Thursday, 29 March 2012

අපි කොයිතරම් පුංචිද මහ සයුර ළඟ




දුවන ගමනේ ඉසිඹුවක් ගෙන කාලයට නැවතුම       සොයා
හිඳින මොහොතේ වෙරල අද්දර අනන්තය දෙස නෙත් අයා
නැගෙන පෙරලෙන රැල්ල දිවයයි සුමුදු පෙණ වෙරළේ තියා
මටම සිතුනා සයුර අබියස මන් හරිම පුංචියි                 කියා

දකුණු චීන මුහුදේ සුන්දර වෙරළක ඉමක් නැති ක්ෂිතිජය දිහා බලන් ඉන්නකොට මේ කවිය ලිව්වේ හිතේ . පුංචි කාලේ කවදාවත් හිතේ හැටියට මුහුදු වෙරළක සෙල්ලම් කරන්න ලැබිල නැහැ . ඉඳහිටක ගාලු මුවදොර බලන්න ගියා වුනත් ඇති තරම් සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ . ඉස්කෝලෙන් හික්කඩු වෙරළට එක්කන් ගිය ගමනත් හරිම කෙටියි . ඒ හින්ද දවසක ඇති වෙනකම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න තිබුන ආසාව නැති වුනේ නැහැ . පසුකලෙක නම් ඇති වෙනකම් මහ සාගරය දිහා බලන් ඉන්න අවස්ථාව ලැබුන . ඒත් අර මගේ හිතේ ඉන්න ළමයට ඕන වෙරළට වෙලා රැල්ල එක්ක සෙල්ලම් කරන්න . ඉතින් ඉඩක් ලැබුන ගමන් ඒ ළමය හිතේ හැටියට මුහුදේ අසිරිය විදිනවා .
වියට්නාමෙටත් දිගම දිග මුහුදු තිරයක් තියෙනව . ඔයිනුත් ලස්සනම ටිකක් රට මැදට වෙන්න .කඳුකරයක් එක්කම මුහුදු වෙරලක් දකින්න ලැබෙනවා මෙහෙ . වියට්නාමෙට මායිම් වෙන්නේ දකුණු චීන මුහුද . චීන ලොකු අය්යයි මේගොල්ලයි අතර  නිතරම පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා මේ මුහුදේ කාරණා සම්බන්ධයෙන් .
වියට්නාමය භූගෝලීය වශයෙන් කොටස් තුනකට බෙදෙනවා . උතුර , මධ්‍යම සහ දකුණ ලෙස . අතීතයේ කලින් කලට විවිධ ආක්‍රමණයන් හමුවේ මේ කොටස් විවිධාකාරයෙන් බෙදී පාලනය වෙලා තියෙනවා . ඒත් 1975 දී ඇමරිකන් යුද්ධෙත් ඉවර වෙලා සයිගොන් වල රූකඩ ආණ්ඩුවත් බිඳ වැටිලා රට එක්සේසත් වුනාට පස්සේ ඉඳන් දැන් එකම පාලනයක් . විටින් විට මන් මේ දේශපාලන පෙරලි සහ යුද්ධ ගැන යම් යම් කරුණු ඇතුලත් ලිපි ලිව්වා . ඒ කාලේ අද තරම් පිරිසක් නෙලුම් විලට ආවේ නැහැ . කැමති නම් මේ ලිපි ටික කියවන්න . නොදැවුණ හදවත , නිසලව නිදන මිනිසෙකි , කුචි උමන් , ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වූ ඩියෙන් බියෙන් පහු සටන, බිම වැටුන කුරුල්ලෝ

මධ්‍යම වියට්නාමයේ විශාලම නගරය Danang . ඉස්සර පුංචි ගුවන් තොටක් තිබුනේ . ලඟදි අලුතින් ඉතාම ලස්සන ගුවන් තොටක් හදල තියෙනවා . මේ නගරයේ ඒ කාලේ ඇමරිකන් හමුදා බේස් එකක් තිබිල තියෙනවා . වියට්නාම ඇමරිකන් යුද්ධය ගැන පිළිවෙලකට ලිපියක් හෝ ලිපි පෙළක් ලියන්න ඕන කියල කලක හිටන් හිතන් ඉන්න නිසා ඒ ගැන අද නොකියා ඉන්නම් . මේ ලිපියේ අරමුණ මා දුටු ලස්සන දේවල් කිවීම විතරයි .
Danang වලින් බැහැල පැය භාගයක් විතර කුලී රථයකින් ගිහින් තමයි Hoi An කියන නිස්කලංක ඉපැරණි නගරයට ලඟා වුනේ . මෙය පැරණි වරායක් තිබුන නගරයක් . සේද මාවතට සම්බන්ධ වී තිබුන . මට පිස්සු හැදිලද කොහෙද ඔය සේද මාවත ගැනත් ලිපි හයක් ලිව්වා මතකනේ .
[මටත් ඔන්න බැනුම් අහන්නත් වෙයිද මන්ද ලින්ක් වලින් පිරිලා කියල . ඒ වුනත් මන් ආසාවෙන් ලියුව ලිපි නේ . කැමති නම් කියවන්න .]
මේ Hoi An  නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත එකක් . පැරණි නගරය තුල පයින් සහ බයිසිකල් වලින් පමණයි ඇවිදින්න හැකි . හරිම නිස්කලංක බවක් දැනෙනවා . පරණ ගෙවල් හෙම ඒ විදිහටම තියෙන්න ඇරලා . කලබලකාරී හෝ චි මින් සහ හැනොයි වලට වඩා හරිම වෙනස් . සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙනවා .
හරිම විශේෂ දෙයක් දැක්ක . ඒ තමයි මැහුම් කඩ . කෝට්, සුට්,  ගවුම් ඕනෑම ඇඳුමක් එවෙලේම මිමි අරගෙන එදාම හවසට දෙනවා . ඒ වගේමයි සපත්තු . අපිට හමු වුන ඔසී ජාතික යුවලක් කිව්වේ එයාල විශේෂයෙන්ම ආවේ ඇඳුම් මහන් යන්නලු .
මේ පරණ ගෙවල් දකින කොට අපිට මතක් වුනේ ගාලු කොටුව .
කෑම බිමත් මධ්‍යම වියට්නාමයට අවේනික ඒවා . උතුරේ දකුණේ සහ රට මැද කෑම වල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා .
අද වැඩිය ලියන්නේ නැහැ . මේ පින්තුර ටික විතරයි ඔන්න .
@බුරා අදට මේ ''වේලුණ කොටි මස් කන්න . හෙට අමු කොටි මස් දෙන්නම් '' මොකද තව ටිකක් කියවන්න තියෙනවා අපේ අර ලිපියට
අහසේ සිට
Hoi An වල විශේෂම අංගයක් මේ ලස්සන බකට් .



