අවුරුදු ඇවිත් ගියේය . අලුත් අවුරුද්ද යනු ලැබූ නව වසර වන නමුදු බක්මහ උළෙල පවතින දින කීපය පමණි අවුරුදු කී සැනින් මට සිහි වන්නේ . එනිසාය මා අවුරුදු ඇවිත් ගියා යයි කිවේ .
කොහා තියා කපුටෙක්වත් අඬන්නේ නැතුවම , එරබදු මලක් නොදැකම අවුරුදු ඇවිත් ගියේය . කැවිලි සාදා ,පන්සල් ගොස් ,නැකතට කිරි උතුරවා , උදේ කිරිබත් කැවුම් කා අවුරුද්ද සැමරුවෙමු . ළමයින් ටිකක් හෝ මේවා දැන ගන්නට ඕනය . පුරුද්දට ලංකික නාලිකාවන් දමා තිබුනද එව්වා නම් මෙලෝ රසක් නැත . ''සෝ බෝරීන්'' කියා මටද සිතුනි . හැම නාලිකාවකම කට්ටියක් වටවී කියවයි . මේ ගැන රංග මගේ ලෝකයේද කියා තිබුණි .
ඊයේ පෙරේදා දවසක ආසියානු ගෑණු සංගමයට අපි වගේම අවුරුදු කන රටවල් තුනක් සහ ලංකාව අවුරුදු කන හැටි අනික් අයට පෙන්වන්නට තීරණය කර තිබුණි . මේ සංගම් වල ඉන්නේ ගෑණු පමණකි . පිරිමින් ඇවිත් ඉන්නේ රස්සා වලටය . ගෑණුන් නිකන් ඉන්න විට ''සෝ බෝරීන් '' නිසා මෙව්වගෙ සංගම් අටවා ගනිති . වැරද්දක් නැත . මගේ විරුද්ධත්වයක්ද නැත . මාත් මේ බැඳෙන වද නැද්ද කියා සිතා සිතා සිටිමි . ඉතින් මේ කාන්තා අවුරුදු උළෙලට අපිටද ආරාධනා ලැබිණි . එය නම් තරමක් රසවත්ය . ඇසු කාරණා අනුව මේ හැමෝගෙම අවුරුදු බොහොම සමානය..
තායිලන්තයේ නම් අවුරුද්දට ''නාගැනීම '' සිදුවේ . මුලින්ම බුදු පිළිම නාවා ඉන්පසු එකිනෙකා වතුර විද ගනී . අවුරුදු සමයේ අධික රස්නය නිසා මේ පුරුද්ද ඇති වුවා විය හැක .
මියන්මාරයේ දීත් වතුර විදීම සිදුවේ . නමුත් ඒ අප්‍රේල් 12, සිට 16 තෙක්ය . අවුරුදු දිනය ලෙස සලකන්නේ 17 ය . හාල් පිටි වතුරින් අනා ගුලි සාදා උතුරන වතුරට දමන අතර ඒවා උඩ පාවීම සෞභාගය ලඟා වීමේ ලකුණකි . අපේ කිරි ඉතිරවීම වගේම යයි සිතේ .
නේපාලයත් මේ අවුරුද්ද සමරයි . සාමානය හින්දු පුද පුජා සහ මුදල් තෑගි දීම ඔවුන්ගේ සිරිතයි .
අලුත් අවුරුද්දට මුදල් දීම නම් කොහෙත් කෙරෙයි .
චීන අවුරුද්දේද ''ලකී මනි '' කියා ලස්සන පොඩි කවර වල දමා මුදල් තෑගි දේ . විශේෂයෙන් ළමයින්ට , සේවකයින්ට මේ මුදල් ලැබේ .
ඉන්දියාවේත් විශේෂයෙන් දකුණු ඉන්දියාවේ මේ අවුරුදු සරනු ලබයි . සිරිත් විරිත් පළාතෙන් පළාතට වෙනස් වන බවයි කියවෙන්නේ .
කොයි රටෙත් අවුරුද්ද යනු අස්වනු කපා ගෙට ගත් සතුට සැමරීමත් ., වසර පුරා ඒකාකාරී වැඩ ගොන්නෙන් මිදීමත් මුල් කොට ගෙන ඇති වුවක් බවයි මගේ මතය .
අපේ ළමයින්ට අවුරුදු එතරම් චමත්කාරයක් නොවේ . එහෙත් මම නම් බක් මහේ අසිරියෙන් අපමණ ආනන්දයට පත් ළමයෙක්මි . අවුරුද්ද ගැන මිහිරිම සුන්දරම ළමා මතක ගොන්නක හිමිකාරියක්මි. මේ අවුරුද්දේ ඒ මතක ලියා තබන්නට හැකිය . පරිගණකය ලෙඩ වී පසුගිය දිනවල හරි හමන් බ්ලොග් බැලීමක් නොවිය .
බක් මහේ අවුරුදු නිවාඩුව එනතුරු අපි බලා සිටියෙමු . හිතු විටක ගන්නට කඩ පිලක් ගානේ ඇඳුම් එල්ලා නොතිබූ යුගයක අලුත් ඇඳුමක් ලැබීම විශේෂිත විය . අඩුවෙන් තිබු තරමට අගයද වැඩිය . ගෙදරට අඳින්නට චීත්ත ගවුමකුත් ගමනට අඳින්නට තරමක් හොඳ ඇඳුමකුත් මසා දෙන්නේ අම්මාය . ඒ අම්මගේ දුවලා නම් ඇඳුමක් මහන්නට ඉගෙන නොගත් බව ලජ්ජාවෙන් වුවද කිව යුතුය . ඒ චීත්ත ගවුම් වල සුවඳ අද වගේ මතකය .
කැවුම් තැනුයේ ගෙදරම පිටි කොටාය. හාල් පොඟවා වංගෙඩියේ කොටා පෙනේරයෙන් හලාගෙන කැවුම් සැදීම වැඩ රාශියකි. එහෙත් ඒවා කරදරයක් ලෙස සිතු බවක් මතක නැත . සිඟිති අත් වලින් අපිද උදව් කළෙමු . පෙනේරයෙන් පිටි හැලීම හරිම අමාරු කාරියකි . අතිරස වලට අනන පිටි ගුලියෙන් කුඩා බෝල සාදා වඩවා දීමට මන් හරි කැමති අමුවෙන්ම ටික ටික කටේ දාගන්නට ආසා නිසාය . අද කල්පනා කරන විට අම්මා ද එදවස කැවිලි සාදන්නට පර්යේෂණ මට්ටමේ සිටි බව සිතේ . අලුවා සදන්නට ගොස් වැරදුන වාර අනන්තය . නොවරදින කැවිලි වුයේ අතිරස , මුන් කැවුම් සහ කොකිස් ය . අම්මාගේ අම්මා ට හොඳින් කැවිලි සදන්නට හැකි වූ බව කිව යුතුමය . කෙසේ වුවත් අද මා උයන පිහන සියලු ලාංකීය කෑම වර්ග එදා ළමයෙකු ලෙස අම්මා උයන අයුරු බලා සිට උගත් දේය. විවා පත් වී යන තුරු තනිවම බතක් උයා නැති මා අද යම් තරමකට හොඳ මට්ටමේ කෑම සාදන අතර එයට ''පර්යේෂණාගාර මියෙකු වුවෙමියි'' ඉඳහිට සමහරුන්ගේ කතන්දර අසන්නට සිදුව ඇත .
