Tuesday, 29 May 2012

දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේ

පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්‍රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට තමයි මේ ජාතික කර්තව්‍ය ගැන අපට වඩා ඕන කමක් තිබුනේ .

මේ ගැන මුලික අදහස මතු වුනේ නිදහස් දවසේ . කියන්න බැරි වුනා අපි නිදහස් දිනයත් ලස්සනට සැමරුවා . ඒදවස්වල පොඩි කම්මැලි කමක් තිබ්බ නිසා ලියන්න බැරි වුනා . කලිනුත් කිව්ව පරිදි පිරිමි කට්ටිය කීපවතාවක් බරපතල සාකච්චා වට කීපයක් තියල අන්තිමට තීන්දු වුනේ මැයි 20. ඔන්න ඕක නිසයි අහසින් වැටුන වගේ වෙසකුත් පහුවෙලා පොසොනුත් කටේ තියාගෙන අවුරුදු ගැන ලියන්නේ . නැතුව බින්දිට පිස්සු හෙම නෙමේ ඔන්න .

අපේ මහත්තුරු හරිම කාර්යබහුල අය. බොහොම අය නිතරම රට රටවල රාජකාරි වලට යන එන අය . ඔන්න ඒ අය සේරම ලාහෙට එකතු කරලා ගන්න හැකි වුනේ මැයි 20 තමයි . මේ මහත්තුරු රැස්වීම් තියෙන අවස්ථාවල කාපු බිපුවා ගැන රස කතන්දර තියෙනව . එක්කෝ එව්වා මොකටද . සමහරු මේක කියවනත් එකේ ..D

මොනවා වුනත් ගැහැණු අපිට කෑමක් හදන එන එක ඇර වැඩි වගකීමක් දුන්නේ නැති එක ගැන එයාලට ගොඩක් ස්තුති කරන්න ඕන . ශ්‍රී ලංකික ජනතාව කිව්වට මෙහෙ සු ගාල ඉන්නේ පවුල් කීපයයි . සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා . ලොකු පිරිසක් නැති නිසා කල්ලි ගැසිමකුත් නැහැ . ඕනෑම දෙයකට සියලුම දෙනා සහභාගී වීමයි සිරිත . අනෙක වියට්නාම අම්මල සහ ශ්‍රී ලංකික තාත්තලාගේ ළමයි ගොඩක් ඉන්නවා . කට්ටිය එකතු වුනහම හරි ලස්සනයි .

අපට මේ අවුරුදු උත්සය අලුත් වුනාට හෝ චි මින් නගරයට නම් සැහෙන පරණයි . හෝ චි මින් කියන්නේ වාණිජ අග නගරය . හැනොයි තමයි ජාතික අගනගරය . හෝ චි මින් වලට නුතන දියුණුව කලින් ඇවිත් නිසා ජිවත් වීම පහසුයි .

එහෙ ඉඳන් මෙහෙ එද්දී''' wish you all the best ''කියන එක අස්සේ තියෙන්නේ ''හු හු ඇද්ද උඹට'' කියන එක . නැත්නම් ඉස්සර පාවෙල් සයිබීරියාවට පිටුවහල් කරද්දී අපි දුක හිතුවා වගේ . හැමෝම නෙමේ . අදටත් ආදරෙන් නිතර කතා බහ කරන හොඳ යාළුවොත් ඉන්නවා .


හැබැයි මෙහෙ ඇවිත් ජිවත් වෙද්දී හිතෙනවා ජිවිතේ ටිකක් සරලයි කියල . කට්ටිය අඩු නිසා කල්ලි ගැසීම් නැහැ . හමු වීම් අඩුයි . අනික පරිසරය සාමකාමියි සාපේක්ෂව . කොටින්ම මන් දැන් කැමතියි මෙහෙට . හරියට කොළඹයි නුවරයි වගේ .මේක හරිම ඉතිහාසයක් තියෙන ලස්සන නගරයක් . ඒ ගැන වෙනම ලියන්න ඕන . අනික අපේ තානාපති කාර්යාලේ තියෙන්නෙත් මෙහෙ . රාජකාරි වැඩක් කරගන්න ලේසියි


හරි දැන් කියන්න ඕන අවුරුදු ගැනනේ. ඉතින් පසුගිය 20 වෙනිදා අපි හැමෝම රැස් වුණා ලස්සන නිවාඩු නිකේතනයකට . එතන පිට්ටනිය තමයි අවුරුදු උත්සවේ තියන්න අරන් තිබුනේ . නිකන් නම් නෙමේ හරිම මිල අධිකයි . අනික එයාලගේ පාපන්දු පිට්ටනියේ අගනා තණකොළ ටික අපි කයි කියලද කොහෙද සැහෙන තර්ක විතර්ක තර්ජන වලින් පස්සේ තමයි ඒක ඉල්ලා ගත්තේ .

මේක උණ බට ඔන්චිල්ලාවක්




හිමේ වගේ කරත්ත වල ලෙස්සල යන තණකොළ බෑවුම ..


අලියට ඇහැ තැබීම ....බනිස් කෑම..මෙහෙ අපට ගැලපෙන වර්ගයේ බනිස් නොතිබ්බ නිසා කන්න දුන්නේ ඩෝනට් . අපේ ශ්‍රී ලාංකිකයෙක් ඩෝනට් ව්‍යාපාරයක් පවත්වන නිසා විසිකරකර කන්න ඩෝනට් තිබුන .
ටයි කොන්ඩෝ පැංචා ඩෝනට් කාල එක වුනා . අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .

කටේ මුනේ ගාගෙන කාපු හැටි පින්තුරයක් දාන්න හැටියක් නැහැනේ . මුණු පොතේ ඉන්න අය නම් දැක්ක .

කනා මුට්ටි තරගෙත් හරිම විනෝදයි . කඹ ඇදීම පිරිමි තරඟයේ දිනුවේ 40 ට වැඩි අය ..Old is gold වෙන්න ඇති .

කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .


බැලුම් පිපිරවීම කලේ ළමයි විතරයි .


ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් .[ ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....]

උදේ සද්දෙන් කතා කල අයගේ හඬ හවස් වෙද්දී තව වැඩි වුනා . සද්ද නැතුව උන්න අය සද්ද කරන්න පටන් ගත්ත . කොටින්ම සීයලා පුංචි එවුන්ට මල්ලි කියල කතා කරන්න පටන් ගත්ත . ඒ සේරම වුනේ ශ්‍රී ලංකික කෑම වේලෙන් පස්සේ .


එතැනදී ඒගොල්ලන්ට මැජික් අරිෂ්ටයක් බොන්න ලැබිල . වයස අඩු කරන


කොහොම හරි එදා දවස බොහොම සතුටින් විනෝදෙන් ගෙවී ගියා . ආයෙමත් ඒ වගේ හමු වීමක් තියන්න කතා වෙලා .