නගරය මැදින් ගලන ගඟ

 මෙහෙ ඕනෑම ප්‍රසිද්ධ තැනක ඉන්නවා ෆොටෝ ගන්න අය. ඩොලර් එකකට පින්තුරය අරගෙන මුද්‍රණය කරලත් දෙනවා . මෙන්න මෙයා ගේ පින්ත්රයක් මන් ගත්තේ ඇයි දන්නවද . එයා අතේ තියෙනවා පුංචි ප්‍රින්ටරයක් . තනි පුද්ගල ව්‍යාපාරයක් .




පුංචි ඇලක් උඩින් වැටුන මේ පාලම අවුරුදු 400 ක් පරණලු. මෙහෙ Don 20,000 හේ සල්ලි නෝට්ටුවෙත් මේ රූපේ තියෙනවා
මේ පාලම හදල තියෙන්නේ ජපන් ජාතිකයින් වර්ෂ 1590 දී විතර . එතනින් ඇතුලේ පන්සලක් . මේ පාලමට ඇතුල් වෙන තැන තමයි මේ සුනඛ ප්‍රතිමාව තියෙන්නේ . ඇත්තටම දෙකක් තියෙනවා දෙපැත්තේ .මුර පිළිම ලෙස . පාලමෙන් අනික් පැත්තේ වඳුරු පිළිම දෙකක් .. එක මතයක් තමයි ලුනා කැලැන්ඩරයේ සුනඛ වර්ෂයේ හදන්න පටන් අරන් වඳුරු වර්ෂයේ දී අවසන් වුනා කියන එක . අනික් මතය බොහෝ ජපන් අධිරාජයන් බලු සහ වඳුරු අවුරුදු වල උපන් නිසා කියන එක .
කොහොම වුනත් මේ පාලම හැදීමේ අරමුණ වෙලා තියෙන්නේ නගරයේ ජපන් කොටසත් චීන කොටසත් යා කිරීමේ සමගි සංකේතයක් විදිහට . ඇත්තටම මේ ටික කියෙව්වේ අන්තර්ජාලයෙන් . හරි ගේ ඉල්ලීම පිට .
තවත් පුංචි දෙයක් එක කරන්න ඕන හොයී ආන් නගරය ඇමෙරිකන් හමුදා බේස් එකක් අසල තිබිලත් යුද්ධෙන් විනාශ නොවුනේ යුධ මුක්ත කලාපෙට අයිති වෙලා තිබුන හන්දලු .





ලෝකේ ප්‍රසිද්ධ නැව් බෝට්ටු වල ආකෘති හදන්න මෙයාල හරි හපන්නු .





මේ රුප වල පුරුදු ගතියක් තියේද බලන්න

මේ පින්තුර එක පන්සලක පිටත බිත්තියේ ඇඳපුවා. 1802 දී මේ පන්සල හදල තියෙන්නේ චාන් නම් ප්‍රකට පවුලක් විසින් . ඇත්තටම මේක එයාලගේ පවුලේ රැස්වීම් , ඒ වගේම මැරුණ අයගේ අළු තැන්පත් කිරීම් වගේ දේවල් කෙරුණා ස්ථානයක් . මේ බුදු පිළිම සහ චිත්‍ර මෑත කලෙක සදපුවා . පිටතින් අපේ පන්සලක් වගේ පෙනුනට අරමුණ වෙනස් . චිත්‍ර ටික අපේ වගේම නිසා තමයි මගේ හිත ගියේ . මේ පන්සල ෆෙන්සුයි නීති රීති අනුව නිමවුවක් . මොකද මේ චාන් [TRAN - කියල තමයි මෙයාල චාන් ලියන්නේ ] පවුල ඈත අතීතයේ චීනෙන් ආපු අය නිසා .
ඇත්තටම මන් මේ දමපු පින්තුර වෙන වෙනම විස්තර කරන්න හරිම වෙලාවක් යන වැඩක් . පෝස්ට් එකත් ගොඩක් දික් වෙයි . ඒ නිසා ප්‍රශ්න මතු වෙන විදිහට කමෙන්ට් වලදී විස්තර කරන්නම් .

බොන්සායි බෝ ගහක්

මේ තොප්පිය කාගේද දන්නේ නැහැ

මේ taxi යේ යන්න නම් කවුරුත් කැමති වෙයි


මේවට කියන්නේ සික්ලෝ

අපි උන්න හෝටල් පරිශ්‍රයේ ගමක් හදල තිබුන . ඒකෙ උන්න දෙන්නෙක් .

ලැබූ මැස්සක්

එරබදු වර්ගයක් වගේ නේද

මාරයාට කියල විචාරයක් ලියව ගන්න ඕන


ලස්සන බකට් රෑට

Sunday, 18 March 2012

මල් සුවඳ අපි සැමටයි

 
 
 
 
මන් අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න ගත්තේ අකුරු කියවන්න ගත්තු දා ඉඳලමයි . මුද්‍රණ අංශයේ රැකියාවක් කල තාත්තට හුඟක් පොත්වල කොපියක් ලැබුන . සේරම වගේ නවකතා . ලාච්චු කීපයක් පුරවල තිබුන නවකතා කියවන්න අපිට තහනමක් තිබුනේ නැහැ . ඒ වගේම අපේ චිත්‍ර කර්මාන්තෙටත් ඒ නවකතා වලින් ලැබුන පිටිවහල මෙතෙකැයි කියන්න බැහැ. මොකද කියනවා නම් ඒ පොත්වල කවර ඇතුලේ වගේම පිටුවල අකුරු නැති සුදු දාර වල අපි හිතු හැටියට චිත්‍ර ඇන්ද. චිත්‍ර කලාවට නම් අඟුරුයි බිත්තියි ඊටත් වඩා උදව් කළා . ඒ ගැන වෙනම දවසක ලියන්න ඕන . මගේ කියවීම ගැන නම් ''බුරතිනෝ සහ ලි බෝනික්කයි '' මගේ ආදරවන්තයෝ '' කියන ලිපි දෙකේ කියවෙනවානේ .
 