මගේ විදේශීය මිතුරියන්ට නම් මගේ කෑම ඉතාම අගනේය . ඔවුන් ඒවා කන්නේ මගෙන් පමණක් වන නිසාය .
කෙසෙල් කැනක් ඉදවීම හරිම විනෝදයකි . වළක් කපා කෙසෙල් කැන වලදමා දුම් ගැස්සීම තාත්තගේ රාජකාරියකි . අවුරුදු කාලෙට අපේ ළමයින් වගේ '' සෝ බෝරින්'' කියන්නට අපි දැනන් උන්නේ නැත්තේ කරන්නට බොහෝ දේ තිබුන නිසාය . ''සෝ බෝරින් '' වී ඇත්තේ ඔවුන්ගේ වරදකින් නම් නෙමේ . ලෝකය කැරකෙන හැටි එහෙමය . ඒවාට මගේ විරුද්ධත්වයක් ද නැත . නුතන දියුණුව එපායයි කියා මොරදෙන්නටද මට අයිතියක් නැත . මා මේ කරනුයේ මගේ සිතේළමා මතකයන් අතගා බැලීම පමණි . මේ සටහන් ඇතැම් විට ඔබට නීරස විය හැක . මේවා සරල සහ පොදු අත්දැකීම් කියා සිතෙනු ඇත . එහෙත් මා මේ ලියන්නේ කලෙක මතකය දුබලව ගිය තරමට මා ජිවත් වුවහොත් කියවා රස විඳීමටත් මේවා කොහේ හෝ ලියා තැබිය යුතු බැවිනි .
ඒ ඒ නිවාඩු කාලයන්ට අපිට කරන්නට කුමක් හෝ වැඩක් තිබිණි . අගෝස්තුවේදී සරුංගල් පිස්සුවය . සරුංගලයක් තැනීමට දවසම ගතවේ . ඉරටු හෝ බට කපාගැනීමට , තට්ටුව සැදීමට වරුවක් යයි . සව්කොළ , නුල් පාප්ප සැදීමට පිටි ගන්නට මුදලක් සොයා ගත යුතුය . කැට හාරා හෝ අම්මලාට කෙඳිරි ගා සල්ලි සොයා ගෙන කඩේ යා යුතුය . ඊළඟට සරුංගලය අලවා ගත යුතුය . සරුංගලය අනික් කොල්ලන්ගේ මාට්ටුවකට අසුවී හෝ නුල කැඩී හෝ ගහක පටලැවී හෝ විනාශ වෙන තුරු දවසම උඩ අහස දිහා බලන් සරුංගල් අරිමු . අහසේ පාවෙන අනෙකුත් සරුංගල් බලා සතුටු වෙමු . ඒ සරුංගලය නැති වූ පසු අර වයාපෘතිය යලි මුල සිට . නිවාඩුව කවදාවත් ''සෝ බෝරින් '' වුයේ නැත .
අවුරුදු නිවාඩුව නම් ඊටත් එහාය . කැවුම් කොකිස් හදන්නට ගෙවල් දොරවල් මකුළුදැල් කඩා පිරිසිඳු කරන්නට අම්මාට උදව් කළෙමු . හොඳින් ගැලවෙන හොඳ කොකිස් අච්චු හැම ගෙදරම තිබුනේ නැත . තිබුනේ ගමේ ගෙවල් කිපයකය . අපේ ගෙදරට කිලෝමීටරයක් පමණ දුරින් වූ නදී අක්කලාගේ ගෙදර ගොසින් ගෙනා සමනල් කොකිස් අච්චුව හරිම ලස්සනය . කොකිස් අච්චුව ගේන්නට ගිය විට ඒ වත්තේ වෙරළු අහුලාගෙන අක්කලා සමග ටිකක් සෙල්ලමටද ඉඩක් ලැබේ . අපිට බොහෝ කලකට පෙර දිග ගිය ඒ අක්කලා අද කොහේ ඉන්නවාදැයි නොදනිමි . සැබවින්ම අතීතයේ හමු වූ සුන්දර මිතුරු මිතුරියන් අද කොහේ කොහේ ඉන්නවාදැයි නොදනිමි . ඒ ගැන විටක සියුම් දුකක් ඇති වුන ද ඔවුන් චීත්ත සන්තානයේ යස අපුරුවට ඉන්නා ඉන්නා බව මට සිතේ . ආපසු ගමට ගොස් වරිච්චි බිත්ති කුහර වල සැඟවූ නිධන් සොයනා ''අපු '' මෙන් සිත නමැති බිත්තියේ කුහර වල සැඟවූ අතීත මතකයන් අතගා බලන්නට මමද ආසා ය .
ගෙවල් අස් පස් කලද කැවුම් තැනුවද මොන දේ කලද අවුරුද්දට ගෙදර හිටියේ කලාතුරකිනි . නිවාඩුව ලබද්දීම අපගේ පරම පැතුම වෙනකකි . කොයි වේලේ ගමේ යන්නට ලැබේදැයි කියාය . ගමින් කොළඹට ආ අපේ තාත්තා හිතින් උන්නේ ගමේය . වයසට ගොස් කවදා හෝ ගමට යන්නෙමියි ඔහු හිතා උන්නේය . එහෙත් ඔහුට කොළඹම නවතින්නට සිදුවිය . ජීවිතය එහෙමය .
අපිත් අම්මගේ නෝක්කාඩු මැද වුවද ගමට පැන ගැනීමට ඇඟිලි ගැන්නෙමු. වැඩි චන්දය බලවත්ය . ඇතැම් විට නොනගතයට පෙරම අපි ගමේ යමු . අපේ අවුරුදු ගමන හරිම දිගය . කෙටියෙන් ලියා ඉවර කරන්නට බැරිය . අද හෙට හෝ කවදා හෝ ඉතුරු ටික ලියමි .
ජිවිතයේ එක එක යුගයන් වෙන් කිරීමට හොඳම නිර්ණායකය සිංහල අවුරුද්දයි . ප්‍රශ්න නොකරම සියල්ල රස විඳි ලස්සන ළමා කාලය . ...සියල්ල විද්‍යාවෙන් ඔප්පු කරන්නට තැත්කළ පුර්ව ගැටවර විය ..කැරලිකාර යව්වනය ..දරු මල්ලන් ලබා ජීවිතය සන්සුන් වන කාලය .....බැහැර ගිය දරු මුණුබුරන් අවුරුද්දකට වරක් වත් ඒ යයි පෙරුම් පුරන අවසාන සමය ...