අනික් අයගේ අවසර නැතුව පින්තුර දාන්න විදිහක් නැහැ . අවසර ගන්න ගියොත් එයාල මේක කියවයි ..ඊට පස්සේ ...මන් ඉවරයි .D



Saturday, 26 May 2012

ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''

පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .



ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .



Banh chung     [හදන හැටි ඕන නම්]   හෙවත් sticky rice Cake .




මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .


. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ




මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .



මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .

බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .

සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .

මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .

රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.

හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .

රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .






ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .

 චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .


ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .

කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය



ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .

Wednesday, 16 May 2012

යලිත් මල් පිපී

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.


 .

Tuesday, 1 May 2012

වියට්නාම ඇමරිකන් සටන 1...චීනයෙන් රට ගලවා ගත් සුර වීර Trung සහෝදරියෝ

ඇමරිකාව මේ නැගෙනහිර ආසියාවට අතපොවන්න හේතු වුනේ ඇයි කියන එක සොයන්න කලින් වියට්නාමයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා . චීනය කියන්නේ ලෝකයට සැහෙන බලපෑමක් කල රටක් . මුල ඉඳන්ම එයාල කල්පනා කලේ වියට්නාමය කියන්නේ චීනයේ කොටසක් කියලයි . අපේ රට ඉන්දියාවත් එක්ක තිබුන ගනුදෙනු වගේම නැත්නම් ගොඩබිමින් සම්බන්ධ නිසා ඊටත් වැඩියෙන් ගසට පොත්ත වගේ මේ කලාපය එකට සම්බන්ධ වෙලා තිබුනා .

 දිය මකර රජුගේ ළමයි  කියෙව්වේ නැත්නම් මෙතැනදී ඒක කියවල එන්න .

 මිත්‍යාවයි ඉතිහාසයි කිසිම අවුලක් නැතුව මේ කොමියුනිස්ට් රටේ හරි අගේට යාලුකමින් ඉන්න හැටි නම් පුදුමයි . ඒ කතාවේ හැටියට ගොඩ බිම නැවතුන, Lac Long Quan ගෙයි Au co ගෙයි ළමයි 50 දෙනාගෙන් තමයි වියට්නාම ජාතිය පැවතෙන්නේ . එයිනුත් වැඩිමලා තමයි Hung Vuong . ඔහුගෙන් පැවතුන Hong bang රජ සමය ක්‍රි පු .2879 සිට 258 දක්වා පැවතුනා .එකල එම රජය සමන්විත වුනේ වත්මන් උතුරු වියට්නාමයත් දකුණු චීනයෙන් කොටසකුත් එක්ක .

මේ හුන්ග් රජවරුන් සිහිපත් කිරීම සඳහා අප්‍රේල් මාසයේ නිවාඩු දිනයක්ද මෑතක සිට වෙන් වෙලා .

මේ හුන්ග් රජසමයට අදාළ කතන්දර රාශියක් තිබෙනවා . මේ ලිපි පෙලේ අරමුණ ආක්‍රමණික ඉතිහාසය නිසා මෙතනදී ඒ කතා නොකියන්න හිතුවා . දවසක ඒවාත් ලියන්න ඕනේ . [මගේ වියට්නාම යාළුවන් කියන්නේ එයාලට වඩා මන් මෙහෙ ඉතිහාසයත් කතන්දරත් දන්නා බවයි .]

චීනය මුලින්ම මේ වියට් වරුන්ව යටත් කරගන්නේ ක්‍රි පු 111 දී . ඒ චීනයේ හෑන් වරුන් . වරින් වර ප්‍රාදේශීය වශයෙන් කැරලි ඇති වුනත් මේ හෑන් පාලනයට එතරම් බලපෑමක් කරන්න වියට් වරුන් සමත් වුනේ නැහැ . මෙතනදී තමයි අපිට මේ Trung [චුන්ග්] සහෝදරියෝ හමුවෙන්නේ . Trung Trac කියන්නේ අක්ක . Trung Nhi නංගි


.
අක්කගේ සැමියා චීන පාලකයින් විසින් මරා දැමෙනවා . යුධ ශිල්පයේ ප්‍රවීන මේ බිරිඳ සැමියා වෙනුවෙන් පලිගන්න හිතලා නංගිත් සමග හමුදාවක් සංවිධානය කරගත්තා . බහුතරය ගැහැණු . මේ ගැහැණු මුලික හමුදාව චීන හෑන්වරුන් පරදලා නැවත රට එක්සත් කරනවා . නමුත් හෑන් වරුන්ගේ අධික ශක්තිය මත මේ රාජ්‍ය වැඩිකලක් පවත්වාගන්න මේ සහෝදරියන්ට හැකි වුනේ නැහැ .  ක්‍රි වර්ෂ  39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ . 43 දී සටනින් පරදින බව දැන දියේ ගිලි දිවිතොර කර ගත බවයි සඳහන් . මේ සටනේදී හෑන් පිරිමි හමුදා නිරුවතින් සටනට පැමිණ තිබෙනවා . ගැහැණු හමුදාවල සෙබලියන් ලජ්ජාවට පත්වී අදහිරිය වූ නිසා පරාජය වූ බවත් සඳහන් .

මෙතැනදී කාන්තාවන් ගැන විවිධ වීර කතා බොහෝ ගණනක් ඇති වුනා . එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් .


මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් .

 චම්පා ගැන කතා කරද්දී චම්පා සමාජය මාතෘ මුලික වූ අයුරු අපට පැනයක් වූ බව මතකද .චම්පා වරු මේ ආදී වියට් වරුණේ අඩිපාරේ ගියා වත්ද . Dao Viet ලා පිතෘ මුලික වෙද්දී අර පරණ ලක්ෂණය චම්පා ළඟ ඉතුරු වුනා වෙන්න බැරිද [ මේක මගේ අදහසක් විතරයි ].


ඉතින් මේ Trung සොයුරියන් ජාතික නිදහසේ සංකේතයක් අදටත් . හැනොයි වල ඒක දිස්ත්‍රික්කයක් Hai Ba Trung . hai යනු දෙදෙනා . ba යනු කාන්තාවට ගරු සරු ඇතුව අමතන ආකාරය. මේ නමින්ම ප්‍රධාන නගර දෙකෙහිම ප්‍රධාන පාරවල් දෙකක්ද තිබෙනවා .
නිතරම ඔය පාරෙන් යද්දී මේ කතාව ලියන්නටහිතුවා . මේ ලිපි පෙලට අදාළ නිසා මෙතනදී සඳහන් කිරීමට ලැබීම සතුටක් .