මන් දැන් කල්පනා කරන්නේ මන් ලියන්න ගත්තේ කවදද කියලයි . පැහැදිලිවම මගේ ජිවිතේ යමක් නිර්මාණාත්මකව ලියල අගය කිරීමක් ලැබුනේ කවදද කියල . ඒක මට විශාල මතකයක් . එතකොට මන් හතරේ පන්තියේ . ''නොපෙනී ගිය සරුංගලය '' කියල මන් ලිව්ව රචනාව සිංහල උගන්නපු ඉන්ද්‍රානි ගුරුමහත්මිය විදුහපතිනියටත් පෙන්වල එතනින් නොනැවතී වර්ෂාවසාන තෑගී උළෙලේදී හොඳම නිර්මාණාත්මක ශිෂ්‍යාව කියල විශේෂ ත්‍යාගයකුත් ලබාදුන්නා . ආපසු හැරිලා බලද්දී එදා ඒ හැටි අගයක් නොදැක්කට ඒ සිදුවීම අද මට රත්තරන් වගේ .
එදා මුල් ගුරුතුමිය වුනේ එදිරිසිංහ ගුරු මාතාව . සතිස්චන්ද්‍ර එදිරිසිංහ , සුනිල් එදිරිසිංහ කියන කළා ලොව ප්‍රවීණයන්ගේ සහෝදරිය .
පහේ ශිෂ්‍යත්වෙන් පස්සේ කොළඹ බාලිකාවට එද්දී ''විශේෂ නිර්මාණාත්මක හැකියාවක් ඇත '' කියල අස්වීම් සහතිකේ ලියල දීපු වචන ටික එදා මට එච්චර වටිනාකමක් තිබුනද මන්ද . ඒත් අද ඒ වචන ටික මුතු මැණික් වගේ දැනෙනවා .
ඊට පස්සේ මන් ලියන්න පටන් ගත්ත . පිළිවෙලකට නෙමේ . පාසල් බස් එකේ කොන්දොස්තර මාමා ටිකට් රෝල අයින් කරනවා ඉවර වෙන්න කිට්ටු වෙනකොට . ඕක ඉල්ලා ගන්න මන් හැමදාම බලන් ඉන්නවා . ඒ ටිකට් රෝල් වල පොඩි පොඩි කවි ලිව්ව . කියවීමත් එක්කම ලිවීමත් වැඩි වුනා .
 
ඉස්කෝලෙට වඩා අපි සාහිත්‍ය රසය දැන ගත්තේ දහම් පාසලෙන් . ගැහැණු පාසල්වලටම ගිය මට හරි හරියට පිරිමි ළමයි එක්ක ආශ්‍රයක් ලැබුනේ දහම් පාසලින් තමයි . ඔය සමහර ළමයි දැන් බ්ලොග් හෙමත් ලියනවා . දහම් දැනුම තරඟ එක්කම ච්ත්‍ර තරග රචනා තරඟ වලට සහභාගී වෙන එක අපිට ලොකු විනෝදයක් වුණා .
 
ඔන්න ඔය කාලේ රට එච්චර ලස්සන වුනේ නැහැ . කියන්න ඕන නැහැනේ ඒ ගැන අලුතින් . එතකොට ලියවුනේ ආවේගශීලි දේවල් .[ හරියට නන්දා මාලිනීගේ සින්දු වගේ තමයි . එයයීත් දැන් කියන්නේ නැහැනේ ඒ වගේ සින්දු . ]
 
ඉස්කෝලේ කළා උළෙලවල් වලදී නොවැරදීම රචනා කෙටි කතා චිත්‍ර තුනටම මට තෑගී ලැබුන . අද නම් කට්ටිය හිතයි දාර නයි අත අරිනවා කියල . ඔව් ඔව් මෙව්වා නයි තමයි . හපා කයිම කියල හිතෙනවා නම් කකුල් උඩට ගත්තට කමක් නැහැ ඔන්න .
 
කේරී විද්‍යාලයේ සාහිත්‍ය දින තරගෙන් හොඳම කෙටි කතාවට තේරුනා මතකයි . ඔන්න ඔය කළා උළෙලට යන්න ගිය කතාවත් හරිම රසවත් . මේ අපි ටිකක් ලොකු කෙල්ලෝ කාලේ . ඔය කළා උළෙලවල් විද්‍යා දිනවල් හෙම සොයා සොයා යන කාලේ . ඉතින් පිරිමි ළමයින්ගේ ඉස්කෝලෙකින් ආරාධනාවක් ආවහම යන්න කට්ටිය වැඩියි . හැබැයි ගුරුවරියක් එක්ක තමයි යන්න ඕනේ . ගුරුවරියක් සොයා ගන්න එක හරිම අමාරුයි . නොවඳිනා වැඳුම් වැඳලා තමයි කැමති කර ගන්නේ . ඒ ඉස්කෝලේ පැත්තට යන ගුරුවරියක් තමයි බොහෝ විට කැමති වෙන්නේ . අපේ පිස්සු වැඩ වලට එච්චර තරහ නොයන කොටින්ම කිව්වොත් ''ෆිට් '' ගුරුතුමියක් වෙන්නත් ඕනේ . නැත්නම් ඉතින් වසල හමාරයිනේ.
 
ඔන්න දැන් මට සහතිකයකුත් තියෙන එකේ අමාරුවෙන් චිත්‍ර ගුරුතුමිව අඬගහගෙන යන්න පිටත් වුණා කියමුකෝ . දැන් හොඳටම පරක්කු වෙලා . බස් වල යන්න වෙලාවක් නැහැ . කට්ටියම නැග්ග ත්‍රි විල් එකකට . මහත, කෙට්ටු කෙල්ලෝ හතරයි ටිචයි ඔක්කොම පහයි . මගදී පොලිස් මාමෙක් නැවැත්තුව . එයාටත් ටිකිරි හිනාවක් දාල කොහොම හරි ගමන ගියා .
ඔය එක එක දිනවල් වලට ගිය හැටි නම් පොතක් ලියන්න හැකි . එව්වා පසු දවසක .
 