අගක් මුලක් නැති කතන්දර ගොඩක් වුවාට සමාවන්න . මේවාගේ ලිපි වලට කමෙන්ට් කිරීම අමාරු වගත් දනිමි . හිතු විට ලියාගෙන යනවා මිස වෙන කුමක් කරන්නද . වෙනස් වෙන්නට දැන් පරක්කු වැඩිය .
ලැබූ අලුත් අවුරුද්දේ සැමට සතුට ලැබේවා !!!!
ඇත්තටම කොහොම කමෙන්ට් කරන්නටදැයි නොදනිමි. කියවාගෙන යනවිට දහසක් දේ සිතට ආවත් ලිපියේ අගට එනවිට ඒ සියල්ල පැටලී තෝරා බේරා ගත නොහැකි තත්ත්වයකට පත් වී ඇත. :)
ReplyDeleteඅතීත මතකවල කිමිදෙන එක මගේත් ප්‍රියතම කාර්යයකි. ඒ කාලය යලි නොඑන හෙයින් දුක හිතෙන අවස්ථාද නැතුවා නොවේ. මා ගෙවා ඇති සුන්දරම අවුරුදු වන්නේ ගමේ අත්තම්මා ගේ නිවසේ ගෙවූ අවුරුදු ය. එවකට අවිවාහක නැන්දලා මාමලා වටකරගෙන සැමරූ අවුරුදු ඉතාමත් සුන්දරය. ඉන් දශකයකට පමණ පසු අවුරුදු සැමරුවේ නැන්දලා මාමලා ගේ පොඩි එවුන් ටික වට කරගෙනය. රණ්ඩු වේවි පංචි දැමූ ඒ කාලයද සුන්දරය.
දැන් නම් අපි අවුරුද්දක් සමරන්නේ ම නැති තරම්ය. අවුරුද්ද අහලාවත් නැති මේ රටේ අවුරුදු දිනද ඔපීසි යාමට සිදු ව ඇත.
ඒත්, කෙදින හෝ නැවත අවුරුදු සමරන්නෙමු. ප්‍රශ්නයකට ඇත්තේ අපි එන තෙක් කොහා බලා ඉඳීවිදැයි විශ්වාස නැත.
මෙහෙත් එසේමය . ඔබ ගෙවන්නේ අලුත විවාපත් තවම කැරලිකාර යුගයේය . දරුවන් ලැබුන පසු බලන්න . වරද වරදා හෝ කැවුමක් හදන්නට අඩුම ගනනේ කිරිබතක් උයන්නට නොසිතෙදැයි. අපි ළමයින් ලෙස ගෙවූ අවුරුද්ද තමයි වඩාම ලස්සන
Delete//කොහා තියා කපුටෙක්වත් අඬන්නේ නැතුවම , එරබදු මලක් නොදැකම අවුරුදු ඇවිත් ගියේය . කැවිලි සාදා ,පන්සල් ගොස් ,නැකතට කිරි උතුරවා , උදේ කිරිබත් කැවුම් කා අවුරුද්ද සැමරුවෙමු . ළමයින් ටිකක් හෝ මේවා දැන ගන්නට ඕනය.//
ReplyDeleteඑයයි වටිනාම සටහන, ගොඩාක් ගැඹුරින් දැනුනි, ඒ අපිට දැනෙන සමගාමී විදිය නිසා වෙන්න ඕනේ.
බක්මහ උළෙල සමයේ යෙදෙන උත්සව කිහිපයක් ගැන ලියන්න නැවත එන්නම්.
සතුට, සොම්නස හා සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
අලුත් (ලැප්) යෙහෙළියට සුබ පැතුම්!
ස්තුතියි ඩීන් අය්යා. දුර ඈතක කූඩුව තනා සිටින ඔබටත් මට වගේම දැනෙනවා ඇති .
Deleteඈත මතකයන් යළි ස්පර්ශ කර රසවිඳීම තරම් සුවයක් තවත් නැත..
ReplyDeleteඇත්තමයි රූ ... ඒ කාලයේ ලස්සන දේවල් හැමදාම රසවත් . දුකක් වුවත් ගෙනෙන්නේ ශෝක රසයක්
Deleteමේ දවස් වල ලෙඩ වෙලා ඔහේ ඇඳට වෙලා බලාගෙන ඉන්න ගමන් රීඩරෙන් මේ බ්ලොග් එක කියෙව්වා. ඉස්සර වගේ මහන්සි වෙන්න ඔළුව වෙහෙසන්න අමාරු උනත් ලැප් එක ඕන් කරන් මේ සටහන ලියන්න නම් හිත බල කලා.
ReplyDeleteටික දවසකට කලින් නලිනි අවුරුදු පෝස්ට් එකක් ලීවම මටත් මතක අස්සේ අද අවුරුද්ද දැනෙන හැටි මාත් ලීවා. ඔයාගේ මගෙ අවුරුදු මතක එක සමානයි කියලායි මට හිතෙන්නේ. අපේ අම්ම නම් කප් ගහපු කෑම හදපු කෙනෙක් නිසා එයාට කවදාවත් ඔය පදම් වැරදුනේ නෑ. ඒ කාලේ මා කෙසේ වෙතත් අක්කල දෙන්නම අම්ම බලාගෙන ඉන්දෙදි කෑම හදන්න උත්සාහ කරනවා. ගෙදර කොටපු හාල් පිටි හා පොල් කිරි වලින් හදපු කිරි ටොපී අපේ ලොකුගේ එක කාලෙක ජනප්‍රියම කෑමක් වුනා. පොඩි අක්කා දොදොල් හැදුවා. අම්මා එයාල කරන දේවල් දිහා බලාගෙන අඩු පාඩු කියලා දුන්නා. ඒ අස්සේ අපි එකිනෙකාට කෑම ආශාවල් වෙනස්. මම කන කෑම වර්ග අයියා හෝ අක්කා කෑවේ නෑ. එයාලා කන ඒවා මම කෑවේ නෑ. ඉතින් ගෙදර අපි අපි වෙනුවෙන් වෙනම කෑම වර්ග හැදුවා. දැනුත් අක්කලා මම ආවම ඔය පරණ කෑම හදලා දෙන්න ට්‍රයි කරනවා.
මම ඉතින් ඒ කාලේ පොඩි බබා හින්ද මට ඉතින් අර තෑගි ගනින එක, සල්ලි එකතු කරන එක, මට වඩා අනිත් අයට වැඩියෙන් හම්බ වෙයි කියන භය වගේ ප්‍රශ්න විතරයි අවුරුදු කාලෙට තිබ්බේ. කොටින්ම අපේ ගෙදර එන නෑයෝ මට හැර වෙන කෙනෙක්ට කිසිම දෙයක් දුන්නොත් මම මාසයක් විතර කතා කලෙවත් නෑ.