 43 දී යලිත් චීනයට යටත් වුනාට පසු මොකද වුනේ කියල ඊළඟ ලිපියෙන් බලමු . පුංචි කොටස් වලින් තමයි ලියන්න වෙන්නේ .

Monday, 30 April 2012

උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස



Francoise Demulder taken April 30, 1975



මේක ඉතිහාසගත පින්තුරයක් . ඊතලයෙන් පෙන්වන පුංචි මිනිසා පේනවද .දුවන්නේ කොඩියක් අරන් . ඒ තමයි උතුරු වියට්නාම හමුදාව දකුණේ ඇමරිකන් රුකඩ ආණ්ඩුවේ ජනාධිපති මැදුරට කඩා පැන්න වෙලාව . පින්තුරයේ ඉන්න සෙබලා කොඩිය අරන් දුවලා මැදුරේ පියස්සේ කොඩිය ඔසවනවා . ඒ තමයි එක්සත් වියට්නාමයේ සංකේතාත්මක ඇරඹුම . 1954 ඉඳන් 1975 වෙනකම් තිබුන ඇමරිකන් -වියට්නාම යුද්ධයේ නිමාව .


මේ සෙබලාගේ නම Bui Quang Than . ..එදවස වෙද්දී වයස විසිනවයයි . යුද්ධෙට පටලවෙන්න කලින් තාන් සාමාන්‍ය ගොවියෙක් . ජනපති මැදුරේ ගේට්ටුව කඩාගෙන අංක 843 දරන සෝවියට් ටැංකිය ඇතුල් වෙද්දී එයින් බිමට පැනපු තාන් කොඩිය අරන් දුව්නන්නේ කිසිම ආයුධයක් නැතුව . ඒවෙනකොට ඇමරිකාව සටනින් පැරදිලා . තුන් දවසකට කලින් පත්වුණ සයිගොන් අලුත් ජනපති කොන්දේසි විරහිත යටත් වීමක් ප්‍රකාශයට පත්කරලා . ඒත් සයිගොන් වලට ඇතුල් වෙද්දී දරුණු සටන් තිබිල තියෙනවා . තාන් ලගේ රෙජිමේන්තුව සැහෙන විනාශයකට මුහුණපාල තමයි සයිගොන් පාලම තරණය  කරලා තියෙන්නේ .


'' අපි සයිගොන් පාලමින් එගොඩ වෙද්දී දැනන් හිටියේ නැහැ කොයි පැත්තේද ජනාධිපති මැදුර තියෙන්නේ කියල . පාරවල් වල කිසිකෙනෙක් හිටියේ නැහැ . මෝටර් බයිසිකලයක ගිය එක ගැහැණු කෙනෙක් බලෙන් නවතල තර්ජනය කරලා තමයි පාර අහගත්තෙ . ටැංකියෙන් බැහැල දුවද්දී සගයින්ට කිව්වා වහලය උඩ තමන්ව දකින්න නොලැබුනොත් මාලිගාවට පහර දෙන්න කියල . ''

ඒ තාන් අවුරුදු 37 කට පස්සේ තමන්ගේ මතකය අවදි කල හැටි .


නිරායුධව දුවයද්දී ඔහුට තමන්ගේ ජීවිතය ගැන හිතිලා නැහැ . පඩිපෙළ නගිද්දී හමුවූ දකුණේ හිටපු තොරතුරු ඇමති වරයා ඔහුව ජනාධිපති ලඟට එක්ක ගිහින් . ජනාධිපතිතුමා ඉඩ දීල තියෙනවා ඔහුව උඩට ගෙනයන්න .



''එතනදී මොකක්ද පෙට්ටියකට නගින්න කිව්වා .''

 උගුලක් යයි සැක කලත් ඔහු අන්තිමට එයට ගොඩ වෙලා . ඒ පෙට්ටිය විදුලි සෝපානයක් බව ගම්බද ගොවියෙක් වූ තාන් කෙසේ දැන සිටින්නද . විදුලි සෝපානයෙන් ගොස් ජයග්‍රහණයේ කොඩිය වහලය මත රඳවනු ලැබුවා .

picture from http://nhtuong.wordpress.com/category/on-this-day/


ඒ වන විට ඇමරිකන් හමුදා සහ ඔවුනට හිතැති ඇතැම් සයිගොන් වැසියන් රටින් පිටවන්නට පටන් අරන් . බොහොමයක් ඇමරිකාවටත් තව පිරිස් ඔස්ට්‍රේලියාව නවසීලන්තය ප්‍රංශය වැනි රටවලට දේශපාලන අනාථයින් ලෙසින් පැනගියා . බොහෝ දෙනෙක් බෝට්ටු මගින් තායිලන්තයට ගොස් එතනින් මේ රටවලට ගිය හෙයින් ඔවුන් ''බෝට්ටු ජනතාව '' ලෙස හැඳින්වුවා . එලෙස ගියවුන් සහ පැවතෙන්නන් හැඳින්වුයේ වියට් කියූ වරුන් කියා . මෑතක් වෙනතුරු ඔවුන් එතරම් පිළිගැනීමකට ලක් නොවුනත් අද වෙනවිට ඔවුන්ට සැහෙන පිළිගැනීමක් තිබෙනවා .



] අද මේ ලිපියට කරුණු වියට්නාම් නිව්ස් පුවත් පතින්]

..අද මේ සුවිසල් මැදුර සංචාරක ආකර්ශනයක් . මමත් කීපවිටක් නරඹා තිබෙනවා . ගත් පින්තුර නම් දැනට පලකිරීමට නොහැක්කේ අලුත් පරිඝනකයට ඇතුලත් කර ගැනීමට තවම නොහැකි වූ නිසයි . මේ පින්තුර නම් ගුගල් අනුග්‍රහයෙන්




විටට්නාම යුධ ඉතිහාසය ගැන කියවීම සහ ලිවිමට ඉතාම කැමතියි . එහෙත් එය සැහෙන දිග සහ සංකීරණ කටයුත්තක් . එකක් මේ ගම් නියම් ගම් ගැන අවබෝධයක් නැතුව ඒමය තේරුම් ගැනීම මදක් දුෂ්කර වීම . කාටත් වැටහෙන පරිදි සරලව ලියන්නට හැකිව වෙයි දැයි මට ඇති සැකය . අනික මේ සඳහා මට සහ කියවන්නන්ට ඉවසීමක් තියෙයි විස්වාසයක් නැති කම .
එහෙත් මේ ගැන කෙටි හෝ හැඳින්ව්මක් නොකලොත් ලොකු අඩුවක් .  ඉදිරියේදී ඒ ගැන සිතන්නට ඕනේ

වඩා උනන්දු අයට


කුචි උමන්


ඩියෙන් බියෙන් ෆු සටන


 බිම වැටුන කුරුල්ලෝ     ....  ලිපි ටික කියවන්න ආරාධනා කරනවා .

