Sunday, 1 April 2012

චම්පා .....සැඟවුන අතීතයේ නටඹුන්

චම්පා කිව්වම 60 දශකයේ  විතර හින්දි චිත්‍රපටයක් නැත්නම් ගෑණු ළමයෙක් ව තමයි අපිට මතක් වෙන්නේ .



චම්පා රාජධානිය ...

වියට්නාමයේ රට මැද හින්දු රාජධානිය ....හිතන්නවත් බැහැ නේද . මගේ ඉතිහාස පොතේ තිබුනෙම නැති පිටුවක් . කොටින්ම බුරාභිධාන අහල නැහැ කියන්නේ අපේ ඉතිහාස පොත් වල තිබුනේ නැහැ කියන්න ආයේ මොනවද වෙන සාක්කි .
චම්පා කියන්නේ හින්දි නමක්නේ . ඉතින් මේ හින්දි නම කොහොමද වියට්නාමෙට ආවේ . නම විතරක් නෙමේ සම්පුර්ණයෙන්ම මේක හින්දු රාජධානියක් . 
පුදුමයි නේද . හැබැයි මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දියන් ජාතිකයින්  නෙමේ  . ඉන්දියානුවන් නොවෙන හින්දු පිරිසක් ? තවත් පුදුමයි . මධ්‍යම සහ දකුණු වියට්නාමයේ විකාශ වුන මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ දුපත්වලින් ආව මිනිසුන් . එන්න ඇත්තේ මුහුදින් . මොකද කිසිම ගොඩබිම් සම්බන්ධයක් නැති නිසා .

ආරම්භය ...

සාක්කි තියෙන්නේ ක්‍රි .ව 2 වෙනි සියවසේ ඇරඹුනා කියල .
බෝර්නියෝ වලින් ආව කියල මානව විද්‍යාවෙන් ඔප්පු කලාට  වියට්නාමයේ ඉන්නේ කතන්දර ශුරයෝ . අපි වගේම තමයි . එයාල [ විශේෂයෙන් චාම් අය ] අතර තියෙන්නේ වෙන කතාවක් . මධ්‍යම වියට්නාමයේ ''කන් හොවා'' කියන පළාතේ උන්න Lady Po Nagar කියන කුමාරිය සඳුන් කොටයක නැගල පාවෙලා යද්දී චීන කුමාරයෙක්ව  හමු වෙනවා . මේ දෙන්න විවාහ වෙලා දරු දෙන්නෙක් ලැබුනට පස්සේ කුමාරිට ආපහු ගමරට එන්න ඕන වුනත් සැමියා අකමැති වෙනවා . දිය මකර රජුගේ ළමයි කතාවේ වගේමයි . ඒත් කුමාරි දරුවොත් අරන් ආයේ සඳුන් කොටේක නැගල ගෙදර එනවා . සැමියා හමුදාවක් අරන් පස්සෙන් ආවත් ඇය විසින් ඔවුන්ව පාෂාණ බවට පත් කෙරෙනවා . මේ සිද්ධිය වුනා කියන අද Nha Trang නමින් හඳුන්වන ප්‍රදේශයේ දී සයුර දුපත් විශාල ගණනකින් යුතු වෙනවා . ඒ අර ගල් වූ අය වෙන්ට ඇති .

විකාශය .-
දෙවන සියවසේ ඉඳන් විකාශය වෙලා 9 වෙනි සියවසේ විතර ස්වර්ණමය යුගයක් තිබිල තියෙනවා . මේ රාජධානිය තුලත් උප ප්‍රදේශ කීපයක් තිබුන වගේම ඒ ඒ ප්‍රදේශ විටින් විට සෞභාග්‍යමත් වෙච්ච බවයි පෙන්නේ . ඉන්ද්‍රපුර,  අමරාවතී ,විජය , පන්දුරන්ගා , කවුතාරා කියන්නේ ඒ ප්‍රදේශ . සේරම ඉන්දියන් නාමයන් .



 සිතියමේ අළු පාට කොටස Dai Viet . කොළ පාට කොටස තමයි චම්පා . කහ පාට කම්බෝජියාව



රාජධානියට  සුන්දර වෙරල තිරයක් සහිතව අනර්ග වරාය පහසුකම් තිබුනා . මේ වරායන් හරහා ඉන්දියාව සමග සම්බන්ධකම් ඇති වුනා . හින්දු ආගම වගේම අනෙකුත් ඉන්දියන් සංස්කෘතික අංගයන් ලැබුනා . රජවරු හින්දු දහම වැළඳ ගත්තා . ශිව දහම තමයි ප්‍රධාන වුනේ . එයිනුත් ලිංග වන්දනාව .

ඉන්දියන් අභාෂය ලද ගොඩනැගිලි දේවාල විශාල ගණනක් ඉදි වුනා . තැන තැන විසිරුන නටඹුන් එයට සාක්කි සපයනවා . මේ නටඹුන් අතර විශේෂම වන්නේ My Son කියන පළාතේ ඇති ගොඩනැගිලි සංකීර්ණය. My Son යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන්නෙත් ඒ නිසා .