අපේ අම්මා කෑම විතරක් නෙමෙයි කප් ගහමු ඇඳුම් මහපු කෙනෙක්. කොටින්ම අම්මගේ මූලිකම රස්සාවත් ඔය ඇඳුම් සම්බන්ද එකක්. අක්කලා දෙන්න නම් ලංකාවේ හිටි හන්දා වෙන්නැති ඔය ඉගෙන ගන්න අස්සේ මැහුම් පංති ගියා. ඒත් බුරු බබා අදටත් බොත්තමක් ෆිට් කරගන්නවත් දන්නේ නෑ. කොටින්ම මම දැන් කලිසම් ගත්තම සමහර වෙලාවට කලිසම ගත්තාටත් වඩා ගණක් ගෙවලා කලිසමේ වාටිය මහගන්නේ. (ඔය ලංකාවේන් හෙම ඇඳුම් ගත්තම මේක නිතර වෙනවා) ඒ උනාට පොඩි කාලේ මම ඇන්ඳෙම අම්මා අතින්ම මහපු එම්බ්‍රොයිඩර්, මල් කම් ඉලාසික් වගේ ලස්සන ලස්සන අම්මා අතින්ම මහපු ඇඳුම්.
ඒ දේවල් අස්සේ අද වෙනකොට අවුරුදු මතක එක්ක මට ලොකු තරහක් එනවා. මේ දේවල් අද වෙනකොට ලංකාවට ආවත් වෙනස් හින්දා වෙන්න ඇති. වෙන එකක් තියා වෙනදා හැමදාම පුරුඩ්දක් විදියට නැකත් වෙලාවට ගෙදර ඔක්කොමලාට කතා කරන මම මේ අවුරුදු දවසේ හොඳටම නින්ඳ ගිහින්.
පෝස්ට් එකකට සැහෙන කමෙන්ටුවක් . බැරි අමාරුකම් අමතක වෙනවා නේද පුරුදු අත්දැකීම් මතක් වෙද්දී . මට ඔයාගේ පෝස්ට් එක කියවන්න ලැබුනේ නැහැ . පහුගිය ටිකේ බ්ලොග් බැලුවෙම නැති තරම් . දැන් පරණ ඒවා කියවමින් ඉන්නේ . පරම්පරාවන් ගත වෙද්දී යම් හැකියාවන් අඩු වෙලා වෙනත් හැකියාවන් වැඩි වෙනවා ඇති නේද . අපේ ලොකු ආච්චි ගමේ ප්‍රසිද්ධ කෝකියෙක් . එයාගේ දුව [ අපේ ආච්චි ] සැහෙන හොඳට උයන්න හැකියාව තිබුන කෙනෙක් . අම්මට ඊට ටිකක් අඩුවෙන් . දැන් හිතනන්කො අම්ම ඉන්න ඇත්තේ අද මගේ වගේ වයසෙනේ ,. දැන් අම්ම රසට උයනවා . මටත් තව අකල් යද්දී තව පුළුවන් වෙයි නේද ? මන් ගෙදර කම්මැලියා . අපේ අක්ක නම් උයන්න ආසයි ඉස්සර ඉඳන්ම . ඒ වගේම ගේ අස් කරන්න . මන් පොතක් ගත්තම ආයේ ලෝකෙම මතක නැහැ . අපි දෙන්නගේ ඇඳුම් තිබුනේ එක කබඩ් එකක තට්ටු දෙකක . කියන්න ඕන නැහැනේ . අදත් අක්කගේ අල්මාරිය ඇරියම රෙදි ටික මල් වගේ . අද ත් මගේ අල්මාරිය D ...
Deleteහැබැයි මන් ලෝකේ ඇවිදිනවා . ලස්සන දේ දකිනවා . එයයි මමයි ජීවිතය රස විඳින්නේ දෙආකාරයකට . කොයික හරිද මන් දන්නේ නැහැ . මට හිතෙන්නේ මන් හරිය කියලයි D .
ඔයාගේ තත්වය මොකක්ද කියල හරියටම නොදන්නවා වුනත් ඉක්මනින් ආයේ පුරුදු විදිහට ඉන්න ලැබෙන්න කියල පතනවා .
මෙය අප බොහෝ දෙනෙකුට පොදු අත්දැකීමක් නොවෙද ? මටත් අවුරුදු කාලය ගැන රසවත් මතක ගොන්නක් ඇත. වඩාත්ම මතකයේ ඇත්තේ ගමේ යාමය.. කොච්චියේ යනගමන් හරහට රීප්ප වැනි ලීගසා සදාතිබූ ආසන මත ( පවර් සෙට්වල ) දනගසා රේල්පාර අයිනෙන් දිගටම ගලා ගිය සිහින් ඇලෙහි සිටි දියබරියන් වැනි සතුන් ගනන් කළා අදටද මතකය. අවුරුද්ද හා බැදුනු අනෙකුත් දසකුත් එකක් මතකයන්ද එසේමය. අද නියම විදිහට අවුරුද්දක් සැමරීමට නොහැක. ඉස්සර කැවුම් සැදීමට හනසු පොල්කොල එකතු කලාත් මතකය. අද කැවුම් සෑදෙන්නේද ගෑස් ලිපේය. එහි අර වැනි සුන්දරත්වයක් නැත. හැමදා අවුරුදු ඉවර වන විට ඉතුරු වූයේ දුකක් පමණී. අපටනම් අවුරුදු, වෙසක්, නත්තල්, පාස්කු සියලු උත්සව තිබිනි. හැම දේම සුන්දරව පෙනුනේ අපි ළමාකාලයේ වගකීම් වලින් මුක්තව සිටි නිසාද නැත්නම් ඇත්තටම අද ඒවායේ සුන්දරත්ත්වය වියකී ගොස් ඇත්දැයි වටහා ගැනීමට අමාරුය.
ReplyDeleteඅහන්ඩ හිටිය ප්‍රශ්ණෙ අමතකා වුනා. ''සෝ බෝරීන්'' ඔච්චර highlight වී ඇත්තේ ඇයි ?
Deleteමටත් හිතෙනවා අපිට එච්චර හිතන්න දෙයක් නොතිබුන නිසා කියල . අනික අවුරුද්දේ ඒ ඒ කාල වලට අදාළ දේවල් රස වින්දා මිසක් අපිට වෙන ගොඩක් විනෝදාස්වාද නොතිබ්බ නිසා කියල . මන් ගමේ ගිය හැටි වෙනමම ලියන්න හිතන් ඉන්නේ . ගම ගැනත් එක්කම .
Delete''සෝ බෝරීන්'' කියන එක නිකමට මගේ ඔලුවට ආවේ අවුරුදු දා අපේ ලොක්කිගේ මුණ දැකලා . කැවුම් කන එක ඇර එයාට අවුරුද්ද එච්චර ලොකු වෙනසක් ගෙනාව බවක් දැක්කේ නැහැ . දැන් දහයක් වෙන්නයි යන්නේ එයාට . අර ඕවා අම්මලාගේ බොරු වැඩ කියන කාලය ළඟ ඇති . හැබැයි පන්සල් යන්න නම් පුදුම ආසාවක් තියෙන්නේ .