හෝ චි මින් ගැන කියවෙන නිදන මිනිසෙකි   ලිපියත් මෙයට සම්බන්ධයි


මේ ජයග්‍රහණය සැමරීමට අප්‍රේල් 30 Victory Day ලෙස නම් කොට ජාතික නිවාඩු දිනයක් කර තිබෙනවා . මෙවර එය දිග නිවාඩුවක් . සති අන්තය සහ අප්‍රේල් 30 ත් මැයි පලවෙනිදාත් ඇතුළුව දවස් හතරක් .

Tuesday, 24 April 2012

ජම්බෝල ...අඹ .ලුනුදෙහි කැවුම් ...රීල් නැති කැමරා සහ තවත් මිහිරි මතක

අවුරුදු ඇවිත් ගියා


ගම සහ අවුරුදු මතක


අවුරුදු දවස්වලට මහගෙදර කට්ටිය පිරිලා . කාමර හතරක් විතර තිබුනා . ඒත් මදි . සාලයේ පැදුරු එලනවා . මදිපාඩුවට පුටු වල කුෂන් පවා එලනවා . පොරවන්න දෙන්නේ ආච්චිගේ සාරි . ආච්චිගේ අය්යලා හිටියේ කොළඹ . ඒ අයගේ කට්ටිය ආච්චිට ලස්සන ලස්සන සාරි ගෙනත් දෙනවා . ආච්චි එව්වා කාට හරි දෙනවා . අපිට පොරවන්න දුන්නෙත් කිසිම ලෝබකමක් නැතුව . අද ගෙදරකට එක්කෙනෙක් දෙන්නෙක් නවාතැන්
ගන්න එද්දී අපි කොයිතරම් නම් හිතනවාද . නිදා ගන්නේ කොහෙද . නාන කාමර බෙදා ගන්නේ කොහොමද . අනේ ඇත්තටම ඒ කාලයේ සියක් ආවත් ඒ අය නෙමේ ගණනකට ගත්තේ . කොහොම හරි ඉඩකඩ තිබුනා .
ඒ කාලයේ මදුරුවෝ කියලා ජාතියක් හිටියේ නැහැ ගමේ . ඒකටත් එක්ක ලේ උරා බොන්න කුඩල්ලෝ නම් බුරුතු පිටින් . එලියට බැස්සොත් ගෙට එන්නේ කකුල් සෝදිසි කරන්. සමහර විට දන්නෙම නැහැ කකුල් වල ලේ පෙරෙනවා . ලේ බිල බෝල වගේ වෙච්ච කුඩල්ලෝ .. තුවාලෙට කඩදාසියක් පුච්චලා අළු ගානවා . ඇවිදින්න යද්දී සබන් ගාගෙන යන්නේ උන් එල්ලෙන එක වලක්වන්න .


ගෙදර මිදුල ටිකයි . කඳු පළාත්වල මිදුල අඩුයි . මොකද කන්ද කපලා සමතලා කරන්න ඕනනේ . එතනින් එහාට වදුල . පුවක් කොස් අඹ ජම්බු ගස් තිබුනේ කැලේට. ජම්බු ගස් යට රතු රෙදි එලලා වගේ .කොස් ගස් යට වැල වැටිලා කුණු වෙනවා . ටිකක් ඈතට වෙන්න ජම්බෝල ගස් තිබුනා . අපි ආසයි ජම්බෝල කන්න . ලොකු අය කිව්වේ බඩේ පනුවෝ හැදෙනවා කියල . ඒත් අපි ඒවා කෑවා කැලේටම වෙලා . ඒ කාලේ වැඩිය මිනිස්සු ජම්බෝල කෑවේ නැහැ .
වියට්නාමයේ ජම්බෝල හරියට කනවා . විශාල ගෙඩි . ගැහැණු අය උදේට ගෙඩි දෙකක් යුෂ හදලා බොනවා . කෙට්ටු වෙන්න කියලා . සමහරවිට කෑමට කලිනුත් කනවා .

ඒ දවස්වල කොයික කන්නද කියලා හිතා ගන්න බැරි තරම් පලතුරු ජාති . කොයිකත් ටික ටික කටේ දාගන්නයි අපි පුරුදු වෙලා හිටියේ . කුස්සියට උඩහින් රසම රස නාරන් ගහක් තිබුනා . එතනම
 ලොකු උක් පඳුරක් . බාප්පා තමයි උක් කපලා සුද්ද කරලා දුන්නේ . අපේ බාප්පා හරිම තරුණයි ඒ කාලේ . විහිලු තහළු ඉවරයක් නැහැ . අපිව ගොනාට අන්දන්න රුසියා . තෙලිජ්ජ , රා හෙම ගෙනත් කාමරේක හංගනවා .අපි එක එක්කෙනාට එන්න කියලා ටික ටික බොන්න දෙනවා . ආච්චි දැක්කොත් උන්ද ඉවරයි . ඒ හන්දා හොරාට තමයි දෙන්නේ . තෙලිජ්ජ හරිම රසයි . රා නම් මට එච්චර ඇල්ලුවේ නැහැ .

දවසක් කොහෙන්දෝ කැමරාවක් ගෙනත් තිබුනා . අපිව පේලියට හිටවලා , ඉන්දලා, නානාප්‍රකාර පින්තුර ගත්තා . අපිත් ඉතින් විරිත්තාගෙන පෙනී හිටියා . අන්තිමට මෙයා කැමරාව ඇරලා බක බක ගාල හිනාවුනා . රීල් නොදා තමයි අපිව රවට්ටලා තියෙන්නේ . ඔය මොනවා කලත් අපි තරහ වුනේ නම් නැහැ . කැලේ ඇවිදින්න යන්න වගේ මගෝඩි වැඩ වලට බාප්පා හරියට උදව් කළා .


එක දවසක් ගෙයින් උඩහ තියෙන ගුලන කන්දේ උඩටම නැග්ග අපි කට්ටිය . හරි හමන් පාරක් නැහැ .කඳු නැගීමේ නුතන ආම්පන්න හෙම ඇතුව නෙමේ . හරිම ලස්සන කැලේ . අමුතු ඕකිඩ් වර්ග ගොඩක් තිබුනා . ගුලන කන්ද සිංහරාජ කැලේට මායිම් වෙනවා කියලයි කට්ටිය කිව්වේ . ජීවිතේටම සරිලන අත්දැකීමක් . ඒ කාලේ මන් හරි පොඩියි . පස්සේ උසස්පෙළට උද්භිද විද්‍යාව හදාරන සමයේ ඒ කන්ද නගින්න තිබුන නම් තව ගොඩක් දේ ඉගෙන ගන්න තිබුනා .