මේ My Son පළාත අයිති වෙලා තිබුනේ ඉන්ද්‍රපුරේට . ඒ වගේම චම්පා රාජධානිය ලෝකේ එක්ක සම්බන්ධ කල ප්‍රධාන වරාය තිබුනෙත් මේ ඉන්ද්‍රපුරේ . ඒ තමයි Hoi An . සේද මාවතට සම්බන්ධ වුන හන්දා කියන්න ඕන නැහැනේ කොයිතරම් ලෝකේ එක්ක සම්බන්ධ වෙන්න ඇත්ද කියල .
වියට්නාමේ උඩහ කොටසේ තිබුනේ Dai Viet රාජධානිය . Dai Viet ල තමයි වත්මන් වියට්නාමේ ප්‍රධාන ජාතිය .


උතුරින් චීනය එක්ක කෙලින්ම සම්බන්ධ වුන නිසා චීන සංස්කෘතිය තමයි රට පුරාම තියෙන්නේ . නමුත් චම්පා රාජධානිය තුල චීන අභාෂයක් දකින්න ලැබෙන්නේ නැහැ .

නවවෙනි සහ 10 වෙනි සියවසේදී මහායාන බුද්ධාගම චම්පා වෙත ලඟා වුනා .  එනිසා බෞද්ධ අභාෂය ලැබූ නමුත් කෙටිකලකින් යලිත් හින්දු දහම ප්‍රධාන තැන ගත්තා . රාජ්‍ය අනුග්‍රහය නිසා විය යුතුයි .
චම්පා බලවත්ව තිබුන කාලයේ 12 වෙනි සියවසේදී මෙයාල [වත්මන් කම්බෝජියාවේ ] එකල අන්ග්කොරියන් ක්මර් [ Angkoriyan Khmer ] ආක්‍රමණය කළා . දන්නවනේ Khmer තමයි කම්බෝජියාවේ බහුතර ජනවර්ගය . නොදන්නම අයට කියන්න තියෙන්නේ කම්බෝජියාව වියට්නාමයේ එක මායිමක තියෙන රටක් . 
 ගොඩබිමින් සම්බන්ධ වුන රටවලට ඒ කාලේ පැහැදිලි ඉරි ගහල මායිම් තිබුනේ නැහැනේ . හය්ය ඇති කෙනා අල්ල ගත්තා .
[මේ මායිම් ගැන ලස්සන වත්මන් කතා තියෙනවා ,. එව්වා පසුවට .]

මෙතනදී තත්වය තවත් වෙනස් වෙන්නේ මේ කලාපයේ රටවල් හතකින් ගලන මිකොන්ග් ගඟ නිසා මේ
රටවල් එකිනෙකට සම්බන්ධ වීම . ටිබෙටයෙන් පටන්ගෙන චීනය , මියන්මාරය , ලාඕසය , කම්බෝජියාව , තායිලන්තය හරහා ගලන ඇවිත් වියට්නාමයේ මිකොන්ග් ඩෙල්ටාවෙන් දකුණු චීන මුහුදට එක්කහු වෙන මේ ගංගාව ලෝකයේ දිගම ගංගාවන්ගෙන් එකක් .


ඉතින් මේ මිකොන්ග් නිම්නය දිගේ ගිහින් තමයි චාම් ලා කම්බෝජියාව අල්ල ගත්තේ .


හැබැයි වැඩිකලක් නොගිහින් vii ජයවර්න කියන Khmer රජතුමා මෙයාලව පසු බැස්සුවා . නමුත් Kampong Cham කියන කුඩා පෙදෙසක අදටත් චාම් වරු ජිවත් වෙනවා . පසුකලෙකත් චම්පා රාජධානිය බිඳ වැටුනට පස්සේ පලා ගිය චාම් ලත් මේ කම්බෝජියන් පළාතේ පදිංචි වුනා .


ඉතින් ප්‍රධාන චම්පා රාජධානියට මොකද වුනේ . පිටස්තර ලෝකේ එක්ක සම්බන්ධය නිසා සේද මාවත හරහා ආපු අරාබි ජාතිකයින් ඉස්ලාම් ආගම චම්පා වෙත ගෙනාවා . මුලින් සුළුවෙන් ඉස්ලාම් වැලඳ ගත්ත .
ඔය අතරේ උඩහ උන්න Dai Viet ල කැමති වුනේ නැහැ මේ චම්පා රාජධානියේ පැවැත්මට . එකක් කියන්න ඕන . දේශගුණ විපර්යාසයන් තියෙන උතුරට වඩා නිවර්තන දකුණ සශ්‍රීකයි. අදටත් මන් දැක්ක විදිහට දකුණ උතුරට වඩා දියුණුයි . ඉතින් මෑත ඉතිහාසයේ වගේම එකලත් දකුණු පළාත වඩා වටින්න ඇති . උඩහ හිටි අයගෙන් නිතරම ආක්‍රමණ ඇති වුනා . අනික චම්පා  ප්‍රාදේශීය රාජ්‍ය වලත් ඒ හැටි එකමුතුවක් තිබුනේ නැහැලු . ප්‍රාදේශීය අරගල නිතර සන්සින්දුනේ අන්තර් විවාහයන් කිරීමෙන් .


Dai Viet ල එහෙම කලවම් වෙන්න එච්චර කැමති වුනේ නැහැ . ප්‍රධාන හේතුවක් තමයි චාම් මාතෘමුලික සමාජයක් . පිතෘ මුලික Dai Viet ල කැමති වෙයි ද .