අවුරුද්ද ඇවිත් ගියේය.. ඒකනම් සහතික ඇත්ත.. අපිට නම් දැන් ඒ අවුරුද්ද කොහෙත්ම දැනෙන්නේ නැති උනාට වෙනදට ගෙදරත් එක්ක අවුරුදු දවසට නිතරම තිබ්බ කතාබහත් අඩු උනා..
ReplyDeleteලෝකේ කැරකෙනවනේ දිනේෂ් . හැමදාම එක වගේ නැහැ . අනික ඉස්සර අලුත් ඇඳුම් ලැබුනේ අවුරුද්දට . දැන් එකට විශේෂයක් නැහැ . ඒකයි අගයක් නැත්තේ . ගෙදර එක්ක කතා කරන එක අඩු කරන්න එපා . ඕක පිරිමි ළමයින්ගේ හැටි .
Deleteඅතීත අවුරුදු කතා නම් හරිම සුන්දරයි. හිත ළමා කාලයට ඇදිලා ගියා. අලුත් ඇඳුම් කොච්චර තිබුනත්, අවුරුද්දට ලැබෙන ඇඳුම හරියට වටිනවා නේද? ඔයා අර ගවුමේ චීත්ත සුවඳ දැනෙනවා කියලා ලියලා තියන කොටස කියවද්දි ඒ සුවඳ අපටත් දැනෙනවා වගේ. අදටත් අවුරුදු කාලෙට ලංකාවේ ඉන්න එක මම ආසාම කරන දෙයක්. ඒ හැඟීම ලෝකේ කොහේ හිටියත්, එන්නේ නෑ කියන එක තමයි අවංකව කියන්ට ඕනි.
ReplyDeleteමමත් හිතන විදියට පුංචි අයට අවුරුද්ද ගැන අවබෝධයක් ඇති කරන එක හොඳයි. නැත්නම් කාලෙකදි ඔය හැම දේම නැත්තටම නැති වෙලා යයි.
අපේ කාලයේ ඇඳුම් ගොඩක් තිබුනේ නැහැ . පුංචිම කාලයේ අම්ම මහල දීපු ඇඳුම් විතරයි . විශේෂම ඇඳුම් මට මතකයිත් එක්ක . අක්කටයි මටයි එක ජාතියෙන් මහනවා ගොඩක් වෙලාවට . ඉස්සෙල්ලම සාප්පු ගවුම් දෙකක් ගෙනාවේ අපේ ලඟම හිතවත් කෙනෙක්ගේ මගුල් ගෙදරකට . කොටු සාය එක්ක මල් පේලියක් අල්ලපු ලා දුඹුරු සහ රතු මිශ්‍ර ගවුම මට හොඳට මතකයි .
Deleteමමත් හිතන් ඉන්නේ එක අවුරුද්දක අප්‍රේල් වල ගෙදර යන්න . හැබැයි අද වෙනකොට වෙලා තියෙන වෙනස්කම් නොදැක මගේ ෆැන්ටසියේ ජිවත් වෙන එක වඩා හොඳයි .
// ආපසු ගමට ගොස් වරිච්චි බිත්ති කුහර වල සැඟවූ නිධන් සොයනා ''අපු '' මෙන් සිත නමැති බිත්තියේ කුහර වල සැඟවූ අතීත මතකයන් අතගා බලන්නට මමද ආසා ය. //
ReplyDeleteඅපිත් ආසයි මූද අද්දර ගෙදරක ජීවත්වෙන්න, ඒ වුනාට ඉතිං ඩියුලක්ස් ගාන්න එපැයි.. :) මම දැන් අවුරුදු හයකින් අලුත් අවුරුද්දට ගෙදර නෑ..
නිවාඩුකාලෙ කොහෙද හලෝ 'සෝ බෝරින්' වුනේ..!? කීයක්නං දේවල් තිබ්බද කරන්න..
ඇයි Dulax ගාපු ගෙදරට බුල් බල්ලෙක් ඕන නැද්ද . ඒක තමයි මන් කිවේ . ඒ කාලේ සෝ බෝරින් වුනේ නැහැ කියලා . ඇයි බට තුවක්කු .
Deleteමාරේ අයියා බට තුවක්කු ටියුටෝරියල් එකක් පළ කරලා තිබුණා !!!
Deleteමටත් තියෙන්නෙ ඔය සමාන අත්දැකීම් සහ තව ටිකක් තමයි බින්දි.... අර ඔයා කිව්ව වගේ ඒ කාලෙ අවිවාහකව හිටපු මාමලා අපේ අවුරුදුවලට අමුතුම ලස්සනක් එක්කළා ඒ කාලෙ.... මට මතකයි අපි විතරක් නෙවේ, අපේ අල්ලපු ගෙවල්වල උදවිය පවා ඒ සතුට භුක්ති වින්දා.... මමත් ඒ ගැන ලියන්න හිතාගෙන හිටියා අවුරුදු දවස්වල පළ කරන්න... දැන්වත් ලියන්න ඕන කියලා හිතෙනවා ඔයාගෙ ලිපිය කියෙව්වම.....
ReplyDeleteමේ මැඩම්.. ඔයාගෙ ඔය අත්දැකීම් ටික අර බ්ලොග් එකේ ලියලා දානවද.. අන්න ඒකෙ මකුළු දැලුත් බැඳිලා..
Deleteමන් දන්නවා . ඔයාගේ අර බාල මාමා එක්ක අවුරුද්දටත් හොඳ වැඩ කරන්න ඇතිනේ . ලියන්න අනේ .කොච්චර කිව්වත් අහන්න ආසයි
Deleteමේ සති අන්තෙ නම් ලියනවාමයි.... :D
Deleteඉස්සර දැන් වගේ සාප්‍පු ඇදුම් තිබුනේ නැනේ ගෙදර මහපු චීත්ත ගවුම් තමා අදින්නේ . එකම රෙද්දෙන් අක්කල නංගිලා ඔක්කොටම මහනවා . පොඩි කාලේ අවුරුදු කොච්චර ලස්සනද කියල හිතෙනවා .දුකයි මතක් වෙනකොට . ඔහොම තමා ඉතින් කාලය මැව් වෙනසක අරුමේ .
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !
ගිම්හානිටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා
Deleteචිත්තත් අද වාගේ නෙමේ . චීන චිත්ත තිබුනේ ටිකයි . තුල්හිරිය තුල්ටෙක්ස් , වේයන්ගොඩ වේටෙක්ස් හෙම තිබුන අපි පොඩිම කාලේ . ඔය මහා පරිමාන රෙදි කම්හල් පසුකලෙක වැසි ගියා නේ . පුංචි රටකට මහා කම්හල් ඔරොත්තු නොදුන්නාද . නැත්නං විවර වූ ආර්ථිකය ඒවා ගිල ගත්තාද මන්දා .
// පුංචි රටකට මහා කම්හල් ඔරොත්තු නොදුන්නාද . නැත්නං විවර වූ ආර්ථිකය ඒවා ගිල ගත්තාද මන්දා //
Deleteමේක නං ඉතිං වෙනමම කතා කල යුතු මාතෘකාවක්..