මන් මේ ලිවිම ගැනනේ කියමින් උන්නේ . ඔයාකාරෙට ඉස්කෝලේ කාලේ තරග වලට ලිව දේවල් ඇරුනම පොත් වල අන්තිම පිටුවේ නැත්නම් යාලුවන්ගේ සමරු පොත්වල වගේ තැන්වල සුළු සුළු කවි කුරුටු ගෑවා මිසක හරි හමන් නිර්මාණයක් කළ බවක් මතක නැහැ . කම්මැලි කමද මොකක්ද මන්ද එක දිගට ගලන් යන කතාවක් වගේ දෙයක් ලියන්න නම් මට කවදාවත් බැරි වුණා .
 
ඉස්කෝලෙන් අස් වෙන කාලේදී සැහෙන යාලුවෝ පිරිසක් හිටියා විවිධ ක්ෂේත්‍ර වල . සමහරු ඉතාම නිර්මාණශීලි දේවල් ලියු අය. විකල්ප පත්තර කළ අයත් හිටියා . ඔය කාලේ වෙද්දී වෙන බැල්මකුත් වැටිලා රස්සාවලුත් කරන්න පටන් ගත් නිසා ජිවිතේ වෙනස් වුණා . ඉන් පසු ඇරඹෙන්නේ රස්තියාදු සමය. ඒවා ආයේ මොකට මේවයේ ලියනවද . විදුසරට ලිපියක් දෙකක් පරිවර්තනය කළ එක සහ විකල්ප පත්තරේකට කවියක් දෙකක් ලිව්ව  එක විතරයි සැලකිය යුතු යමක් වුනේ .
 
ඔය කාලේ වෙද්දී ආදර ලියුම් ලියන්න පටාන් ගෙන  තිබුනේ . ඉතින් එහෙම පටාන් ගත්තට පස්සේ වෙන එව්වා ලියවෙන්නේ නැහැනේ .
 
විටින් විට සේවා පුහුණු කාලේ සඟරාවලට සහ සේවා ස්ථානයේ අවශ්‍යතා  වලට කවි වගේ එව්වා ලියවුනා . පවුල් වෙලා ළමයි ලැබිලා පෑන දාපු තැනක් වත් සොයා ගන්න නැති වෙනකම් මන් වත් දන්නේ නැහැ .
 
වියට්නාමෙටත් ඇවිත් අවුරුදු ගානක් ගියා . නිවාඩුවට ගියහම අපේ සේවාස්ථානයේ කලාරිට වුන සමන් අය්යා ගේ තදබල දෝෂ දර්ශනයට ලක් වුණා . දිනපොතක් වත් ලියන්නේ නැත්තේ මොකදැයි .
 
ඔන්න ඔය අතරේ අපේ බනිලයි තාත්තා සයිබර් අවකාශයේ කරක් ගහද්දි සිංහල බ්ලොග් ඇති බව දැක්ක . මමත් කියවන්න පටන් ගත්තා . මාස කීපෙකට පස්සේ අතපත ගාල බ්ලොග් එකකුත් පටන් ගත්තා . [ඒ වෙනකොට අඳුන ගත්ත සයිබර් හිතවතුන්ගේ අපමණ උදව් මැද ...මේ උදව් විවිධාකාරයි . තාක්ෂණික සහය , ප්‍රචාරණය  වගේම කියවල කමෙන්ට් දැමීම . ඒ විතරක් නෙමේ මන් ඩිංගක් පටන් ගත්තම රසබර සංවාදයක් දක්වා ලිපිය වර්ධනය කිරීම .]
 
නම් වශයෙන් කියන්න යන්නේ නැහැ .මොකද නමක් අතෑරුනොත් කියල බය නිසා .
 
ඉතින් අද මේ පත නයි පිඹුරෝ බ්ලොග් එක පුරාම අතෑරියේ ඇයි  කියන්න එපාය . අද මට හරිම සතුටු දවසක් නිසයි . ''අසෙනිය කුසුම '' තරඟාවලියේ හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය තෝරා ගැනීමේදී නෙළුම් විලත් යෝජනා වෙලා .
 
පහේ පන්තියේදී අර තෑග්ග ලැබෙද්දී දැනුනට වඩා අද සතුටුයි . එදා ජිවිතේ එහෙම පිටින්ම මා ඉස්සරහ තිබුන . ඒත් අද ජිවිතේ භාගයක්ම වගේ ගෙවිල ඉවරයි . ඉඳහිටල මන් මගෙන්ම අහනව මන් සතුටින්ද , ජීවිතය ගැන තෘප්තිමත්ද කියල ...ඔව් මන් සතුටින් .
 
විහිලුවට වගේ තරඟෙට ඉදිරිපත් වුනේ . මෙතැන ලැබීම ලොකුම සතුටක් . අන්තිමට දිනන්න ඕන නැහැ . මේ සතුට මට හොඳටම ඇති . මන් හිතුවේ නැහැ මට කවදාවත් ආයේ මෙහෙම දෙයක් ලැබෙයි කියල . ජිවිතේ පුදුමයි . හැම දවසක්ම අලුත් .
 
එදාට නව රඟහලට යන්න ලැබෙන්නේ නැහැ .[ඔය ඉස්කෝලේ එක්කත් ඉතින් ලෙහන්න බැරි මතක ගොඩක් තියෙනවා .]
 
දිනපොතක්වත් ලියන්න බලකරපු සමන් අය්යාට හැකි නම් යන්න කියන්න ඕන . එයාගේ ඉස්කෝලෙත් වෙච්ච එකේ පුත්තරයත් එකේ ඉගෙන ගන්න එකේ බැහැ කියන එකක් නැහැ .
 
එච්චර ලස්සන දවසක් මග ඇරෙන එක දුකක් . ඒත් එහෙම තමයි . ලද දෙයින් සතුටු වීමයි මගේ ප්‍රතිපත්තිය .
ඉතින් ..
 
කාටද මන් ස්තුති කරන්න ඕන ..
 