ගෘහ නිර්මාණ ශිල්පය සහ ආගම් වෙනත් දේශ වලින් ගත්තට චාම්වරු තමන්ගේ අනන්‍ය තාවයක් ගොඩ නැගුවා . එක උදාහරණයක් තමයි ගඩොල් බැඳීමට මධ්‍යම වියට්නාමෙට ආවේනික වුන ගහක මැලියම් යොදා ගැනීම .


අනික හින්දු ආගමත් එක්ක පොලෝ මාතාව සංකේතවත් කරමින් Po Nagar වන්දනාවත් සිදුවුනා .
15 වෙනි සියවසේදී ඉස්ලාම් ආගම ප්‍රබලවෙන්න පටන් ගත්තා . 15 සියවසේදී තමයි  චම්පා වලට දරුණු වියට්නාම ප්‍රහාරයක් එල්ල වුනේ .. විශාල හානියක් වෙලා අන්තිමට ඉතුරු වුනේ . Lady Po Nagar උපන්  Khan Hoa පළාත විතරයි . [අද Nha Trang ]. මේ කාලේදී තමයි සමහර චාම් වරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයට ගිහින් තියෙන්නේ . අචේ බසයි චාම් බසයි සමානලු. [අචේ කියන නම අපට මතකනේ සුනාමියත් එක්ක .]



චාම්වරු සැහෙන්න මිය ගියා . ඉතුරු වුන අයත් බොහොමයක් ඉස්ලාම් වුනා . මේ කාලේ වෙද්දී මේ පළාත්වලට චීන බලපෑමත් තිබුනා . සමහරු චීන සංස්කෘතියට අනුගත වුනා . 19 සියවසේදී චම්පා රාජධානිය නැත්තටම නැති වුනා . ඒ Ming Mang කියන වියට්නාම රජුගේ ප්‍රහාරයෙන් . මේ Ming Mang සහ ඔහුගේ පරපුර වුන Nguyen වංශය ගැන පොඩි සටහනක් තැබුවා ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වීම ලිපියේ . ඇත්තටම කුතුහලය ඇති අය කියවා බලන්න .


එවකට හිටි චම්පා රජු තම වැසියන් පිරිසක් සමග කම්බෝජියාවට පලා ගියා . කලිනුත් චාම් වරු හිටි Kampong චාම් පළාතේ පදිංචි වුනා . එතකොට මේ රජු ඉස්ලාම් නිසා කම්බෝජියාවේ චාම්  ජනතාවගෙන් බහුතරය ඉස්ලාම් . අදටත් එසේමයි .
චම්පා වල තව කොටසක් මැලේසියාවට පලා ගියා . සමහරු චීනයේ හයි නාන් දුපතේ පදිංචි වුනා . මේ ගිය හැමෝම වගේ ඉස්ලාම් .



 The head from a stone statue of God Brahma that belongs to the Cham Pa culture. — VNA/VNS Photo Thanh Ha 
 statue of Ganesa, Son of the God Siva, kept in Tien Giang Province's Museum. — VNA/VNS Photo Thanh Ha

: A stone statue of Bodhisattva Kwan Yin from the 7th-8th centuries. — VNA/VNS Photo Quang Nhut.
මේ පින්තුර තුනම වියට්නාම් නිව්ස් පත්තරෙන්




මේ අප්සරාවියයි  පරාක්‍රමබාහු රජතුමා වගේ දෙන්නයි චාම් ක්‍රමේට හදපු නුතන පිළිම . හමු වුනේ Hoi An වල අපි හිටි හෝටලයේ ඉඳල




චම්පා රාජධානියේ නටඹුන් , පිළිම පින්තුර වලින් අද සටහනට තිත තබනවා .



මේවා නම් ඇත්තම සංරක්ෂිත චාම් නිර්මාණ . පින්තුර මන් ගත්තේ 2009 හැනොයි ආපු වෙලාවක . ඉතිහාස කෞතුකාගාරේදී . එතකොට මට එච්චර අගයක් තිබුනේ නැහැ . අනික මිට ස්වල්ප මොහොතකට පස්සේ අපේ පොඩි දඟයා කැමරාව බිම දැම්ම . ආයේ දවසක ගිහින් අලුතින් බලන්න ඕනේ විස්තර

වත්මන් චාම් ජනතාව ගැන ඊ ළඟ කොටසින් . ඉඩක් ලැබුනොත් මිටම සම්බන්ධ නිසා khmer වරු ගැනත් කියන්නම් . ප්‍රධාන කොටම අද විස්තර විකියෙන් සහ මගේ මතකෙන් . මන් විටින් විට කියවපු දේවල් තියෙනව . මතක් වෙන විදිහට ඊ ළඟ සටහනට එකතු වෙයි .අනික කමෙන්ට් හරහා අපිට කතා කරන්නත් පුළුවන්