දැන් නම් අර ටෙල් මේ ටෙල් ඔක්කොම කුළුණු ටික හදලා මන් හිතේ ඒ කන්ද උඩ.  

ඉඳහිට පිල්ලෙන් වතුර එන ඒක නැවතුනා . හේතුව සොයන්න කන්ද උඩහට යන්න ඕන . එහෙම වෙන්නේ පුවක් පිල්ල අතරමගින් කැඩුනම හරි රොඩු හිර වුනහම හරි . මේ පීල්ලට වතුර ආවේ කන්දේ උල්පතකින්. පසු කලෙක පහල උදාගම් හෙම හැදිලා ඒවාට වතුර පොම්ප කලෙත් මේ උල්පතින් .

ගමේ පීලි මහා ගොඩක් තිබුනා . ඒවාට නමුත් තිබුනා . ලොකු හල් ගහක් ළඟ තිබුන පිල්ලේ ගමේ අය හල් ගෙඩි බඳිනවා තිත්ත යන්න . හල් ගෙඩි ගෝනියක දාල වතුරේ තැනක ගැට ගහන්න ඕන . එතකොට තිත්ත යනවා . ඊට පස්සේ පිටි හදලා පිට්ටු තම්බන්න පුළුවන් ..ම්ම්ම්ම් හරිම රසයි . කිතුල් පිටි වලිනුත් කෑම හැදුවා . මේවා හදපු හැටි මන් එච්චර දැක්කේ නැහැ . කුස්සියට වෙලා උයන පිහන එව්වා බලනවට වඩා කොච්චර වැඩ තිබුනාද අපිට .
හදල දෙන දේ කටට දා ගන්නත් වෙලාවක් නැති තරම් .

අවුරුදු කාලෙට විතරක් නෙමේ අපි මේ විනෝදය ලැබුවේ . මගුල් ගෙවල් දාන ගෙවල් ඔය කොයිකෙදිත් කට්ටිය එකතු වෙන දවස් මේ වගේ . කොටින්ම ආතාගේ මරණ ගෙදර නැන්දලා පොලවේ හැපී හැපී විලාප දුන්නා . අපි ළමයි නට වගක් නැහැ . ඔහේ සෙල්ලම් කළා .
නැන්දලාගේ මගුල් ගෙවල් වලදී නම් පුදුම සතුටක් ලැබුවා .මගුල් ගේ ඉවර වෙලා පෝරුව ගලවන්න කලින් අපි ළමයි පෝරුව උඩ සෙල්ලම් කළා . පෝරුව හැදුවෙත් අපේ තාත්ත හෙම . එයාලට හොඳට ඒ වැඩ පුළුවන් . ලොකු තාත්තලා නැන්දලගේ මාමලා 71 අත්දැකීම් තිබුන අය. ඒ අයගේ දේශපාලන කතා වලට හොට දාන්නත් මන් ආස කළා . 80 දශකයේ මන් පොඩි වුනත් මේ කයි කතන්දර අහල සැහෙන ඔලුව මෝරලා උන්නේ .
එක මාමා කෙනෙක් ඇර හැමෝම ජේ ආර් ට කැමැත්තෙන් කතා කළා . 90 විතර වෙද්දී අපිටත් දේශපාලන උණ බෝවෙලා . මහප්පලා හෙම පෙනුනේ හරිම මෝඩයින් විදිහට . නිස්කාරනේ තර්ක විතර්ක
කළා . දවසක් කට්ටිය කෙහෙල් කැනක් කකා ඉවර වෙනකම්ම් වාද  කළා .

දැන් නම් හිනහත් යනවා .
මේ ලොකු එක් රැස්වීම් ඇරුනම අනිකුත් නිවාඩු කාලවලත් ඇතැම් විට ගමේ යන්න අවස්ථාව ලැබුනා . .අක්කයි මමයි හෝ මන් තනියම . එතකොට කතන්දරේ සම්පුර්ණයෙන්ම වෙනස් . එතකොට තව ළමයෙක් දෙන්නෙක් ඉන්න ඇති . නැත්නම් තනියමම හිටි වෙලාවලුත් තිබුනා . එතකොට දැක්කේ ගමේ සාමාන්‍ය දින චරියාව . කරන්න එච්චර දේකුත් නැහැ .

ආතාගේ කාමරේ පොත් රාක්කෙ තිබුන පොත් සේරම කියවන්නත් . අටුවේ තිබුන පරණ ශ්‍රී සඟරා , රසවාහිනී එලියට ගන්නෙත් මේ වගේ වෙලාවල . උඩහ වත්තේ ගෙදර චිත්‍රකතා එකතුවට වහ වැටුනෙත් මේ කාලවලදී . උඩහ වත්තේ ආච්චි අටුකොසුයි යකා ගහපු පොලුයි දෙනවා . ඒවා කකා තමයි පත්තර කියවන්නේ . එහෙ නැන්ද කෙනෙක් හිටියා හරියට විහිලු කරන . මගේ කැවුම් පෙරේතකම දන්නා නිසා දවසක් '' චුටි දුවේ මෙන්න අලුත් කැවුම් ජාතියක්'' කියල රවුම් බෝල ජාතියක් ගෙනත් දුන්න . කාල බැලින්නම් ලුණු දෙහි ...තාමත් කට ඇඹුල වගේ මතක් කරද්දීත් .


චුටි නැන්දා A /L කරනවත් මට මතකයි එයා පාඩම් කලේ ඈත ගලක් උඩ වාඩි වෙලා . එයා විවාහ වෙලා යන්න කලින් ගෙදරට යන ගල් වැටිය දෙපැත්තේ ලස්සනට මල් හිටවල තිබුනා . හැමදාම හවසට වතුර දානවා . බුත්සරණ , බුනිල වගේ මල් තමයි ගල් වැටිය දෙපැත්තේ තිබුනේ . මිදුල නම් ඇන්තුරියම් ,රෝස , පිච්ච මල් පිරුන මල් උයනක් . ඔව්ව දැක්කම අපිත් තන්හාවට අතු කපන් එනවා . සමහර ඒවා බාල්දි වල පරිවාස සමයක් ගත කරද්දීම මැරිලා යනවා . හිටෙව්වත්    අර  වගේ මල් එන්නේ නැහැ .
 දේශගුණ වෙනස නිසා . ඒ කාලේ අපේ ගම නුවර එළියේ පිපෙන මල් පවා හිටවන්න පුළුවන් සිසිල් පළාතක් .