කවදත් වගේ මුල්ම අකුර කියා දුන් අම්මට ..ගෙදර පොත් ගොඩ ගහපු තාත්තට ..අරක මේක කියවන්න එපයි තහංචි නොදැම්මට දෙන්නටම . මගේ ලිවීමේ යමක් කියවන්නට ඇතැයි අඳුන ගත් මගේ ගුරුවරුන්ට , පුංචි සහ ලොකු කළ මිතුරු මිතුරියන්ට ,
 
රෙදි ගොඩවල් අතන මෙතැන
පොත් පත් එහෙ මෙහෙ විසිවුන
ඇහැක් ඇරල එව්ව නොබල
අකුරු කොටන බිරින්දෑට
මුකුත් නොකිය ..
ලිව්ව අකුරු කියවන්නට
බලන් ඉන්න .. මගෙ ආදර'''බනියලාගේ  තාත්තාට ''
 
යන්තම් පොඩ්ඩක් ලිව්වම
අනුපානෙට කරුණු සොයල
ලොකු ලොකු කාරනා ලියපු
හඳ කමිටුවෙ මාමලාට ...නැන්දලාට
 
ලියපු ඒව කියව කියව
නිකන් නොඉඳ
රස වෑහෙන කමෙන්ට් දමපු
මගෙ ආදර යාළුවන්ට
 
විලට ඇවිත් මල් නෙලනා
සියල්ලන්ට
 
 
..ස්තුතියි ..
 
 
 
ඒකයි මන් කිව්වේ මේ විල  මගෙ විතරක් නෙමේ .විලට නිතර ගොඩ වෙන සැමටම මේ සතුට ඇතැයි මන් දන්නවා
 
 ඒ වගේම අපි කවි ලියන්න සහ ඒ කවි විවේචනය කරන්න පටන් ගත් කවි මුතු  සහ පොඩ්ඩන්ට පටන් ගත් පුන්චිත්තා ත් හැකි ලෙස පවත්වාගෙන යමු .
 
 
ප. ලි
දවස් කිපෙක ඉඳන් මන් හිනා වෙන්න ඕන වුනහම යන තැනක් තියෙනවා . ''සුර්ය දිවය රාජයා විසින් නිමවෙන ලද අනගි සම්භාව්‍ය කෘතියක් කරණකොටගෙන අපගේ ලි බෝනික්කා හෙවත් බුරාභිධාන කෙළෙඹි පුත් [ රවී අය්යේ හරිද මන් ලිව්ව ] ඇතුළුව සහිත්‍යම්බරයෙහි දිදුලන ''නිරීක්ෂක '' තෙම අතර ඇතිව තිබෙන්න වූ අති භයංකාර..උත්කෘෂ්ට විචාර ශීලි ....විවාදය ''
 

Monday, 13 February 2012

කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''

පර්ත් චාරිකාව නිමවී සති කීපයක් ඉක්ම ගියද අද ලියමි හෙට ලියමි යයි සිතන හිටියද හැමදාම ලියන්ට බැරි විය . කම්මැලි කමද වැඩ වැඩිකමද ඔය දෙකමද නොදන්නෙමි . අනික් කාරණය වන්නේ ඇබ්බැහි වුවිට අබින් කෑවා සේ වුවත් අතහැර දැමු විට අහලකට වත් යන්නට නොහිතෙන මගේ නරක පුරුද්ද සේරටම වඩා ලොකුය .
බොහෝ දේ අසා ඇති අපේ සමීපතම නෑයන් මිතුරන් පුරවැසියන් වී සිටින කැන්ගරු දේශය කාටත් ඉතියෝපියාව තරම් නුහුරු රටක් නොවීමද ලියන්නට තරම් නැවුම් ගතියක් නොදැනීමට එක හේතුවක් යයි සිතමි .
ස්වදෙශිකයින්ගේ ඉතිහාසය ඉතාම පැරණි මුත් වසර දෙසියගනනක් ළඟ ඉතිහාසයක් ඇති වත්මන් ඔස්ට්‍රේලියාව අපට වඩා සමීපය . වැඩිපුරම ජනාකීර්ණ වන්නේ නැගෙනහිර පෙදෙස නමුත් අප නොයෙකුත් හේතු මත බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය තෝරා ගතිමු .



ගඟක් පොකුණක් අඳින්නට වූ කල කුඩා සන්දියේ මා අතට අසු වන්නේ නිල් පාට කූරක්මය..''සුනිල දිය '' ලෙස වතුරේ පැහැය මා  සිත් තුල කලින්ම පැල පදියම් වී තිබු නමුදු ඉඳහිටක දුටු මුහුදේ මිසක නිල් ජල තලයක් එකල මා දැක තිබුණේදැයි සැකය . කැළණි නදී දිය කොළට හුරු පාටය
කහවත්තෙන් ගලන වේ ගඟ මඩ පාටය ...ළිං පොකුණු වල ජලයට බොහෝ විට පැහැයක් නොතිබිණි.




එහෙත් බටහිර ඕස්ට්‍රේලියාවේ හංස නදිය [Swan River ] සුනිල්වන් නිල් පැහැතිය .

පෙදෙසට ආවේනික කළු හංසයින් නිසා මේ ගඟට හංස නදිය වුවා මෙන්ම නගරයේ සංකේතයද හංසයා වූ බව කියවේ .