 .
මතු සම්බන්ධයි
ස්තුතිය ..
චම්පා රාජධානියට ගිහිල්ලම ඒ ගැන ලියන්න හිටි නිසයි මේ වැඩේ කල් ගියේ . සියලුම නටඹුන් තියෙන තැන් බලන්න යන්න බැරි වුනා . ඒත් චම්පා වරාය තිබුන Hoi An ගිය නිසා රාජධානියට පය තිබ්බ කියන සතුට නිසා මේක ලියල දාන්න හිතුන . ඒ වගේම Nha Trang සහ Phan Thiet කියන චාම් සංස්කෘතියේ වැදගත් වෙච්ච මහුදු තීරයන්ට කලින් ගිය ගමනුත් මතක් වුනා . [ඊ ළඟ ලිපියෙන් ඒවා ගැන ]ආයේ යන්න ලැබේවි සමහර විට . ඉතින් ගමන එක්ක ගියාට බනිලගේ තාත්තට ස්තුතියි
විශේෂ ස්තුතිය මේක ලියන්න කියල මතක් කලාට . නෙලුම් විලට අගනා අදහස් වලින් පෝෂණය කිරීම වෙනුවෙන් බුරතිනෝ හෙවත් ලි බෝනික්කට තෑග්ගක් තමයි මේ

49 comments:

  1. මාරයිනේ....වියට්නාමේ ගැන අහලා තිබුනේ යුද්දේ ගැන විතරයිනේ..මෙහෙම විස්තරයක් ඇහුවමයි...ස්තූතියි අපිව දැනුවත් කරාට....

    ReplyDelete
    Replies
    1. මාත් මුලදී පුදුම වුනා . අපි නොදුටු ලෝකවල් කොච්චරක්ද නේද

      Delete
  2. මේ විස්තරේනං අගක් මුලක් වෙන කොහෙදිවත් අහල නෑ . . . .ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඕනයා . කමෙන්ට් එක ස්පෑම් එකට ගිහින් තිබුනනේ

      Delete
    2. ඕනයගේ ගොඩක් ඒවා යන්නේ ස්පම් එකට..ආ වැරදුනා ස්පෑම්.....

      Delete
  3. මට මතක් උනේ 'Ancient Angkor '. ඒ ඉතිහාසෙත් ඔය හා සමානයි. චාම් අය ඔහෙන් ඇවිත් ඒ රට අල්ලගත්තු හැටි, එයාලගේ නටබුන්, පරන සිතුවම් ඔක්කොම මතක් උනා මේ විස්තරේ කියවපුවාම. අනෙක එයාලත් ඉන්දීය නම් බාවිතා කරලා තියනවා. හින්දු දේවාල හදලා තියනවා. ඔක්කොටම වඩා ලස්සනයි ඒ දේවාල ඇතුලේ පස්සේ කාලෙක බුද්ධාගම වැලඳ ගත්තු රජවරු බුද්ධ ප්‍රතිමා ඉඳි කිරීම. එක පසෙක බුදු පිළිම අනෙක් පැත්තෙන් ශිව ලිංග. ඒ වගේ දර්ශනයක් නම් කොහෙවත් දැකලා තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. බින්දිගේ ලිපිය කියවගෙන යද්දී මටත් මතක්වුනේ අන්කොර් වට් තමා. කලින් අහල නොතිබුනාට වියට්නාමයේ හින්දු සංස්කෘතියක් තිබුණු බව අවට රටවල් වල ඉතිහාසය සැලකීමේදී පුදුමයට කරුණක් නෙවෙයි.

      Delete
  4. අනෙක රජවරුන්ගේ නම්. ජයවර්මන්, ඉන්ද්‍රවර්මන්, යසෝවර්මන්, හර්ෂවර්මන්. රජෙන්ද්‍රවර්මන්, සුර්යවර්මන්....කැටයම්වල තිබුනේ ශිවගේ නැටුම්, මකරු, නාගයෝ, රාමයනයේ කොටස්, මහා භාරතයේ ජවනිකා, ක්‍රිෂ්නා, අප්සරාවෝ. ඇතුලට ගියාම තේරෙන්නේ හරියට ඉන්දියාවේ ඉන්නවා වගේ. :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පොඩ්ඩි මට ඔයාවත් මතක් වුනා . උදේ බ්ලොග් එක නැති වුන වෙලාවේ සොයා බැළුවටත් ස්තුතියි . Khmer අය ආවේ උඩහ ටිබෙට් පැත්තෙන්ලු. එයාල හින්දු වුනේ කොහොමද කවදද කියල හොයල බලන්න වටිනවා . මට තාම යන්න බැරි වුනානේ

      Delete
    2. මමත් අද උදේ මේකට උත්තරයක් දාන්න ගිහින් ඒක පබ්ලිෂ් වෙනවා වෙනුවට බ්ලොග් එක අයින් කරලා කියල මැසේජ් එකක් ආවා... එතකොට තිබ්බෙ නොදුටුගෙ කමෙන්ට් එකයි ඔයාගෙ උත්තරෙයි විතරයි.... මොකද අප්පා උනේ....

      මමත් මේ විස්තරේ ඇහුවෙ අදමයි.... ඇත්තටම පුදුම හිතුනා... බොහොම ස්තුතියි බින්දි මේ තොරතුරු බෙදා හදා ගත්තට....

      Delete
    3. අනේ මන්ද මියුරු . පස්සේ රිකවර් කර ගත්ත යන්තම් . ස්තුතියි සොයා බැලුවට .