ඉඳහිට එහෙ යන අම්ම කිව්වේ දැන් නම් ඒ පැත්තත් වේලිලා කියලයි . අර ඔලුව ඇල්ලුවම බෙල්ල කඩන යන තරම් ලොකු වතුරක් ආපු පිලි වලත් දැන් පුංචි කෙස් ගහක් විතරලු වතුර . ගොඩක් හින්දිලම ගිහින් . දෙවෙනි පරම්පරාව ගෙවල් හැදුවා . ඕනෑවටත් වැඩිය ගස් කැපුවා. එක අල්මාරියක් ඕන තැනට තුනක් හදා ගත්තා .

හැමෝම ගේ ඉඩමේ තේ වවන්න ගත්ත . ආච්චිලා ඉන්න කාලේ ගමම නෑයෝ. ගෙවල් වලට එක එක නම් තිබුන . නාවල ගෙදර , හල් ලිඳ , පතින්ගස්වත්ත ..හැබැයි හැමෝම නෑයෝ. ඉඩම් වලට මායිම් තිබුනේ නැහැ . කටවචනෙන් තිබුන සම්මතයන් මිස . පසු කලෙක ජනගහනය වැඩි වෙද්දී ඉඩකඩම් බෙදා ගැනීමේදීත් පොඩි පොඩි ප්‍රශ්න වෙන්න ඇති . සමහර විට තැනිතලා තැන් වල ගෙවල් හදන්න කාටත් ඕන වෙන්න ඇති .

ආච්චිගේ අය්යල කොළඹ හිටියත් එයාල මියගියහම අළු තැන්පත් කලේ ගමේ ලොකු ගල් දෙකක් උඩ . ඒ අපි උපදින්නත් කලින් . එයිනුත් එකක් උඩ නගින්න හැකි . එතනට නැග්ගම රක්වාන කඳු වැටිය ලස්සනට පේනවා . රක්වාන ඇල්ලත් එක්කම . ඔය කඳු වැටියේ තියන විශේෂම දේ තමයි රාවණා කපොල්ල . අහල තියේද . රාවණාගේ දඬු මොනරය හැපිලලු එතන කඩතොල්ලක් ඇති වුනේ .




පින්තුරය නම් ගත්තේ ගුගල් වලින්

පුංචි කාලේ ඒ ගල උඩට නැගලා මන් දුටුවේ ඈත සිහින දේශයක් . මැරුණ කෙනෙක්ගේ අළු තැන්පත් කරලා කියල කිසිම බයක් හෙම තිබුනේ නැහැ . ඒ ආතා කවියෙක් නිසා අපි එතන ඉඳන්  දකින සිහින කවදා හරි කවි වෙලා ලියවෙයි කියල එයා හිතන්න ඇති .

ඒ ගල කිට්ටුව තමයි අපේ ආතලගේ මය්යෝක්ක කොරටුව තිබුනේ . ආතා වැඩ කරද්දී ආච්චි මය්යෝක්ක තම්බලා [කොච්චි සම්බෝල එක්ක ] ප්ලේන්ටි ත් එක්ක අරන් එනවා . කෙල ගිල්ලට වැඩක් නැහැ දැන් .



ආච්චි පුවක් ඇහිඳින කොට අපිත් වෙනම මල්ලකට එකතු කරනවා . ඒ ටික විකුණන සල්ලි අපිට ලැබෙනවා . කුඩල්ලෝ හින්දා මේක හරිම අමාරු වැඩක් . ගස් වල පුවක් කන්න ආපු රිලව් අපිට බයක් හෙම නැහැ .

කහවත්ත නගරයෙන් ගලන වේ ගඟ මඩ පාටයි . රත්නපුරේ හරියේදී කළු ගඟයි වේ ගඟයි එකතු වෙනවා . ටිකක් දුරට යනකම් පාට වෙනස පැහැදිලිව පේනවා .වේ ගඟ ඒ පාට වුනේ මැණික් ගරලා හින්දද මන්දා .
අපේ නෑදැයෝ වැඩියම හිටියේ රත්නපුරය , කහවත්ත , පැල්මඩුල්ල පැත්තේ . ඒ හින්දා ඒ පළාත් ගැන හොඳටම දැන ගෙන හිටියා . එකක් ඒවායේ ඇවිදලා . අනික මහගෙදරට එක්කහු වෙන නෑයින්ගේ කතා වලට ඇහුන්කන් දීලා . ගමේ සමහර තරුණ අය මැණික් ගරන්න ඈත පැති වලට ගිහින් අවුරුද්දට ගමේ එනවා . ඒ අයගෙන් විස්තර අහන ඉන්න එකත් ලොකු විනෝදයක් වුනා . අපේ ගෙදර කෝප්පයක් පුරවලා එච්චර වටිනාකමක් නැති ''දලන් '' කියන ගල් වර්ගය තිබුනා . ඒ අර මැණික් ගරන අයගෙන් ඉල්ලා ගත්තු ඒවා . ඒවා අපි සෙල්ලමට අරගෙන නැති කළා . මට මතකයි මැණික් ලැබිලා හදිසියේ පෝසත් වෙච්ච අය . ඒ අය ටක් ගාල අඳුනන්න හැකි . අලුත් ඇඳුම් ඇඳලා.. රත්තරන් මුදු මාල දාල තරුණයෙක් හිටියොත් හිතා ගන්න පුළුවන් මැණිකක් ලැබිල කියල .


 . නිවාඩු ඉවර වෙලා ගෙදර එද්දී ලොකු දුකක් දැනුනේ නම් නැහැ . අපි ඉස්කෝලේ යන්නත් ආස නිසා .

ගම ගැන ලියන්න මතක කප්පරයි . විටින් විට ඉඩ ඇති විටක ඒවා ලියවෙයි .

මන් ආච්චි නැති වුනාට පස්සේ ගමේ ගියේ විවාහ වෙලා දුලා ඉපදුනටත් පස්සේ . එත් එක වතාවයි . එකක් ආච්චි කියන්නේ පවුලේ මුදුන් මුල . මුදුන් මුල මැරුණමගහකින් වැඩක් නැහැ . අනික ඒ ලස්සන දැන් නැහැ . ලොකුම දේ අපි ගොඩක් දිහා වල ඇවිදලා ගොඩක් දුර ගිහින් . ළමාවියේ සතුට ලබපු දේවල් දැන් පුංචි දේවල් .

ඉතින් ඒ ලමයටම ඒ ලස්සන ලෝකේ ඉන්න ඉඩ දෙනවා මිසක් වයසින් මෝරපු මන් ඔය ගමන් ආයේ ගිහින් මගේ හිතේ ඉන්න ළමයාගේ සතුට නැති කරන්නේ මොකටද .