මේ නම තැබීම සිදුවුයේ 17 වෙනි සියවසේදී ඕලන්ද ජාතික ගවේෂකයෙක් විසින් . ඒ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බහින්නටත් පෙර .  මේ ගඟ ආශ්‍රිතව සුදු ජනාවාස බිහි වුයේ නම් ඉතාම පසුකලෙක . ''සුදු ජනාවාස '' කිවේ කවුරුත් දන්නා පරිදි ආදිවාසීන් ඇබෝරිජිනල් මිනිසුන් මේ පළාත්වල ඉන්නට ඇති  නිසාය . ඇතැම් ප්‍රදේශ තවමත් ඇබෝරිජිනල් නම් වලින් හැඳින්වෙන නිසාය . උදාහරණයකට ''මරපානා '' ගත හැක . [සමහරු කියන්නේ මාරපන කියාය ]

බෙල් කුළුණ
සීනු පද්ධතිය


හංස නදිය අද්දර සීනු කුළුණ නගරයේ විශේෂිත ලකුණකි .[ Bell tower ] . සීනුවක හැඩති කුළුණ තුල  සුවිශේෂ සීනු පද්ධතියකි. සීනු 18 කින් යුත් මෙහි වත්මන් නාමය Swan bells වුවත් එහි ඉතිහාසය ඈතට දිවෙයි .  බ්‍රිතාන්‍යයේ     St Martin-in-the-Fields දේවස්ථානයේ ලෙළදුන් ඉපැරණි සීනු 12 කින් යුත් පද්ධතිය බටහිර ඔස්ට්‍රේලියාවට 1988 දී පරිත්‍යාග කරනු ලබා ඇත . රසවත්ම කාරණය වන්නේ ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව සොයා ගත් චාරිකාව දියත් කිරීමේදී මේ සීනු රැව් දුන් වගයි .



ජේම්ස් කුක්  
   St Martin-in-the-Fields  දෙව් මැදුරේ ඉතිහාසයත් මේවා ගැන පිස්සු ඇති මාවැනි අයට නම් රසවත් වේ යයි සිතමි . හිස් ගසා දැමීමට පතල ටියුඩර් පරපුරේ අටවැනි හෙන්රි රජු වරක් මේ පල්ලිය අලුත් වැඩියා කර ඇත . අපොයි එයා හොඳ වැඩත් කර ඇත්දැයි අසන්නට ඉක්මන් විය යුතු නැත . උන්දා මේ පල්ලිය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ඒ පළාතේ සිටි මහාමාරිය  රෝගීන් තමන්ගේ මාලිගාව අසලින් වෙන පල්ලි වලට යන එක නවත්වන්නටය . ලන්ඩනයේ ඉන්න අපේ කට්ටියට  නම් මේ පල්ලිය දැක ගන්නට අවස්ථාව ලැබෙන්නටත් ඇත .
එකල නිර්මාණය වුන ළමා කවි වලත් මේ සීනු ගැන කියවේ . මෙවැනි සීනු පද්ධති රැසක් ලන්ඩනය තුල තිබු බව ඒවායින් පෙනේ . මුල් පද වලට අමතරව හිස් සිඳලන වධකයින් ගැනත් කියවෙන මේ ගීතය ඔබ අසා තිබේද
 Oranges and lemons,
Say the bells of St. Clement's.

You owe me five farthings,
Say the bells of St. Martin's.

When will you pay me?
Say the bells of Old Bailey.

When I grow rich,
Say the bells of Shoreditch.

When will that be?
Say the bells of Stepney.

I do not know,
Says the great bell of Bow.

Here comes a candle to light you to bed,
And here comes a chopper to chop off your head
හිස් ගසා දැමීම එකල හුස්ම ගැනීම තරම්ම සාමාන්‍ය දෙයක් වී තිබෙන්නට ඇත .
ඒවා අමතර කතාය . අපේ ලොක්කි පසුගිය කාලයේ ගෙනා ''ටෙරිබල් ටියුඩර්ස්'' කියන පොත් මාලාව කියවූ විට ඒ ගැන ලිවීමට    සිතා සිටියත් මග ඇරී ගියේය .


මන් උන්නේ Perth වල නොවැ. ......

අප දරු පවුල් කාරයින් නිසා අපේ ජිවිත සැලසුම් මෙන්ම ගමනක් ගිය විට කන බොන දේ සිට යන එන නරඹන සියල්ල පොඩ්ඩන් ගැන සිතා කරන්නට සිදුවේ .ඒ වුනත්  හිතු මතේ බයිසිකල් චාරිකා යන වාසනාවන්ත තනිකඩයින්ට අපේ ඉරිසියාවක් නම් නැත .ඔවුන්ගේ චාරිකා සටහන් කියවා අපේ බනිලගේ තාත්තටත් ඒ වගේ යන්ට ඕනා යයි කිවත් සැබෑවට නම් ඒ සෙල්ලම් බැරිය ...D.....

ඉතින් අපේ පර්ත් ගමනේත් වැඩිපුරම පොඩ්ඩන් ගැන සිතා ඔවුන්ට ආසා තැන් පමණක් බලන්නට ගියෙමු . අපේ ලොක්කිට නම් කොහෙවත් නොයා ඔබා මාමලාගේ ගරාජයේ ''කළු '' සමග සෙල්ලම් කිරීම සැපත විය . ගමනේ ඇය සොයා ගත් අනර්ගම වස්තුව කළුය.
මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සුන්දරත්වය විඳීමට නම් බැරි විය .  ඒ රටේ අය නම් වගේ වගක් නැතුව වෙරළේ කෙළිදෙලෙන් ගත කරනු දුටුවෙමු . එහි සයුර ඉතාම සුන්දර බව නම් නොකියා බැරිය .

වන අරණක පිහිටි ''සර්පන්ටයින් '' බෞද්ධ ආශ්‍රමය ...[ මේ ගැන ඔබා මාමා ඔහුගේ ලිපි වලින් මිට කලින් සඳහන් කර තිබේ ] දැක බලා ගැනීම ඉතාම අනගි අත්දැකීමක් විය . එපමණක් නොවේ අපට එහි වැඩ වසන ස්වාමින් වහන්සේලාට දානය පිළිගැන්වීමට ඉඩකඩ ලැබීම විරල වාසනාවකි . මේ ගැන සියලු ස්තුතිය ඔබා මාමටත් විශේෂයෙන් ඔබි නැන්දාටත් හිමි වේ .

......මතු සම්බන්ධයි ...
 
ලිවිම කෙසේ වෙතත්  මින් මැදුරේ , කටුගෙදර ,අවුරලින් උද්භිද උයන වගේ ලස්සන තැන් වල පින්තුර ටිකක් වත් ඉදිරියේදී පලවේවි . පින්තුර දැමීමේදී මට තියෙන ලොකුම ප්‍රශ්නේ අඩු ගානේ අපේ බනියාවත් රිංගල ඇති හැම පින්තුරෙකම . කවුරුවත් නැති පින්තුර ඇත්තෙම නැති තරම්
 
 
ප.ලි...
කොටස් වශයෙන් ලිවිම මහා කරදරයකි . ලියන්නේ නැතැයි ඇනුම් පද  අසා මටත් ඇති වී ඇත . බනින කෙනාටත් එපා වී ඇති හැඩකි. කොච්චර බැන බැන වුනත් දවසකට දෙතුන් පාරක් මේ පැත්තේ එන්නට ඔහුට සිදු වන්නේ අනික් බ්ලොග් වලට යාමට පාරක් ලෙසිනි .