      Delete
  5. ආර්යයන්ගේ ව්‍යාප්තියක් මේ ප්‍රදේශවලට වුණාද දන්නේ නැහැ. ඒකත් එක්ක ආර්ය දේව වන්දනා ක්‍රම මේ ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙන්න ඇති. ඒ වගේමයි පසුකාලීනව චෝළ අධිරාජ්‍යා මේ ප්‍රදේශවල ව්‍යාප්ත වෙද්දී ඒකෙනුත් මේ ප්‍රදේශවල හින්දු දහම පැතිරෙන්න බලපෑමක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මෙතන ආර්‍ය සංක්‍රමණයක් නැහැ මචෝ.. මානව වර්ගීකරණය අනුව බලපුවම චාම් ජනතාව අයිති වෙන්නෙ ඔස්ට්‍රලෝ-ඉන්දුනීසියානු කොටසට.. ඒ කියන්නෙ මෙයාලා ඉන්දු-චීනයේ හිටපු වෙනමම ඉන්දියානු නොවන හින්දුන්, හරිය‍ට ඛෙමර්ලා වගේම තමා..

      Delete
    2. @Buratheno

      තැන්කු වේවා :) චෝළ බලපෑම් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

      Delete
    3. චෝළ බලපෑමක් පැහැදිලිවම තිබිය යුතුයි නේද.?? චෝළ අධිරාජ්‍යයේ ස්වර්ණමය කාලය (11-12 සියවස්) තමා මෙයාලගෙත් ස්වර්ණමය යුගය, ඊට පස්සෙ එන්නෙ decline එක නේද.. මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා, තවම හරිහමන් ලින්ක් එකක් හම්බවුනේ නෑ චෝළ බලපෑම් ගැන කියවන්න..

      Delete
    4. සොළී බලපෑමක් තිබුන බවක් පේන්නේ නැහැ . මෙයාල ඉන්දියන් සංස්කෘතිය ගත්තට මිනිස්සු නම් ඉන්දියන් නෙමේ . ඉන්දියන් කාරය පදිංචි වුනානම් පැවතෙන අය ඉන්න ඕනනේ . මෙයාලගේ ස්වර්ණමය යුගය 9 වෙනි සියවස නේද . අනික ඉන්දියන් සපෝර්ට් එකක් තිබුන නම් උඩින් වියට්නාම් කාරයින්ගෙනුයි බටහිරින් ඛේමර්ලගෙනුයි පහර වදිද්දී ඔච්චර වැටෙන්නේ නැහැනේ . මෙතන තියෙන ප්‍රශ්නේ ගොඩක් නටඹුන් බෝම්බ වලින් විනාශ වෙලා . තවමත් සමහර පැතිවල සක්‍රිය බෝම්බ හම්බ වෙනවා . නිසි ගවේෂණයක් වුනා කියන්න බැහැ. චාම් ලව විනාශ කරන්න ඕන වුන අය මෙතුවක් මේ ඉතිහාසය ගැන උනන්දු නොවුන එක පුදුමයක් නැහැ . අනික මෙයාලට ඊට වඩා ප්‍රශ්නත් තිබුනනේ .
      ස්තුතියි හසිත උදේ බ්ලොග් එක නැති බව දැන්නුවට.

      Delete
    5. මේකයි බින්දි, ඛෙමර්ලත් හින්දු නිසා සමහරවිට චෝළයො කාගෙවත් පැත්තක් නොගෙන හිටියද දන්නෙ නෑ නේද.?? අනෙක එච්චර කල් ඩායි-වියෙට්ලත් එක්ක අල්ලගෙන ඉන්න තරම් බලයක් තිබුනා කියන්නෙ කොහෙන් හෝ සපෝර්ට් කරන කස්ටියත් ඉන්න ඇති නේද.?? ඉන්දියාවත් එක්ක වෙළෙද සම්බන්ධතා නං තදේටම තිබිලා තියෙනවා නෙවැ.. මේ ගැන තව කියවන්න ඕන, Net එකේ නෑ නෙවැ කිසිම හොද ලින්ක් එකක්..

      පලි: බ්ලොග් එකට මක්කැයි වෙලාතිබුනෙ..!!?? දරුණු ගනයේ සයිබර් ප්‍රහාරයකටවත් ලක්වුනාද.??

      Delete
    6. මේ කමෙන්ට් මගේ ඊ මේලට ඇවිත් නැහැනේ . බ්ලොගර්ට පිස්සුද මන්ද . වෙබ් එකේ විස්තර නැති හන්ද මන් ගියා බෑන් කි මහත්තයාගේ පුස්තකාලෙට . රත්තරන් පොතක් ලැබුන . කියෝමින් ඉන්නේ . චෝලයින් ගැන කියනව නම් නැගෙනහිර සුමාත්‍රාව ,ජාවා වලින් කොටසක් සහ මලයාව [ නුතන මැලේසියා සහ සිංගප්පුරුව ] එක්කම ව්‍යාප්ත වෙච්ච ශ්‍රී විජය රාජධානිය මලක්කා සහ සුන්දා සමුද්‍ර සන්ධින් පාලනය කල කාලේදී ශ්‍රී විජයට විරුද්ධව සටන් කරලා තියෙනවා . ඒ චිනෙත් එක්ක සහ නැගෙනහිර ඉන්දියාව ගනුදෙනු සරු වුන නිසා මේ සමුද්‍ර සන්ධි හරහා යන එක සොළින්ට අත්‍යවශ්‍ය වුනා . ශ්‍රිවිජය ට ලොකු බදු ගෙවීම වගේම යනෙන නැව් වලට බාධක පැමිණීම නිසා සොලින් ශ්‍රී විජයට පහර දීලා අල්ල ගත්ත . ඒත් ඉන්දියාවෙන් ඈත වීම නිසා අල්ල ගත්ත පළාත් අල්ලන් ඉන්න අමාරු වුනා . ආයේ සමගි සන්ධාන වලට එන්න සිදු වුනා . මේ 11 වෙනි සියවසේ . මේ හන්ද වෙළඳ කටයුතු වලදී සම්බන්ධ වීම ඇර චම්පාට සොළින්ගෙන් ලොකු උදව්වක් වුනාද සැකයි . කමෙන්ට් දිග වෙනවද මන්ද . ඕන එකක් කමක් නැහැ කියල ඔන්න තව එකක් කියන්නම් . Dao Viet ලට උඩහින් චිනෙත් එක්ක හැප්පෙන්න තිබුනනේ . නමුත් නිතරම චම්පා එක්ක සටන් කළා .
      වියට්නාම් ජතිකයෝයි චම්පායි දෙන්න ගහගත්තට කුබ්ලායි ඛාන්ගේ ආක්‍රමණ වෙලාවලදී දෙගොල්ල එක්කහු වෙලා තියෙනවා සතුරාගේ සතුරා අපේ මිතුරාය නොහිතා .