Monday, 23 April 2012

ගම සහ අවුරුදු මතක

අවුරුද්දට ගමේ යන්න තමයි අපේ පරම පැතුම වුනේ . ගෙදර ගිනි මොලවන්න ඕන කියල අම්මගේ තදබල විරෝදය හින්ද කලාතුරකින් අවුරුදුවල ගමේ ගියේ නැකත් වලින් පස්සේ . ඒ ඇරුනම අනික් හැම පාරම නැකත් වලට කලින් ගමේ ගියා . ඇඹිලිපිටිය බස් එකේ ගියොත් කහවත්තෙන්ම බහින්න පුළුවන් . රත්නපුරේ බස් එකේ ගියොත් තව බස් එකකට මාරු වෙන්න වෙනවා .වීදුරුවක් ළඟ සිට එකක් ලැබෙනවා කියන්නේ සුපිරි වාසනාවක් . අවිස්සාවේල්ල කිට්ටු වෙද්දී කඳු පේන්න පටන් ගන්න කොට මට හරිම සතුටුයි. පාරේ ඒ පැත්තට මේ පැත්තට මාරු වේවි යන පුංචි කෝච්චි පාර දිහා බලන් යන්නත් මන් හරි ආසයි . රත්නපුරේදී බස් එකට නගිනවා නාරං සහ ඉඟුරු දෝසි වෙළෙන්දෝ . සුවඳම සුවඳ ජමනාරන්. මෙහෙත් තියනවා ඒ ජාතියේ නාරන් . කන හැම වෙලේම අර පරණ සුවඳ මතක් වෙනවා .


කහවත්තෙන් බැස්සම තමයි අමාරුම රාජකාරිය . මහ ගෙදර ලඟට බස් තිබුනේ නැහැ . වාහන යන පාරක් තිබුන වුනත් අද වගේ ත්‍රිවිල්තිබුනේ නැහැ . මගට යන බස් එක ගියෙත් වෙලාවකට .පයින් යන්නත් විදි කීපයක් තිබුනත් කවුරුත් කන්ද නැග්ගේ පයින් යන කෙටි පාරෙන් . ගමේ අය අඩියට දෙකට අපිව පහු කරන් ගියා . තාත්තට හය්යෙන් යන්න පුළුවන් . අපිට නම් ඉතින් දනිස් රිදී රිදී බාගෙට පන යනවා . එකම හොඳේ අතරමග තැනින් තැන සිතල දිය වෑහෙන පිල්ලවල් වලින් මුණ සෝදා ගත්තම දැනෙන සනීපය .


අන්තිමට සැනසීමක් දැනෙන්නේ ආච්චිලගේ ගෙවල් පහල නාගහ දකිද්දී . එතන තරමක තැන්නක් . එතනට මහගෙදර වඩිම්බු පෙළත් එක්ක උළු වහලේ පේනවා . නාගහ ලඟින් උඩට ගල් පඩිපෙළ . ගල් පඩි පෙලට උඩින් ඉස්තෝප්පුවේ කණුවකට හේත්තු වෙලා ආච්චි අපි එනකම් බලන් ඉන්නවා . අපිව පහුකරන් ගිය කෙනෙක් අපි එන බව කියන්න ඇති . එතනින් පස්සේ සියලු දුක් වෙහෙසවල් ඉවරයි . ආච්චිගේ ආදරය ..නැන්දලගේ සුරතල් බාප්පාගේ විහිලු , ලෝකෙම හරිමලස්සනයි එතකොට .

කන්දේ ඈත උල්පතකින් පුවක් පිල්ලයක් දිගේ සිතල වතුර කුස්සිය දොරකඩටම එනවා . මහගෙදර දවස් පුරාම බත් තිබුනා මෙසේ උඩ. කෙනෙක් ආවොත් බත් කන්නයි අඬ ගහන්නේ දවසේ කොයි වෙලේ වුනත් . අදත් ගෙදරට ගොඩ වෙන කෙනෙක් බඩගින්නේ යවන්නට හිත නොදෙන්නේ අපිට ජාන වලින් ඒ ගතිගුණ ලැබිලා නිසා වෙන්න ඇති .

ඒ කාලයේ බත් වලට මාළු පිනි ගොඩක් හදන්නේ නැහැ .පරිප්පු , වම්බටු , මැල්ලුම් වගේ දේවල් තමයි . සැමන් බැදුම තමයි නිතර මාළු වෙනුවට හැදුනේ . කඳු පළාත්වලට මාළු ආවේ නැහැනේ වැඩිය . මස් නම් උයපු බවක් මතකම නැහැ . පිල්ලෙන් වතුර ගලන පාරේ කොහිල තිබුනා හිටවල . හේනක් තිබුනා මය්යෝක්ක බතල හෙම තියෙන . කැරන් කොකු මාලුව ආච්චි රසට ඉවුවා . ඔයින් දෙකක් තුනක් තමයි බතට ඉවුනේ .

අලුත් රතු හාලේ බත් නිසාත් බඩගිනි නිසාත් හොඳටම කන්න පුළුවන් . බත් කෑවට පස්සේ කැවිලි කන්න පුළුවන් . ඒ වෙනකොට ළමයි ගොඩක් එකතු වෙලා මහ ගෙදරට . ළඟ ඉන්න අයයි දුර ඉන්න අයයි. තාත්තගේ පවුලේ නම දෙනෙක් . පොඩි අය ගොඩයි . බොහොමයක් ළමයි අවුරුද්දට එහෙ එනවා . හැමෝම මේසෙට වැඩි වෙලා කැවුම් කද්දී ආච්චි මට විතරක් පොඩි මුට්ටියකට කැවුම් දාල කුස්සියේ බංකුවක් තියල වාඩි කරවනවා .

මට සැහෙන ප්‍රසිද්ධියක් තිබුනා මේ කැවුම් කෑමේ පෙරේතකම ගැන . මොනවා වෙනස් වුනත් කැවුම් කෑමේ ආසාව නම් තවමත් එහෙමමයි .


අනික් පළාත්වලදී කොණ්ඩ කැවුම් රත්නපුරේදී හැඳි කැවුම් වෙනවා . එකම මිශ්‍රණය වුනත් හැඳි කැවුම් හදන්නේ කොණ්ඩේ නැතුව . ආච්චිට ආස්මි හදන්නත් පුළුවන් හොඳට . ආස්මි මිශ්‍රණය තෙලට වත් කරන්නේ අතේ ඇඟිලි වලින් . ඇත්තටම ආස්මි කොච්චර රස කෑමක්ද. හැබැයි දවුල් කුරුඳු හැමතැනම නැහැනේ . කාට හරි බැරිද ඕකට ආදේශකයක් සොයා ගන්න .