Sunday, 29 January 2012

හංසයින්ගේ නගරයේ හංස යුවලක් සමග




චීන නව වසර ගෙවෙන්නේ සතියක්ම නගරය පාළුවට ඇද දමමින්ය . සිංහල අවුරුද්දේ කොළඹ නගරයට උරුම වෙන හුදකලා බව සේමය . වසා දැමුණ කඩ සාප්පු අවන්හල් අතර අතරමන් වීමට වඩා බොහෝ  විදේශිකයින් නගරයෙන් පලා යාම තෝරා ගනිති. අපට ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් ලැබුන අතර අපේ හිතවත් ඔබා මාමා නිසා අපට මේ ගමන නියමම නිවාඩුවක් විය .

බ්ලොග් ලිවීමෙන් පමණක් අඳුනා ගත් පමණින් ගෙදර නවතා ගෙන සියලු ආගන්තුක සත්කාර කිරීමට තරම් විසල් හදවතක් ඇති ඔබා මාමාට සහ ඔබා නැන්දාට මගේත් බනිලගේ තාත්තගෙත් ලොක්කිගේ සහ බනිගේත් අපමණ ආදර ස්තුතිය හිමිවේ.

මේ බටහිර ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සමයයි . එහෙත් එම රස්නය අපට වැඩිපුර නොදැනුනේ ඔබා මාමගේ සහ නැන්දා ගේ කරුණාවත් ප්‍රිය සමාගමයත් නිසා බව කිව යුතුමය .

දරුවන් දිග තල දී නිස්කලංකව හිඳිනා ඒ යුවලගේ නිවසට කුණාටුවක් මෙන් කඩා වැදී අපේ ගෙදර වගේම කරගන්නට අපේ ලොක්කි සහ බනියා සමත් වූ අතර විශේෂයෙන් බනිගේ ඉල්ලීම් වර්ජන නැන්දයි මාමයි මැදහත් සිතින් ඉවසූ එකම පුදුමයකි .

කලකින් ගෙවූ හොඳම නිවාඩුව මෙය බවත් එහි තතු කියන්නට පෙර ඔවුන් දෙපලට මගේ ස්තුතිය පුදකරන අතර දිර්ගායු ලැබ නිදුක් නිරෝගිව මේ වගේම සතුටෙන් සමගියෙන් තව කල් ගෙවන්නට වාසනාව ලැබෙන්නත් පතමි .


මැහුමින් ගෙතුමින්ද හොඳ නිමවුම් කරන
බණ බාවනාවෙන් කවියෙන් සිත නිවන
ඉවසීමෙන් මාමගෙ දුක සැප         බලන
නැන්දා තමයි ඒ ගෙදරට මිණි        පහන

..වයසට ගොහින් නැහැ තාමත් හිත තරුණ
නිතරම සිනාවෙන් දවසම කල්          අරින
මල්ලක් කතා ඇති එක් කරගෙන     පරණ
මාමා .''....'' යයි ගෙදරට නම්              දරන

වයසට ගියහම මෙන්න මේ වගේ ඉන්න ඕනේ කියල තමයි මගේ අදහස .


ලියන්න දේවල් ගොඩක් තිබුනත් අනවශ්‍ය විදියට පුද්ගලික තොරතුරු එලි කරන්න හොඳ නැති හන්ද වැඩිය මොකුත් නොලිය ඉන්න තීරණය කළා . ඒ වුනත් විශේෂ සිදුවීම් කීපයක් නම් තියෙනවා වෙනම ලියන්න ඕන පසුවට .


නගරයේ විසිතුරු ඊළඟ කොටසින් ගෙන එන්න බලාපොරොත්තුව . ඕස්ට්‍රේලියාවේ බ්ලොග් ලියන අය ගොඩක් හිටියට දන්නා තරමින් එහි ඉතිහාසෙත් අනෙකුත් තොරතුරුත් ලියවුන බවක් මම දැක නැහැ . ඔබා මාමගේ උදවුත් අරගෙන මා දුටු දේවලින් සහ තව යමක් අලුතින් කියවල හෙට දිහාට ඒ ගැන කතා කරන්නම් .

Wednesday, 18 January 2012

කාප් මසෙකු පිට නැගී ..දෙවියන් දෙව්ලොව යති

සිතල මිදුම මකමින් විටින් විට අව් රැල්ලක්  වැටෙයි. පාරවල් අවහිර වී ඇත්තේ වෙනදාට වඩා දෙතුන් ගුණයක් රථ වාහන සහ පදිකයින්ගෙන් පිරි ඇති නිසාය . පාර දෙපස බොන්සායි පිච් පැල සහ විසල් පිච් අතු ගැනුම් කරුවන් එනතෙක් කල් මරන්නේ නොපිපුණු කැකුළු මල් සිය ගණනක් සමගය . බක් මහේ අවුරුදු නැකතට අපි පෙරුම් පුරන්නා සේ මොවුන් අවුරුදු පිළිගන්නට මහා කලබලයකි .



TET ලෙස වියට්නාමයේදී සැමරෙන්නේ නැගනහිර ආසියාවේ අලුත් අවුරුද්ද එනම් , නැතහොත් Lunar New Year නම් වෙන චීන අලුත් අවුරුද්දයි . එක් එක් රටවලදී ඒ ඒ සංස්කෘතීන්ට අනුගතව මෙම නව වසර සැමරේ . යම් යම් සුළු වෙනස්කම් තිබුනද සියලු අලුත් අවුරුදු උත්සවයන්ගේ මුලික හරය එක බව පෙනේ . ඒකාකාරී ජීවිතය යම් විදියකින් අලුත් කර ගැනීමට මෙම සංකල්පයන් ඇති වන්නට ඇත .