      මේ පොතේ නම AN INTODUCTION TO THE HISTORY OF SOUTH-EAST ASIA . කතුවරයා බුරුම මහාචාර්ය කෙනෙක් B.R PEARN. මුද්‍රණය වෙලා තියෙන්නේ 1963.ප්‍රකාශනය LONGMANS OF MALAYSIA. විස්තර දැම්මේ හැකි නම් සොයා ගන්න . නැගෙනහිර ආසියාව ගැන අපි නොදත් බොහෝ දේ ඇති නිසා හරිම රසවත් . මේ කලාපයේ චීනුන්ට පෙර ඉන්දියානුවන් සිය සංස්කෘතිය පතුරලා . හින්දු වගේම මහායාන බුද්ධාගම ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් . ඒවගේම අපි හිතුවට ඉස්ලාම් ආගම ගෙනාවේ අරාබි වෙළඳුන් කියල එයිට වඩා ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් . ථෙරවාද බුදුදහම ආවේ නම් ලංකාවෙන් කියල අපි දන්නවනේ . බුදුදහම ගැන කියනවා නම් වියට්නාමයේ ප්‍රධානකොටම ඇත්තේ මහායාන වුනත් යාබද තායිලන්තය , කම්බෝජියාව , බුරුමය වගේ රටවල මුලික වෙන්නේ ථෙරවාද .

      Delete
    7. තැන්කූ වෙරි වෙරි මච්.. පොත හොයාගන්න බලන්නම්, වටිනා පොතක් වගේ..

      මෙයාලට බුදුදහම ගියෙ ලංකාවෙන්ද..?? ඊට කලින් සේදමාවත දිගේ නෙවෙයිද..??

      Delete
    8. වියට්නාමෙට බුද්ධාගම ආව හැටි ගැන පැහැදිලි සටහනක් නැහැ . මන් කිව්වේ මේ කලාපයට . සේද මාවත කියල කිව්වට ඊට කලින් ඉඳන් ඉන්දියන් ශිෂ්ටාචාරය ජාවා , සුමාත්‍රා ,එතකොට මලයා සහ ෆුනාන් පැත්තට ව්‍යාප්ත වෙලා තියෙන්නේ . ෆුනාන් කියන්නේ අද තායිලන්තෙයි කම්බෝජියාවෙන් කොටසකුයි දකුණු වියට්නාමෙන් කොටසකුත් [ අද හෝචි මින් සහ මිකොන් පළාත ] එකතු වෙච්ච රාජ්‍යයක් .සිතියමක් දාන්න තිබ්බ නම් මේක තේරෙයි . ෆුනාන් වලට නැගෙන හිරින් තමයි චම්පා බිහි වුනේ . චම්පාට උඩින් ඩාවෝ වියෙට්ලගේ පළාත . ඒක දිගේ නිතරම චීනා ෆුනාන් වලටයි චම්පටයි කරදර කළා . ෆුනාන් සහ චම්පා එකතු වෙලා උතුරු වියට්නාමේ පැත්තෙන් චිනට ගහන්න හැදුවට සාර්ථක වුනේ නැහැ .ෆුනාන් වලට උඩින් හයවන සියවසේ බිහි වුනා චෙන්ලා . පස්සේ චෙන්ලා ෆුනාන් අල්ල ගත්තා .
      -මතු සම්බන්ධයි -

      Delete
    9. මේ තියෙන්නෙ ෆුනාන් රාජධානියෙ මැප් එක..

      දැනටත් නැගෙනහිර චීනයෙ ෆුනාන් නමින් ප්‍රාන්තයක් තියෙනවා නේද.? ඔයා දුන්න අර පොත Internet එකේ හොයාගන්න නෑ, මං හිතන්නෙ පරණ පොතක් නිසා දැන් ඇත්තෙ ලයිබ්‍රරිවල විතරයි වෙන්ටැති..

      Delete
  6. නියමයි....එල ...... ඔහොම යන්....චම්පා අධිරාජය ගැන තව හොයල බ්ලොග් එකේ දාන්න... සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂ්. තව එක ලිපියක් වත් ලියන්න ඕන

      Delete
  7. අමු කොටි මස් රසයි රසයි..
    බින්දිගෙ ලිපි යසයි යසයි..

