස් නම් ලන්දේසි කාරයින්ගේ නේද . අපි කොකිස් හාල් පිටියි පොල් කිරියි දාල හැදුවට එයාල හැදුවේ කොහොමද දන්නේ නැහැ . ඕලන්දයේ පොල් වවනවයි .එදා කාන්තා හමුවේදී දොදොල් කාපු සුද්දියක් කිව්වා ඒ වගේ එකක් පෘතුගාලේදී කෑවලු. දොදොල් හදන්න කියා දුන්නේ පෘතුගීසින් කියලයි මන් අහල තියෙන්නේ .
තව ලිපි කීපෙකට ලියන්න තරම් එව්වා තිබ්බත් තව එකයි ලියන්නේ . නැත්නම් මේක එපා වෙයි . ..
/ නැත්නම් වෙන්න ඇත්තේ ලියේ උඩ කීප අතකට පලා මුක්කු ගසා යමක් රඳවන්න හැකි ලෙස සැකසීම වෙන්න ඇති /
Deleteඑසේය බින්දි..ඔබ හරි එහෙම තමයි ඔය වැඩේ කරන්නෙ...ඔය තොවිල් ශාන්ති කර්ම වලදි යක්කුන්ට පෙරේතයින්ටත් ගොටුව හදල ඔන්න ඔහොම ලීයක් හතරට පලල තමයි ඒක උඩ ගොටුව රඳවන්නෙ....
/ කොකිස් නම් ලන්දේසි කාරයින්ගේ නේද . අපි කොකිස් හාල් පිටියි පොල් කිරියි දාල හැදුවට එයාල හැදුවේ කොහොමද දන්නේ නැහැ . ඕලන්දයේ පොල් වවනවයි .එදා කාන්තා හමුවේදී දොදොල් කාපු සුද්දියක් කිව්වා ඒ වගේ එකක් පෘතුගාලේදී කෑවලු. දොදොල් හදන්න කියා දුන්නේ පෘතුගීසින් කියලයි මන් අහල තියෙන්නේ ./
ඔය කොකිස් සහ දොදොල් ලන්දේසීන්ගෙන් ආවයි කියන කතාව ටිකක් පිළිගන්න නම් අමාරුයි. බින්දි කිව්වත් වගේ උන්ට කොහෙද පොල්.....අනික ඒ රටවල ඔය ගැඹුරු තෙලේ බැදිල්ල ඒ දවස්වල තියෙන්න විදිහකුත් නෑ.දැන ගන්න ලැබුණු විස්තර වල හැටියට දොදොල් මැලේසියාව ඉන්දුනීසියාව පැත්තේ තමයි උපත. කොකිස් ගැන නම් ඒ තරමටවත් විස්තර නෑ.
දහහත්වන සියවසේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමේ මූලස්ථානය වුනේ බතාවිය. අද ජකර්තාව. ඉන්දුනීසියාවෙ අගනුවර. ඉතින් මම හිතන්නෙ අනිවාර්යයෙන් එහෙන් තමයි ඔය දොදොල් ඕලන්දක්කාරයො ලංකාවට ගෙනෙන්ට ඇත්තෙ.දැන් දූරියං, රඹුටං ගෙනාවෙත් එයාලනෙ, ඒත් එව්ව ඕලන්දෙ පලතුරු නෙවෙයි නෙව.
කොකිස් කියන වචනෙ නම් බිඳිල ආවයි කියන්නෙ Cookies කියන එකෙන්ලු.
දොදොල් කියන වචනෙ ඉතිහාසය නම් හොයාගන්ට බැරිඋනා. ඇත්තටම හරිම වැදගත් දෙයක් කවුරුහරි මේ වගෙ අපේ කෑම සහ රසකැවිලි වල මූලාරම්භය සොයන පර්යේෂණයක් කරනවනම් නැද්ද බින්දි?....අඩු ගානෙ කන්ට නැති උනත් නම හැදිච්චි හැටි ගැන ඒ වගේම එව්වයෙ පැටිකිරිය කියවල වතුර එකක් බඩ පුරා ගහල බැරියැ බුදියෙන්ට වත්...හෙහ්, හෙහ්
හොයන්ට වටිනා කාරණයක් තමයි . දොදොල් වගේ කෑම මැලේසියාවේ සහ මේ නැගෙන හිර පැත්තේ රටවල තියෙනවා . මන් ටිකක් සොයන්න බලන්නම් . මේ ලින්ක් එකත් එක්කම අපි වෙන පොස්ට් එකක් ලියමු . නැත්නම් ගොඩක් දෙනෙක්ට මග ඇරෙයි මේක පරණ ලිපියක් නිසා .
Deleteඅද කතාව හරිම රසවත්. බින්දිලට අපූරු ළමා කාලයක් තිබිල තියනවා. ඒ නිවාඩුවට යන්න ගමක් තිබුන නිසා වෙන්න ඇති. අපිට ගමක් නෑනේ. නිවාඩුවට නෑදෑයෝ බලන්න කොළඹ ගියේ. මතක් වෙනකොටත් එපා වෙනවා.
ReplyDeleteඔව් නික්කි ..ඇත්ත තමයි අවුරුදු කාලෙට කොළඹ පාලු වෙනවනේ . කොහෙත් නගර එහෙම තමයි .මෙහෙ චීන අවුරුද්දට හැනොයි , හෝචි මින් වගේ ප්‍රධාන නගර පාලු වෙනවා
Deleteමම මේකට පෙරේදා දාපු කොමන්ට් එක නෑ නේ?
ReplyDeleteඅනේ දන්නේ නැහැනේ රන්ගි . ස්පෑම් එකෙත් නැහැ .
Deleteමම දාපු එකට උත්තරත් නෑ.... හරි කම්නනැ බලාගමුකො
ReplyDeleteපරණ අවුරුදු මතක, ගෙදර අය ගැන මතක අපේ හිතට එබිකම් කරනව මේවා කියෙව්වම. අපේ ඔය තරම් කට්ටිය එකතු වෙන අවුරුදු තිබුණෙ නෑ. ඒත් අවුරුදු කිට්ටු වෙද්දි සීයා වැලිතලප හදාගෙන එනවා අපිව බලන්න.
ReplyDeleteඅපෙ අක්කටත් බින්දිට වගෙ අකුරු සද්ද නොවෙන ප්‍රශ්නයක් තිබ්බා. රබානට කියන්නෙ හබාන.