සියලු  දේ එක් කල විට මට නම් පෙනෙන්නේ අහසට පොළවට , සහ සමස්ථ සොබා මවට කළගුණ සැලකීම සහ එළඹෙන වසන්තයට නැවුම් සිතකින් පිවිසීම සියල්ලන්ගේම පැතුම බවයි  


අපි අලුත් අවුරුද්දේදී ලිප සහ ගින්දර ගැන වැඩි අවධානයක් ඇතිවාක් මෙන්ම වියට්නාම ජාතිකයින්ගේ අවුරුද්දද ලිප හා සබැඳේ . සෑම ගෙදරකම ලිප අද්දර දෙවිකෙනෙක් වාසය කරන බවත් අවුරුදු ඇරඹුමත් සමගම ඔහු කාර්ප් මාළුවෙකු පිට නැගී දෙව්ලොව ගොස් දෙව් රජුට ගෙදර උදවියගේ හැසිරීම වාර්තා කරන බවත් මොවුන්ගේ විශ්වාසයයි .


ගිනි දෙව් තුමා දෙව්ලොව යාමේදී ඔහු සතුටු කිරීමට පුද පුජා කරන අතරම කාප් මසෙකු වතුරට මුදා හරින්නේ ගමන පහසු කිරීමටයි . මේ සිරිතට නම් සිදුව ඇත්තේ අපේ කුරුල්ලන් නිදහස් කිරීම වැනිම ආනිසංසයකි.  කඩිමුඩියේ මොටර්සයිකලයෙන් යනගමන්ම ප්ලාස්ටික් බෑගය පිටින්ම පාලමකින් ගඟට විසිවෙන අසරණ කාප් මාළුන් පාලම යට සිටින වෙළෙන්දන් අතින් යලි යලි  විකිණෙන බව අද පුවත්පතෙක දුටිමි .


සෑම ගෙදරකටම  අවුරුදු මල් ගසක් හෝ අත්තක් අනිවාර්යයෙන්ම රැගෙන යයි . මේ අවුරුදු මල උතුරේදී රෝස පැහැ පිච් මල වන අතර දකුණේදී කහ පාට ඇෆ්රිකොට් මලවේ.
දෙවර්ගයම ඉතාම අලංකාර මල්ය.  උතුරේ මේ දිනවල ඇති සිසිල් කාලගුණයට රෝස පැහැ පිච් මල මැනවින් ගැලපේ . දකුණේ උණුසුමට තද කහ ඇෆ්රිකොට් මල සේමය .






එළඹෙන්නේ මකර වර්ෂය නිසා ඩ්‍රැගන් ෆ්රුට් පැළද විකුණන්නට තබා තිබිණි .


පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්
මල් වලට අමතරව කහ පැහැති කුඩා මැන්ඩරින් [Kumquat ] පැළද ගෙදරක අනිවාර්ය අංගයක් වේ .
. මේ දොඩම් වාරය වුවද ලස්සනට පුංචි පැළවල මේ ලෙස ගෙඩි ඉදෙන්නට නම් අනිවාර්යයෙන් ම  අධික රසායන වර්ග යොදන නිසා බවත් කිසිසේත්ම කෑමට ගත නොහැක . එසේ නොවිණි නම් අපේ නිවස පහල තබා ඇති ගස් දෙක හින්දවන්නට අපි හතර දෙනා හොඳටම ඇති වග නම් කිව යුතුය .
අවුරුදු සිරිත් අතර පලතුරු සහ නොයෙකුත් කෑම වර්ග පුදසුනක තැබීම, විවිධ කැටයම් මොස්තරයන්ගෙන් ගෙවල් සැරසීම පන්සල් ආශ්‍රිත පින්කම් පැවැත්වීම මෙන්ම අපි මෙන්ම දෙමාපියන් බැලීමට ගම රටවල යාම , තෑගි හුවමාරුව සහ පළමුකොටම ගෙදරට එන අමුත්තා වැදගත් කොට සැලකීම කැපී පෙනේ . හරියට අපේ ගනු දෙනු කරන්නා වගේමය .



නොයෙකුත් කෑම අතර Banh  chung  ඉතා විශේෂය . ඇලෙන සහල් [ sticky rice ] මැදට ඌරුමස් සහ මුන් ඇට දමා කොළ වර්ගයක [ මෙය කැනාස් වැනි ගසකි ] කල්තබාගත හැකි ලෙස සාදන සතරැස් හැඩයේ කෑම වර්ගයකි . [මා නම් තවම කන්නට සිතා නැති බව කිව යුතුය ]

මෙවර අවුරුද්ද මකරාගේ අවුරුද්දයි . මේ වසරේ උපදින දරුවන් ට හොඳ කලක් යන වගට ඇති විශ්වාසය නිසා දරුවන් ලැබෙන්නට ඉන්න අම්මලා මේ දිනවල බහුලය . මෙය කෙතරම් තදින් විශ්වාස කරනවාද කිවතොත් මගේ මැලේසියන් මිතුරියක කි පරිදි මෙවැනි අවුරුද්දක උපන් ඇගේ සොයුරිය පාසල් ගිය වසරේදී එරට පාසල් වල පන්ති ගණන වැඩිකරන්නට සිදුවී ඇත .


පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්

Tuesday, 3 January 2012

සිහි කරමි දුකෙන් සහ සතුටෙන්..

 
 
''දහනමයේ   ටිකට් එක ..
කොහෙද  විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි  කට වසාගෙන
 
 
 
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
 
 
 
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
 
  
 
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
 
 
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
 
 
සේරම ප්‍රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
 
 
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
 
 
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
 
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන් 
.......ගෙදර උණුසුම .......   
 
 
 

Thursday, 15 December 2011

මන් එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ ....



නුගේගොඩ ගිහින් රෑ වෙලා එනකොට
අටේ කණුව ළඟ බස් නැවතුමේ
රිදෙන කල් කකුල්
... බලන් හිටියා නේද

කැදැල්ලෙන් ඉගිල්ලී ගිය දවස
එකතු කරගෙන පුංචි පැටවුන්
ඉඳහිටක ඇවිත් යාදැයි
බලන් හිටියා නේද

අවුරුද්දකට සැරයක්
අදත් මන් එනකම්
අවුරුද්දක්ම
බලන් හිටියා නේද