ඔව් වෙන දවසක . අද මහන්සියි .
Deleteමටනං හැමදාම අවුරුදු....ඒක ආපහු යන්නෙ නෑ. :-)
ReplyDeleteකොච්චර හොඳද . මටත් දුකක් නම් නැහැ . අර ලස්සන අවුරුදු මතක තියෙන නිසා
Deleteබක්මහ උළෙල තායිලන්තයේ ප්‍රධාන අංගයක් බව දැන සිටිය නමුත් අනෙක් රටවල් ගැන මෙතරම් විස්තර කියවූයේ නෙළුම් විලෙන්.
ReplyDeleteපොදුවේ ලොවපුරා දමිල උදවිය බක්මහ උළෙල ගොඩාක් ඉහළින් චාරිත්‍රානුකූලව පිලිපදිනවා. ලාංකාවේ චිතිරයි (Chithirai) හැටියට හඳුන්වන අතර දකුණු ඉන්දියාව හා අනෙකුත් තැන්වල පුත්තාන්ඩු (Puthandu) කියයි.
http://en.wikipedia.org/wiki/Puthandu
ඉන්දීය සමාජයේ දමිල අය අතර පමණක් නොව තවත් ජනකොටස් කිහිපයක්ම (විශේෂයෙන් හින්දු භක්තිකයින් )අතරම බක්මහ උළෙල වැදගත් තැනක් ගනී.
මලයාලි (කේරළ) වැසියන් විෂූ (Vishu) හැටියට හඳුන්වන එදිනය යෙදෙන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින දෙකෙන් පසුව දවසේ, මෙවර අප්‍රේල් 14 දා. ඔවුන්ද අලුත් ඇඳුමින් සැරසී, විශේෂ ඉවුම් පිහුම් වලින්, රසකැවිලිවලින් පුරවා ජයට ගන්නවා. ලෝකයේ මොන මුල්ලේ හිටියත් චාරිත්‍ර පිලිපදින උදවිය (එලිපිට හැමදේම වරු ගනන් විවේචනය කරන පුරුද්ද තිබුණත්) හැටියට මොවුන් කැපී පෙනෙනවා. ඔවුන්ගේ චාරිත්‍රවලට ආවේණික රෙදිපිළි, එලවළු, පළතුරු, රසකැවිලිවල හාල් වර්ගවල පටන් කෙසෙල් කොළය පවා සපයන ලෝක ව්‍යාප්ත වෙළෙඳ පොලක් තියෙන එක ඊට හොඳ උදාහරණයක්.
ඉන්දියාවේ වෙලෙඳ කේන්ද්‍රය වෙන මුම්බාය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ද බක්මහ උළෙලට ප්‍රධාන තැනක් දෙයි, ඔවුන් සංක්‍රාන්ති හැටියට හඳුන්වනවා. අදත් ආගමික සම්ප්‍රදායක් හැටියට කෙරුණද බොහෝ චාරිත්‍ර කලයත් සමඟ ඈත්ව ඇතිබව මගේ මිත්‍රයෙක් කීවේ මීට අවුරුදු 15කට විතර කලින්. මොවුන්ද කෙරළ වැසියන් වගේ අපිට වඩා දවසක් පහුවෙලා උත්සවය ගන්නේ.
දමිල, මලයාලි හා මහාරාෂ්ට්‍ර සමාජයේ බක්මහ උළෙලට ඇති තැන අනුව ඉන්දීය අනෙකුත් පලාත් වලද බක්මහ උළෙල තියෙන්න පුලුවන්, ඒත් විස්තර කියන්න තරම් දැනුමක් මට නැහැ.
හැබැයි ලංකාවේ විතරයි මම හිතන්නෙ එකම වෙලාවකට සියලු දෙනාම චාරිත්‍ර පිළිපදින ක්‍රමය තියෙන්නෙ. අවුරුද්දට පෙර දින මම මළබාරි ජාතිකයන් කිහිප දෙනෙක් එක්ක ඔය ගැන කතාබහකදී තමා ඔවුන් මට කිව්වේ ඔවුන් එලෙස චාරිත්‍ර ඉටු කරන්නේ නැහැ කියලා. අවුරුදු දින උදෙන්ම අවදිව වැසූ දෙනෙතින් දෙවියන් ඉදිරියට ගොස් දෑස් දෙවියන් ඉදිරියේ විවර කොට ආශිර්වාද ලබා ගැනීම තමා ඔවුන්ගේ මූලිකම පිළිවෙත. එයට අමතරව ආවේනික ආහර සැකසීම ආදී දේද එලෙසින්ම තියනවා.
Deleteඔය මට එදා එතන සිටි කාන්තාවන් කල කෙටි විස්තර වලින් අහුලා ගත්ත තොරතුරු විතරයි .පුද්ගලිකව එයාලා එක්ක කතා බහ කරලා තව විස්තර ගන්න නම් තිබුනා . ටිකක් කම්මැලි හිතුනා වැඩේට . ඔබට බොහොම ස්තුතියි ඉන්දියාවේ විස්තර වලට . කල්කටා වල මිතුරියක් කියූ පරිදි ඔවුනුත් අවුරුදු සමරනවා . කතා කරන්නේ බෙන්ගාලි . අපෙයි බෙන්ගාලෙයි සම්බන්ධයක් තියෙනවා නේද . ඉන්දියාවේ බොහෝ පළාත්වල අවුරුදු පවුලට සිමා වුනඋත්සව ලෙසලු පැවැත්වෙන්නේ . සෙන්නා කිවා වගේ මේ නැකතට වැඩ කරන සංකල්පය අපේ විතරද මන්දා . අපි ලංකික ගැහැණු තුන්දෙනයි හිටියේ එදා . හැබැයි වර්ණවත්ම ඇඳුම් ..රසවත්ම කෑම සේම වැඩිපුරම කියන්න දේවල් තිබුනෙත් අපට . පුංචි වුනත් අපේ රට ගැන ආදරේ වැඩි වෙනවා ඒ වෙලාවලට නම්
Deleteඅවුරුදු ඇවිත් අපේ අම්මා අරන් නොගිය නම් ..සමරන්න හිටියෙ..
ReplyDeleteඇත්තමයි වෙනි . අපිට හරිම කණගාටුයි අම්මගේ වෙන් වීම ගැන . හොඳ දරුවෝ සැදු සතුට ඇයට ලැබෙන්න ඇති . ඇයට අමා මහා නිවනින් සැනසීම ලැබේවා කියා පතනවා
Delete'අවුරුදු ඇවිත් ගියේය' සහතික ඇත්ත. අවුරුද්දට ගෙදර හිටපු කාලයක් මතක නෑ. මටත් පොඩි කාලෙ අවුරුදු සමරපු හැටි මතක් උනා. නැකතට ගනු දෙනු කරල ඊට පස්සෙ යනව නෑදෑ ගෙවල් වල බුලත් දෙන්න. බඩ පැලෙන්න කන්නත් හම්බෙනව. අතට සල්ලිත් ලැබෙනව. හිහ් හිහ්!