    අවුරුද්දක් විතර පහුවෙලා හරි මේ ලිපිය දාපු එකට මෙන්න මගෙන් හිස නමා ආචාරය.!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුරා

      Delete
  8. මේ රාජධානියේ ආරම්භයට මුල් උන ඉතිහාස කතාව ඇත්තටම සිත් ගත්තා.. වියට්නාමය කියපු ගමන් අපේ හිත් වලට එන්නේ ඇමරිකන් යුද්ධය උනත් ඊට වාඩා දැනගන්න දේවල් තියෙනවා කියලා මේ ලිපියෙන් තේරුනා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි . අපේ යාලුවෙක් මෙහෙ එද්දී කවුද ඇහුවලු අපෝ එහෙ යුද්ධේ නේද කියල

      Delete
  9. වියට්නාමයේ රට මැද හින්දු රාජධානි තිබුනා කියලා දැන ගත්තෙ මේ ලිපිය කියෙව්වට පස්සෙයි.... ගොඩක් වටින ලිපියක්.......

    ReplyDelete
    Replies
    1. තොටියටත් ඉතින් විලේ ඔරු පදින්න මල් නෙලන්න පුළුවන් ඔන්න

      Delete
    2. නැතුව, නැතුව... පොඩි පරශ්නයක්.. ඔරුව දාන්න හදනකොට මෙන්න බොලේ තවත් තොටිච්චියක් ඒකෙ මල් නෙලනව...තොටිය එහෙම්මම පැන්න විලට .. අර තොටියහෙ ඔරුව තමා පැත්‍තට වෙන්න තියෙන්නේ... මේ සීන් එක දැකපු බින්දි ඒකෙ ෆොටෝ එකක් අරගෙන දාපි එයාගෙ පිටුවෙ මුදුනෙම..ලොල්ස්...

      Delete
  10. නොදැන සිටි අළුත්ම දෙයක් ගැන ඉතින් දැනගත්තා.. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. එය මගෙත් සතුට

      Delete
  11. ස්තූතියි බින්දි...ඇත්තටම මමත් නොදැනම හිටි කාරණයක්....

    අප්‍රිකාව මධ්‍යයේ සුදු මිනිසුන්ගේ රාජධානියක් ඈත අතීතයෙ තිබුණයි කියන කතාව මම කියවල තිබුන කාලෙකට ඉස්සෙල්ල....ඒත් ඒ සම්බන්ධව ඓතිහාසිකව පිළිගත හැකි සාධක නැහැ. මේ චම්පා කතාවත් ඒ වගේම මගෙ හිතට ගෙනාවෙ අමුතුම චමත්කාරයක්....ඒත් වැදගත්ම දේ චම්පා කියන්නෙ සත්‍යයක්.....

    ආයෙම ස්තූතියි බින්දි...ඔබ කරනා අමිල මෙහෙය නම් මිල කල නොහැකියි.... ;)

    ReplyDelete
    Replies
    1. රවිඅයියා කියන්නෙ රයිඩර් හැගාර්ඩ් ගෙ 'ෂී' කතාව වෙන්ටැ..

      Delete
    2. නෑ මලේ ඒක නෙවෙයි..ෂී ගැන නෙවෙයි මම කියන්නෙ...රයිඩර් හැගාඩ් තව කතාවක් ලිව්ව Allan Quartermain කියල. ඒකෙ තියනව සර් හෙන් රි කර්ටිස් සහ කපිතාන් ජෝන් ගුඩ් එක්ක ( මතකනෙ..King solomans mines කතාවෙ හිටියෙ ) ඇලන් ක්වාටමේන් යනව අප්‍රිකාව ඇතුලට සුදු මිනිසුන් වාසය කරන සුවෙන්ඩි දේශය හොයාගෙන....කියවල ඇතිනේද ඒ කතාව?..අර නිවුන් රැජිනියො දෙන්නෙක් ඉන්නෙ?....නිලෙප්තා සහ සොරේස්....

      මම මේ කියෙව්වයි කියපු ලිපිය පලවුනේ නවයුගය සඟරාවෙ...ඒකෙ තිබ්බ ඔය අප්‍රිකානු ජනකථාවක් ගැන වික්ටෝරියා විල අසබඩ ළඟා වෙන්ට අති දුෂ්කර දුර්ග ප්‍රදේශයක තිබුණු සුදු මිනිසුන් වසන දේශයක් ගැන, හැගාඩ් ඔය කතාව ලිව්වෙත් ඒ ජනකථාව ආශ්‍රයෙන් කියලත් ඒ ලිපියෙ තිබුණ මතකයි...

      ඔය ජනකතාව ආශ්‍රයෙන්ම Wilbur Smith ලිව්ව නියම කතාවක්..නම Sun Bird

      රෝමන් වරු කාර්තේජය විනාශ කලාට පස්සෙ ඉතිරිවුනු ටික දෙනා අප්‍රිකාව අභ්‍යන්තරයට පහු බැහැල රාජධානියක් හදා ගත්තයි කියන න්‍යායක් ඒකෙ ගෑවිල වගෙ ගිහින් තියනව...