ඇත්තටම ගෙදර පිටි කොටලා දර ලිප් වල ඔය රාජකාරි කරන එක කොයි තරම් ලොකු වැඩක්ද . හොඳ වෙලාවට ආච්චිලට ඉන්ටර්නෙට් හෙම තිබ්බේ නැත්තේ . හැබැයි අපේ ආච්චි පොත් කියෙව්වා . අන්තිම කලේ වෙනකම්ම රෑට පොතක් කියෙව්වා නිදාගනිද්දි . වැඩේ කියන්නේ බණ පොත් නම් නෙමේ . ආච්චි කියෙව්වේ නවකතා හෙම . ජයසේන ජයකොඩිගේ පොතක් කියවනවා මට හොඳට මතකයි .

අවුරුදු චාරිත්‍ර කොළඹට වඩා ටිකක් වෙනස් . ආතා මුලින්ම දෙබලක් තියෙන ලියක් හිටවනවා . ඒ උඩ අවුරුදු කුමාරයාට කෑම තියනවා . අපේ තාත්තලා ආතාට කිව්වේ අපුච්චා . ආතාට පුංචි කොණ්ඩ පොඩිත්තක් තිබුනා . වැඩි කතාවක් නැහැ . අපි පොඩි බිය මුසු ගරු සරුවක් තිබුන වගේ මතකයි හැබැයි ආතාගේ කාමරේ තිබුන පොත් රාක්කෙට බැල්ම හෙලන්න ඒක මට බාධාවක් වුනේ නැහැ . පුංචි වක් පිහියෙන් අඹ කපලා දුන්න මතකයි අපිට .

ඉතින් අවුරුදු නැකතට අවුරුදු කුමාරයට කෑම තියලා අපි හැමෝටම බත් කට කට කවනවා . අවුරුදු මේසේ විශේෂයෙන් හත්මාළුව වරදින්නේ නැහැ . ඒ පැත්තේ කජු හරිම විරලයි . හැබැයි ආච්චි කොහෙන් හරි කජු ටිකක් හොයා ගන්නවා මේකට . ජාති හතක් දානවා . මට මතක නම් නැහැ ඒ හතම . කවුරු හරි දන්නවා නම් ලියා තියන්න.

ඊට පස්සේ ගනු දෙනු . පිනි බිඳු කිව්වා වගේ මේක අපිට නම් ගනු විතරයි . බුලත් කොලේ ඔතලා සත පනහ රුපියල දෙක ලැබෙනවා . ඒ ගෙදරින් . ඊට පස්සේ ගෙවල් වලට කෑම පිඟන් බෙදීම . අපි හරිම කැමති වැඩේ . ගිය ගිය තැනින් කන්න දෙනවා . පොඩ්ඩක් වත් නොකෑවොත් හොඳ නැහැලු . අන්තිමට බඩවල් හොඳටම පිරිලා . ඒ ගෙවල් වලිනුත් බුලත් කොලේ ඔතලා සල්ලි ලැබෙනවා .
මෙහෙ චීන අවුරුද්දට ලස්සන කවර වල දාල ළමයින්ට ලකී මනි දෙනවා . බලන් ගියහම අපිටත් බුලත් කොලේ ඔතලා ලකී මනි ලැබිලානේ.

ඉතින් අවුරුදු කාලෙට අපි හරි පෝසත් .
අපි පොඩි කාලේ ඇටඹ ගහක ලොකු ඔන්චිල්ලාවක් බඳිනවා . හරිම උසයි . බඩ පපුව දනවා උඩ යද්දී . ඔන්චිල්ලාව බැන්දේ වෙනිවැල් වැලකින් බවයි මතක . එක වරක් අපේ පුංචි කෙනෙක් ඔන්චිල්ලවෙන් වැටුනා . කලන්තේ හැදිලා අපි හරිම බයෙන් හිටියේ . ආතා වක් පිහියෙන් ඔන්චිල්ලාව කපා දැම්ම . ඒ තමයි ඒකෙ අවසානය .

තව ගමේ තැනක කතුරු ඔන්චිල්ලාවක් හැදුවා මතකයි . අපි පොඩි නිසා පදින්න දුන්නේ නැහැ . අවුරුදු දවස් ගෙවුනේ හරිම සතුටින් . එක එක වයසේ ළමයි ගොඩක් හිටි නිසා අපි හරියට සෙල්ලම් කළා . පංචි දැම්ම , බට්ටෝ පැන්නා. ඇවිදින්න ගියා .

කළුවර වැටෙන කොට කට්ටිය සාලයේ එකතු වෙනවා . කතන්දර සින්දු කියන වෙලාව . මන් බාලාංශ පන්තියේ ඉඳිද්දී මන් කතාවක් කිව්වා . අපේ බනි විතර ඇති . උස නැති නිසා බංකුවක් උඩ නැගල කතාව කිව්වේ .
''ඔන්න එකමත් එක රටක ගෙඹි අම්මෙකුයි පුතෙකුයි හිටියා . දවසක් අම්ම ගමනක් යනකොට පුතාට ලුණු ටිකක් දුන්න සුද්ද කරලා තියන්න කියල . පුතා ලුණු ටික කාල දැම්ම . අම්ම අවහම පොතු ටික විතරයි . අම්ම තරහ ගිහින් පුතාට ගැහුවා . [ අපේ බනි නම් මේ වැඩේට විරුද්දයි. එයාට කියද්දී නම් මේක පොඩ්ඩක් වෙනස් කළා . අම්ම ගැහුවේ හිමින් . ඊට පස්සේ උම්මා එකක් දුන්න කියල ]
ඉතින් පුතා මේ සින්දුව කිව්වා ...
''අම්ම මට ..චක් චක්
ගැහුවා මට ..චක් චක්
යනවා මන් ..චක් චක්
ගමට යන්න ..චක් චක් ''
ඒ කාලේ මට ටයන්න කියවුනේ ත යන්න විදිහට . ඔය සින්දුව කට්ටියට කොච්චර විනෝදයක් ගෙනාවද කිවොත් පසු කලෙක මාව දැක්ක ගමන් ඕක කියල විහිලු කරනවා


 ඒ ළමයි සේරම ලොකු වෙලා අම්මල තාත්තලා වෙලා . එයාලටත් මට වගේ මේවා මතකද දන්නේ නැහැ .

අවුරුදු ගැන විතරක් නෙමේ ගම ගැන කියන්න ගොඩක් දේ තියෙනවා කලෙක ඉඳන් මට ලියන්න ඕන වුන .
.


  කමෙන්ට් කරන්න දෙයක් නැති වෙන්න පුළුවන් . නිකන් කියවලා හරි සතුටක් ලැබුන නම් මගේ සතුට එයයි .