ReplyDeleteඒ මතකය තමයි අද තියෙන සතුට නේද මුහුදු . අවුරුදු කාලෙට අපිත් පෝසත් වෙනවා
Deleteකවදාවත් අපේ ගෙදර අවුරුදු සමරුවේ නැහැ. ඒත් අපිට අවුරුද්දට රජ මගුල්. ඒ අහල පහල ගෙවල් විසි ගණනකින් කෑම පිඟන් ලැබෙන නිසා. දැන් අම්මලා වෙන පැත්තක ඉන්නේ. අවුරුද්ද තව එක දවසක් විතරයි.
ReplyDeleteබින්දිගේ අවුරුද්දට වුන දේමයි එහෙම පිටින්ම අපේ ගෙදර නත්තලට වෙලා තියෙන්නේ දැන්.
වැඩ කල කාලේ අපිටත් නත්තලට කෑම ලැබුණා . දැන් හැමදාම නත්තල්ද . ඔහොම තමයි කොයි දේත් හරිම තාවකාලිකයි . දියුණුවත් එක්ක කාරය බහුල වෙලා . හැබැයි ඉස්සර අවුරුදු, නත්තල් වලදී විතරක් හමු වුන අය අද අන්තර්ජාලයෙන් සුටුස් ගාල හම්බ වෙනවා . තාක්ෂණයට ආගන්තුක අපේ දෙමාපියන්ගේ පරපුර එයින් සහිමට පත් වෙනවද කියන එකයි ප්‍රශ්නේ . එයාල විතරක් නෙමේ අපිත්
Deleteඅවුරුද්දේ අතීතය බැලුවොත් අපේ ඉපයීම් රටාව -mode of production එක්ක බැඳුන දෙයක් නේ .අපි හැමෝටම ලමා කාලේ ගම එක්ක තියෙන ෆැන්ටසි අවුරුද්ද තුලත් තිබුනේ වඩා සංකීර්ණ නොවූ ඉපයීම් රටා එක්ක බැඳුන අවුරුද්දක් .ඒ නිසා කාටත් ඉඩ තිබුණා අප්‍රේල් මාසේ මුලුමනින්ම අවුරුද්දට වෙන් කරන්න .සියලු චාරිත්‍ර ඉටු කරන්න
ReplyDeleteඒ වගෙම ඒ කාලේ අවුරුද්ද කියන්නේ විශේෂ වකවානුවක් අලුත් අඳුම් ,අලුත් බඩුමුට්ටු ගන්න , ගෙවල් දොරවල් අලුත් කරන්න .දැන් එහෙම නෑ ඒව මුලු අවුරුද්ද පුරාම කරනවා .ඉපයීම් රටා වෙනස් නිසා සමහර කෙනෙක්ට අප්‍රේල් අවුරුදු කියන්නේ නිවාඩු ගන්න කාලේ වෙන්න පුලුවනි .තව සමහර කෙනෙක්ට දෙසැම්බර් නිවාඩු ගත්තොත් අවුරුදු දිග නිවාඩු ගන්න බෑ . තව කෙනෙක්ට ලංකාවට එන එක ප්ලෑන් කරන්න වෙනවනම් ගුවන් ටිකට් පත් වෙන් කිරීම ඒවගේ මිල හිතලා ලංකාවට එන කාලේ තීරණේ කරන්න වෙනවා .එහෙම වුනොත් අවුරුද්දට එන්න බැරි වෙන්නත් පුලුවනි
ඒත් කඅටත් කොහේ හිටියත් අර පොඩි කාලේ තිබුණ මතක ෆැන්ටසිය ඕනෙ නිසා කිරි උතුරවනවා , පුලු පුලුවන් විදියට කැවිලි හදනවා , රෙදි හැට්ට ඇඳලා අවුරුදු කරනවා සංස්කෘතිය රකිනවා
ඒත් මට හිතෙන්නේ සමහරක් දේ ගැන විස්සෝප වෙලා පලක් නෑ .අපෙන් ගිලිහී යද්දී ඒවා බලෙන් අල්ලලා බැඳගන්නත් බෑ . ඒ කාලය කල වෙනස. හරියට කිව්වොත් ඒ කාලේ වංගෙඩියෙන් පිටි කෙටූ අපි අද ග්‍රයින්ඩර් එකෙන් පිටි කොටනවා වගේ. වැදගත්ම දේ මට හිතෙන විදියට ලොකේ කොහේ හිටියත් සතුටින් හිඳීම . සමහර වෙලාවට මවු රටේ ගහකොල , හුලඟ , කෑම බීම , මතක්වෙලා හූල්ලනවා වුනත් යතාර්තේ අපේ ජීවන ඉලක්ක එක්ක පිට රට වැඩියෙන්ම සංවර්ධිට උතුරු රට වලට ගිය අය ලංකාවේ සෙට්ල් නොවීම. මෙහේ හොලිඩේ එකකට ඒවී. ඒත් අවුරුදු රකින්න සංකෘතිය, රකින්න කියලා අපි කාටවත් මෙහේ ඉන්න බෑ අපිට රකින්න කුටුම්භ තියෙනවා , ජීවිතේට ඉලක්ක තියෙනවා .ඒ නිසා මගේ ප්‍රාර්තනාව නම් ලෝකේ කොහේ හිටියත් ඉන්න තැන තමන්ගේ ගම රට කියලා හිතලා තමන් ඉන්න රටේ විදියට සතුටින් ඉන්න කියන එක .
අවුරුද්දට ලංකාවෙන් පිට ඉඳලා මට හුරු නිසා මට මේ විදියේ හැඟීමක් ඇතිවෙනවා වෙන්න පුලුවනි .ඒත් මෙතනින් මම කියන්නේ නෑ කාටවත් අවුරුදු කරන්න එපා කියලා :)එක්කො බින්දි කියාවි මේකත් ජෙනරේශන් අවුල හා විප්ලව විදියට හිතීම කියලා :)
ඉතින් දෙය්යනේ මාත් කියන්නේ ඔය ටිකමයි නේ . අදට වඩා එදා හොඳයි කියන කෙනෙක් නෙමේ මන් . ඒ කාලයේ සුළු දේවල් ලොකුවට පෙනුන ළමා මතක වල සැරි සැරීම මගේ විනෝදාංශය . ඔය කියන විදිහට ජිවිතේ ප්‍රායෝගිකව හිතන් සන්තෝෂෙන් ඉන්න කෙනෙක් මන් . මොකද ජිවිතේ මට සෑහෙන සාධාරණ වෙලා තියෙන නිසා . හැබැයි මේ මිහිරි මතකයන් ගෙනෙන ශෝකය මුසු සතුටක් . ඒවා ලියා තබන්නේ කවද හරි මතකය අඩු වුනත් කියවන්න පුළුවන් වෙන්න . ඇල්ෂයිමර් වෙයිදැයි කවුද දන්නේ ..D .