      කවුද හරියටම දන්නෙ මලේ ..නැද්ද?.......Truth is stranger than fiction කියල තියෙන්නෙ උඹල අපි වගේ එවුන් නෙවෙයි නෙව........යමක් කමක් දන්න උදවියනෙ...හෙහ්, හෙහ්,

      Delete
    3. විල්බර් ස්මිත්ගෙ කතාවලින් 90%ක් විතරම පැරණි මධ්‍යම අප්‍රිකාව ආශ්‍රිත කතා. එයා ඉපදුනේ සහ හැදුනෙ වැඩුනෙත් එහෙනෙ

      Delete
    4. හෝව් හෝව්! මට වැරදුනා නෙවැ.. ඔය රවී අයියා කියපු කතාව තමා මම අදහස් කරේ, වැරදිලා නම අමතකවෙලා ෂී කියලා ලියැවුනා.. ඕක මම කියවලා තියෙනවා.. අන්තිමට ක්වාර්ටමේන් යුද්ධෙන් ලබපු තුවාල නිසා මැරෙනවා, සර් හෙන්රි නයිලෙප්තාව කසාදබැඳලා රටේ රජවෙනවා..

      කාර්තේජ් ජනතාව සුදු හමක් ඇති අයද.?? එයාලා ෆිනීෂියන්වරු නෙවැ.. හොයලා බලාන්ට ඕන..

      Delete
    5. මන් නම් වැඩිය ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැහැ .ෆිල්ම් නම් කීපයක් බලල තියෙනව . අපි හිතනවට වඩා ලෝකේ එකට සම්බන්ධ වෙලා තිබිල නම් තියෙනව .

      Delete
  12. රසවත්, වැදගත් ලිපියක්, මහන්සිවෙලා ලිවීම ගැන ස්තූතියි !!

    ReplyDelete
  13. වියට්නාමය ගැන තිබූ අඳුරු චිත්‍රය ටිකෙන් ටික වර්ණවත් වෙන බව හැඟෙනවා ස්තුතියි

    ReplyDelete
  14. කවදාවත් නොදැන හිටපු පුදුම දේවල් ගොඩාක් දැනගත්තා.රසවත්......ස්තූතියි බින්දි අක්කා...

    ReplyDelete
  15. බොහොම ස්තුතියි බින්දි අක්කා. කවදාවත් නොදැන හිටපු දේ ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
  16. ගොඩක් වටින ලිපියක් ඔයාට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  17. හරි , රූ , පුංචි කුමාරි , තරු ..ඔයාලටත් ගොඩක් ස්තුතියි

    ReplyDelete
  18. අපි කියවනවා.. දවසක දකින්නත් හිතන් ඉන්නවා.

    ReplyDelete
  19. මේක නං ඇහුවමයි මේ...

    ReplyDelete
  20. ඇත්තටම බින්දි අක්කේ, දවසම ජංජාල ගත වෙලා උන්නත්, වියට්නාමේ හින්දු රාජධානියක් තිබුණු බවක් නිකමටවත් අහලා දැකලා තිබුනේ නෑ. ඉතින් කට පුරෝලා ස්තුතියි කියන්න ඕනේ මේ තොරතුරු වලට...

    ReplyDelete
  21. සරත් , චේජනා , චතුරංග ගොඩක් ස්තුතියි . වැඩිය කට්ටිය ආස නැති මාතෘකා වුනත් චතුරංග කිව්වා වගේ සිංහලෙන් යමක් සයිබරයට එක් කිරීමේ සතුට මට තියෙනව .

    ReplyDelete
  22. හැමදාමත් වගේ මම පමා වෙලා ආවට බින්දි අමනාප නැතුව ඇති.

    විශේෂයෙන්ම ඔබේ ලිපිය කියවද්දී මට වඩාත් කුතුහලයක් ඇතිවූ කාරණය තමා චම්පා සමාජය මාතෘ මූලික සමාජයක් බව ඇසීම. පැරණි ඉන්දියාවේ මොහන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාර මාතෘ මූලික බව මම කියවා තිබෙනවා. ඒත් හින්දු වරු සැමවිටම පීතෘ මූලික බවයි අසා තිබෙන්නේ. මෙය ඔවුන්ගේ දේව ඇදහිලි දෙස බලීමීදී වුනත් පැහැදිලි වෙනවා. මොහන්දජාරෝ වැසියන් මාතෘ දෙවඟන ඇදහු අය. හින්දුන්ගේ ප්‍රධාන දෙවිවරු සියල්ලෝම පුරුෂයන් (ත්‍රි මූර්තිය). මාතෘ මූලික හින්දු සමාජයක් 9 වන සියවසේ වියට්නාමයේ පැවතුනා යන්න ඇත්තටම බෙහෙවින් කුතුහලය දනවන තොරතුරක්. චෝල බලපෑමකින් තොරව මේ රාජධානිය පැවතුන බවට මෙය ප්‍රධාන සාධකයක් බව මට හිතෙනවා. මන්ද චෝල බලපෑමක් තිබුන නම් මාතෘ මූලික සමාජ පදනම රැකෙන්නේ නැති බව පැහැදිලියි. බුරාභිධාන සහෝදරයා මේ ගැන දරන මතය දැනගන්න සතුටුයි. ඒ වගේම බින්දි සහෝදරියට හැකිනම් චම්පා ශිෂ්ටාචාරයේ මාතෘ මූලික සමාජ ලක්ෂණ ගැනත් අපට විස්තර කියන්න.

    ReplyDelete