Deleteසාපේක්ෂව හිතද්දී අතීතය රසවත් වන්නේ එහි තිබු දුක් කරදර පැත්ත නැතුව මිහිරි පැත්ත විතරක් හිතන්න බාධාවක් නැති නිසා . නැත්නම් දුක් දොම්නස් කොපමණ තිබුනද .ඒත් අද සතුටු ඒ අතරෙනුත් අපි හොඳට ජිවත් වෙන එක ගැන . මේ ගතිගුණ නම් මට අපේ තාත්තාගෙන් ලැබිච්ච ..
බින්දීට ජෙනරේෂන් එක්ක ප්‍රශ්නයක් නැහැනේ . මන් කිව්වේ ජිවිතේ ඒ ඒ යුග වලදී අපි සිතන විදිහේ පරිවර්තනයන් වල ප්‍රතිමුර්තියක් මේ සිංහල අවුරුද්ද කියල . ඕක මට වඩා හොඳට අපේ නලිනි කියා තිබුනා කෙටියෙන් හදවතටම වදින්න
මට නං හැමදාම අවුරුදු!
ReplyDeleteආයෙත් අහලා . ඒ කියන්නේ වෙලාවට වැඩ .
Deleteමම නම් ඇත්තම කිව්වොත් අවුරුද්දෙ දවසෙ ආසම ගණුදෙනු කරන එකට. :P
ReplyDeleteඇත්තම කිව්වොත් ඒක ගනු මිසක් දෙනු නෙමෙයි. මේ පාර මාමලගෙ ගෙදර ගිහින් බලාපොරොත්තු සහගතව වැන්දම මාමා කියපි දැන් ඉතින් රස්සාවල් කරන ලොකු ළමයිනෙ. අපි මෙයාලට සල්ලි දෙනවට කැමතිත් නැතුව ඇති කියලා. මම හී ගාලා හිනා වෙලා ආවා ඉතින්.
ඔයාට කියන්න තිබුනේ ..අනේ මාමගේ රත්තරන් අතින් දුන්නොත් අවුරුද්දම කිරි උතුරනවා කියලනේ . මාත් අපේ ගෙදර එක්කෙනාටලක්ෂයක් දීලා ලක්ෂ පහක් ඉල්ලා ගත්තා . අපි එහෙමයි ආයේ ලොකු ගණන් වලින් ගනුදෙනු
Deleteඅතීතකාමය....මනසින් අතීයයේ සැරිසැරීම.....මොන තරම් නම් සොඳුරු ද?......ස්තූතියි බින්දි....හැමදාම වගේ අපූරු ලිපියක්.....
ReplyDeleteආ....හතර පස් දෙනාටම සුබම සුබ නව වසරක් වේවා!!!
ස්තුතියි රවී . හතරයි හොඳේ .
Deleteමම ප්‍රාර්ථනා කරන්නෙ මුළු අවුරුද්ද පුරාම වලංගු වෙන්න..අන්න එහෙමයි අපි...තේරුණාය ඔය ළමයට?....හෙහ්, හෙහ්,
Deleteඅර කිව්වත් වගේ පොඩි කාලෙ තිබුණු හොඳ දේවල් විතරක් මතක් කළොත්, ඒ දේවල් හොඳයි වගේ. ඒත් ඒ දේවල් වෙනස් වුණේ අපි ඒවට අකමැති හින්දා. ඒ දේවල්වලින් අපට කරදර හින්දා. ඊට වඩා පහසු සහ අප ප්‍රිය කරන විදිහෙ ජීවන ක්‍රමයකට අප හුරු වෙලා ඉන්න හින්දා. ඒ වගේම සංස්කෘතිය රැකීමට බල කිරීමක් නොතිබීම හෝ ඊට වෙනස්ව සිතීමට හා ක්‍රියා කිරීමට අපට හැකියාව තිබුණු හින්දා.
ReplyDeleteමම දන්න හුඟක් අය ළමයි හම්බුණාට පස්සෙ ආපහු අවුරුදු චාරිත්‍ර කීපයක් කරන්න, පන්සලට දානයක් දීම වගේ වැඩ පටන් ගන්නවා. ඒ ළමයින්ට ඉස්කෝලෙ ගිහාම ඒවා ගැන රචනා ලියන්නට වෙන හින්දා. එහෙමත් නැත්නම්, අපේ සංස්කෘතියට වෙනස්ව ළමයි හැදුවොත් වයස ගියදාක තමන්ව බලා නොගනීය කියන බයට. :D
ඔව් අනේ මේ බෑන් කි මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් තම තමන්ගේ සංස්කෘතිය ගැන නිතරම අහනවනේ . අපේ එව්වා කියල දුන්නේ නැත්නම් මෙයාල අපිත් අර බෙලි කපපු හෙන්රිලා ගැන විතරයිනේ දැන ගන්නේ . ඔය දන්නේ නැහැ අනික් රටවල අය තමන්ගේ ඇඳුමට භාෂාවට සංස්කෘතියට කොච්චර තැනක් දෙනවද කියල . ඒ අතින් අපි බින්දුවයි .
ReplyDeleteවයසට ගියහම බලා ගැනීම . අපෝ කීයටවත් වෙන්නේ නැහැ . කියක් හරි ඉතුරු කරන එක හොඳයි වැඩිහිටි නිවාසෙකට යන්න . අපේ නම් බලාපොරොත්තුවක් නැහැ . අනික අපි බලනවද . තල වපුරා වී නොලැබේ
අවුරුදු දවසක ලංකාවෙ ඉඳල නෑ අවුරුදු පහකින්. ලස්සන අතීතයක් බින්දි මතක් කරලා. දුකක් දැනෙන්නෙ
ReplyDeleteමුලින්ම, බින්දි අක්කාගේ අළුත් කොම්පීතරේට සුභ පැතුම්... අක්කට ලෙඩ නොදී නෙළුම් විලට ලියන්න සපෝට් කරන්න කම්පියුටරයෝ !!!
ReplyDeleteචීත්ත ගවුම් සුවඳ කිව්වම දැනුනා වගේ. අපි නම් ගවුම් ඇන්දේ නෑ තමා. ඒත් ආච්චිලට ගෙනියන්න අවුරුද්දට චීත්ත මහපු හැටි මතක් වුනා.
අක්කා කිව්වා වගේ, පොඩි කාලේ අපි හරි ආසාවෙන් ඉන්නේ අවුරුද්දට ඇඳුම්, සල්ලි, තෑගි ලැබෙන කල් ! දැන් නම් ඒ සතුට ඇල් මැරිලා වගේ ! අනෙක අවුරුද්දට නෑගම් ගිහින් බුලත් දෙන එකත් දැන් ගොඩක් අයට අමතකයි ! ඇයි තව ඔංචිල්ලා පැදිල්ල, කැට ගැහිල්ල...
70-80 දශක වලින් පස්සේ උපන් උන් අවාසනාවන්තයෝ කියලා හිතෙන්නේ ඔය වගේ මාතෘකා වලින් තමා... අවුරුදු මතක අවදි කලාට අක්කාට තුති...!!!